වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




ඉම්පීරියල් සහ ඉම්පාලා

ඉම්පීරියල් සහ ඉම්පාලා

සරසවිය පුවත්පත සිය 52 වැනි ජන්ම දිනය සමරනුයේ හෙට එනම් අප්‍රේල් 10 වැනිදාය. මෙකී වසර පනස් දෙක ඇතුළත සිනමාව කේන්ද්‍ර කරගත් පුවත්පත් රාශියක් බිහිවුණ ද ඒ කිසිම පුවත්පතකට දීර්ඝායුෂ ලැබීමේ වාසනාව තිබුණේ නැත. යුගයෙන් යුගය පරිවර්තනය වුණ ආකල්ප හඳුනා ගැනීමත් එමෙන්ම පත්තර මහගෙදර නම් ලේක්හවුස් ආයතනය ඡන්ම භූමිය කර ගැන්මේ වාසනාවත්, උප්පත්ති වෙලාවේ බල මහිමයත් හේතුවෙන් ‘සරසවිය’ ඉදිරි පරම්පරාව සඳහා ද දායාදයක්ව තිබේ. එය ආරම්භ කිරීමෙහි ඇපකැප වූ සියලු දෙනාටත්, එදා මෙදා තුර එහි කර්තෘ ධුරයන් හෙබ වූ මීමන පේ‍්‍රමතිලක, විමලසිරි පෙරේරා, ධර්මදාස බොතේජු, ග්‍රැන්විල් සිල්වා, ඒ. ඩී. රංජිත් කුමාර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල, ගාමිණී සමරසිංහ, මෙන්ම එහි සේවය කළ සියලු කර්තෘ මාණ්ඩලිකයන්ගේ කැපවීම එහි පදනම විය. ලේක්හවුස් ආයතනයේ මුල් පුටුවේ සිට පහළම සේවකයන්ගේ දක්වා වූ ආදරය, කැපවීම සරසවිය වෙත හැමදාම ලැබිණි. එමෙන්ම පනස් දෙවසරක් මුළුල්ලේ සිනමාව, නාට්‍ය, සංගීතය, සාහිත්‍යය ඇතුළු සියලු කලා මාධ්‍යවල නියැළි සකළ කලාකරුවන්ගේ උණුසුම් ප්‍රතිචාරය එයට උරුම විය. පනස් දෙවසරක් මුළුල්ලේ දිනෙන් දින වර්ධනය වෙමින් අප වෙත සමීපව සිටින පාඨක සමූහයා (පුවත්පතේ මෙන්ම අන්තර්ජාලයේ) අපගේ යෝධ ශක්තියක්ව ඇත්තේය. මේ සියල්ලන්ටම හිස නමා ආචාර කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. චිරාත් කාලයක් සරසවිය පරම්පරාවෙන් පරම්පරාවට ඔබ සමඟ සිටිනු දැක්ම අපේ ප්‍රාර්ථනයයි. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.

පසුගිය සතියේ දවසක මම දිගු කලකට පසු චිත්‍රපටයක් නැරැඹීම සඳහා සිනමාහලකට ගොඩ වැදුණෙමි. දිනපතා සිනමාහල්වලට ගොඩ වැදී චිත්‍රපට නැරැඹීමේ පුරුද්ද මගෙන් ගිලිහුණේ වසර ගණනාවකට පෙරය. ඒ වෙනුවට ඒ හැම චිත්‍රපටයක්ම මගේ පාඩුවේ ගෙදරට වී නරඹන්නට මම ඇබ්බැහි වූයෙමි. ඒ දවස්වල සිනමාහල්වලට ගොඩ වැදෙමින් චිත්‍රපටයක්ම ජාති බේදයකින් තොරව නරඹන මා ගැන මගේ මිතුරන් එකල පැවසුවේ භාරයක් ඔප්පු කරන්නට චිත්‍රපට නරඹන බවය. ගෙදරට වී චිත්‍රපට නැරැඹීමට ඇබ්බැහි වූ පසු සිනමාහලකට යනවාට වඩා වැඩි සංඛ්‍යාවක් චිත්‍රපට නරඹන්නට මට හැකි විය. ඉඳින් මගේ මිතුරෝ බාරය ගැන දැන් කෙසේ කියනවාදැයි මා දන්නේ නැත. කෙසේ වෙතත් මේ වන විට අපේ රටේ සිනමා ශාලා රාශියක් අලුතෙන් ඉදි වී ඇත්තේය. ඒ බොහොමයක් සිනමා ශාලා සුඛෝපභෝගී ත්‍රිමාන සිනමා ශාලාය. මා ගිය සතියේ ගියේ ද එබඳු සිනමා ශාලාවකටය.

