|
විරහ වේදනාවේ වුණත් මිහිරක් තියෙනවානිල් දියවර ගී ප්‍රසංගය හෙට (25) B.M.I.C.H හිදී
තුරු මත ළපළු කැකුළු පිපෙනා යාමයේ, ඒ මියුරු ගී නද පහන් ස්වරයක්ව හද කැටපත් පවුර මත අපූරු සිතුවම් මවයි. නියං සායෙන් ඉරිතැලුණු මහ පොළොව මත ඇද හැලුණු ‘අලුත් වැස්සක් සේ’ම ඒ ‘රන් ස්වරය’ නැවුම්ය. සිහිලැල්ය. ‘ආදරය සුන්දර වරදකී’ ගැයූ මුවින්ම ඔහු ‘ප්‍රේමයේ මන්දහාසය’ ද අපට කියා දුන්නේය. ‘ඔබ මා හමු වූ මේ ඉර හඳ යට’, ‘ඇසට අසුවන මායිමේ’ හිඳිමින් තවමත් ඒ ආදරණීය ගී හඬ අප වෙනුවෙන් ගීතවත් වේ. අහස් ගඟ මැද සරැළි නගනා තරු කැට අතර දිදුලන්නට නොව මිනිස් පුරයේ දුක් දොම්නස් අතර හිඳ ජීවිතය ගයන්නට, ගයා හද සනහාලන්නට විරාමය නිමා කරමින් ඔහු යළි අප සොයා පැමිණ ඇත. මා ඔහු හඳුන්වන්නේ ගීතයෙන් මියුරු භාෂණයේ යෙදෙන අපේ කාලයේ සොඳුරු සංකථකයා ලෙසිනි. කරුණාරත්න දිවුල්ගනේ. වසර දහයකට පසු දිවුල්ගනේ රසික හද සන්තානය පිරිමදින්නට ‘මේ සිහින හරි පුදුමයි’ රැගෙන ආ හැටි විටෙක ඔබට පුදුමයක් විය හැකිය. ඒ ඔහු ගී ලොවෙන් සමුගෙන ඇති බව හෝ මෙවන් ගී එකතුවක් යළි එළි දක්වන්නට සූදානමක් නොතිබූ වග හෝ ඔබ උපකල්පනය කර තිබුණා නම් පමණකි. එහෙත් එය සැබෑවක් නොවන වග දැන් හොඳටම විශ්වාසය.
මේ සිහින හරි පුදුමයි රවී සිරිවර්ධන රචනා කළ මේ ගීතයේ තනු හා සංගීත නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. බිඳ වැටි වැටී උපදින සිහින පිළිබඳ සිය ආදරණීය, ළබැඳි ස්වරය අවධි කරමින් දිවුල්ගනේ ගැයූ මේ ගීතය ප්‍රමුඛ කොට ගනිමින් ‘මේ සිහින හරි පුදුමයි’ ගීත එකතුව එළි දැක්වේ. C.D. . වෙළෙඳපොල බිඳ වැටී ඇති කාල සමයක මෙවන් ගීත එකතුවක් එළි දැක්වීම අතිශයින් අභියෝගාත්මකය. එහෙත් එකී අභියෝගාත්මක කාර්යයට නිර්භයව ඉදිරිපත් වූයේ නිරූන් බුද්ධසිරි නමැති සුභාවිත ගීතයට පෙම් බැඳි අපූරු සහෘදයාය. දිවුල් ඒ පිළිබඳ සිය කෘතවේදීත්වය පුද කරන්නේ මෙලෙසිනි. අලුත් සංයුක්ත තැටියක් එළි දක්වමු කියලා මට මීට අවුරුදු තුනකට කලින් යෝජනාවක් ඉදිරිපත් කළා නිරූන් බුද්ධසිරි කියන තරුණ ව්‍යාපාරිකයා. එතුමා මේ සුභාවිත ගීතයට බොහොම ඇලුම් කරන කෙනෙක්. මෙය කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන දෙයක් බව මා ඔහුට කිව්වා. මොකද