වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




හරියටම 6.30ට අපි හමුවෙමු

කෙටි නාට්‍ය ඇසුරකට අවස්ථාවක්

හරියටම 6.30ට අපි හමුවෙමු

රොහාන් ද සිල්වා

‘හරියටම 6.30 ’ නාට්‍ය කණ්ඩායමේ නවතම ඉදිරිපත් කිරීමක් වන ‘ හරියටම 6.30’කෙටි නාට්‍යය උලෙළ මැයි මස 02 වැනිදා 3.30ට හා 6.30ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි වේදිකා ගතවෙයි. එහිදි ‘අපි’, ‘ත්‍රෆොබේන්’, ‘හරියටම 6.30’, ‘උභතෝකෝටික කතාවක්’ යන කෙටි නාට්‍ය හතර වේදිකා ගතවන අතර ඒ පිළිබඳ එහි අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා සමඟ සරසවිය කළ කතාබහකි.

‘හරියටම 6.30 ’ නාට්‍ය කණ්ඩායම කියන්නේ කවුද ?

මේ කෙටි නාට්‍ය උලෙළ සංවිධානය කරන්නේ ‘හරියටම 6.30’ කියන අපේ නාට්‍ය කණ්ඩායම විසින්. මේ නාට්‍යයේ කණ්ඩායම නිර්මාණය වෙන්නේ වෙනස්ම විදියටයි. ඒ කියන්නේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයාගේ ‘මකරාක්ෂයා’, ‘ඒකාධිපති’, ‘ට්‍රෝජන් කාන්තාවෝ’, ‘ධවල භීෂණ’ ඇතුළු සියලුම නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්න පිරිසක් සමඟයි මේ නාට්‍ය කණ්ඩයම ගොඩනැගෙන්නේ. ඒ කණ්ඩායමේ ඉන්න ගමන්ම ඒ ලැබූ අත්දැකීම් සමඟයි ‘හරියටම 6.30 ’ ගොඩනැගෙන්නේ. ඊට අමතරව මහේන්ද්‍ර පෙරේරාගේ රංග කලා පාඨමාලාවට සහභාගි වී කාලයක් ලැබූ අත්දැකීම් පවා මේ කණ්ඩායම නිර්මාණය කිරීමේ දී අපට බලපෑවා.

මේ කෙටි නාට්‍ය හතරම අධ්‍යක්ෂණය කරන ඔබගේ නිර්මාණවලට දාකය වන ශිල්පීන් ශිල්පිනියන් කවුද ?

ධර්මසිරි බණ්ඩාරනායක මත්තයා ඇසුරේ ලැබූ අත්දැකීම් මූලික කර ගනිමින් තමයි මා මේ නිර්මාණ ගොඩනඟන්නේ.මේ නිර්මාණ සඳහා රංගනයෙන් දායක වන්නේ අරුණොද් විජේසිංහ, අමිල් දීපාල්, සමීර මාලින්ද, මිලින්ද මඬුගල්ල, චතුර මාධව සහ මමත්. රංග වින්‍යාසයෙන් අරුණෝද්, වේදිකා පසුතල හා රංග වස්ත්‍ර නිර්මාණයෙන් කෝසල ලක්ෂිත, ආලෝකකරණයෙන් තිසර සංකල්පත්, අංග රචනයෙන් චමිල් රාජපක්ෂත්, සංගීතයෙන් ජියුකාත් ඇතුළුව නාට්‍යවල සියලු කටයුතු සඳහාම සියල්ලන්ම පොදුවේ සහයෝගය දක්වනවා.

මේ සියලු දෙනාගේ එකමුතුවෙන් නිර්මාණ වේදිකා ගත වෙනවා.

වර්තමානයේ දිගු නාට්‍යයක වේදිකා ගතවන සමයක ඔබ කෙටි නාට්‍ය උලෙළක් වේදිකා ගත කරන්න සිතුවේ ඇයි ?

