වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය කවරය මගේ සිතුවමින්

සරසවිය කවරය මගේ සිතුවමින්

1975 වසරේ විමලසිරි පෙරේරා මහතාගේ ප්‍රධාන සංස්කාරකත්වයෙන් සිළුමිණ, සරසවිය හා නවයුගය පුවත්පත් තුන පළ කෙරුණු අතර ඔහුට ශක්තියක් වූ කර්තෘ මණ්ඩලයක් ද ඔහු සතු විය. පර්සි ජයමාන්න, පී. බී. ඉලංගසිංහ, නිමල් හොරණ, විමලනාත් දිසානායක, කරුණාරත්න සපුතන්ත්‍රී, ලක්ෂ්මන් ජයවර්ධන, ශාන්ත සේනාධීර, එස්. ආර්. හේමපාල සිළුමිණ කර්තෘ මණ්ඩලයට ඇතුළත් වූ අතර නිමල් පෙරේරා, අභයවර්ධනත්, රවීන්ද්‍ර විජේවර්ධන, සෝමවීර සේනානායක හා මාත් සරසවිය කර්තෘ මණ්ඩලයට ද නවයුගය කර්තෘ මණ්ඩලයට සෝමවීරත්, මාත් ඇතුළත් වූහ. ටික කලකින් ගාමිණී සුමනසේකර තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙන පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා සිළුමිණට එක් වූ අතර පේරාදෙණීයේ ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබූ සුගත් වටගෙදර සරසවියට එක් වූයේය.

මගේ මේසය දෙපැත්තේ සිටියේ අලුතින් පැමිණි ගාමිණී සුමනසේකරත්. විමලනාත් දිසානායකත්ය. එවකට නවයුගය පත්‍රයේ නිර්මාණාත්මක බවින් උසස් කෙටිකතා 'නව මඟක යන කතාවක්' මැයෙන් පළ විය. ප්‍රවීණයන් මෙන්ම ආධුනිකයන් ලියූ කෙටි කතා මේ අතර විශේෂයෙන් කැපී පෙනුණි. මේ කෙටි කතා සඳහා චිත්‍ර ඇන්දේ මාය. සෝමවීර හා නිමල් පෙරේරා අභයවර්ධන මට ඒ අවස්ථාව දුන්හ. කෙටි කතා තරගයක් ද ඇති කළ අතර ඇරැව්වල නන්දිමිත්‍ර විසින් ලියන ලද 'හේවිසිකාරයෝ' කෙටි කතාව ප්‍රථම ස්ථානය ගත් අයුරු මට හොඳට මතකය.

'සරසවිය' පුවත්පතේ මුල් පිටුව සැරසුණේ ජනප්‍රිය නළු නිළියන්ගේ ඡයාරූපවලිනි. එක්තරා පොසොන් පොහෝ දිනයක (සරසවිය පිටවීමට තිබුණේ හරියටම එදිනය) මුල් කවරයට මගේ පොසොන් චිත්‍රයක් මුල් පිටුවට දැම්මේ අභියෝගාත්මක හා හිතුවක්කාර තීන්දුවක් සරසවියේ කලා සංස්කාරක නිමල් පෙරේරා අබේවර්ධන ගත්තේ සෝමවීර සමඟ කළ කතිකාවකින් පසුය. 'සරසවිය' එක් ලක්ෂ පසළොස් දාහක් අලෙවි වූ ඒ කාලයේ මගේ චිත්‍රයක් මුල් පිටුවේ පළවීමට මිස්ටර් නිමල්ට හා සෝමවීරට මගේ කෘතඥතාව හිමි විය යුතුය.

විවේක ඇති අවස්ථාවක චිත්‍රපට ලෝකයේ රස තොරතුරු කතා කිරීමට මා ගියේ විමලනාත් දිසානායක ළඟටය. ඒ වන විට ඔහු 'පටාචාරා' (1964) හා 'මාතෘ භූමි' (1968) චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබුණී.

'රංජිත් දන්නවද 'කුරුලු බැද්ද' මුලින් අධ්‍යක්ෂණය කරන්න හිටියේ මම'

එතැන් සිට ඔහු ආනන්ද ජයරත්න, සන්ධ්‍යා කුමාරි, කලතා ගුණසේකර, ලයනල් අල්ගම, අරුණ ශාන්ති ගැන අපූරු රස කතා මට කීවේය.

පසු කලෙක විමලනාත් 'දුටුගැමුණු' චරිතය මුල් කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම්' කළේය. ප්‍රධන චරිතයට තෝරා ගෙන සිටිය් රවීන්ද්‍ර රන්දෙණියයි. අපි විමලනාත්ගේ ගම්පහ ගෙදරට දවස් කිහිපයක්ම ගියෙමු. විමලනාත්ගේ නිවස තිබුණේ ගම්පහ තානායම පිහිටි අල්ලපු වැටේය. එක් දිනක් මේ හමුවට ගණේගම සරණංකර හිමියන් ලියු 'දුටුගැමුණු' නම් පුංචි පොත් පිංච ද මම ගෙන ගියෙමි.

