වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




පි‍්‍රයංකර, ශේක්ෂ්පියර් නාට්‍යයකට ජෝතිපාලගේ ගීතයක් දැම්මේ ඇයි?

පි‍්‍රයංකර, ශේක්ෂ්පියර් නාට්‍යයකට ජෝතිපාලගේ ගීතයක් දැම්මේ ඇයි?

කැලණිය සරසවියේ නාට්‍ය හා රංග කලාව සොයා යන දරුවන් හට මඟ කියමින් නිර්මාණකරණයට එයම තෝතැන්නක් කරගත් ඔහු සරසවි දරුවන් සමඟ එක්ව 'ඊඩිපස්', 'අද වගේ දවසක ඇන්ටිගනී', 'විසේකාරියෝ' ආදී ප්‍රභාෂ්වර වේදිකා නිර්මාණ රැසක් මේ පොළවට දායාද කළේය.

ප්‍රියංකර රත්නායක නම් වූ මේ සොඳුරු මිනිසා අද දවසේ අප අතරට එන්නේ 'ප්‍රේමවන්ත කුමාරයෝ' සමඟිනි. ශාස්ත්‍රාලීය නාට්‍ය කලාවක් පිළිබඳ සුබසිහින දකින ඔහු අද තියෙන ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව පිළිබඳ සංලාපයක යෙදුණේ මේ ලෙසිනි.

ඇතැම් විද්වතුන් පවසනවා වේදිකා නාට්‍ය ශාස්ත්‍රාලීය (ACADEMIC PLAY) ස්වභාවයක් දීමට තැත් කිරීම තුළ නාට්‍ය, නාට්‍යමය ස්වභාවයෙන් ඈත් වී ඇති බව?

මම විශ්වාස කරවා හොඳ නාට්‍ය හැමදාම ශාස්ත්‍රාලීය වේවි. හැමදාම හදාරන්න සුදුසු රස විඳින්න, කියවීමට ලක් කිරීමට සුදුසු නාට්‍ය ශාස්ත්‍රාලීයයි. උදාහරණ විදියට මනමේ, සිංහබාහු හැමදාම රස විඳින්න හැකියාව තිබෙනවා. බල්ලොත් එක්ක බෑ, සාජන්ට් නල්ලතම්බි වගේ නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. නමුත් නාට්‍ය කලාවට කරපු සේවයක් පේන්නේ නෑ. ඒක මනමේ, සිංහබාහු අදී නිර්මාණ රචනයට පෙර මහාචාර්ය සරච්චන්ද්‍රයන් ලෝක නාට්‍ය සංගීතය, සාහිත්‍ය වාගේම දේශීය ගැමි නාටක පිළිබඳවත් මැනවින් හදාරා තිබෙනවා. ඒ ලෙසින් හැදෑරීමෙන් ලියපු නාට්‍ය හැම වෙලාවෙම රස වින්දනයට ගෝචරයි.

අපි සිනමාව දෙස නෙත් යොමු කළොත් ඉන්දියාවේ රාම්ලීලා, හයිදර්, වගේම බටහිර ලෝකයේ ඇවටර් ආදී නිර්මාණවල පසුබිමේ තියෙන්නේ ශේක්ෂ්පියර්ගේ නාට්‍යවල බලපෑමයි. ඒ නාට්‍යවල රස වින්දනයේ විශාලත්වය තුළිනුයි එවැනි නිර්මාණාත්මක ආභාසයකට යෙමු වන්නේ. උසස් නාට්‍ය සාමාන්‍ය මිනිසුන්ට නොගැළපෙන බවට මිථ්‍යා මත පතුරන්නේ මිනිසුන්ගේ පොකට් එකට විදින කලාකරුවන් යැයි කියා ගන්නා පිරිසක්.

කලාව පිළිබඳ ප්‍රාමාණික උගතුන් මේ සඳහා වගකිව යුතුයි?

