වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




අබ්බාස් කියරොස්තාමි සහ මම

අබ්බාස් කියරොස්තාමි සහ මම

විමුක්ති ජයසුන්දර

මගේ සිනමාව තුළදී අබ්බාස් කියරොස්තාමි කියන නම වෙන් කළ නොහැකි සාධකයක්. ඔහුගේ මරණය මාව වියපත් කරපු ආරංචියක් බවට පත් වුණා. ඔහු ලෝකයට හඳුන්වා දුන්නු සිනමාකරුවෙක් විදිහට මා තුළ තිබුණේ ඔහු කෙරෙහි පීතෘවර ස්වභාවයක්. ඔහු ලෝකයේ විශාල සිනමාකරුවන් පිරිසකට ගුරුවරයා වෙලා තිබුණා. ඒ දැනීමත් එක්ක මට හිතුණා අබ්බාස් කියරොස්තාමි යෝජනා කරන සිනමාව පවත්වාගෙන යෑම සහ එවැනි සිනමා කෘති ප්‍රවර්ධනය කිරීම අප හැමගේම යුතුකමක්. ඔහු කළ ඒ අරගලය හරහා ලෝකයේ කොතරම් බලවත් රටවල් ඉරානයට සම්බාධක පැනවුවත් සිනමාවේදී සම්බාධක දාන්න පුළුවන් වුණේ නැහැ. මට මතකයි සමහර අවස්ථාවලදී ඔහුට ඇමරිකාවේ ඍඪඵච හම්බ වුණේ නැහැ. ඒ වගේම වෙනත් රටවල්වලට ඇතුළුවීමේ ප්‍රශ්න ආවා. එහෙත් සිනමාකරණයේදී ඔහු ඒ සියලුම දේවල් පරාජය කරලා ඉරානයට ජයග්‍රහණ කීර්තිය අත් කරලා දුන්නා. අපට තාම එය ලංකාවට කරන්න බැරි වෙලා තියෙනවා. ඔහු සිනමාව තුළින් ඉරානයේ ඇත්ත ජීවිතයේ ප්‍රශ්නය ලෝකයට පෙන්නුවා. ඒක තුළ ඉරානය ලෝකයට ත්‍රස්තවාදය බෙදා හරිනවා කියලා ලෝකයෙන් තියෙන අදහස කියරොස්තාමිට පුළුවන් වුණා ඔහුගේ සිනමාව තුළින් නිශේධ කරලා ඉරානයේ මිනිසුන්ටත් තිබෙන්නේ ලෝකයේ අනෙක් මිනිස්සුන්ට තිබෙන ප්‍රශ්නමයි කියලා ලෝකය හමුවේ පැහැදිලි කරන්න. හැමවිටම යුදමය පැත්තකින් බලන ඉරානය දිහා අපට සංස්කෘතික ඇසකින් බලන්න පුළුවන් වන්නේ ඔහුගේ සිනමාව හරහායි. මහා පර්සියානු ශිෂ්ඨාචාරයේ නූතන නියෝජිතයා වශයෙන් කියරොස්තාමි හඳුන්වන්න පුළුවන් වන්නේ මේ කාරණාව නිසායි.

close up

විටෙක ඔහු කියනවා ඔහු නවකතා කියවලා ඉවර කරන්න එතරම් කැමැත්තක් නැහැ. ඔහු නිතරම කියවන්න ආශා කළේ කවි කියලා. ඒක පැත්තකින් ඔහුගේ පියා කවියෙක්. මේ කවි නැවත නැවත කියන පුරුද්දක් කියරොස්තාමි ළඟ තිබුණා. ඔහු විටෙක කැමරාවත් අරගෙන මෝටර් රථයෙන් ඔහේ කඳු, මිටියාවත්වල යනවා. ඒ යන විට හමුවෙන දර්ශන තමයි ඔහු සිනමාවට ගෙනෙන්නේ. ඔහු ඉතාම අල්ප වූ සම්පත් ප්‍රමාණයකින් සිනමාකරණයේ යෙදුණුු පුද්ගලයෙක්. ඔහුට සිනමා කෘතියක් කියලා කියන්නේ සැළසුම් කරන ලද නිෂ්පාදන ක්‍රියාදාමයක් තියෙන දෙයක් නෙමෙයි. ඔහුට සත්‍ය සිනමා භාවිතාවක් තිබුණා. සමහර චිත්‍රපට කරන්න ඔහු ඔහුගේ කණ්ඩායමත් අරගෙන ඔහේ ඇවිදගෙන ගියා. නළු, නිළියන් නොවන පිරිසක් සම්බන්ධ කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කිරිමේ ප්‍රවණතාවය ගෙනාවේ කියරොස්තාමියි. ඒ වන විට අපි දන්නවා ප්‍රංශයේ සිනමාකරුවන් මේක කරන්න උත්සාහ කළා. නමුත් කියරොස්තාමි තමයි මේක ඉතා විශාල විදිහට කළේ. මම ඔහුත් එක්ක සාකච්ඡා කරද්දී දැනගත්ත දෙයක් තමයි. ඔහු සමහර චිත්‍රපට අවසන් කළේ නැහැ කියන එක. ඔහු රූගත කරගෙන යද්දී සමහර චිත්‍රපට කරලා ඉවර කරන්න බැහැ කියලා ඔහු තේරුම් අරන් තියෙනවා.

