වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




ජනප්‍රිය නැගී එන සම්මානය මුලින්ම දිනුව නිළිය මමයි

ජනප්‍රිය නැගී එන සම්මානය මුලින්ම දිනුව නිළිය මමයි

සබීතා පෙරේරා

1964 වසරේ අභිමානවත් සිනමා සම්මාන උලෙළක අසිරිය මෙරට ජනතාවට ගෙන දෙමින් පළමු වැනි සරසවිය සම්මාන උලෙළ අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. සරසවිය තවත් අභිමානවත් සිනමා සම්මාන උලෙළකට සූදානම්වන මේ අවස්ථාවේදී එදා සිට අද දක්වා තම පළමු නිර්මාණ කාර්යය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ඇගයුම් ලද්දෝ සොයා යන ගමනයි.

සාර්ථක ගමනක නියැළී සිනමා ක්ෂේත්‍රයේ තම අනන්‍යතාවය මනා ලෙස ගොඩනඟා ගැනීමේ අවස්ථාව සියල්ලන්ටම නොලැබෙන්නකි. නමුත් ඇයගේ ගමන අති සාර්ථක එකක් විය. සිංහල සිනමාවේ යුගයක් බිහි කිරීමේ වරම් ලද ඇය සරසවිය සම්මාන උලෙළේ ප්‍රථම ජනප්‍රිය නැඟී එන නිළිය සම්මානයද හිමිකර ගැනීමට සමත් වූවාය. සරසවිය ජනප්‍රියම නිළිය මෙන්ම හොඳම නිළිය සම්මානයන්ද ඇය දිනා ගත්තේ සිය රංගන හැකියාවේ මහිමයෙනි.

සබීතා පෙරේරා

සිය සිනමා ජීවිතයේ ආරම්භයේ පටන්ම වර්තමානය දක්වාම විශිෂ්ට චරිත නිරූපණයක නිරත වන්නට වාසනාවන්ත වූවාය. මෙරට පමණක් නොව පාකිස්ථානු සිනමාව තුළද සබීතා සිය අනන්‍යතාවය තහවුරු කරගත්තේ තම රංගන ප්‍රතිභාව විදහා දක්වමිනි. අද සරසවිය Road to Prestige වෙන් වන්නේ ඇයගේ ඒ සොඳුරු සිනමා මතකයන් වෙනුවෙනි.

අපේ ගෙදර අපි පුංචි කාලයේ පටන්ම සිනමාවට ලැදි පරිසරයක් තිබුණේ. අම්මයි තාත්තයි නිතරම අපිව චිත්‍රපට බලන්න එක්කරගෙන ගියා. ඒවුණත් කවදාහරි සිනමාවට එනවා කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම සිනමාවට සම්බන්ධ වුණේ පාසල් ශිෂ්‍යාවක් ලෙසින්. නිවාඩු කාලවල තමයි මම රූගත කිරීම් කිරීම්වලට දායක වුණේ. මාලිනි ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, අනෝජා වීරසිංහ වැනි ප්‍රවීණයන් මට පෙර පරම්පරාව නියෝජනය කළා. ඔවුන් ඒ වනවිට සිනමාව තුළ ජනප්‍රියත්වයේ ඉහළම තලයේ හිටියේ. වසන්ති චතුරාණි, ගෝතමි පතිරාජ මට කලින් සිනමාවට එක් වෙලා තිබුණේ. නදීකා ගුණසේකර, ශිරාණි නුගේරාත් අපේ පරම්පරාවෙන් සිනමාවට පිවිසුනා.

සරසවිය සම්මාන උලෙළේ සම්මානනීය වූ මතකය ?

ඒ කාලයේ සිනමාව ඉතාම උද්‍යෝගිමත් කාලයක්. මේ කාලයේ සරසවිය ජනප්‍රියම නැගීඑන නවක නිළිය සම්මානට මට හිමිවීම මගේ වාසනාවක්. සරසවිය ජනප්‍රියම නවක නිළිය සම්මානය එවර පිරිනැමුණේ පළමු වතාවටයි. මම අලුත් කෙනෙක් විදියට ඒ වගේ සම්මානයක් හිමිවීම මට සරසවිය හොඳම නිළිය සම්මානයක් ලැබුණා හා සමාන වුණා. මේ නිසා සිනමාව කෙරෙහි වූ ආසාව උනන්දුව තව තවත් වැඩි වුණා කිව්වොත් හරි. පොඩි තැනකින් පටන් අරගෙන පිළිවෙලට මේ ගමන එන්න ලැබීමත් සතුටක්. ඒ අනුව සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රියම නැගි එන නිළිය, ජනප්‍රියම නිළිය, හොඳම නිළිය ලෙසින් ඉදිරි ගමන සකසා ගන්නා ලැබීමත් වාසනාවක්.