ඔව්. පසුගිය කාලේ සමහර කලාව පිළිබඳ උගත්තු මේ කාරණාවට සෘජුවම වගකියන්න ඕනෑ. උසස් නාට්‍ය රස විඳින්න සාමාන්‍ය මිනිස්සුන්ට නොහැකිය. ඒ සඳහා ඉගෙන ගැනීමක් හැදෑරීමක් කළ යුතුය කියන කාරණාවක් උලුප්පා පෙන්නුවා. ඒක ඇත්තටම බොරුවක්. ග්‍රීසියේ රෝමයේ එළිසබෙතන් යුගයේ නාට්‍ය ලියවුණේ සම්භාව්‍ය උසස් අයට නෙවෙයි. සාමාන්‍ය ජනතාවට. සම්භාව්‍ය උසස් කියන කාරණය විශ්වවිද්‍යාල තුළ භාවිතයේ ගත්ත යම් සිද්ධාන්තයක් පමණයි. එය මිනිසුන්ගේ රස වින්දනයට බාධා කර ගත යුතු නෑ. මොකද හැදෑරීමෙන් තමයි කලාව උසස් තැනකට එන්නේ. උසස් කලාව තමයි හැමදාම මිනිසුන්ගේ හිත්වල තැන්පත් වෙලා තිබෙන්නේ. උසස් කලාවක් බිහි වුණොත් පමණයි රටක යහපත් මිනිසුන් පිරිසක් බිහි වෙන්නේ. යහපත් සංස්කෘතියක් ගොඩ නැඟෙන්නේ. මොකද උසස් කලා කෘතිවල පමණයි මිනිසුන්ට අවශ්‍ය සැබෑම රස වින්දනය පවතින්නේ. සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ ජීවිතය තේරුම් ගත හැකි ඥානය තිබෙනවා. යම් සමාජයක් උසස් කලා කෘතියක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ සමාජය කිසිසේත්ම යහපත් සමාජයක් වෙන්නේ නෑ. ඒ සමාජයක දියුණු මිනිසුන් බිහි වන්නේත් නෑ.

ඔබේ නවතම වේදිකා නිර්මාණය 'ප්‍රේමවන්ත කුමරයෝ' බිහි වෙන්නේ මහා නාට්‍යකරු ශේක්ෂ්පියර්ගේ MID SUMMER NIGHT DREAM කෘතියේ අනුවර්තනයක් ලෙසින්?

ඔව්. මෙම නිර්මාණය මං නිෂ්පාදනය කරන්නේ අනුවර්තනයක් ලෙසින්. මෙය සිංහල බසට පරිවර්තනය කළේ ජයවතී ජයසිංහ මහත්මිය. ජූලි 23 පස්වරු 6.45 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලට ඔබ ඇවිත් නරඹන්න.

බහුතරයක් හිතන්නේ 'කොමඩි' කියන්නේ ප්‍රේක්ෂකාගාරය සිනහ ගන්නවා මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරන කලාවක් කියා. එය නරක විකට නාට්‍යයක මූලික ලක්ෂණයක්. බොහෝ දෙනෙක් ප්‍රහසන කියා අර්ථ දක්වන්නේ එවැනි නරක විකට නාට්‍ය. එවැනි නාට්‍ය 100 වතාවක් බැලුවත් ප්‍රේක්ෂකාගාරය හිනාවීම හැර ප්‍රේක්ෂකයාගේ ජිවිතයේ කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි නියම කොමඩි කියන්නේ රංග ශාලාවේදී හිනාවෙන නැවත අවසානයේ තමන් හිනා වුණේ ඇයි? හිනා වුණේ කාටද? හිනා වුණේ මොකටද? කියන කාරණා වගේම තමන් හිනා වුණේ ඇඬිය යුතු දේකට නේද කියන සැකය හිත තුළ ඇති කරන නාට්‍යවලටයි.

