වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ මුල්ම කවිය මං ගැනමයි

මගේ මුල්ම කවිය මං ගැනමයි

‘ඉතිරි වුණු පිටු අතර’ ජීවිතය සොයන කවි, නළුවා නිරෝෂන්...

කවි සිතක් මොන තරම් සුන්දරද... පිවිතුරු ද... සංවේදී ද...?

දේදුණු වර්ණයෙන් දෑස් මත නළියන කවියක් හදවතට උරා ගත්තට පස්සේ හැමදාමත් හිතට නැඟෙන්නේ ඒ වගේ අදහසක්.

කවියා ලෝකය දකින්නේ අනෙක් හැමෝටම වඩා වෙනස්ව, නැවුම්ව, විචක්ෂණශිලීව. පැදුරු කඩමාල්ලක් මල් යහනාවක් බවට පත් කර ගන්න පුළුවන් කවියකුට විතරමයි. භෞතික ලෝකය තුළ කවියා කොයි තරම් දුප්පත් වුණත් ඔහුගේ කවි සිත තුන් ලෝකයටම වඩා පොහොසත්.

ඒත් කවීත්වය කියන්නේ බොහොම විරල ගණයේ ප්‍රතිභාවක්. අනෙක් කලාකරුවන් තරමට කවියෝ බිහි නොවෙන්නේ ඒ නිසයි.
කවිය ගැන මේ විදිහේ සටහනක් තබන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ජනප්‍රිය රංගන ශිල්පී නිරෝෂන් විජේසිංහගේ කාව්‍ය නිර්මාණ එකතුවක් කියවන්න, කියවා රස විඳින්න ලැබීම. විවිධ මාතෘකාවන් ඔස්සේ වරින් වර ඔහු ලියූ අපූර්ව කවි සංකල්පනා හතළිස් එකක් මේ කවි පොතට ඇතුළත්.

ඒකෙ නම ‘ඉතිරි වුණු පිටු කිහිපයක්’. අද (21) සැන්දෑවේදී තමයි මේ කාව්‍ය සංග්‍රහය රසික, පාඨක දෝතට පිරිනැමෙන්නේ.
ඒ නිසා හැමදාම අපි කතාබහ කරපු නිරෝෂන් විජේසිංහ කියන නළුවා ගැන නෙවෙයි මේ කතාබහ. එනමින් යුත් කවියා සමඟයි...

මම හිතන්නේ නළුවෙක් කවියෙක් වීම එක්තරා විදිහක අරුමයක්?

එහෙම හිතෙනවා මටත්. ඒත් කවිකම කියන්නේ මට අහම්බයක් නෙවෙයි. කවිය අළු යට ‘ගිනි පුපුරක්’ වගේ හැමදාම මගේ ජීවිතයේ සැඟවී තිබුණා. ඒ ‘ගිනි පුපුර’ තමයි මේ ලස්සන ‘මල් වෙඩිල්ලක්’ වෙලා රසික දෝතට පිරිනැමෙන්නේ.

මේ රංගන ශිල්පියෙක් එළි දක්වන මුල්ම කාව්‍ය සංග්‍රහය?

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා හොඳ කවියකු බව මා අසා තිබෙනවා. එතුමාගේ කවි එකතුවක් පළ කෙරුණා මම හිතන්නේ එතුමාගේ අභාවයෙන් කලකට පස්සේ. ඒ වගේම ආචාර්ය ජයලත් මමෝරත්න ‘දොළොස් මහේ පහන’ නමින් කවි පොතක් ලියා පළ කළා 1971 දී. හැබැයි ඒක මහාචාර්ය සුනිල් ආරියරත්න හා බුද්ධදාස ගලප්පත්ති එක්ක එකතු වෙලා කළ නිර්මාණ සංග්‍රහයක්. මං හිතන්නේ තනිව කවි පොතක් එළි දැක් වූ ප්‍රථම රංගන ශිල්පියා මම වෙන්නැති. ඒක එහෙම නම් මට එය සතුටක්.

‘කවිකම’ ඔබේ හදවතට ළං වෙන්නේ නළුකමටත් පෙරාතුව?