චිත්‍රපටය ආරම්භ කරනතුරු එහි ආපනශාලාවට ගිය මට දැනුණේ සිනමා ශාලා දියුණු වූවාට මිනිසුන්ගේ ආකල්පවල එහෙමට වෙනසක් සිදු වී නැති බවය. ආපන ශාලාවේ මගේ ඇණවුම භාර ගන්නට සිටි තරුණයා සිටියේ දුරකථන මල් කැඩීමකය. මේ මල් කැඩීම කෙතරම් ද යත් මා හෝ සෙසු ගනුදෙනුකරුවන් කිසිවකුත් ඔහුට වැදගත් වූයේ නැත. ඔහු සියලු ගනුදෙනු ඉෂ්ට සිද්ධ කළේ මල් කඩන අතරතුරය. අද එදා මෙන් සිනමා ශාලාවල දිගු පෝලිම් නැත. චිත්‍රපටයක් නැරැඹීමට සිනමා ශාලාවට ප්‍රේක්ෂකයා ගෙන්වා ගත යුතුව තිබියදීත් තවමත් ඔවුන්ගේ ඇඟට කඩා පනින ඕනෑ නම් බලපන් නැත්නම් ගෙදර පලයන් යන න්‍යායෙන් කටයුතු කරන ශාලා සේවකයෝ එමටය. කලකට ඉහත චිත්‍රපට පෝළිමෙන් පනින පේ‍්‍රක්ෂකයන්ට තඩිබෑම සඳහා වෙනම චණ්ඩින් සිටියහ. රසිකයන් ගුටිකා හෝ චිත්‍රපටය නරඹන්නට නම් ශාලාවට යා යුතු විය. එහි පහසුකම් ගැන කිසිවකු හෝ මැසිවිල්ලක් නැගුවේ නැත. චිත්‍රපට නරඹන්නට ගොස් තෙරපී මියගිය මිනිසුන් ගැන ද එකළ වාර්තා විය. ශාලාවේ පෝලිම ගෝරිවලට මුල්තැනක් විය. අද නම් චණ්ඩි අවශ්‍ය වන්නේ සිනමා ශාලාව ළඟින් ඉවත බලා යන පිරිස ශාලාවට රිංගවා ගැනීමටය.