ප්‍රේක්ෂකයා ඒ ඔස්සේ තමන්ගේ ජිවිතය දෙස අලුත් විදියකට දකින්න, හිතන්න ඉඩ සලසන නිර්මාණයකටයි. හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයාට විනෝදය වගේම ඥානයත් අත්පත් කර දිය යුතුයි.

ඔබගේ නවතම නිර්මාණය වන 'ප්‍රේමවන්ත කුමරයෝ' ශේක්ෂ්පියර් නාට්‍ය ඇසුරින් වැඩෙන්නක්. කෙසේද ඔබ ශේක්ෂ්පියර් නාට්‍යයකට ජෝතිපාලයන්ගේ ගීතයක් එකතු කළේ?

මගේ ප්‍රේමවන්තයෝ නිර්මාණයේ කතිකාවට ලක් වන්නේ අපි ජීවත්වන මේ මොහොතේ ප්‍රේමය පිළිබඳ කියවීමක්. මෙහිදී නාට්‍ය පිළිබඳ, සමස්ත අර්ථය පිළිබඳ ප්‍රේක්ෂකයාට අවබෝධයක් ඇති කිරිමට මම යොදා ගත්තේ ජෝතිගේ ගීතයක්.

'එක දවසක අවසන් වෙනවා
කවදා හෝ
මේ නැටුම් - මේ ගැයුම්
පිට වී යන්නට සිදු වෙනවා
නිම වූ දා
මේ නැටුම් - මේ ගැයුම්'

මේ ගීතයේ තියෙන්නේ බෞද්ධ දර්ශනයෙන් හෙළි කරන ශූන්‍යත්වය පිළිබඳ සනාතන දහම. ජීවිතයේ අස්ථිර ස්වභාවය. මේ ගීතය අපේ නාට්‍ය සමඟ මුළුමනින්ම පෑහුණා. අපිට ලොකු අර්ථ කථනයක් දුන්නා. මේ මොහොතේ ඒ ගීතය තුළින් ජෝති මට ශාස්ත්‍රාලීය ගායකයෙක් වෙනවා.

වික්ටර් හා සේපාලිකාගේ ආදර කතාවක් විදියට දිග හැරන ප්‍රේමවන්ත කුමාරයෝ හිදී මේ භාවමය ප්‍රකාශනය ගොඩ නඟන්න සේපාලිකා නැමති පැරැණි චිත්‍රපටයත් එහි ගීතවලත් ආභාසය මට නොඅඩුව ලැබුණා.

ඔබගේ සියල නිර්මාණ ඉදිරිපත් වන්නේ ACADEMIC PLAYERS ඉදිරිපත් කිරීමක් ලෙසින්. කවුරුන්ද මේ පිරිස?

කැලණිය විශ්වවිද්‍යාලයේ විෂයක් ලෙස නාට්‍ය හදරන විෂායානුබද්ධ නාට්‍ය කිරිමට හදාගත් ශිෂ්‍ය සංගමයක් තමයි එය. එය විශ්වවිද්‍යාලයේ සෙසු ශිෂ්‍ය සංගම්වලින් එය වෙනස් වන්නේ ඇකඩමික් ප්ලේයර්ස්ලා වැඩ කරන ආකාරයටයි. ඔවුන්ට රංග කලාවට අමතරව කළ යුතු වැඩ කොටසක් තිබෙනවා. සමාජය තුළ කළ යුතු වගකීම් රැසක් තිබෙනවා. විශ්වවිද්‍යාලයට පැමිණෙන නවක කණ්ඩායම් විසින් එය පවත්වාගෙන යනවා.

නමුත් ඔබ ACADEMIC PLAYERS වෙතට සිමා වෙලා?

