|
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්
සිනාවට වඩා ලෝකේ මිලක් තියෙන්නේ කඳුළට
මට හංගන්න දෙයක් ඉතුරු වෙලා නෑ, මානවී.මං වුන ඔක්කොම දන්නවා’ මානවී සැරසෙන්නේ අසා සිටින්නටය.වීරප්පෙරුමට වැඩිය කතා කරන්නට එපායැයි වෛද්‍යවරු උපදෙස් දී තිබිණ.එබැවින් ඔහු කතා කරන්නේ හෙමිහිටය.මානවී ඇස අග උපන් කඳුළු බිඳුවක් වේලෙන්නට ඉඩ හැරියාය. ඔහු වඩා පහසු ඉරියව්වකට වෙහෙස වනු දුටු මානවී සැරසුනේ කොට්ටය සකස් කරන්නටය.ඔහු එයට ඉඩ දුන්නේය.මානවී හීන් සීරුවේ වීරප්පෙරුම ගේ හිසේ බර තම අතට රැගෙන කොට්ටය සකස් කළේ වඩා පහසුවක් වෙන්නටය.පසුගිය දවස් කිහිපයේම වීරප්පෙරුම වෙතින් ඉවත් වන්නට මානවී කල්පනා කළේ නැත.කරන්නට තිබුණේ අලුත් ටෙලිවිෂන වැඩ සටහනය.එය සජීවි එකකි.ආරම්භයේ සිට ම එයට හොඳ ප්‍රතිචාර ලැබිණ.ඇය සම්බන්ධ වනුයේ වැඩ සටහන මෙහය වන්නා හැටියටය.වැඩ සටහනට පාදක වනුයේ ජීවිතයේ අනේක විධි කරදර වලට ගොදුරු වන ගැහැනුන්නේ කදුළුය.ඇය රඟපෑ චරිත සම්බන්ධව ඇති වූ ප්‍රතිරූපය වැඩ සටහනට අස්වැසිල්ලක් විය.එය එහි නිෂ්පාදක ඇගේ මුහුණට ම පැවසුවේ වෙස් ගැන්වීමේ කාමරයේදීය. ‘ගෑණුන්ගේ කඳුඵු වලට හොඳ මිලක් තියෙනවා මානවී’ එහෙම පැවසුවේ රවිඳු ය.ටෙලිවිෂනයේ විකාශය වන වැඩ සටහන නැරඹූ ඔහු මානවීට දුරකතනයෙන් කියා සිටියේය.ඒ ඔවුන් ගමේ සිට පැමිණ දවස් දෙකකට පසුවය.මානවී වැඩ සටහන නිමා කොට නිවසට පැමිණියා පමණී. ‘ඔය ගොල්ලන්ට ඔක්කොම පේන්නේ ඇදේට’ මානවී පැවසුවේ මුහුණේ පැත්තකට හෑන්ඩ් ෆෝන් එක තද කර ගෙනය.අනිත් අතේ තිබුණේ ටෙලිවිෂනයේ දුරස්ථ පාලකයයි.එහි තිබුණේ සැටලයිට් මගින් විසුරුවා හරින විදෙස් නාලිකාවකි.මානවී එය නොකමැත්තෙන් මෙන් මාරු කළාය. ‘ඇදේට නෙමේ.ඇත්තට.’ ‘ඇයි ඔයාට පේනවාද මේ රටේ ගෑණු මිනිස්සුනගේ තියෙන ප්‍රශ්ණ.මිනිස්සුන්ගේ ජීවිත වල කොච්චර දුක් කරදර තියෙනවා ද කියලා, ඒව ඔය ගොල්ලන්ට පේනව ද ?’ ‘ඔක්කොම දකින්නේ තමන්ගේ ඇස් මානයෙන් විතරයි මානවී.හිතන්නෙත් එහෙමයි මානවී’ ‘ඇයි ඔයාට හිතෙන්නේ නැද්ද මේ ප්‍රෝගෑම් එකෙන් ලංකාවේ ගෑණු කට්ටියට වෙන හොඳක් .