කිසිම වෙලාවක නාට්‍යයේ කාලසීමාවකින් ඒවා දිගු හා කෙටි වෙන්නේ නැහැ. එය වෙනස් වන්නේ ආකෘතිමය වශයෙන්. උදාහරණයක් විදියට ගත්තොත් කෙටි නාට්‍යයේ තියෙන්නේ එක සිදුවීමයි, එක ගැටුමයි. දිගු නාට්‍යයක එහෙම නැහැ. ඒ වගේම මගේ අතින් මෙතෙක් රචනා වී තිබෙන්නෙත් කෙටි නාට්‍යමයි. මොකද නාට්‍යයක් ලිවීමේදී එකම තැනක වාඩි වෙලා නාට්‍යයක් ලියනවා කියලා ලියන්න බැහැ. ඒ නිර්මාණය ඉබේ ලියවිය යුතු දෙයක්. මේ ලියවිල්ලට අනුව අවුරුදු දහයක් දොළහක්ම මගේ අතෙන් ලියැවුණේම කෙටි නාට්‍ය විතරයි. ඒවා මා වේදිකාවට රැගෙන ආවා. ඒ නාට්‍යවලට සම්මාන රැසකුත් ලැබුණා. ඊට පස්සේ ඒවා නැවතත් වේදිකා ගතවුණේ නැහැ. මොකද මේවා ටෙලි නාට්‍ය වගේ රූගත කිරීම් කරලා ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න පුළුවන් නිර්මාණ නොවෙයි. මේ හේතුව නිසා අද බොහෝ කෙටි නාට්‍ය නිර්මාණ එක්වරක් පමණයි නිෂ්පාදනය වෙන්නේ. මේ නිසා නාට්‍ය කණ්ඩායමක් විදියට අපට මේ තත්ත්වය වෙනස් කන්නයි උවමනා වුණේ. ඒ නිසා අපි නැවතත් ඒ නාට්‍ය නිෂ්පාදනය කළා. ඒ මේ නිර්මාණ නැවත නැවතත් ප්‍රේක්ෂකයාට නැරැඹීමේ අදහසින්.

කෙටි නාට්‍ය පමණක් නිර්මාණය කිරීමට ඔබට බලපෑවේ ඉහතින් සඳහන් කළ කාරණය පමණක්ද ?

උදාහරණයක් විදියට අපි ගෙයක් හදන්නට පටන් ගන්නේ අතේ තිබෙන මුදලට නේ. එහෙම නැතුව අතේ අඩු මුදලක් තියාගෙන ලක්ෂ පනහක ගෙයක් හදන්න අපි සැලසුම් කරන්න යන්නේ නැහැ නේ. නාට්‍ය ලිවීමේදි මෙන්න මේ කාරණයත් සවිඤ්ඤාණිකව බලපාන්නට ඇති කියලා මම සිතනවා. ඒ කියන්නේ මුදල කියන සාධකයත් බලපෑම් කන්නට ඇති බව මට සිතෙනවා. ඒ ගැන වැඩි වශයෙන් විස්තර කළොත් කෙටි නාට්‍යයක් කිරීමේදී අපට අවමය වැයවන්නේ ලක්ෂයක තරම් මුදලක් පමණයි. දිගු නාට්‍යයක් කරද්දි අපට අවමය ලක්ෂ පහකට කිට්ටු සංඛ්‍යාවක් වැය වෙනවා. මෙහෙම වනවිට දිගු නාට්‍යයක් රචනා කිරිමේදී ඔය කියන ආර්ථික සාධකය බලපාන්නට ඇති කියලා මා සිතනවා. මේ නිසා තනිවම දෙයක් කරනවාට වඩා කණ්ඩායමක් ලෙස කටයුතු කිරිමේදි ඒ ආර්ථික ශක්තිය ඉබේම නිර්මාණය වූ බවක් මට හැඟෙනවා.