නෑ. මම එහෙම සීමා වෙලා නැහැ. හැබැයි මගේ නිර්මාණවලට ඇකඩමික් ප්ලේයර්ස්ලාගේ අලුත් - පැරැණි පිරිස් සම්බන්ධ වෙනවා. ප්‍රේමවන්ත කුමාරයෝ නිර්මාණය මීට අවුරුදු දහයකට පෙර කැලණිය සරසවියේ හිටිය ප්‍රේමරත්න තෙන්නකෝන් වගේම දැනට සරසවියේ ඉගෙනුම ලබන සජිත අනුත්තරත් සම්බන්ධ වෙන්නේ මේ ලෙසින්. ඒ වගේම ශාස්ත්‍රාලීය පිරිසක් සමඟ එකට වැඩ කිරීම තුළ ප්‍රවණතා තිබෙනවා. මේ නිසා සමහර කරුණු කාරණා අවබෝධ කරවීම පහසුයි. එය නිර්මාණකරණයට පහසුවක්.

අතීතයේ සරච්චන්ද්‍රයන්, හෙන්රි ජයසේනයන් වගේම පසුකාලිනව ජයලත් මනෝරත්න, රාජිත දිසානායක වැනි නාට්‍යවේදීන්ගේ නිර්මාණ සමඟ වැඩ කළේ එකම පිරිසක්. එලෙස අවබෝධාත්මකව වැඩ කිරීම පහසුයි.

විශ්ව සම්භාව්‍ය නාට්‍ය නිර්මාණ පරිවර්තන ලෙසින් එළිදැක්වීමේ එකී අන්තර්ගතයන් අපේ ප්‍රේක්ෂකයාට කොතරම් ගෝචර ද කියන කාරණාව බොහෝ පරිවර්තන නාට්‍ය නිෂ්පාදනය කරන නිර්මාණකරුවන් අවබෝධ කරගෙන නැහැ?

මෙහෙමයි, මං නාට්‍ය කරන්නේ මේ සමාජයේ ජිවත්වීම පිළිබඳ සංවේදිතාවයන් දැනවීමට. මං වගේම ඒ සංවේදිතාව දැනුණු නාට්‍යකරුවෙක්ගේ ඒ සංවේදිතාව ප්‍රකාශ කරනු නාට්‍ය නිර්මාණයක් මට දැනෙන්නේ මගේම නිර්මාණයක් ලෙසින්. අනෙක නාට්‍යයක් ලියන්නේ මිනිසුන් ගැනයි. ඒ මිනිසුන් ගැන ලියපු නාට්‍ය කුමන ශෛලියකින් ලිව්වත් අපි - අපි ගැනමයි කතා කරන්නේ. මෙහිදී සංස්කෘතික, භූගෝලීය වශයෙන් පොඩි පොඩි සීමා මායිම් තිබෙන්න පුළුවන්.

'අද වගේ දවසක ඇන්ටිගනි' පසුගිය කාලයේ සිදු වූ සංවේදී සිදුවීම් අතිශය මානුෂික පසුබිමක කතා කරන්න මම සොෆර්ක්ලීස්ගේ නාට්‍ය ත්‍රිත්වයේ තෙවැන්න වූ අන්ටිගනි යොදා ගත්තා. සොබාදහම හා මිනිසාගේ සබඳතා ග්‍රීසියට පමණක් නොවෙයි ඕනෑම කොදෙව්වකට වුව පොදුයි. සොබා දහමේ නීතිය හා රාජ්‍ය නීතිය අතර ගැටුම් සියුම් හුයක් ලෙස සොෆර්ක්ලිස්ගේ කෘතිවල ඇතුළත් වෙනවා. එය සැමටම එලෙසින්ම පොදු ධර්මතාවයක්.

මං හිතනවා මිනිසා සහ ජීවිතය පිළිබඳ ලියූ කෘතියක් කුමන භාෂාවකින් ලිව්වත් එහි හරය එකමයි. එහි තිබෙන්නේ හුදු භාෂාවක් පමණයි. අපි කරන්නේ වෙන භාෂාවකින් ලියූ නාට්‍යයක් අපේ භාෂාවෙන් අර්ථකථනය කිරීමයි. නාට්‍ය වෙනත් භාෂාවකින් ලියුවක් වුවත් මගේ අර්ථකථනය ස්වතන්ත්‍රයි. මං ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍ය කරන්නේ මගේ දැක්මකින්.