ඒ කාලයේත් තරු අතර තරගකාරිත්වයක් තියෙන්න ඇති ?

කවදාවත්ම අපි අතර එකිනෙකා කපා ගෙන යන ගමනක් නම් තිබුණේ නැහැ. මොකද එදා අපට හොඳ නිර්මාණ ලැබුණා. හොඳ අධ්‍යක්ෂකවරු හිටියා. හැමෝටම චිත්‍රපටත් ලැබුණා. මට සිනමාවට එන්න ලැබුණේ සාර්ථකව සිනමා නිර්මාණ බිහි කෙරෙන යුගයකදීයි. අපේ පරම්පරාවෙන් සිනමාවට පැමිණි බොහෝ දෙනෙක් විවිධ හේතු කාරණා නිසා අතරමඟ නතර වුණා. නමුත් මට ඉදිරියට යා යුතුයි කියන උනන්දුව තිබුණා.

වසන්ති චතුරාණි ඒ කාලයේ ජනතාව අතරේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටි නිළියක්. ඒ නිසා මම ක්ෂේත්‍රයට එන විට මට ලොකුම අභියෝගයක් වුණේ වසන්ති. ඇය කලාත්මක සිනමා නිර්මාණ රැසක ඉතා දක්ෂ අයුරින් රංගනයේ නිරතව සිටියා. මගේ ගමන යෙදී තිබුණේ ජනප්‍රිය වාණිජ සිනමාව සමඟින්. ඒ නිසා මම ඇයට වඩා වෙනස් බව හැඟුණා. නමුත් මට ඇය සිටින තැනටත් යා හැකි බව නිරම හැඟුණු දෙයක්. එච්. ඩී ප්‍රේමරත්න මහතාගේ ‘දෙවැනි ගමන’ චිත්‍රපටය මා කලාත්මක සිනමාවට යොමු කළා. ඒක මගේ වාසනාවක්. දෙවැනි ගමන චිත්‍රපටය මට මහමෙරක් වගේ. නැත්නම් මට යන්න වෙන්නේ එකම ගමනක්. මට ජනතාව අතරට යන්න පුළුවන් වුණේ දෙවැනි ගමනෙන්. ‘දෙවැනි ගමන’ චිත්‍රපටය සිනමාව තුළ මගේ දෙවැනි ගමනයි.

ඔබ සරසවිය හොඳම නිළිය ලෙසින් පිදුම් ලබන්නේ ‘පොඩි විජේ’ චිත්‍රපටයෙන් ?

‘පොඩි විජේ’ චිත්‍රපටය ගොඩක් දුෂ්කරතා වලින් පිරි චිත්‍රපටයක් වුණා. එහි මම යසවතී. පොඩි විජේ වුණේ ප්‍රවීන නළු අමරසිරි කලං සූරිය. මේ චිත්‍රපටය ඇත්ත කතාවකින් නිර්මාණය වූ එකක්. ඒ වගේ කතාවක් සිනමාවට නැඟෙන විට හැම දෙයක් පිළිබඳවම අවධානය යොමු කළ යුතුයි. එවැනි සිදුවීමක් ජනතාවට සමීප නිසා චරිත නිරූපණය ඉතාම වැදගත් වෙනවා.

ඒ වගේම මහා විශාල කැලයක රූගත කළේ. යසවතී කියන්නේ බුලත්විට කා ගෙන නිතරම කැලේ ගැවසෙන කාන්තාවක්. ඉතිං මට බුලත්විට කාලත් පුරුදු නැහැනේ. පොඩි විජේ වෙනුවෙන් බුලත්විට කාලා අන්තිමේදී කට වණ වුණා. බොහෝ විචාරකයනගෙන් ‘පොඩි විජේ’ චිත්‍රපටයේ මගේ රංගනයට හොඳ පැසසුම් ලැබුණා. ‘පොඩි විජේ’ චිත්‍රපටය වෙනුවෙන් මම කළ කැපවීම සරසවිය හොඳම නිළිය සම්මානයෙන් ඇගයීමට මට විශාල ධෛර්යයක් වුණා.