වර්තමානයේ හොර C.D. ව්‍යාපාරය ජයටම කෙරී ගෙන යන නිසා. අද C.D. එකක් වෙළෙඳ පොළට නිකුත් කළාම ඒකේ ව්‍යාජ පිටපතක් හෙට පේව්මන්ට් එකේ තියෙනවා. ඒ නිසා ආර්ථික වාසි බලාගෙන එය නොකළ යුතුයි කියා මා ඔහුට අවධාරණය කර සිටියා. ඒත් ඔහුගේ පිළිතුර වුණේ ‘හොරට ගහලා හරි මිනිස්සුන්ට හොඳ ගීත අහන්න ලැබෙනවා නම් අපි කරමු’ කියන එකයි. දිවුල් සිය නවතම නිර්මාණ කාර්යයට මුල පිරුවේ ඒ දිරි ගැන්වීමත් සමඟිනි. පරම්පරා කිහිපයක සංගීත ශිල්පීන් හා ගේය පද රචකයන් සමඟ සුහද ගනුදෙනුවක යෙදෙන දිවුල් මෙවර ද සිය ගීත එකතුව සඳහා ප්‍රවීණ මෙන්ම නවක ශිල්පීන්ගේ ද දායකත්වය ලබාගෙන තිබේ. ‘මේ සිහින හරි පුදුමයි’ සහෘද හදවතට ළෙන්ගතු වන්නේ ඒ අපූර්ව නිර්මාණ සුසංයෝගයෙනි.
‘කොහේ හෝ නුඹ නතර වී දිවුල්ගනේ ඉතා පහසුවෙන් ගී පද රචනාවකට පෙම් බැඳ ගන්නෙකු නොවේ. කිසියම් ගී පද රචනයක් අපූර්වත්වයකින් යුතු යැයි හැඟී ගියහොත් රචකයා සමඟ නිරන්තර සංවාදයක යෙදෙමින් එය පෝෂණය කර ගැනීම ඔහුගේ සුවිශේෂත්වයයි. කිසිදු සංගීතමය සැරසිල්ලකින් තොර හුදු ගී පද රචනයක වුව යම් භාවමය ප්‍රකම්පනයක්, හෘදය සංවේදී ගුණයක් හදවතට දැනේ නම් දිවුල් එය හඳුනා ගන්නේ ගේය කාව්‍යයක් නොඑසේ නම් ගායනයට සුදුසු පදවැලක් ලෙසිනි. එහිදී ඔහුගේ නිර්ණායකය වන්නේ ‘ප්‍රවීණත්වය’ හෝ ‘හිතවත්කම’ නොවේ. මතු දැක්වෙන ගීතය ඊට කදිම නිදසුනකි. එය රචනා කොට ඇත්තේ ශාමිලා හුසේන් නමැති මුස්ලිම් ජාතික කාන්තාවකි. ශාමිලා මම පෞද්ගලිකව දැන හඳුනගෙන හිටියේ නෑ. ඇය මේ ගීතය මට යොමු කර තිබුණා. ඇත්තටම ඒ ගී පද මාලාව තුළ තිබුණා හදවත සසල කරන බවක්. ඒ නිසා මම එය තෝරා ගත්තා. මම හිතන්නේ ශාමිලා සිංහල ගීතයක් රචනා කළ මුල්ම මුස්ලිම් කාන්තාවද දන්නේ නෑ. ඇය විතරක් නෙවේ නවක ගී පද රචකයන් කිහිප දෙනෙකුගේම පදමාලා මම තෝරා ගත්තා ‘මේ සිහින හරි පුදුමයි’ සංයුක්ත තැටියට. වැරැන්කැටගොඩ මුණිපාල පන්නිල, ආනමඩුවේ සුනිලා හෙට්ටිආරච්චි, ඩුබායිවල නයනසේන වන්නිනායක, බහරේන්වල බණ්ඩාර බෙලිකැටමුල්ල මේ කිසි කෙනෙක් අපි කලින් දැකලා තිබුණේ නෑ. සමහරු තවම දැකලත් නෑ. නමුත් මම එම ගී පදමාලා තෝරා ගත්තේ අර මුලින් කී කරුණු පදනම් කරගෙනයි. ‘මේ සිහින හරි පුදුමයි’ ගීත එකතුව සඳහා ප්‍රවීණ ගේය පද රචකයන් ද සුපුරුදු පරිදි දිවුල්ගනේට තම නිර්මාණ දායකත්වය ලබා දී ඇති වග සඳහන් නොකළොහාත් එය අඩුවකි. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි, පූජ්‍ය කෝන්වැවේ ආරියරත්න හිමි, මහින්ද දිසානායක, රත්න ශ්‍රී විජේසිංහ, මහින්ද චන්ද්‍රසේකර, රෝහණ දන්දෙණිය, යමුනා මාලිනී පෙරේරා, පොඩිරත්න අඟමලේ, කුමාර ලියනගේ, රජී වෙල්ගම, රවී සිරිවර්ධන, සුරම්‍යා මාපිටිය ‘මේ සිහින හරි පුදුමයි’ සැරසූ සෙසු ගේය පද රචකයන් වේ. දිවුල්ගනේ ගේය පද රචනයට දක්වන සැළකිල්ලම එහි තනු හා සංගීත නිර්මාණයේදී ද දැක්වීම සුවිශේෂත්වයකි. ඒ පිළිබඳ ඔහුගේ අදහස මෙපරිදිය. ගීයක තනු නිර්මාණය කර ගැනීම මම බොහොම සීරුවෙන්, මාරුවෙන් කරන කාර්යයක්. මොකද එය ඉතාමත් අසීරු කටයුත්තක් නිසා. සංගීතය පරතෙරට ඉගෙන ගත් අයකුට පවා සමහර විට හොඳ තනුවක් නිර්මාණය කරන්නට නොහැකි වෙන්න පුළුවන්. එහෙම තනුවක් නිර්මාණය කළත් එය මධුර තනුවක් වෙන්නේ නෑ. අපේ සංගීත ඉතිහාසය දෙස බැලුවොත් මධුර තනු නිර්මාපකයන් අපට සොයා ගන්න පුළුවන්. වර්තමානයේ සිටින මධුර තනු නිර්මාපකයන් ලවා ඒ කටයුත්ත කරවා ගැනීමට මම නිතරම වග බලා ගන්නවා. මුල් යුගයේ දිවුල්ගනේ වෙත වැඩි වශයෙන් ගී තනු නිර්මාණය වූයේ විශාරද ගුණදාස කපුගේ අතිනි. ඉන් පසු එච්. එම්. ජයවර්ධන, රෝහණ වීරසිංහ, සුනිල් දයානන්ද කෝනාර, නාලක අංජන කුමාර, රෝහණ ධර්මකීර්ති වැනි සංගීතවේදීන් ද ඔහුට මධුර තනු නිරමාණය කර දුණි. වර්තමානය වන විට දර්ශන වික්‍රමතුංග, කළිඳු වීරසිංහ, ප්‍රසාද් සිරිවර්ධන, අමිල දිල්ශාන් වැනි නවක සංගීතවේදීන්ගේ දායකත්වය ද දිවුල්ට ලැබී තිබේ. ‘මේ සිහින හරි පුදුමයි’ ගීත සංගෘහිතයේ දර්ශනගේ මියුරු ගී තනු කිහිපයක්ම ඇතුළත්ය. සංගීත ක්ෂේත්‍රයේ විවිධ රැළි සුළි හමා ආවේය. බැස ගියේය. මේ සියල්ල අභිමුව සිය අනන්‍යතාවය රැක ගනිමින් ගීතය හෘදය සංවේදී මාධ්‍යයක් බවට පත් කිරීමේ කාර්යය ඔහු ඉටු කරමින් සිටියි. තිස් පස් වසක් පුරාවට රසික දෙසවනෙහි නිංනාද නංවන ඔහුගේ ගී හඬ අතු පතර හැංගී හිඳ මිහිරි නාද නඟන අඳුනක කුරුල්ලකුගේ නාදය මෙන් ළෙන්ගතු සමීප බවකින් අප වෙලා ගන්නට සමත්ය. අද විශ්ව විද්‍යාලවල පැවැත්වෙන ප්‍රසංග සඳහා වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ අපට. ඇත්තෙන්ම