රජය - ප්‍රේක්ෂකයා - නාට්‍යකරුවා එක් වන වැඩ පිළිවෙළක් වෙත අපි යොමු විය යුතුයි?

ඔව්. එය ඉතාම කාලෝචිත සාධනීය කාරණාවක්. ප්‍රථමයෙන්ම නාට්‍ය කලාව පිළිබඳ සමාජය වෙත රෝපණය කරන ලද මිථ්‍යා මත දූරීභූත වෙන්න ඕනෑ. ඒ වගේම පරිවර්තන, ස්වතන්ත්‍ර පිළිබඳ තියෙන මතවාදී අදහස් වෙනස් විය යුතුයි. නාට්‍ය ලෙසින් වැදගත් වන්නේ අදාළ කෘතිය පර්වර්තනයක් ද, අනුවර්තනයක් ද, ස්වතන්ත්‍ර නාට්‍යයක් කියන කාරණාව නොවෙයි. එම කෘතිය හොඳ නිර්මාණයක් ද, නරක නිර්මාණයක් ද කියන කාරණාවයි. ලෝකයේ හොඳ පරිවර්තන සාහිත්‍යයක් නැති රටක හොඳ ස්වතන්ත්‍ර කලාවක් බලාපොරොත්තු වෙන්න බෑ.

නාට්‍ය සංස්කෘතියක් ගොඩ නැඟෙන්නට හොඳ රඟහල් සංස්කෘතියක් බිහි විය යුතුයි. නාට්‍යයක් නැරඹීමට පමණක් නොවෙයි, නාට්‍ය පිළිබඳ කතා කරන, නාට්‍ය අවසන් වී හොඳ කෑමක බීමක රස විඳින්න පුළුවන්, පොතක් කියවන්න, සංගීතය රස විඳින්න පුළුවන් තැනක් ලෙසට රඟහල පත් විය යුතුමයි. නාට්‍ය නෙපෙන්නුවත් එතැනට එකතු වෙලා නාට්‍යකරුවන්ට කතිකාවකට එන්න කාලය ගත කරන්න හැකි අවකාශයක් වෙත රඟහල සමීප විය යුතුයි.

සංස්කෘතියක් හැදෙන්නේ මිනිසුන්ගේ සිතුම් පැතුම්, චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් ආදියෙන්. ඒ වගේම නාට්‍ය සංස්කෘතියක් නිර්මාණය විමේදී රංග කලාවට අදාළ සිරිත් විරිත් රඟහල තුළින් බිහි විය යුතුයි. අද දවසේ යම් සංස්කෘතික හැඩයක් හෝ තිබෙන්නේ 'ලයනල් වෙන්ඩ්ට්' රංග ශාලාවේ පමණයි.

ඒ වගේම එක රඟහලකින් නාට්‍ය සංස්කෘතියක් බිහි කළ නොහැකියි.

මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මැදිහත්වීම පුළුල් විය යුතුයි. ලෝකයේ නාට්‍ය කලාව දියුණු හැම රටකම මෙම අංගයන්ගේ ප්‍රශස්ත වර්ධනයන් හැඳින ගත යුතුයි.

මේ සඳහා ආර්ථිකය සමඟ නාට්‍ය කලාව සම්බන්ධ වන සන්ධිස්ථානයන් නිර්මාණය කරගත හැකියි?

එය විය යුතුමයි. ලෝකයේ දියුණු රටවල නාට්‍ය හා රංග කලාව එරට සංචාරක කර්මාන්තය සමඟ බද්ධ වී තිබෙනවා. ජපානය, චීනය ආදී රටවල මෙය ඉතාම විදග්ධ අන්දමින් පවත්වාගෙන යනවා. ඒත් අපේ රටේ රාජ්‍ය නාට්‍ය උලෙළ රටේ සංස්කෘතික ඇමතිවරයාටවත්, අධ්‍යාපන ඇමතිවරයාටවත් කිසිම අදාළකමක් නෑ. ඉතින් මෙහෙම රටක දියුණු නාට්‍ය සංස්කෘතියක් පිළිබඳ හිතීමත් බරපතළ කාරණාවක්.