මේ නාට්‍ය කණ්ඩායමෙන් සිද්ධ වෙන්නේ නාට්‍ය වේදිකා ගත කිරීම පමණක් ද ?

ඊට අමතව අපේම නාට්‍ය කණ්ඩායමේ ඉන්න අරුණෝද් විජේසිංහගේ කවිපොතක් එළි දැක්වීමටයි අප දෙවනුව සිතා ගෙන ඉන්නේ. ඊට පස්සේ මගේ කෙටි නාට්‍යයේ පහක් එකතු කරලා පොතක් එළි දක්වන්නටත් අපි අදහස් කරගෙන ඉන්නවා. මේ සියල්ලගෙන්ම පසුව මා ලියූ ස්වතන්ත්‍ර දිගු වේදිකා නාට්‍යය වන ‘උත්තරාරෝපිත තක්කඩියා වේදිකා ගතවීමට නියමිතයි. මේ නාට්‍යයේ රඟපාන්නේ ජගත් චමිල, උමයංගනා වික්‍රමසිංහ, අරුණෝද් විජේසිංහයි.

වර්තමානයේ නාට්‍ය සංවිධානය කරන සංවිධායකයන්ගේ අඩු අවධානයට යොමු වී තිබෙන අංශයක් වන්නේ කෙටි නාට්‍යයි. මේනිසා කෙටි නාට්‍යකරුවන්ට සිදුවී තිබෙන්නේ අසාධාරණයක් නේද ?

අපේ නිර්මාණ සම්මාන උලෙළවලින් සම්මාන ගත්තට පස්සේ සංවිධායකවරුන් ඇවිත් අපිත් සමඟ කතා කරනවා. කතා කරලා කියන්නේ ඔය ගොල්ලන්ගේ නාට්‍ය හොඳයි ඒත් විකුණන්න පුළුවන් නළු නිළියෝ නොමැති වගයි. ඔවුන් නොකියා කියන්නේ ටෙලි නාට්‍යය නළු නිළියන් නොමැති වගයි. ඇත්තම කිව්වොත් ටෙලි නාට්‍ය නළු නිළියන්ට අපේ නාට්‍යවල රඟපාන්න ඇවිත් වෙනත් කෙනෙක් කරන කැප කිරීම් කරන්න බැහැ. අපි සමහර විට අපේ කෙටි නාට්‍යයක් සඳහා මාස හයක් තරම් කාලයක් පුහුණුවීම් කරනවා. මේ නිසා මේ නිර්මාණ වෙනුවෙන් ඔවුන්ට ඒ තරම් කැප කිරීම් කරන්න බැහැ. එහෙත් සංවිධායකවරුන් පවසන්නේ ඔය නාට්‍යවල ඉන්න නළු නිළියෝ ටික හලලා ටෙලි නාට්‍ය නළු නිළියෝ ටිකක් දමලා කරන්න එවිට අපේ නිර්මාණ රටවටේ අරගෙන යන්න පුළුවන් බවයි. ඔවුන් ඒ නොකියා කියන්නේ විකුණන්න පුළුවන් නළු නිළියො ටිකක් දමලා නාට්‍ය කරන්න කියලයි. මම පෞද්ගලිකව ඒ කාරණයට කැමැති නැහැ. දිගු කාලයක් ලොකු කට්ටක් කාලා කරන මේ නිර්මාණ සංවිධායකවරුන් කිව්ව පමණින් වෙනස් කරන්න මට බැහැ. ඒකනම් මගෙන් කිසිම දවසක නොවෙන දෙයක්. මෙන්න මේ සියලු ගැටලුවලට පිළිතුරු අපේ නාට්‍ය කණ්ඩායම ඔස්සේ අපි සොයා ගත්තා. ඔවුන්ට බැණ බැණ ඉන්නේ නැතිව සංවිධායකවරුන්ට පිළිතුරක් ලෙසයි අපි මේ නාට්‍ය උලෙළ සංවිධානය කරන්නේ. මේ වනවිට එහි පළමු පියවර අපි ආරම්භ කළේ තිස්ස මහාරාමයෙන්. ඒ පෙම්වතුන්ගේ දිනයේදී. එහි දෙවැනි පියවරයි පුංචි තියටර් එකේ ආරම්භ වන්නේ.