ඔබේ මුල්ම ප්‍රධාන රංගනය දැක්වෙන ‘සබීතා’ චිත්‍රපටයට ඒ නම ලැබෙන්නෙත් විශේෂ හේතුවක් නිසා ද?

එදා නම් එහි විශේෂත්වයක් දැනුණේ නැහැ. ඒ චිත්‍රපටයට මුලින් යොදා තිබූ නම ‘බබිතා’. මගේ නම සබීතා බව දැන ගත්තම “ඇයි අපි වෙන නමත් දාන්නේ ‘සබීතා’ කියලාම දාමු” කියලා ජනප්‍රිය අධ්‍යක්ෂ ජේ. සෙල්වරත්නම් එකපාරටම චිත්‍රපටයේ නම ‘සබීතා’ ලෙසින් වෙනස් කළා. එදා නවක නිළියක් ලෙසින් ඒ අවස්ථාව මට ලැබීමත් ලොකු දෙයක්. මම නිසා චිත්‍රපටයේ නම වෙනස්වීම සහ තමන්ගේ නමින්ම වූ චිත්‍රපටයක රඟපාන්න ලැබෙන්න මම වාසනාවන්ත වෙන්න ඕනි.

ජනප්‍රිය සිනමා යුගයක් බිහි කරන්නත් ඔබේ රංගනය සුවිශේෂි වුණා?

සිංහල සිනමාවේ ‘ගාමිණි – මාලිනි’ යුගය වගේම ‘විජය – මාලිනි’ යුගයත් බිහි වෙලා තිබුණේ. මම සිනමාවට ආවේ ‘විජය – මාලිනි’ යුගයේදීයි. ඔවුන් සිටියේ ජනප්‍රියත්වයේ ඉහළම තලයේ. ඉන් පසුව ‘සනත් - සබීතා’ යුගයක් බිහි වෙන්න ප්‍රධානතම හේතුව වුණේ ‘දෙවැනි ගමන චිත්‍රපටය යි. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රිය කිරීම් අනුව අධ්‍යක්ෂවරුන් වගේම නිෂ්පාදනකවරුන් අපව ඔවුන්ගේ නිර්මාණ සඳහා දායකකර ගන්න පෙළඹෙනවා. ඒ නිසා විශේෂයෙන් ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට ගණනාවකට අපට දායක වෙන්න අවස්ථාව ලැබුණා. කාටවත් බලෙන් හෝ කලින් සූදානම් වෙලා ජනප්‍රිය වෙන්න බැහැ. ඒ වගේම සිනමා යුගයක් කාටවත් බලෙන් බිහි කරන්නත් බැහැ. එය ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත වගේම ඔවුන්ගේ ආදරය අනුව නිර්මාණය වෙන දෙයක්.

මෙරට වගේම පාකිස්තානයේදීත් ඔබට ලැබෙන්නේ ඉහළ ජනප්‍රියත්වයක් ?

පාකිස්තානු ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් ලංකාවට ඇවිත් දෙරටේ එකතුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කළා. ලංකාවෙන් ඒ සඳහා කාන්තා චරිතයක් වුවමනා වෙලා තිබුණේ. ඒ කාලයේ මම දායක වූ ‘රෝසි’ චිත්‍රපටය දැකලා ඔහු මට ඒ නිර්මාණයට දායක වෙන්න ආරාධනා කළා. එහි දෙබස් තිබුණේ උර්දු බසින්. මට එතකොට උර්දු භාෂාව කතා කරන්න බැහැ. එහි මගේ දෙබස් කට පාඩම් කරගෙන මම ගොඩක් උනන්දුවෙන් රඟපෑවා. ඇත්තටම මට ඒක ලොකු අභියෝගයක් වුණා. මම එයට හොඳින් මුහුණ දුන්නා. ඒ චිත්‍රපටය පාකිස්තානයේ අතිසාර්ථකව තිරගත වන බව එයින් මාස ගණනකට පස්සේ මට ඔවුන් දුරකථන ඇමතුමකින් කිව්වා.