පසුගිය දශක කිහිපයේ සිදු වූ සමාජ විපරිණාමය නාට්‍ය කලාවේ ප්‍රගමනයට වඩාත් අහිත කර ලෙස බලපෑවා. ඔබ ඇතුළු නාට්‍යකරුවන් අල්ප දෙනෙකු මේ ක්ෂේත්‍රයේ ස්ථාවර වීම දැඩි අරගලයක ප්‍රතිඵලයක්?

ඔව්. එයට එක්තරා විදියට ආර්ථික පසුබිමත් බලපෑම් කළා. මෙහිදී මූලික වශයෙන්ම නාට්‍ය කලාවෙන් ලැබෙන ආර්ථික වාසි අමතක කළ යුතුයි. ඒ වගේම නාට්‍ය කලාවේ රැඳී සිටීමට හැදෑරීමත් අවශ්‍යයි. ඒ වගේම සෙසු වාණිජමය අංගයන් සමඟ නාට්‍ය කලාව සංසන්දනය කිරීම නතර කළ යුතුයි. ඒවායේ නැති නාට්‍ය කලාවේ තිබෙන අධ්‍යාත්මික හා දේශපාලනික වටපිටාව අවබෝධ කරගත යුතුයි. එසේ සිතීමත් තරමක අසීරු කරුණක්. එවන් වටපිටාවක් තුළයි ඔබ කියූ කාරණාව සිද්ධ වෙන්නේ.

ප්‍රේමවන්ත කුමරයෝ වෙත අපි නැවතත් හැරෙමු?

මගේ ඊඩිපස්, ඇන්ටිගනි, විසේකාරියෝ වේදිකා නිර්මාණයන්ගෙන් ඇරඹෙන නිර්මාණාත්මක නාට්‍ය ගමන් මඟේ ප්‍රේමවන්ත කුමාරයෝ සුවිශේෂී වේවි. සම්භාව්‍ය නාට්‍ය සාමාන්‍ය ජනතාව රස විඳින්න බැහැ කියනා මතය පුපුරුවා හරින්නට මේ නිර්මාණය සමත් වේවි කියන විශ්වාසය නිර්මාණය නිෂ්පාදන මුල් අවධියේ පටන්ම මගේ හිතේ තිබුණා. එම මිථ්‍යාව මුළුමනින්ම බිඳ දැමීමට හැකි වූවා යැයි මං හිතනවා. ඒ වගේම එවැනි නාට්‍ය නිෂ්පාදනය කිරීමට නිර්මාණකරුවන් හට තිබුණු බයත් මේ තුළින් නැති වේ යැයි මං විශ්වාස කරනවා.

ඔබට මේ මස 23 (අනිද්දා දිනයේ) ලයනල් වෙන්ට් රඟහලට පැමිණ සොඳුරු නාට්‍යයක ගුණ සුවඳ විඳගන්න හැකි වේවි.

ඔබ ප්‍රේමවන්ත කුමාරයෝ නිෂ්පාදනය කරන්නේ සම්මාන ඉලක්ක කරගෙන?

සම්මාන කියන කාරණය ඕනෑම කලාවකට අවශ්‍යයි. නමුත් එය අවශ්‍ය විය යුත්තේ නිර්මාණයක් ඇගැයීම සඳහා පමණයි. එහෙත් සම්මාන ඉලක්ක කරගෙන නිර්මාණය කිරීමේදී එකී නිර්මාණ බොහෝ පටු සීමාවලට කොටු වෙනවා. ලංකාවේ බොහෝ විනිශ්චය මණ්ඩලවලට එන අයට රස වින්දනය, දේශපාලනය පිළිබඳ බරපතල ගැටළු තිබෙනවා.