අපේ මුල් කාලයේ ගී නිර්මාණ බිහිවෙන කොට ඉපදිලාවත් නොසිටි දරු දැරියෝ තමයි අද අපේ නිර්මාණ රස විඳින්නේ. මට තියෙන සතුට ඒකයි. මං මේ ගීත සමුච්චය එළිදක්වන්නේ වසර දහයකට පසුව වුණත් ඒ කාලය පුරාමත් ගෘහස්ථ ප්‍රසංගවලට මාව නැතිවම බැරි ගායකයෙක් වෙලා හිටියා. අදත් එහෙමයි. මේ වසර තිස් පහක කාලයක් පුරා නොබිඳී තිබෙන රසිකත්වය මට විශාල ශක්තියක්, දිරියක්, ආශිර්වාදයක්. ගුණදාස කපුගේ සැබෑ ජනතාවාදී ගායකයෙක් වීය. අද පවා කපුගේ නාමය පොදු ජන හදවතෙහි ආලෝක පුංජයක්ව දැල් වී තිබෙන්නේ එහෙයිනි. ඔහුට යම් දේශපාලන මතවාදයක්, දර්ශනයක් තිබුණි. ඒ මතවාද හා ගැටෙමින්, යළි එකඟ වෙමින් ජීවන ගමන් මඟට අපූරු අත්වැලක් වූ ගමන් සඟයා දිවුල්ගනේය. කපුගේ ගේ දේශපාලනය මතවාදී අරගලයකට පමණක් සීමා වුව ද දිවුල්ගනේ දේශපාලන කරළියෙහි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්කරුවකු වීය. මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස භාරදූර වගකීමක් ඉටු කළ යුගයේදී කලාකරුවකු ලෙසින් දිවුල්්ගනේ සිය රසික ජනතාව නොසලකා හැරියේද? නොඑසේ නම් අතිශය කාර්යබහුල සිය දේශපාලන භූමිකාව හේතුවෙන් රසිකයන්ට යම් අසාධාරණයක් සිදුවීද? ආණ්ඩුකාර ධූරය දරන කාලෙත් මම රජරට ඉඳන් එනවා ඔය විශ්ව විද්‍යාලවල, එතකොට යම් යම් විශේෂ ප්‍රසංගවලට සහභාගිවෙන්න. එළිමහන් ප්‍රසංගවල ගී ගැයීම නම් මම ඊටත් පෙරයි නවතා දමා තිබුණේ. මොකද ඒක දුෂ්කර කටයුත්තක් නිසා. පහුගිය කාලේ මමත් රසිකයන් අතරත් කිසියම් ප්‍රමාණයක ඈත්වීමක් තිබෙන්නට ඇති. නමුත් අදටත් මම ඔය ශාලා ඇතුළේ පවත්වන සංගීත ප්‍රසංග සඳහා සහභාගි වෙනවා. දේශපාලනය නිසා මා සංගීත කටයුතුවලින් ඈත් වුණේ නෑ. යම් යම් නිර්මාණ කළා. ඒත් ඒවා රසිකයන් අතරට ගියේ නෑ මාධ්‍ය හරහා. එහෙම දෙයක් නම් වුණා. මම හිතන්නේ බොහෝ ගායක, ගායිකාවන්ට ඔය දේ සිදු වුණා. ඒක දේශපාලන කාරණාවක් නෙවෙයි. තමන්ගේ නව නිර්මාණ ගුවන් විදුලි නාළිකා ඔස්සේ ප්‍රචාරය නොවනා බව බොහෝ ප්‍රවීණයන් නිතර නඟන මැසිවිල්ලකි. ඒ පිළිබඳ දිවුල්්ගනේ දක්වන අදහස මෙසේය. එදා අපට තිබුණේ ගුවන් විදුලිය පමණයි. ගායක, ගායිකාවෝ හිටියේ අතලොස්සයි. අද නව පරපුරේ ගායක, ගායිකාවෝ රැසක්ම ඉන්නවා. නාළිකාත් බොහොමයක් තිබෙනවා. ඉතිං