ඒ විතරක් නොවෙයි මට ඔහු ඔහුගේ ඊළඟ චිත්‍රපටයටත් ආරාධනා කළා. ඒ සඳහා මම පාකිස්තානයේ කරච්චි වෙත යන ගුවන් ගමනේදි බොම්බායෙන් ගුවන්යානයට නැඟුණු පාකිස්තානු ජාතිකයෙක් එකපාරටම “සබීතා” කියලා මට කතා කළා. ඇත්තටම එදා මුල්වරට මම කරච්චිවලට යක කොට එහි හැමෝම මාව අඳුරන බව දැන ගත්තාම දැනුණේ ලොකු සතුටක්. ඒ ගමනෙන් පසු මට පාකිස්තානු චිත්‍රපට දහහතරකට දායක වෙන්න අවස්ථාව ලැබීමත් මගේ සිනමා ජීවිතයේ ලොකු ජයග්‍රහණයක්. අපි අපේ ජීවිතයේ සමහර දේවල් කරනවා. ඒත් කාලයක් ගියාම අපි ඒවා කළාද කියලත් හිතෙනවා. මේකත් ඒ වගේ දෙයක්.

අපේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා පාකිස්තානයට ගිය ගමනකදී ගුවන්තොටු පොළේ සිට නවාතැනට යන ගමනට එක් වූ රියදුරා “ඔයා අර සබීතාගේ රටේ ද” කියලා ඇසූ බව ඒ මහා රංගධරයා වරෙක පැවසුවා. ලංකාවේ විතරක් නෙවෙයි විදෙස් රටකත් ජනප්‍රිය වෙන්න ලැබීම ගොඩක් ලොකු වාසනාවක්. මේ ගැන හිතනකොට මගේ සිනමා ජීවිතය වගේම මේ රටටත් ලොකු සේවයක් කළා නේද කියලා මට දැනෙනවා. කලාකරුවෙකුගේ සැබෑම ආත්ම තෘප්තියත් එය යි.

සිනමා ජීවිතය දෙස යළිත් හැරී බැලුවොත්?

මට අපේ සිනමාවේ ප්‍රවීණයන් රැසක් සමඟින් රංගනයේ යෙදන්න අවස්ථාව ලැබුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වගේම ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය සමඟින් කටයුතු කරන්න මට ලොකු ඕනිකමක් තිබුණා. ‘අවරගිර’ චිත්‍රපටයෙන් අවස්ථාව ලැබුණත් මගේ නොමේරුකමට මට එය මඟහැරී ගියා. එවන් දැවැන්තයෙක් සමඟින් වැඩ කරන්න ලැබුණා නම් එය විශාල භාග්‍යයක්. ගාමිණි ෆොන්සේකා නම් වූ මහා දැවැන්තයා සමඟින් වගේම එතුමාගේ අධ්‍යක්ෂණය යටතේ රංගනයට අවස්ථා ලැබීමත් මගේ රංගන ජීවිතයට ආලෝකයක්.

විජය කුමරණතුංග නම් වූ ජනප්‍රිය නළුවා සමඟින් වගේම නිළි රැජන මාලිනි ෆොන්සෙකාගේ රංගනයන් වැදගත් පාඩම් වුණා. ‘පිටගම්කාරයෝ’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය වන විට මම හොඳම සහය නිළිය වුණා. ඒක මට සතුටක්. ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම වැනි ප්‍රවීණයන්ගෙන් සිනමා ජීවිතයට ලැබුණේ වටිනා පාඩම්. ජෝ අබේවික්‍රමයන් සමඟ රඟපානකොට මම අඬලත් තියෙනවා. ඒ විතරක් නොවෙයි රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, අයිරාංගනී සේරසිංහ, දෙනවක හාමිනේ, සෝනියා දිසා වැනි වූ ප්‍රවීණයන් සමගිනුත් කටයුතු කරන්න ලැබීම සතුටක්.

මගේ රංගන ජීවිතයේ උපරිමයෙන් කටයුතු කරන්න මම උත්සාහ කළා. මම මගේ අඩුපාඩු හදා ගත්තේ සිනමාව ඉගෙන ගත්තේ ප්‍රවීණයන්ගේ රංගනයන් දෙස බලාගෙන. කවුරු මොන දේවල් කිව්වත් මගේ සිනමා ජීවිතය ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු තෘප්තියක්. මම විතරක් නොවයි මගේ පුතා, මගේ සැමියා තුළත් ඒ හැඟීම එහෙමම තියෙනවා. කාලයක් මම මගේ පවුල වෙනුවෙන් සිනමාවෙන් දුරස් වෙලා හිටියත් නැවත නැවතත් කැඳවමින් සිනමාව මගෙන් දුරස් වෙන්නේ නැහැ. ඇත්තටම මම කලාව සමඟම ජීවත්වන කෙනෙක්.