ඔබගේ නාට්‍යවලට ජනපි‍්‍රය නළු නිළියන් නොමැතිකම තිස්ස මහාරාමයේ වගේ ප්‍රදේශයක ජනතාවට කළාද?

මුළු පේ‍්‍රක්ෂකාගාරයම පිරිලා ඉතිරිලා තිබුණා. ඒ සෑම දර්ශනයක්ම අවසානයේ ප්‍රේක්ෂකයන්ට මතුවුණු එකම ප්‍රශ්නය වුණේ අපේ මුහුණු රූපවාහිනියේ දකින්නේ නැත්තේ ඇයිද කියලයි. අපි ඔවුන්ට ඒ ගැන පැහැදිලි කළා. කොළඹදිත් මේ ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙයිද කියලත් අපට සිතෙනවා. එහෙත් කොළඹ වේදිකාව වටා එකතු වන ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය වෙනස් වග අප දන්නවා. ඔවුන් උගත්, බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක්. ඔවුන් වේදිකාව වටා එකතු වෙන්නේ නළු නිළියන් බලන්නට නොවෙයි.

කොහොම නමුත් සංවිධායකවරුන්ගේ ඒකාධිකාරයෙන් මිදෙන්නට ඔබටත් නොහැකියි ?

අපට තුන්වේල සොයා ගැනීමේ ගැටලුවක් ඇත්තේ නැහැ. ඒ මොකද අප සියලු දෙනාම රජයේ රැකියාවල් කරන අයයි. මම දේශපාලනය උගන්වන ගුරුවරයෙක්. අනෙක් අයත් ගුරුවරුයි. තවත් සමහරෙක් වෛද්‍ය වරයෙක් හා නීතිඥවරයෙක්. ඒ නිසා මුදල් කොළවලට රඟපාන්න අපට උවමනා නැහැ. මේ නිසා සංවිධායකවරුන්ගේ නීතිරීතිවලට යටත් වෙන්න උවමනාවක් අපට ඇත්තේ නැහැ. අපි ගන්න පඬිය සියයට හැත්තෑවක්ම වියදම් කරන්නේ මේ නිර්මාණ වෙනුවෙන්. ඉදිරියේදී අපි බලාපොරොත්තු වන්නේ අලුතෙන් නිර්මාණය වන හා රාජ්‍ය හා යොවුන් නාට්‍ය උලෙළවල් ඉලක්ක කරගනිමින් ඉදිරිපත් වන විශිෂ්ට ගණයේ නාට්‍ය නිර්මාණ යම් මිලදී ගැනීමක් කර ගැනීමෙන් උලෙළ හා සහභාගි කර ගැනීමටයි.

දක්ෂ හා චරිතාංග නළු නිළියන්ගේ අඩුවක් ක්ෂේත්‍රයේ පවතිනවා ?