අඩුම ගණනේ අද අර ගෑණු කෙනෙක් කිව්වේ මිනිහා බීල ළමයා ව දාලා ගිය හැටි.ගමක් ඒ මනුස්සයා පස්සේ ගෙදරට රිංගන්න ආපු හැටි’ මානවී සිහිපත් කළාය. නම හෙළි නොකළ එක් ගැහැනියක් තමන්ගේ දුක් ගැනවිල්ල කියන්නට පටන් ගත්තාය.ඇගේ ස්වරය හද කම්පා කරවන එකක් විය.අත්දැකීම සුලබ එකකි.එහෙත් ඇය එය මනාව ලොවට කියා සිටියාය.ඇයට මානවී අස්වැසිල්ලක් විය.තරුණ වියේම හිතුවක්කාර විවාහයකට ඇතුළත් වු ගැහැනියක් වූ ඇය සැමියා ගේ අඩත්තේට්ටම් ඉවසනු නොහැකිව කුල ගෙය හැර ගියාය.එහෙත් මිනිසුන් වරද දකින්නේ ගැහැනියගේ විනා පිරිමියාගේ නොවේ.කෙසේ හෝ කුල ගෙය රැක ගැන්ම ඇයගේ වගකීමය.එසේ නොමැති කල ඇය ගේ දොර පැලැල්ල එහාට මෙහාට කොට හොර රහසේ රිංගන්නට තැත් කරන මිනිස්සුන් එමටය. ‘ඒක ඇත්ත මානවී.වැයම හොඳයි.ඒවායේ අවංක කමක් තියෙනවා නම්.’ ‘මොකක් ද වැරැද්ද’ ‘වැරැද්ද ඒවා විකුණනා විදිය’ ‘ඒ කිව්වේ?’ ‘අන්න ඔයා දන්නැති කාරණාත් තියෙනවා කියන්නේ ඒකයි’ රවිඳු පැවසුවේ ජයග්‍රාහී විලාසයකිනි. ‘හොඳයි මහත්තයා කියන්නකෝ වැරැද්ද’ ‘වැරැද්ද නෙවේ.ඔය ගොල්ලන්ටත් නොදැනෙන්න ඔය ගොල්ලනුත් විකුණන එක.මේ දුක මැද තියෙන ඇඩ් වල ගාණ වැඩියි.වැඩියෙන්ම පෙන්වන්නේ ඉන්ෂුවරන්ස් කාරයොයි.බියුටි පාලර්ස් ගැනයි.’ මානවී ඇගේ දුරකතනයට ඇද කළාය.ඔහු පැවසුවේ ඇත්තය.ගැහැනිය ගේ විලාපයක් අවසන් කළ සැනින් රුව වඩන විලවුන් දැන්වීමක් විකාශය විය. ‘ඒකයි මං කිව්වේ මිනිස්සුන්ගේ කදුළු වලට ටීවී එකේ හොඳ මිළක් තියෙනවා කියලා.’ ‘ටීවී එකේ විතරද ඇයි ඔය ගොල්ලන්ට පොලිටික්ස් වලදිත් ඔය කඳුළු කොච්චර වටිනවා ද ?’ ‘මම හිතුවා ඔයා ඔතැනට එයි කියලා.ඉතින් අපිටත් බනින්න.දන්නවාද මානවී ලෝකේ සිනාවට වඩා මිළක් තියෙන්නේ කඳුළට.මුතු කියන්නේ බෙල්ලන්ගේ කඳුළු කියලා අහලා නැද්ද’ රවිඳු තවත් බොහෝ වෙලාවක් කතා කළේය.ඔහු කතාව හමාර කළේ ඉතින් අපි ආයේ හම්බ වෙන්නේ කවදාදැයි අසමිනි. මානවී එයට පිලිතුරක් නොදුන්නාය.ඇය රවිඳුද ගැන සිතන්නට පටන් ගත්තාය.මේ ආකාරයෙන්ම ඇය සුජිත්ට ද අවංකවම ආදරය කළාය.ජීවිතයේ සියලු කැපවීම් කළේ ඔහු ටය.එහෙත් ඔහු ගැන නොසිතන්නට ඇය සිතා ගත්තාය.යළිත් දුරකතනය නාද විය. ඇය විමසා බැලුවාය.