රවීන්ද්‍ර හා මා යන සෑම දිනකම විමලනාත් ගෙදර වැටෙන් පැන තානායමෙන් සිසිල් බීර බෝතල් කිහිපයක් රැගෙන ආවේය. අප කරන කතාව උස් සිනා හඬ අස්සේ විමලාත්ගේ පුතු ගංගානාත් දිසානායක (මහාචාර්ය ගංගානාත් අද ජපානයේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයාය) පොතට නැඹුරු දෙනෙතින් චිත්ත ඒකග්‍රතාවයෙන් තම අධ්‍යාපනයෙහි යෙදුණු අයුරු මට අදත් සිහි වෙයි.

එකල අනුරාධපුරයේ 'නිර්මාණ සේනා' නමින් තරුණ කලාකරුවන්ගේ සංවිධානයක් තිබුණී. එම සංවිධානය මඟින් කලා වැඩමුළුවක් රෝහණ දන්දෙනිියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ අතර, සාහිත්‍ය ගැන කතා කිරීමට සෝමවීරටත්, නාට්‍යය ගැන කතා කිරීමට සුගත්ටත්, සිනමාව ගැන කතා කිරීමට මටත් ආරාධනා ලැබුණි. මේ වැඩමුළුවේ උද්‍යෝගිමත් සාමාජිකයන් වූ සුසිල් ගුණරත්න, ගුණරත්න රංහොටි, විමලරත්න අදිකාරි, ආර්. එම්. යසරත්න පසු කලෙක කලා ක්ෂේත්‍රයට එක් වූහ.

වැඩමුළුවෙන් පසු රජරට සිරි නැරඹූ අපි ආගන්තුක සත්කාර ලැබුවේ විමලරත්න අදිකාරිගේ නිවසේය. රජරට යථාර්ථය දැන ගැනීමේ අදිටනින් අපි ට්‍රැක්ටර්ල නැඟී එහි සිරිය නැරඹුවෙමු. විමල්ගේ නිවස ඉදිරිපිට ඇති ඇලෙන් නාගෙන අපි රාජාංගණයේ හේනක පිහිටි' ගල් තලාවක රාත්‍රිය ගත කළේ මදුරුවන් තලමිනි.

'නිර්මාණ සේනා' සංවිධානයේ එදා අපට ආගන්තුක සත්කාර කළ රංගන ශිල්පී ගුණරත්න රංහොටිත් පසු කලෙක 'සරසවිය' පුවත්පතේ ප්‍රධාන කර්තෘ වූ සුසිල් ගුණරත්න හා සම්මානනීය නාට්‍ය නිෂ්පාදනය කළ රෝහණ දන්දෙනිය අප සමඟ ගමන එක් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වූ පසුව ප්‍රකට නළුවකු වූ සේනක පෙරේරා යන මේ සියල්ල අද ජීවතුන් අතර නැතිවීම ගැන දැනෙන්නේ අපරිමිත ශෝකයකි. වේදනාවකි. විමලරත්න අදිකාරි අද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් ප්‍රධානියාය.

එදා රාජාංගණයේ හේනක ගලක් උඩදී මැනවින් හඳුනාගත් හිත හොඳ කැලණි සරසවි තරුණයා සේනක පෙරේරා (පසුව යමුනා මාලනීගේ සැමියා) ගැන තවත් සිදුවීමක් මගේ මතකයට එයි. සුගත් වටගෙදරගේ පියාගේ අවමඟුලට සහභාගි වූයේ සෝමවීරත්. සේනකත් මාත්ය. මාතර වටගෙදර අවමඟුලට සහභාගි වූ අපි සවස කොළඹ බලා ඒමට පිටත් වීමු. මෝටර් රථය පැද වූයේ සෝමවීරය.

'අපි කොළඹ යනකං 'සිංහබාහු' නාට්‍යයේ මුල ඉඳලම පෙළ කියමු' සේනක යෝජනා කළේය.

'සේනකට පෙළ මුල ඉඳල කට පාඩම්ද?'

'බොහෝ දුරට . . .'

ඔහුගේ ගැඹුරු කටහඬින් නාට්‍ය පෙළ පටන් ගත්තේය. සත්තකින්ම ඔහුග් කටහඬ ප්‍රබලය. කන්කලුය. දුර ගමනක් යන අපට එය ඇසීම විඩා නිවන දිව ඔසුවක් විය.

එදා හැඩි දැඩි මහත දෙනෙතෙ දේහධාරී සේනක මානව දයාවෙන් යුතු කලාකාමී, විනෝදයට ප්‍රිය කළ අහිංසක චරිතයක් බව මට අවබෝධ විය. ඔහුගේ මහත දෙනෙත ශරීරය තුළ සැඟ වී ඇත්තේ පුංචි දරුවකුය.