ඇත්තටම ඔය දෙකම මගේ ජීවිතය හා අත්වැල් බැඳ ගත්තේ එකම කාලෙක. නළුවෙක් වෙන්න අප්‍රමාණව දුක් විඳින කාලෙම තමයි මට කවිය හම්බ වෙන්නේ. හැබැයි මම පුංචි කාලේ ඉඳලම කවිවලට ගොඩක් ආසයි. පත්තරයක් ගත්තත් ඉස්සර වෙලාම හොයන්නේ කවි පිටුව. කවියට තිබුණු ඒ ආසාව නිසා වෙන්නැති මගේ හිතේ තිබුණු ඒ පීඩනය කවියකින් මතු වුණේ. ඇත්තටම එදා මගේ අතින් මුල්ම කවිය ලියැවුණේ මම ගැනමයි.

ඒ මීට වසර විසි හයකට පෙර?

ඔව්. දැඩි ආර්ථික දුෂ්කරතා මැද, බොහොම කටුක ජීවිතයක් ගෙවන අතරතුර හති අරින්නට නැවතුණ මොහොතක තමයි මගේ ජීවිතයේ පළවෙනි කවි කලලය ගැබ්බර වී ප්‍රසූත වෙන්නේ. ඇත්තෙන්ම නළුවෙක් වෙන්න මා විඳපු වේදනාව තමයි ඒ කවියේ තියෙන්නේ. ‘මට මා නොවටින්නේ මන්ද’ කියන මාතෘකාව තමයි ඒකට යෙදුවේ. මගේ යාළුවො ඉගෙනගෙන ඉවර වෙලා බ්ධඡ කරන කොට මම තව තවත් වීදි නාට්‍යය කර කර පාරේ වැරහිලි ඇඳගෙන නටන කොට ගෙදරට වුණත් මගේ ලොකු වටිනාකමක් දැනුණේ නෑ කියලා මට තේරුණා. අසල්වැසියන්, අවට සමාජය වුණත් මා දිහා බැලුවේ නිකං වැඩකට නැති එකෙක් ගාණට. ඒ වේදනාව තමයි මම අකුරුවලට පෙරලුවේ.

කොහොම හරි එය පුවත්පතක පල වුණා?

ඒ කාලේ තරුණ, තරුණියන් අතරේ ‘සුවඳ’ පත්තරය ගොඩක් ජනප්‍රියයි. මගේ කවිය සුවඳේ පළ වුණා. ඇත්තෙන්ම එදා මම අතින් ලියවුණේ කවියක්ද, නිසදැසක් ද නැතිනම් රචනාවක් ද කියන්න අවබෝධයක් මට තිබුණේ නෑ. එවකට මගේ ආදරවන්තිය අද මාගේ බිරිඳ එය අලවා ඇල්බමයක දමා අදටත් ද එය ආරක්ෂා කර තැබීම මහත් සතුටක්.

හැබැයි අයාලේ ගිය ඔබේ ජීවිතයට ඒ වෙද්දී රංගනය හරහා යම් වටිනාකමක් එකතු වෙනවා?

ඇත්තටම දැඩි කැපවීමත් එක්ක පසුව රංගන ක්ෂේත්‍රයේ යම් ස්ථාවරයක් හදා ගන්න මට පුළුවන් වුණා. ඒත් කාර්ය බහුලත්වයත් එක්ක කවි ලියන එක ටිකක් මඟ හැරුණා.

කවිය අතරමඟ දාලා නළුවෙක් විදිහට ඉදිරියට යන්න තීරණය කළේ කවිකමට වඩා නළුකමට ඇළුම් කළ නිසාද?

නෑ... නෑ... එහෙම දෙයක් නෙවේ. ඒ කාලේ වුණත් මම ඔය මහින්ද ප්‍රසාද් මස්ඉඹුලත් එක්ක වැඩමුළුවලට, සම්මන්ත්‍රණවලට යනවා. පොත් එළි දැක්වීම්වලට යනවා. ඒ දේවල් මම කළා, ඒ රංගන කටයුතු අතරතුරම. එකම දේ නළුවෙක් වෙන්න මගේ තිබුණු අරමුණ ඉෂ්ට වේගෙන එනකොට මට ඒ වෙනුවෙන් කරන්න තිබ්බ දේවල් ටිකක් වැඩි වුණා. ලොකු කැප කිරීමක් කරන්න වුණා. මම ටෙලි නාට්‍යයකට ගිහින් ගෙදර එනකොට තව වාහනයක් ගෙදර තිබුණා ඒ දවස්වල මාව එක්කගෙන යන්න. ඒ කාර්ය බහුලත්වයත් එක්ක කවිය ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ ඉතිං. ඒ කියන්නේ කවි ලියන එක ගැන. ඒත් කවිය එක්ක මගේ ඇසුර දිගටම තිබුණා.