කුරුණෑගල ඉම්පීරියල්

රාජගිරිය ඉම්පාලා

කෙතරම් සිනමා ශාලා තැනුව ද ඒවා වැඩි දියුණු කළ ද, එහි සේවය කරන්නන්ගේ ආකල්ප ද වෙනස් කළ යුතු බව අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. ඒ කෙසේ වෙතත් පසුගිය සතියේ දිවයිනේ තිබූ පැරැණි සිනමා ශාලාවක් වන කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාව ඩිජිටල්කරණය වී ත්‍රිමාන සිනමාහලක් බවට පත් විය. වසර ගණනාවක් මුළුල්ලේ සිංහල චිත්‍රපට සඳහා වෙන් කෙරුණු ජනප්‍රිය ශාලාවක් වන රාජගිරියේ ඉම්පාලා සිනමා ශාලාව හෙට එනම් 10 වැනිදා කඩා දැමීමට නියමිතය. එම පැරැණි සිනමා ශාලාව වෙනුවට දැවැන්ත සිනමා සංකීර්ණයක් එහි ඉදි කිරීමට නියමිතය. එබැවින් ඉම්පීරියල් ටෝකීස් වෙත මෙන්ම ඊ. ඒ. පී. සිනමා සමාගමට අපගේ ප්‍රණාමය හිමි වෙයි. කුරුණෑගල ඉම්පීරියල් සිනමාහල මා ජීවිතයේ මුල්වරට චිත්‍රපටයක් නැරැඹූ ශාලාවයි. අත දරුවෙකුව සිටි මා වඩාගෙන ඉම්පීරියල් සිනමාහලේ 'පිපෙන කුමුදු' චිත්‍රපටය නරඹන්නට ගොස් සිදු වූ කරදරය අපේ පවුලේ එක කාලයක ජනපි‍්‍රය කතාවක් විය. චිත්‍රපටයේ මුල් දර්ශනය නරඹද්දී මහ හඬින් අඬන්නට පටන් ගත් නිසා මගේ මව්පියන් කළේ සිනමාහලෙන් එළියට බැසීමය. දෙවනුව නරඹන්නට ගිය 'බිනරමලී' චිත්‍රපටයේ අලියකු එන දර්ශනයක් විය. තාත්තාගේ ගෙල බදා ගත් මා අලියාට බියේ මරලතෝනි දුන් බැවින් එදින ද සිදුව තිබුණේ පෙර වින්නැහියමය. පසුකලෙක ලෝක සිනමාව ගැන මගේ පණ්ඩිත කතා අසන තාත්තා එම මතවාද නිෂ්ප්‍රභා කරන්නේ ඔය සිදුවීම් දෙක මහ හඬින් කියාපාමිණි. අද තාත්තා ජීවතුන් අතර නැත.

ඉම්පාලා සිනමාහල පිහිටියේ හරියටම කොළඹ නගරයේ සීමාවෙන් යාර ගණනාවකට එපිටිනි. සිනමා ශාලාවටත් ආයුර්වේද රෝහලටත් අතරින් යන ඇළ මාර්ගයේ අතීතයේදී නගරයට ඇතුල් වන්නන්ගෙන් බදු ගන්නා තැන විණැයි ඉතිහාසයේ සඳහන්ය. ඉම්පාලා සිනමාහලේ මා නැරැඹූ මුල්ම චිත්‍රපටය 'රත්ත්‍රං අම්මා'ය. ඇත්තටම 'රත්තරන් අම්මා' වුවත් 'රත්ත්‍රං අම්මා' වූයේ ගණ හොඳ නැති නිසාය. එම සිනමාහලට ඉම්පාලා යන නම ලැබුණේ එහි හිමිකරුව සිට අභාවප්‍රාප්ත චිත්‍රපට නිෂ්පාදක ඊ. ඒ. පී. එදිරිසිංහගේ මුල්ම මෝටර් රථය ඉම්පාලා වර්ගයේ රථයක් නිසා යැයි මා අසා ඇත. එකල ඊ. ඒ. පී. සිනමාපටවල මේ මෝටර් රථය දැකගත හැකි විය. ඉම්පාලා වර්ගයේ මෝටර් රථ දෙක තුනකට වඩා එකල ලංකාවේ තිබුණේ නැත. එයින් එක් රථයක් ඊ. ඒ. පී. එදිරිසිංහ සතු වූවා සේම අනෙක් රථයේ හිමිකාරයා වූයේ තවත් ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙක් හා අධ්‍යක්ෂවරයෙක් වූ රොබින් තම්පෝය. තම්පෝගේ චිත්‍රපටවල ද ඔහුගේ ඉම්පාලා රථය දකින්නට හැකි විය.