එය වීරප්පෙරුමගෙනි.ඇය එය ඇමතුවාය.පසුගිය දින කිහිපයේම ඇය වීරප්පෙරුම අමතක කළාය.ඔහු ඇය ඇමතුවේ ද නැත. ඔහු දන්නේ ඇය ගමට යන වග පමණි.පසුගිය කාලයේ මෙලෙස ඇය දින කිහිපයක් හෝ ඈත්ව සිටිය හොත් වීරප්පෙරුම ගේ රොස් පරොස් බොහොමයකි. සමහර විට මේ ඇමැතුම ද එබඳු තද දෝෂාරෝපණයක් විය හැක. රවිඳු සමග ඇය කොළඹ එන්නට පිටත් වූයේ පාන්දරිනි.පුරුදු පරිදි ඇය වැඩිහිටියන්ට වඳීද්දි රවිඳු ද එය අනුගමනය කළේය.ඔහු නිර්මලා ගේ දෙපා වඳීද්දි ඇය මදක් පසුපසට ගියාය. ‘අය්යෝ’ ඇය පැවසුවේ විස්සෝපයෙන් මෙනි. ‘ඇයි අම්මා මම වැන්ද එක පවක් ද ? ඔහු ඇසුවේය. වචනයකුදු නොදෙඩූ නිර්මලා උපන් කඳුළක් පිසලානු මානවී ගේ ඇසට වසන් කළ නොහැකි විය. ‘මම ආපහු මෙහේ ආවාට කමක් නැද්ද ?’ ඔහු ඇසුවේ ගෙයින් එළියට බසින ගමන් අත්තම්මාගෙනි. ‘අනේ රත්තරනේ ඇවිත් යන්න.’ සීදේවි ලමයා යැයි ඇයගේ සිතෙහි ඇදි තිබිණ. රවිඳු රිය පැදවූයේය.කොළඹ බලා වේගයෙන් දුවන බස් රථයක් සමග තරගයට ගිය රවිඳු එය පහසුවෙන් පරදවා ජය ගත්තේය. ‘තරග කරන්නත් ආසාව තියෙනවා’ මානවී පැවසුවාය.පසුගිය දවස් කිහිපය ඇය ගත කළේ සොම්නසිනි.ඒ කවර නිසාවෙන්දැයි ඇය නොදත්තීය.රවිඳු ආපසු ආවේ තම වැඩිහිටියන්ගේ පමණක් නොව ගමේ ඇතැම් තරුණයන්ගේ ද සිත් දිනා ගනිමිනි.අත්තාට නම් රවිඳු පිළිබද දහසක් දේ කියන්නට ඇත.තමාට නම් ඔහු ගැන කියන්නට ඇත්තේ කුමක් ද ? පසුගිය දින කිහිපය ඇතුළත ඔහු හොඳ යහළුවකු වූ බව නම් ඇත්තය.එහෙත් පිරිමියක් සහ තරුණියක මෙලෙස ගමන් කිරිම පවා මේ වන විට දහසක් කතා වන්ට මුල පුරන්නේය.මේ වන විට තමා සහ රවිඳු පසුබිම් කොට කටකතාවන් නිර්මාණය ව ඇත.මිනිසුන්ගේ උකුසු ඇස් වලට ගොදුරු නොවී සිටින්නට පුළුවන් කමක් නැති වග මානවී දැන උන්නාය.වීරප්පෙරුම හමුවට මේ දවස්වල නොයා යුතුයැයි ඇයට සිතුනේ ආපසු එන විටය.ඒ සිතුවිල්ල සමග ඇය රවිඳු දෙස බැලිණ.ඔහු ඉදිරිය බලා ගෙන වේගයෙන් රිය පදවයි.තව ටික වේලාවකින් හිරු පාර කියනු තුරු රියේ විදුලි පහන් තවම මග එළිය කරයි. රාත්‍රියේ වීරප්පෙරුම ගේ දුරකතන ඇමතුම මානවී උත්තර දෙන්නට සැරසුණේ හිත හදා ගනිමිනි.