මචං සිංහයාගේ සම්ප්‍රාප්ති ගීතය මොකක්ද? මගේ දිව මුල තියෙනවා' සේනක මගෙන් ඇසීය.

සිංහබාහු නාට්‍යයේ සෑම ගීතයක්ම මා නොදනිතත් ඇතැම් ගීත මතකය.

'දස දෙස ඉන්ද්‍රා . . .' මම කීවෙමි.

'හරියට හරි මචං . . .' සේනක එතැන් සිට වාහනයේම අත පය විදහා පාමින් ඒ ගීතය ඔහු ගැයීය. වසර 5 කින් මට වඩා බාල ඔහු 'මචං' යයි ඇමතුවේ හෘදයාංගම බැඳීමකිනි.

ඔහු එදා සිංහබාහු ගී ගැයූ අයුරු සිංහබාහු පෝස්ටරයක් බිත්තියක අලවා ඇති හැම අවස්ථාවකම සිහිපත් වෙයි.

අප අපේ ජීවිතවලට සමීප සම්බන්ධතා ඇති උසස් මානව දයාවෙන් යුතු චරිත හිටි හැටියේ මිය යන විට දුකක්, දොම්නසක් ඇති වේ. එදා අනුරාධපුරයේ හොඳින් හඳුනා ගත් සුසිල් ගුණරත්න ද එබඳු චරිතයකි. සුසිල් පත්තරවලට ලිවීමට තදබල ආසාවකින් සිටියේය. ඔහු කොළඹට පැමිණි විට සරසවිය පත්‍රයට ගොඩ වූයේය. නාට්‍ය කිහිපයක එවකට රඟපෑ සුසිල් නුගේගොඩ, පාගොඩ පාරේ ජෝ අබේවික්‍රම රංගධරයාගේ නිවස ඉදිරිපිට ඇති හතරවැනි පටුමඟේ චමරික නවාතැන්ගෙන සිටියේ තම අනුරාධපුරයේ මිතුරන් වූ රෝහණ දන්දෙනිය, විලරත්න අදිකාරි, ගුණරත්න රංහොටි සමඟය. සුසිල්ගේ ඒ කාමරය තරම් පිරිසිදු, ක්‍රමානුකූල කාමරයක් මා ජීවිතයට දැක නැත. පොත්පත් මහත උස අනුව ක්‍රමානුකුලව අසුරා තිබුණි. කාමරයේ මකුළු දැල් බෙහෙතකටවත් සොයා ගත නොහැකිය. කාමරයේ බිම වැලි පොදක්. දූවිලි බිඳක් නැත. අඩු තරමින් සුසිල් මේ කාමරය දවසකට දස වතාවක්වත් අතුගා ගනු නොඅනුමානය. ඔහුගේ ඇඳ, ලියන මේසය, තේ වක් කරන භාජනය පිරිසිදුව පිඟන් රාක්කයේ සෙසු භාණ්ඩ සමඟ විරාජමාන වෙයි.

'මූට අපි ලඹයා කියලා නම තියමු'. සෝමවීර යොජනා කළේ ඔහු ලඹ කැටය බඳු නිරවුල් නිවැරැදි උපකරණයකට සමාන කළ හැකි චරිතයක් බැවිනි.

ලඹයාගේ සෑම වැඩක්ම ක්‍රමානුකූලය. 'සරසවිය' පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයන් තම අඹු දරුවන් සමඟ වාර්ෂිකව එකල ගිය විනෝද චාරිකාවල නියමුවා ඔහුය. අනුරාධපුර හෝ පොළොන්නරුවට යන එවැනි ගමන්වල ඒ දිනවලද නවතින තැන්. කෑම බීම පිළියෙල කිරීම හා කාල සටහනකට අපිව මෙහෙය වන්නේ ඔහුය. තම බිරිඳ භද්‍රා හා කුඩා දියණීය උත්තරා සමඟ අපේ කර්තෘ මණ්ඩලිකයන්ගේ දෙන්න දෙමල්ලන්ට පහසුකම් සලසා අන්තිමට නිදා ගන්නේ සුසිල්ය. දීප්ති ෆොන්සේකා (හිටපු සරසවිය කර්තෘවරිය) අරුණ, (වත්මන් සරසවිය කර්තෘ), විමල් තිලකරත්න, උපාලි ෆොන්සේකා, ආරියරත්න පෙරේරා, අභවප්‍රාප්ත සුසිල් ජිනප්‍රිය අතුළු පිරිස සමඟ ගිය එවැනි විනෝද ගමන් මට නිතර සිහි වෙයි. කලෙක මගේ කර්තෘ මණ්ඩලයේ සිටි සුසිල් 'සරසවිය' පුවත්පතේ ප්‍රධාන කතුවරයා වී අකල් මරණයකට පත් වීම කෙසේ නම් විශ්වාස කරන්නද?