අන්න එවැනි අපූරු සිනමා රීතියක් ඔහුට තිබුණා. අපට නම් චිත්‍රපටයක් හදන්න පටන් ගත්තම ඒක කරන්න වෙනවා. නමුත් අබ්බාස් කියරොස්තාමි තමයි තිිර රචනයක් නැතිව සිනමාකරණයේ යෙදුණ අතලොස්සකගෙන් ප්‍රධාන සිනමාකරුවා. තමාගේ තියෙන ප්‍රාගුණ්‍ය නිසා ඔහුට ඒක කරන්න ආත්ම ශක්තියක් තියෙනවා. මොකද ඔහුට පුළුවන් වුණා කැමරාවක්, කුඩා කණ්ඩායමක් අරගෙන ගිහින් චිත්‍රපටයක් ලැබෙන තෙක් සිනමාකරණයේ යෙදෙන්න. චිත්‍රපටයක් ලැබෙන තෙක් ජීවිතය රූගත කිරීමේ හැකියාව ඔහුට තිබුණා. මේක හරියට අපි සිනමා පාසලකදී හෝ අපේ රටේ වාර්තා චිත්‍රපටයක් හදන්න ගියා වගේ වැඩක්. කියරොස්තාමිගේ චිත්‍රපටවල තිබෙන ඉතාමත් සුවිශේෂී දර්ශන තියෙනවා. ඒවා සැලසුම් කරල රූගත කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා ජීවිතයෙන්ම ලැබෙන අත්දැකීම්.

ඔහුගේ සිනමාවට විශාල තාක්ෂණික පිටුවහලක් ලැබෙනවා. විශේෂයෙන්ම කැමරාවෙන් සහ ශබ්ද පරිපාලනය තුළින්. ඔහු කොතරම් ශබ්දය පිළිබඳව සැලකීමක් දක්වනවාද කියලා ඔහුගේ චිත්‍රපට නරඹන කොට අපට තේරුම් ගන්න පුළුවන්. ශබ්දය කොතරම් සූක්ෂමව සිනමාවට යොදාගන්න පුළුවන් ද කියන එක මම ඉගෙන ගත්තෙත් අබ්බාස් කියරොස්තාමිගෙන්. ඔහුගේ සමහර චිත්‍රපටවල තිබෙනවා වචන වෙනුව ශබ්ද පාවිච්චි කරන අවස්ථා. මට මතකයි එක චිත්‍රපටයක පුද්ගලයෙක් වාහනය නතර කරලා වතුර ගේන්න යනවා. ඊට පස්සේ වතුර ඉල්ලන ශබ්දයක් ඇසෙනවා. ඒත් එක්කම වතුර වක් කරන ශබ්දයක් ඇහෙනවා. ඔහු නැවත ඇවිත් කාර් එකට නඟිනවා. ඒකෙන් අපට පැහැදිලි වෙනවා ඔහු ශබ්දය සිනමාවේදී භාවිතා කරපු ආකාරය.

taste of cherry

ජෝන් ලුක් ගොඩාඩ් කියන මහා සිනමාකරුවා වරෙක සඳහන් කරනවා සිනමාව ඩී. ඩබ්. ග්‍රිෆිත්ගෙන් ආරම්භ වෙලා කිියරොස්තාමිගෙන් අවසන් වුණා කියලා. ඔහුට අනුව මේ මහා සිනමාව කියරොස්තාමිගෙන් ඉවරයි. ඒකේ එක්තරා විදිහක සත්‍යයක් තියෙන්න පුළුවන්. මේ මොහොතේ අපි කල්පනා කරලා බැලුවොත් අපේ කලාපයේ සත්‍යජිත් රායි, අකිර කුරසෝවා, කියන නම් අතර බැලුවොත් එහෙම ඔවුන් අතර පවතින විශාල පුරුකක් කියලා අපිට කියරොස්තාමිව හඳුන ගන්න පුළුවන්. ඒ රටේ සිටින විශාල පිරිසක් ගරු කරන සිනමාකරුවෙක් අබ්බාස් කියරොස්තාමි කියන්නේ. ඒ වගේ සිනමාකරුවෙක් මේ මොහොතේ ආසියාවේ වෙන තැනක ඉන්නවා කියලා හිතන්න අමාරුයි. ඒ නිසා කියරොස්තාමිගේ මරණයත් එක්ක සිනමාවේ අවසානයක් සිද්ධ වෙනවාද කියන ගොඩාඩ්ගේ අදහස පිළිබඳව අපට නැවත වතාවක් කල්පනා කරන්න සිද්ධ වෙනවා. සිනමාව අද මහා සිනමා ශාලාවේ සිට ජංගම දුරකථන තිරය මතට පැමිණ තිබෙනවා. අද බොහෝ සිනමා උලෙළ පවත්වන්නේ අන්තර්ජාලය හරහා. ඒ වගේම සිනමා තාක්ෂණික උපකරණ දිනෙන් දින දියුණු වන යුගයකට අපි පැමිණ තිබෙනවා. මේ තත්ත්වය අප වටහා ගත යුතු වෙනවා.