ඒක ඇත්තක්. චරිතාංග නළුවා කියන්නේ චරිතයේ අංග නියම ලෙස හඳුනාගත් පුද්ගලයායි. අද ඒ නමින් හඳුන්වන අයගේ අත්තිවාරම ආරම්භ වෙන්නේ වේදිකාවෙන්. එහෙත් නළු නිළියන් නම් ඕනෑ තරම් ඉන්නවා. ඒ වගේ අය පඳුරකට පයින් ගැහුවොත් දෙදාහක් තුන්දාහක් සොයා ගන්න පුළුවන්. මම ඒ අය නම් කරන්නේ සමනල්ලු කියලා. සමනල්ලු වැස්ස වෙලාවකට ගහක් යටට ගියොත් තෙමෙනවා. හැබැයි උන් ලස්සනයි. උන්ට ආදරය හිතෙනවා. උන්ගේ ආයුෂ කෙටියි. ඒත් උකුස්සො, රාජාලියෝ වැස්සට ගහක් යටට යන්නේ නැහැ. උන් පියාඹන්නේ වලාකුළට උඩින්. ඒ නිසා උන් වැස්සට තෙමෙන්නේ නැහැ. සෞම්‍ය ලියනගේ, මහේන්ද්‍ර පෙරේරා, ජැක්සන් ඇන්තනී ඇතුළු තවත් බොහෝදෙනෙක් අයත් වන්නේ වලාකුළට උඩින් පියඹන ගණයටයි. අපේ අදහස වන්නේ සමනල්ලු කියන ගොඩට නළු නිළියන් පොම්ප කිරීම නොවෙයි. අනෙක් ගොඩට නළු නිළියන් පොම්ප කිරීමයි. ඔවුන්ව රූපණවේදීන් බවට පත් කිරීමයි. යම් දවසක රංගන ක්ෂේත්‍රකයේ දක්ෂ වගේම චරිතාංග නළු නිළියන්ගේ හිඩසක් නිර්මාණය වෙනවා. ඒ හිඩසට අවශ්‍ය නිර්මාණකරුවන් කවදා හරි පොම්ප කිරීමට සිදුවන්නේ වේදිකාවෙන්. ඒ පිරිසයි අපි මේ නිර්මාණය කරන්නේ. ඒ පිරිස නිර්මාණය කිරීමට අවශ්‍ය අත්තිවාරමයි මේ දමන්නේ. ඒ පිරිස අතරට අපේ කණ්ඩායමෙන් එක් කෙනෙක් හරි පොම්ප කරගන්න පුළුවන් නම් එයයි අප ලබන සතුට වන්නේ.

ධර්මසිරි බණ්ඩාරනායක වැනි ප්‍රවීණ නාට්‍යකරුවෙක් ඇසුරේ හැදුණු වැඩුණු ඔබ ඇතුළු පිරිස ඔහුගෙන් ලබාගත් අත්දැකිම් මොනවාද ?

ඇත්තටම ධර්මසිරි බණ්ඩාරනායක වැනි පතාක යෝධයා අපට හමුනොවෙන්න මම කිසිම දවසක මේ නාට්‍යය නැවත නිෂ්පාදනය කරන එකක් නැහැ. වේදිකාව කියන එක මොකක්ද කියලා හඳුනා ගන්න එකක් නැහැ. ඒ කියන්නේ ඔහු ළඟට ගියාට පසුවයි අප මොකක්ද මේ වේදිකාව කියලා හඳුනා ගත්තේ. ඔහු හමුවන්න පෙර අප නිර්මාණ කරලා තිබුණ බව ඇත්තයි. එහෙත් එතෙක් අප වේදිකාව උඩ කර කර ඉඳලා තිබුණේ ටෙලි නාට්‍ය යයි. ඒ නිසා වේදිකාව උඩ කළ යුත්තේ කුමන දෙයක්ද යන්න පැහැදිලි කළේ ඔහුයි. ඒ විතරක් නොවෙයි වේදිකා නළුවෙක් කොයිතරම් කියවිය යුතුද? ඔහු කොයිතරම් දැනුමකින් සමන්විය යුතුද? ඔහුට කෙතරම් ඉවසීමක් තිබිය යුතුද? ඔහු කෙතරම් විනයකින් සමන්විත විය යුතුද? යන කාරණාත් අපට කියලා දුන්නා. අවසාන වශයෙන් මා පවසන්නේ ධර්මසිරි බණ්ඩාරනායක කියන්නේ රූපණවේදය පිළිබඳ විශ්වවිද්‍යාලයක් යන්නයි.