කවිය කෙරෙහි මෙතරම් ආසක්තවීමට ඔබට බලපෑ කරුණු මොනවාද?

මටත් ඒක හරි ප්‍රශ්නයක්. ඇයි මම කවියට මේ තරම් කැමැත්තක්, ආසාවක් දක්වන්නේ කියලා. මට තේරෙන කාලේ ඉඳන්ම මම හේතුවක් හොයනවා ඇයි එහෙම වුණේ කියලා. එහෙම අයිඩියා එකක් නෑ. හැබැයි මම යුගයෙන් යුගයට වෙනස් වන කවි කියවන්න, රස විඳින්න පටන් ගත්තා. පුංචිම කාලේ පාසල් පෙළ පොතේ තිබුණ කවි තවම මට මතකයි. අපේ සිංහල සාහිත්‍ය පොතේ තිබුණු ‘කුරුළු ලොවින් කලා ලොවට’ එතකොට ‘සුදෝ සුදු’, ‘අයියනායක’ වගේ කවි තවම මට කටපාඩම්. ඉතින් කවියට එදා ඉඳන් මගේ ලොකු ආදරයක් තිබුණ නිසා තමයි මේ තරම් දුරක් ආවේ. පසුකලීනව මහගමසේකරයන්ගේ ‘නොමියෙමි’, ‘සක්වාලිහිණි’, ‘ප්‍රබුද්ධ’ වැනි කාව්‍යය සංග්‍රහ වගේම කවිය පිළිබඳ ලියැවුණු නොයෙකුත් විචාර, පත පොත කියවන්න ලැබුණා.

‘බස් බෝම්බය සහ දාරක ස්නේහය’ කියන කවියත් සමඟ යළි ඔබ කවිය කෙරෙහි සංවේදී වෙනවා. ඒ එක්තරා අනුවේදනීය වූත්, බිහිසුනු වූත් සිදුවීමක් සමඟ?

ඇත්තටම අතරමඟ දමා ගිය කවිය මට නැවත අහුලාගන්න ලැබෙන්නේ එල්. ටී. ටී. ඊ.ය කොළඹ බස් බෝම්බයක් පිපිර වූ අවස්ථාවක. එම සිද්ධියෙන් මගේ සිත මහත් කම්පනයකට පත් වුණා. ඒ අත්දැකීම් අනුසාරයෙන් තමයි මම ඒ කවිය ලිව්වේ. ප්‍රියන්ත කොඩිප්පිලි සොහොයුරා විසින් ඉරුදින පුවත්පතේ මේ කවිය පළ කර ඒ ගැන ලියූ පුංචි විචාරය නැවතත් මට කවි ලියන්න සවියක් වුණා.

මම හිතන්නේ ඔබේ කවි මඟට වඩාත් බලපෑම් එල්ල කළේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කියන අපේ කාලයේ විශිෂ්ට කවියා සහ නවකතාකරුවා?

අද සම්මානනීය කලාකරුවෙක් වුණාට ඔහු එදා මා හඳුනා ගන්න අවධියේ කිසිම පොතක් එළිදක්වා තිබුණේ නෑ. ඔහු මගේ ළඟම මිතුරකු වූ පසු නිදා සිටි කවි සිත අවධි කරන්නට ඔහුගේ හඬට පුළුවන් වුණා. ‘කවි ලියපන් . . . ලියපන්’ කියා ඔහු මාව දිරිමත් කළා. කවියට මා ළදරුවකු වුණත් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ඇසුර කවියේ දිග පළල හය හතර ඉගෙන ගන්නට මට පාසලක් වුණා.

මේ වෙනකොට ඔබ ‘මුහුණු පොතේ’ පවා ජනප්‍රිය කවියෙක්?

මුහුණු පොතේ ආගමනයත් එක්ක මමත් ඊට මුහුණ දාගත්තා. මේ කාලයේ තමයි මා තුළ සිටි කවිියා නැවත ඉස්මතු වෙන්න පටන් ගත්තේ. මිනිස් ජීවිතයේ සොභාවයන් සහ ක්‍රියාකාරකම් කාලයක් තිස්සේ මගේ හිතේ නොයෙක් කවි බීජ වපුරමින් තිබුණා. ඒ සිතුවිලි වාං දමා කවි හැටියට මුහුණු පොතට එක් වුණා. ඒ නිසාම ඉතාම කෙටි කලකදී පොතක් කරන්නට තරම් කවි ලියවීම පිළිබඳ මා සතුටට පත් වෙනවා. සෑම සෙනසුරාදාවකම මුහුණු පොතට අලුතින් කවියක් දැමීම අද මගේ විනෝදාංශයක්. කොයි තරම් කාර්යබහුල වුණත් පුංචි ඉඩකඩක් හදාගෙන අදත් මම මේ කටයුත්තේ නිරත වෙනවා.