අලුත් පරපුරට වැඩිපුර ගුවන් කාලයක් වෙන් කරනකොට අපට තිබෙන අවස්ථාවන් අඩු වෙනවා. ඒ ගැන අපි අහිතක් හිතන්න නරකයි. අලුත් පරපුරක් එන්න ඕනෑ. අපි ඒ ගැන සතුටු වෙනවා. හැබැයි අප පෙර පරපුර අමතක නොකළ යුතුයි. මෙරට සුභාවිත ගීතය ඔසවා තැබීිමට බොහෝ ගායක, ගායිකාවන් දායක වුණා. රසඥතාවයකින් යුත් රසික පරපුරක් බිහි කරන්නට පුරෝගාමී වූ ප්‍රවීණයන්ගේ පිය සටහන් මත සීරුවෙන් පා තබා තමයි අපිත් එන්නේ. අපට හොඳ නිර්මාණ බිහි කරලීම සඳහා පූර්වාදර්ශ සැපයුවේ ඔවුන්. අපේ නිර්මාණ සාර්ථක වුණා නම් ඒ සාර්ථකත්වයට මහඟු අත්වැලක් වුණේ අපට පෙර පරපුර. අද පරපුරේත් දක්ෂතාවයක් තිබෙන විශාල පිරිසක් ඉන්නවා. තමන්ගේ සම්ප්‍රදාය කුමක්දැයි හඳුනාගෙන, තමාට පෙර පරපුරේ ප්‍රවීණයන්ගේ හොඳ නිර්මාණ ඇසුරු කරගෙන ඒ මත පා තබමින් තමයි ඔවුන් තමන්ගේ ගමන් මඟ සකසා ගත යුත්තේ. කරුණාරත්න දිවුල්ගනේ 1979 අප්‍රේල් 14 වැනිදා රජරට සේවය ඇරඹීමෙන් පසු ඊට එක් වන්නේ රජරට තවත් ආධුනික ගායන ශිල්පීන්, පද රචකයන්, සංගීතඥයන් රාශියක් සමඟය. ඔවුන් පිළිගැනීමට ළෙන්ගතු, සහෘද මාර්ගෝපදේශකයන් කිහිප දෙනෙකු එහි සැදී පැහැදී සිටියහ . ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, විශාරද ගුණදාස කපුගේ, විජයානන්ද ජයවීර මේ අතර ප්‍රමුඛයන්ය. ඊට අමතරව රජරට සේවයේ පළමු අධ්‍යක්ෂවරයා වූ සිරිල් රාජපක්ෂ මෙන්ම තිලක සුදර්මන් ද සිල්වා, හිල්ටන් පෙරේරා, ජී. ටී. වික්‍රමසිංහ ආදී විශිෂ්ට පරිපාලකයන් ගණනාවක් ද, ප්‍රේමකීර්ති ද අල්විස්, කුලසේන ෆොන්සේකා, නිව්ටන් ගුණසේකර, සේන ගුණසේකර වැනි වැඩසටහන් නිෂ්පාදකයන් පිරිසක් ද රජරට සේවාවේ භූෂණයට උර දී සිටියහ. ඒ ස්ජ්ජන ඇසුර දිවුල්ගේ ගායන දිවියට මහා පහන් ටැඹක් විය. ‘අතීතය සිහිනයක් පමණයි’ යනුවෙන් වරෙක ගැයූව ද සැබැවින්ම දිවුල්ගනේට නම් ඒ රජරට සොඳුරු ඇසුර මිහිරි සිහිනයක් පමණක් නොවීය. ගී මඟෙහි සියක් මල් පුබුදන්නට ඇවැසි ජීවමය ගුණය ඔහුට ලැබුණේ මේ පිං බිමේදීය. ‘නදින් බඹර ගී ‘ රජරට සරල ගී පරීක්ෂණයෙන් සමත් වෙලා මා ගැයූ මුල්ම ගීතයයි. මහින්ද දිසානායක ගී පද රචනයෙනුත්, සිරිල් පෙරේරා තනු හා සංගීත නිර්මාණයෙනුත් ඊට දායක වුණා. ඉන් පස්සේ රත්න ශ්‍රී විජේසිංහ ලියූ ‘ගලින් ගලට අඩි තිය තිය’ සහ සුනිල් ආර්. ගමගේ ලියූ ‘ඔබ මා හමුවන මේ ඉර හඳ යට’ ගීත දෙක අතිශයින් ජනප්‍රිය වුණා. දැඩි ආර්ථික දුෂ්කරතා මැද වුවද, සිය හිත මිතුරන්ගේ ද උපකාර ඇතිව පෞද්ගලික ශබ්දාගාරයක පටිගත කළ ගීත කිහිපයක් ඔහු කොළඹ ගුවන් විදුලියට භාර දෙන්නේ ඉන් පසුවය. ගුවන් විදුලියට එම ගීත ප්‍රධානය කර සෑහෙන කලක් ගත වුවද ඒවා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූයේ නැත. මේ මොහොතේ ඔහුගේ පිහිටට එන්නේ විජයානන්ද ජයවීරයන්ය. ඔහුගේ මැදිහත්වීම මත ප්‍රචාරක අනුමැතිය ලබන මේ ගීතාවලියට මුලින්ම පෙම් බැඳ ගත්තේ එවක ගුවන් විදුලියේ සේවය කළ නිවේදක, නිවේදිකාවන්ය. කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියෙකු ලෙස මුළු රටම දැන හඳුනා ගන්නේ එදා එලෙස ප්‍රචාරය වූ ‘ඇසට අසුවන මායිමේ’, ‘පින්සර ඔබ හැර’, ‘අතීතය සිහිනයක් පමණයි’, ‘හාද වෙලා යමන් පනේ’ වැනි ගී තුළිනි. ඔය කාලයේ තමයි කුලරත්න ආරියවංශ සහ රෝහණ වීරසිංහ දෙපළගෙන් මට ඇරැයුමක් ලැබුණේ ‘සිංග් ලංකා’ ආයතනය වෙනුවෙන් කැසට් පටයක් නිර්මාණය කරන්න. එතකොට විශිෂ්ට ගීත නිර්මාණයේ සංකේතය වුණේ ‘සිංග් ලංකා’ ආයතනය. ඒ ආරාධනාව මම ඉතාම සතුටින් බාර ගත්තා. ඒ අනුව තමයි මගේ ප්‍රථම ගීත කැසට්පටය ‘ඇසට අසු වන මායිමේ’ රසිකයන් අතරට ආවේ. ඒ මම ‘කම්පන’ ප්‍රසංගය සමඟ රට වටා යමින් සිටි අවධිය. කැසට් වෙළෙපොලේ අලෙවි වාර්තා තබමින් ශ්‍රාවක ප්‍රසාදය හිමි කර ගන්නට ‘ඇසට අසුවන මායිමේ’ සමත් වූයේ කරුණාරත්න දිවුල්ගනේ නාමය වඩාත් ජනප්‍රිය තලයකට ඔසවා තබමිනි. ඔහු අදටත් තම සංගීත චාරිකාවේ හැරවුම් ලක්ෂ්‍යය සේ සලකන්නේ එම ගී සමුච්චය එළිදැකීමයි. ඒ සඳහා සහෝදරත්වයේ දෑත දිගු කළ කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ සහ ‘සිංග් ලංකා’ අධිපතිව සිටි ආනන්ද ගණේගොඩ සහෘද හිතවතුන් දිවුල්ගනේ මේ මොහොතේ පවා සිහිපත් කරන්නේ බැතිබර සිතෙනි. ‘දේශපාලනයට නොආවා නම් දිවුල්ගනේ ගායන ලෝකයේ මීට වඩා දුර ගමනක් යනවා’ මෙවදන් වරෙක මා හා පැවසූයේ දිවුල් තම හොඳම ගායකයා බවට පත් කරගත් මගේ මිතුරෙකි. දැන් මම ඒ පැනය දිවුල්ගනේ ඉදිරියේ තබන්නෙමි. නෑ මම හිතන්නේ නෑ මට මීට වඩා දුරක් යන්න තිබුණා කියලා. මොකද ඕනෑම සංගීතවේදියකුට, ගායකයකුට යන්න පුළුවන් දුරක් තියෙනවා. ඒ ඉඩකඩ ජනතාව තමන්ගේ හදවත තුළ වෙන් කරගෙන ඉවරයි. තවදුරටත් එහා යනවා කියන්නේ මම ලංකාවේ හොඳම ගායකයා වෙන්න එපැයි. ඒක එහෙම වෙන්නේ නෑනේ. හැබැයි මං වෙනුවෙන් කිසියම් ඉඩකඩක් රසික හදවත් තුළ තිබෙන බව මම දන්නවා. සිය දේශපාලන මතවාද සෘජුව කලා නිර්මාණයන් හරහා, විශේෂයෙන් ගීත මාධ්‍ය ඔස්සේ එළි දක්වන්නට ඇතැම් ගායක, ගායිකාවන් නොයෙක් යුගයන් හි උත්සුක වූ බව අප දනිමු. පැවැති සමාජ, දේශපාලන ප්‍රවණතාවන් සෘජුව ග්‍රහණය කර ගත් එබඳු නිර්මාණ හැඳින්වූයේ ‘විරෝධාකල්ප ගී’ ලෙසිනි. නමුත් දිවුල්ගනේ තම දේශපාලන දෘෂ්ටිය එක එල්ලේ ගී නිර්මාණ සඳහා යොදා ගත්තේ නැත. එනිසාවෙන්ම සෞන්දර්යයෙන් ස්වායක්ත වූ ගී නිර්මාණ කිසිදා ඔහු මුවින් ගැයුණේ නැත. මම ගායකයෙක් වෙන්න පෙර සිටම කිසියම් දේශපාලන මතවාදයක, දේශපාලන දැක්මක හිටපු කෙනෙක්. රට පිබඳ හැගීමක, සමාජය පිළිබඳ හැඟීමක, සමාජය පිළිබඳ කියවීමක මම හිටියේ. ඉතින් මම හිතන්නේ ඒක සමහර විට මේ කලා නිර්මාණ හරහාත් රසිකයාට දැනෙනවා ඇති. ඒ නැතත් මගේ සමාජ භාවිතයේදීත් තේරෙනවා ඇති යම් දේශපාලන මතවාදයක් තියෙනවා කියන කාරණය. මම විරෝධාකල්ප ගී කිව යුතුයි කියලා මම හිතන්නේ නෑ. ගීතයකින් හෝ මොනයම් කලා නිර්මාණයකින් හෝ රසිකයා දැනුම්වත් කරනවා නම්, ඔවුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යනවා නම් එය ප්‍රමාණවත්. කලා නිර්මාණයකින් විය යුත්තේ ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කිරීම හා මිනිසුන් එකිනෙකාට ආදරය කරමින් ජීවත්වීමට පෙළඹවීමයි. ඉතිං ඒ සඳහා මගේ නිර්මාණ කොයිතරම් දුරට ඉවහල් වෙනවාද කියන එක තමයි මම කල්පනා කරන්නේ. ඉන් එහා දෙයක් මම කල්පනා කරන්නේ නෑ. කෙසේ වුවද දිවුල්ගේ ගී හඬ වඩාත් සංවේදී වූයේ ආදරය, ප්‍රේමය විෂයෙහි යැයි මට සිතේ. ප්‍රේමයේ සුඛ, දුක්ඛ සංවේදනාවන් මෙතරම් අපූර්ත්වයකින් හා චමත්කාරයකින් වත්මන් ගීතයට ආත්ම කොට ගත් වෙනත් ගායකයෙකු නැති තරම්ය. සදාදර ජෝතිපාලගේ මුවින් වෑහුණු සුන්දර, රෝමෑන්තික ආදර ගීතය වඩා අරුත්බර, සවිඥානක ගී ධාරාවක් බවට පත් කරන්නේ දිවුල්ගනේ වැනි ගායකයන්ය. ප්‍රේමයේ සොඳුරු මෙන්ම අඳුරු ඉසව්වන් ද එකසේ ස්පර්ශ කළ දිවුල්ගේ ගී හඬ සුවහසක් පෙම් හදවත් එළිය කළ සෞම්‍ය සඳ කිරණක් වැනිය. ලෝකයේ බොහෝ කලා නිර්මාණවලට වස්තු විෂය වුණේ ප්‍රේමය, ආදරය. මම හිතන්නේ ප්‍රේමය, ආදරය ගැන කතා කරන කොට මිනිසුන්ගේ ජීවන ධාරිතාව පුළුල් වෙනවා. ජීවත් වෙන්න ආශාව ඇති වෙනවා. මේ සංසාර ගමනේදී අපට නානප්‍රකාර කඩාවැටීම්, රිදවීම්, හඬා වැටීම්, කලකිරීම්, නින්දා අපහාසවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒත් අපට ජීවත් වෙන්න බලාපොරොත්තු දැල්වෙන්නේ මේ කලා නිර්මාණවලින්. විශේෂයෙන් ප්‍රේමය වස්තු විෂය කර ගත් නිර්මාණ හරහා. විරහ වේදනාවේ වුණත් තියෙනවා මිහිරක්. ඒ විප්‍රලමිභ ශෘංගාරය තුළත් මිහිරක් තියෙනවා. ඉතින් කොහොම හරි ආදරය, ප්‍රේමය ගැන කතා කරද්දී රසිකයාට ජීවිතය කෙරෙහි ලොල් බවක් ඇති වෙනවා. ඔවුන් ප්‍රහර්ෂයට පත් වෙනවා. මට පෙර පරපුරේ සිටි අතිශය ජනකාන්ත ගායන ශිල්පීන් සිටි තැනම ඉඳගෙන තමයි මම මේ කාර්යයේ නියැළෙන්නේ . දිවුල්ගනේ නමැති අපූරු කලාකරුවා හෙට සැඳෑයාමයේ ‘මේ සිහින හරි පුදුමයි’ සංයුක්ත තැටිය පිළිගන්වන්නේ කලක් ඔහුගේ දිවියට මහත් ශක්තියක්, ධෛර්යයක්, ආශිර්වාදයක් වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් වෙතය. එමෙන්ම සියකලා දිවියේ විටෙක ගුරුවරයකු මෙන්ම දයාබර ගමන් සගයකු ද වූ විශාරද ගුණදාස කපුගේ ස්මරණය කරමින් ප්‍රේමා කපුගේ මැතිනියට ද ඔහු ‘මේ සිහින හරි පුදුමයි’ පිළිගැන්වීමට නියමිතය. මේ සියල්ල සිදු වන්නේ දිවුල්ගේ සොඳුුරු සංගීත චාරිකාව සමරමින් ගීතවත් වන ‘නිල් දියවර’ ගී ප්‍රසංගය අතරතුරය. ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයක් සජීවීව එදින රස විඳීමට රසික සහෘදයාට අවස්ථාව ලැබෙනු ඇත. මෙම ගී ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. මේ කාර්යයේදී නිරූන් බුද්ධසිරි, කුමාර ලියනගේ, කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ, ටී. පී. ජී. අමරජීව ඇලෙක්ස් කත්ත්‍රිආරච්චි, ලෙනාඩ් හා රේණු රණසිංහ දෙපළ මට පුදුමකාර සහයෝගයක් දුන්නා. මේ දැවැන්ත කාර්යභාරය පිටුපස තිබෙන යෝධ ශක්තිය ඔවුන්ගේ. දිවුල්ගෙනේ එසේ පවසන්නේ ඉතාමත් සහෘදාත්මක, ළෙන්ගතු ස්වරයකිනි. මුල අමතක නොකරන දිවුල්ගනේ සිය දිවි මඟ සාර්ථක කර ගත්තේ ද එකී ගුණාංගය නිසාම බව ඔහුට ගෞරවයක් ලෙස මෙහි සඳහන් කළ යුතුය.
|