එහෙත් කතා කළේ ඔහු නොවේ.මානවී ඒ හඩ ඇඳුනුවාය.එහෙත් කිසි විටෙකත් ඔහු මානවීට කතා කර නැත.ඒ හැරත් වීරප්පපෙරුම ගේ දුරකතනයෙන්මය.අවේලාවේය.ලේකම් ජයතුංගය. ඇයගේ සිත කුතුහලයකින් වෙලිණ. ‘ඇයි.කෝ සර්.?’ ‘සර්.ඉස්පිරිතාලේ මිස්.හදිස්සියේ හාට් ඇටෑක් එකක්.දැන් දවස් තුනක් වෙනවා.අදයි කතා කළේ‘ මානවී හූල්ලා වැටිණ.තමා අතින් යමක් අතපසු ව ඇත. ‘මිස් ට මං කතා කළා.මගේ ළග නොම්මරය තිබුනෙත් තෑ.සර් ඇහැව්ව මිස් ආවේ නැද්ද කියලා.’ ‘දැන් මං එන්නම්.’ ඇය ඔහු කී බස අනුව රෝහලට ගියාය.වීරප්පෙරුම සිටියේ රෝහලේ විශේෂ කාමරයකය. කාමරය අසල සිටි රැකවල් ලා සිටි ආරක්ෂකයා මානවී දැක නැගිට්ටාය.ඇය බිම බලා ගෙන ඉදිරියට ඇදිණ.ඇඳ මත වැතිර සිටි වීරප්පෙරුම දුටු මානවී ගේ හිත හෝස් ගා ඇවිලිණ.ඇය ඔහු අසල පුටුවක වාඩි වුවාය.ජයතුංග ද එතැන සිටියේය.ඔහු මානවී ගේ ඉරියව් දෙස වුවමනාවෙන් බලා උන්නේය. ‘දැන් ටික වේලාවකට කලින් නින්ද ගියා.මිස් ආවාද කියලා ඇහුවා.?’ ලේකම් පැවසුවේය.හෙදියක් මානවී අදුනා ගෙන සිනහවක් පෑවාය.මානවී වීරප්පෙරුම දෙස බලා සිටියේය. මේ මිනිසාට ඇය ජීවිතයේ යමක් පිදුවාය.එහෙත් ඔහු ද ඇයට ජීවිතයේ බොහෝ දේ පෙරළා දුන්නේය. පසුගිය කාලයේ ඔහු ඇය ගෙන් බලාපොරොත්තු වුයේ ඇගේතුරුණු සිරුර නොවේ.එය ඇය වටහා ගෙන උන්නාය. ‘මිස් හෙට උදේ එන්න.අපි ඉන්නවානේ.’ ජයතුංග පැවසුවේය.මානවී එයින් නික්ම ගියේ තවත් බොහෝ වෙලාවක් ගිය පසුය.ඒ ජයතුංග වැඩිහිටියකු ලෙස කී බස් අතහැරීම නොකළ යුත්යැයි සිතුණ නිසාය. ඇය පසුදා උදෑසනින්ම එහි යළි ආවාය.ඒ එන විට ද වීරප්පෙරුම නින්දේය.ඇය මෙතරම් උදෑසනින් පැමිනි අයුරු දැක රෝහලේ හෙදියක් විමතිය පළ කළාය. ඇය ඔහු අසල අසුනක වාඩි වූවාය. ගත වූ රැය පුරා ඇය ට හොද නින්දක් ලැබුනේ නැත.නින්ද යන විට සිහියට එන්නේ වීරප්පෙරුමය. ඇය ඔහුගේ අත අල්ලා ගත්තාය.ඔහු ගේ ඇස් විවර වන අයුරු මානවී දුටුවාය.ඔහු මොහොතක් ඇය දෙස බලා සිටියේ ඇගේ මුහුණ කියවන්නටය.මානවී යමක් කියන්නට සැරසුනාය.එහෙත් ඇයට ඉකියක් ඇති විය.වීරප්පපෙරුම ඇගේ ඇඟිලි තදින් අල්ලා ගන්නා අයුරු ඇයට වැටහිණ. ඔහු කතා කළේ අපහසුවෙනි.
|