‘ඉතිරිවුණු පිටු කිහිපයක්’ කියවාගෙන යද්දී මට හිතුණා නිරෝෂන් වැඩි ආසාවක් දක්වන්නේ නිසදැස් කාව්‍යට කියලා?

කවිය කියන එක වර්ගීකරණය කරනවාට මම නම් වැඩිය කැමැති නෑ. ඇත්තටම කවිය කිව්වොත් කවිය. ඒකේ විවිධ ආකෘති තියෙන්න පුළුවන්. පැල් කවි තාලය, ජන කවි තාලය, එතකොට පැරණි කවි සම්ප්‍රදාය, නිසදැස් කවි ආර ඔය වගේ. මේ වෙනකොට කවියේ ආකෘතිය තවත් වෙනස්. තව ඉදිරියේදී තවත් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කවියේ ආකෘතිය නෙවේ වැදගත් වෙන්නේ කවිය තුළින් කියන දේයි. ඒකේ අන්තර්ගතයයි වඩා වැදගත්. කවිය කියන්නේ භාෂාවෙන් කරන වැඩක්නේ. එතනදි භාෂාව, රිද්මය කෙසේ හැසිර වුවත් එයින් ධ්වනිත වන අර්ථය තමයි වඩා වැදගත් වන්නේ.

කවියට ප්‍රභේද අවශ්‍ය නැහැ කියලයි ඔබ කියන්නේ?

එක එක්කෙනා එක එක දේවල් හදාගෙන තියෙනවා. නූතන කවිය නිසා මුලින් තිබුණු සඳැස් කවිය විනාශ වුණා කියන එකත් එක කතාවක්නේ. දැන් ආරියවංශ රණවීර වගේ කවියෙක් වචන දෙක තුනකින් තමන්ගේ කාව්‍යය සංකල්පනාව ඉදිරිපත් කරන අවස්ථා අප දැක තියෙනවා. හැබැයි ඒකේ අර්ථය අර පද හතරක සම්ප්‍රදායික කවියකට වඩා හොඳින් ධ්වනිත වෙනවා. ඒ නිසා කවිය එහෙම වර්ගීකරණය කරන්න බෑ. හැබැයි අපි හැම විටම කවියකින් අපූර්වත්වය මවන්න ඕනෑ. සිව්පද රටාවට හෝ වෙන යම් රටාවකට පමණක් කවි ලියනවා කියන මතයේ අපි ඉන්න ඕනෑ නෑ. මම හිතන්නේ කවිය වෙනස් වෙන්න ඕනෑ. මම කියන්නේ ලෝකයේ හැම දේම වෙනස් වෙනකොට කවිය විතරක් වෙනස් නොවී තියෙන්න ඕනෑ නෑ කියන එකයි.

නමුත් කවිය වින්දනය කළ හැකි සහෘද පිරිස් අපේ සමාජයේ හරි අඩුයි නේද?

ඒක හරිම කණගාටුවට කරුණක්. මම හිතන්නේ අපේ පෙළ පොත්වල පවා ගුත්තිල කාව්‍යයේ නැතිනම් ලෝවැඩ සඟරාවේ, සුභාෂිතයේ කවි තමයි හැමදාම වගේ තිබුණේ. එතකොට මේ අලුත් කවීන්ට ඉඩක් නැති වුණා. ඒ නිසා ඒ කවි ජනතාවගෙන් දුරස් වුණා. මොකද පාසල් සමයේදී තමයි අපි මුලින්ම කවියට, සාහිත්‍යයට ඇළුම් කරන්නේ. කොළඹ යුගයේ කවීන් පවා අපට තවම මතක ඔවුන්ගේ කවි අපේ පාසල් පෙළ පොතට ඇතුල් වී තිබුණ නිසයි. තාමත් අර පරණ කවි එක්ක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. කවිය මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න ප්‍රධාන හේතුව ඒකයි. හැබැයි මේ සැරේ වාසනාවකට වගේ රුවන් බන්දුජීවගේ ‘පැණි කොමඩු’ කියන කවි නිර්මාණයත්, මහින්ද ප්‍රසාද් ගේ ‘සෙංකොට්ටං’ නවකථාවේ කොටසකුත් සිංහල සාහිත්‍යයට එකතු කරගෙන තියෙනවා.

හැබෑද මේ නිරෝෂන් කවි ලියනවාට අකැමැති අයත් ඉන්නවා කියන්නේ?

මගේ බිරිය චමිලා, දුව වර්ෂා, පුතු සසන් තමයි මම කවි ලියනවාට අකැමැතිම තුන් දෙනා. ඒකට හේතුව මම ගෙදර ඉන්න පුංචි වෙලාවෙත් පොතක් අරගෙන පැත්තකට වෙලා කවි ලියන නිසා. හැබැයි අපේ ගෙදර හුරතලේට ඇති කළ පුංචි බලු පැටියාගේ හදිසි මරණයත් එක්ක මම ලියපු ‘බලු පැටියාගේ භූමදානය’ කියන කවිය කියෙව්වාට පස්සේ දුවටත්, පුතාටත් කවිය ගැන යම් දෙයක් වැටහෙන්න ඇති. ඒත් කවි ලියන අතර බිරියගේ ‘වස් කවි’ කීම නම් අදටත් එහෙමයි. මේ සියලු දේ තුළම තියෙන්නේ අප්‍රමාණ ආදරයම තමයි. ඒ නිසා ඒකත් මට සුන්දර කවියක්.

හොඳ රඟපෑමක් කළාට පස්සේ දැනෙන මානසික තෘප්තිය ද එහෙම නැතිනම් හොඳ කවියක් ලිව්වට පස්සේ දැනෙන ආත්ම තෘප්තිය ද ඔබ හදවත වඩාත් සසල කරන්නේ?

ඒක මරු ප්‍රශ්නයක්. හරි අමාරු ප්‍රශ්නයක් ඔය ඇහුවේ. ඒත් ටිකක් කල්පනා කරලා බලන කොට ඔය දෙකම එකයි මට නම්. මාස ගාණක් වෙහෙස මහන්සි වෙලා කරන රංගනයකින් දැනෙන තෘප්තියත් හොඳ කවියක් මා අතින් ලියවුණාට පස්සේ දැනෙන තෘප්තියත් හරි සමානයි. ඒක මට වෙන් කරන්න බෑ. ඒ දෙකම මට එකයි. ඇත්තටම කවිය පුංචි වෙන්න පුළුවන්. ඒක දුප්පත් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් මා ලබන වින්දනය හරිම ප්‍රබලයි.

ඇයි ඔබ මේ කවි එකතුව ‘ඉතිරි වුණු පිටු කිහිපයක්’ කියා නම් කළේ?

ජීවිතය කියන්නේ කියවලා ඉවර නැති පොතක් වගේ. එක දවසක් එක පිටුවක් විදිහට හිතුවොත්, අපි හැමෝගෙම ජීවිතවල ඉතිරි වුණු පිටු කීපයක් තියෙනවා. සමහර ජීවිත පොත්වල වැඩි පිටු ප්‍රමාණයකුත්, සමහර ජීවිත පොත්වල අඩු පිටු ප්‍රමාණයකුත් ඉතිරි වී තියෙනවා. මගේ ජීවිත පොතේ ඉතිරව ඇති පිටු අතරට බොහෝ දේ ලියන්න ඇතත් පුංචි හෝ ඉඩක් වෙන් කරගෙන කවියක් ලියන්න ලැබීම වාසනාවක්.

කවි කෙතට මඟ පෙන්නූ සහෘදයාගෙන්
හීන තරු බොහෝ හදවත් හංගාය
මූණ පෙන්නුවෙත් රශ්මිය රංදාය
නූණ එලෙස නුඹ! පොළොවට රිංගාය
පෑන මුණ ගැහෙන්නේ ඒ හිංදාය

තිර මත නොතිර බව නිතරම පවසාන
කරදරයකදි කර වට හදවත දාන
තරහක් ළඟ පවා සිනහව අඩු නූණ
දුර රූපෙදිත් ළඟ වගෙමයි නුඹෙ මූණ


- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

ඉතිරිවුණු පිටු කිහිපයක් අද ඔබේ දෝතට

නිරෝෂන් විජේසිංහගේ පළමු කාව්‍ය සංග්‍රහය වන ‘ඉතිරිවුණු පිටු කිහිපයක්’ කෘතිය ජනගත කිරීම අද සවස 2.30 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදු කෙරේ. මෙදින නූතන සිංහල කවිය ඇසුරේ නිරෝෂන්ගේ කාව්‍ය නිර්මාණ පිළිබඳ මුඛ්‍ය දෙසුම් ප්‍රවීණ ගේය පද රචක ලූෂන් බුලත්සිංහල සහ ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහ විසින් සිදු කරන අතර, සභාව මෙහෙයවීම චාලක රණසූරිය විසින් සිදු කරනු ලැබේ. මෙම සොඳුරු නිමේෂයට එක් වන ලෙස කවියට ලැදි ඔබ සැමට සංවිධායක මණ්ඩලය විසින් ආරාධනා කර සිටියි.

ඉතිරි වුණු පිටු කිහිපයක - කවි කිහිපයක්

සිත

සීතල අතිනත ගත් දා මට දැනුණා
උණුසුම කොතරම් සැප ද කියා

උණුසුම අතිනත ගත් දා මට දැනුණා
සීතල කොතරම් සැප ද කියා

අඳුරට පෙම් කළ පසු මට දැනුණා
ආලෝකය සැප තමයි කියා

ආලෝකය අතිනත ගත් දා මට දැනුණා
අඳුර මොන තරම් සැප ද කියා


ශිෂ්‍යත්වය

ආදරයේ මහ ගෙදරින් උදුරා ගත් පුංචි දවස
නර්සරියේ අකුරු අතර සිරගත කළ ළමා මනස
සිඟිති සිනා කිරි හුරතල් කපා දමා මුලින් සිරස
හොරු අරගෙන ළමා ලොවම දෙවියනි දැන් හෙළනු දිවැස

කෝම්පිට්ටු සෙල්ලම් ගේ සරුංගලේ නටඹුන් කර
ඇළේ දොළේ බඩවැටියේ දණ්ඩි පැටවු කම්මැලි කර
පුංචි පැටවු දැන් තරගෙට ශිෂ්‍යත්වෙට පෝලිම් කර
රේස් එකකි වටේට ඉඳ දෙමාපියන් කෑ මොර දෙන

කොන්ද නැමෙන්නට පටවා අම්ම අතින් වැටුණු හීන
හති දම දම අනේ පැටවු මහ ගිරිදඹ කන්ද නගින
හදවත් විල පිපෙන මලේ රේණු තළා සුවඳ නසන
පොහොර දමා මල් පූදල කුමට ද හිස මුදුණෙ දිලෙන?


ඉතිරි වුණු පිටු කිහිපයක්

ජීවිත පොතේ අවසන් පිටු තුන හතර
ඔත්පල දෑස් කියවාගෙන යන අතර
පිං පඩි හලේ පඩි ගණිනා අතරතුර
පඩි පෙළ පාමුලේ ඔබ ඇර මතක දොර

කෙහෙරැලි කොහෙ ද නළලේ සිට දඟ කරන
ඇති කෙස් ටිකත් සුදු පාටක් තවරගෙන
සුන්දර සිනාවක හැම තැන ඉරි තැළුණ
ජීවිත පොතේ මැද පිටු හිත පාරවන

අපි තනි කරන්නට යුද වැදී සතුරු පෙළ
ඒ අවි සමග මහ පොළෙවට අයිති කළ
කාලය යුද වැදී අප සිත් අඳුුරු කළ
සුන්දර දුක පිපී පරවුණු මලයි ඔබ

අප තැනූ මාලිගා අහසේ තාම ප්‍රියේ
වෙව්ලන දෑත්වල දහසක් රහස් තියේ
සිතුවිලි පර වුණත් සෙනෙහස තාම ලයේ
යව්වන සුවඳ සුලි සුළඟට ගසා ගියේ

දිලිසෙන මාලේ එදවස මා කර පැලඳූූ
තාමත් කර වටේ ඉවසන් සුසුම් කඳූ
ඔබ මට දුන්න ඔරලෝසුව දුක රැන්දූ
මගේ අත බදාගෙන ඒ දුක් ගොඩ ම රුදූ

මසකට වරක් පිං පඩිදා මුණගැහෙන
හැම පෝයටම මට එක්කම මල් ගෙනෙන
ඔබ මම තවම මේ සසරේ බර අදින
පෙම් යුවළක්ය තනි තනිවම දිවි ගෙවන

පිං පඩි ගන්න පෝයට සිල් අර ගන්න
ඔබ දැක ගන්න මතකයෙ දොර ඇරගන්න
මේ දුක සතුට ගෙන ආයෙත් ඔබ එන්න
තව පිටු කීපයයි කියවා නිම වෙන්න