අබ්බාස් කියරොස්තාමිගේ කෙටි සිනමාපටයක් තිබෙනවා ළමයකු හා බල්ලෙකු අතර සම්බන්ධයක් පිළිබඳව දිගහැරෙන. ඒක කළු සුදු සිනමාපටයක් වුවත් හරි අපූරු සිනමා කෘතියක් ලෙසට අපට රස විඳින්නට පුළුවන්. එම සිනමාපටයේ ළමයකු හිස් ටින් එකකට පයින් ගසාගෙන පාරේ විනෝදයෙන් යනවා. ඒ සමඟම පාර මැද බල්ලෙක් ඉන්නවා. දැන් බල්ලා ළමයාට පනිනවා. ඒ නිසා ළමයා අසළ සැඟ වී වැඩිහිටියකු එනතුරු ඉන්නවා. දැන් කල්පනා කරල බැලුවොත් අපිත් කුඩා කාලයේ මෙවැනි අත්දැකීම්වලට ඕනෑ තරම් මුහුණ දී තිබෙන්නට හැකියි. ළමයාට තම ගමන යන්නට ඔහු වැඩිහිටියෙක් එනතුරු බලා ඉන්නවා. විවිධ අය එය පසු කර යනවා. නමුත් ළමයාට උදව්වක් ගත නොහැකි වෙනවා. ඈතින් මහලු පුද්ගලයෙක් එනවා. දැන් ළමයා ඉතා සන්තෝෂ වෙනවා. බල්ලා තවමත් පාරේ ළමයා දෙස බලා සිටිනවා. ළමයා ඉතා ඕනෑකමින් බලා සිටියත් වයසක මිනිසා බල්ලා අසලින් ඇති වෙනත් පාරකින් හැරී යනවා. දැන් බල්ලා හා ළමයා එකිනෙකාට අභිමුඛ වෙනවා. දෙදෙනා දෙදෙනා දෙසම බලා සිටනවා. ළමයා සෙමින් බල්ලා පසු කර යනවා. දැන් බල්ලා ළමයා පසු පස එනවා. දැන් මේ බල්ලට අවශ්‍යව ඇත්තේ ළමයා හා කෙළි දෙලෙන් පසු වෙන්න කියලා අපිට අවසානයේ වැටහෙනවා.

මට හිතෙනවා මේ සිනමාපටයේ සියල්ල ගොනු වෙලා තියෙනවා කියලා. ඔහු තුළ සිටින සිනමාකරුවා තමයි මෙම ළමයා කියලා අපිට උපකල්පනය කරන්නට පුළුවන්. දැන් අපි තුළත් සිටින සිනමාකරුවා තමයි මේ ළමයා. අපි වැඩිහිටියෙක් එනතරු බලා හිඳිනවා. දැන් අපි බල්ලා සහ සිනමාව අතර සම්බන්ධය ගත්තොත් මේ වගෙයි. සිනමාව කෙරෙහිත් අර ළමයා මේ බල්ලා කෙරෙහි දැක් වූ බිය, ත්‍රාසය පවතිනවා. කියරොස්තාමි ඒ බිය ජය ගත්තා. අප තුළ සිටින සිනමාකරුවා තමයි මේ පුංචි ළමයා. අපි බලන් ඉන්නවා වැඩිහිටියෙක් පිටුපස යන්න. බිය නිසා. මගේ ජීවිතයේ වැඩිහිටියා, සිනමාව නැමැති නපුරු සුරතලාට බියෙන් සැඟවිලා සිටි විට පිටුපසින් යන්නට හමු වූ මිනිසා තමයි ඒ අපූරු සිනමාකරුවා. අබ්බාස් කියරොස්තාමි. නමුත් ඔහු හැරී වෙනතක ගියා. දැන් මා හට හිමිව ඇත්තේ නපුරු සුරතලා සමඟ දිගු ගමනක් යන්නයි.

මෙම ලිපියේ මුල් කොටස ගිය සතියේ පලවිය