ඉම්පාලා සිනමාහල පිළිබඳ මගේ අපූරු මතකයක් නම් වරක් මා සිනමාහලට ගොඩ වැදුණේ මගේ බිරිය දරු ප්‍රසූතියට ආසන්න සමයේය. ඒ දිනකට පැය ගණනාවක් විදුලි බලය ඇණ සිටින කාලයක් විය. ගෙදර රස්නය වැඩි නිසා මමත්, භාර්යාවත් සිනමා ශාලා සොයා රිංගන්නට පුරුදුව සිටියෙමු. එක් දවසක් එහි තිරගත වූයේ භීෂණාත්මක (ඩ්ධපපධප) ඉංග්‍රීසි චිත්‍රපටයකි. මගේ ගැබිණි භාර්යාව දුටු ශාලාවේ මහලු කළමනාකාරවරයා නෝනාට ඔය වගේ ෆිල්ම් පෙන්වන්ට හදන්නේ පිස්සුවටදැයි මට බැණ වැදිණ. උපදින්නට ඉන්න එකා සිනමා රසිකයෙකු වීම හොඳ යැයි සිතූ මම ශාලා කළමනාකරුගේ කාරුණික බැනුම පැහැර හැරියෙමි.

කෙසේ වෙතත් පසුගිය වකවානුවේ දිවයින පුරා බොහෝ සිනමාහල් කම් වූ පරිද්දෙන් වැසී ගියේය. පසුගිය සතියේ නවීකරණය වූ ඉම්පීරියල් සිනමාහල අයත් සමාගම මෙරට සිනමා ව්‍යාපාරයට එක් වන්නේ නිහඬ සිනමා යුගයේය. බිහිවීම අතින් ඉම්පීරියල් මෙරට පැරැණිතම සිනමා ව්‍යාපාරයකි. කතානාද සිනමාව එළැඹීමත් සමඟ ඔවුන් පැරැණි හැව අතහැර දැමුවේ නිව් ඉම්පීරියල් ටෝකීස් යනුවෙන් වෙනස් වෙමිනි. මුල් යුගයේ ජංගම සිනමා ශාලා මඟින් ගමින් ගමට ගිය ඔවුහු පසු කලෙක ස්ථාවර සිනමා ශාලා ගොඩ නඟා ගත්හ.

අස්වනු නෙළා මුදල් ගෙට ගන්නා කාලයේ කූඩාරම් ආසන, සිනමා තිර, ප්‍රක්ෂේපණ යන්ත්‍ර මෙන්ම හට්ටි මුට්ටි ද පොදි බැඳගෙන ගම් වදින සංචාරක සිනමා ව්‍යාපාරිකයන් අසූව දශකය දක්වාම සුලභ වූහ. ලෝක සිනමාවේ ව්‍යාප්තියට ඔවුහු අතීතයේ දී විශාල මෙහෙවරක් ඉටු කළහ. ඉන්දියානු සිනමා ඉතිහාසය ගැන කියවද්දී මුල් යුගයේ සංචාරක ව්‍යාපාරිකයන් ගැන අසන්නට ලැබෙන රස කතා බොහොමයකි. ඔවුන් ඇතැමෙක් ප්‍රවේශ පත්‍ර සඳහා ගෙවන මුදල වෙනුවට ගැමියන්ගෙන් අයකර ගත්තේ අස්වැන්නය.

ලංකාවේ ඉම්පීරියල් සමාගම සිය ඉතිහාසයේ පවසන්නේ පෝලන්ත ජාතිකයකු විසින් සිය සමාගම ආරම්භ කරන ලද බවය. මුල්ම ඉන්දීය කතානාද චිත්‍රපටය නිපදවීමේ ගෞරවය දිනාගත් අර්දේශාර් එම්. අයිරාණි මෙන්ම ඔහුගේ ජීවිත කාලය පුරා ව්‍යාපාරික සගයා වූ අබ්දුල්ලාල් යුසුෆාලි දෙදෙනා සිය ව්‍යාපාර ආරම්භ කරනුයේ සංචාරක චිත්‍රපට ප්‍රදර්ශනයෙනි. ඔවුන් සිය ප්‍රදර්ශන සමාගම නම් කරන ලද්දේ ද ඉම්පීරියල් නමිනි. ඔවුන් ඉන්දියාවේ මෙන්ම ලංකාවේද 1907 වසරේ සිට ගමින් ගම යමින් චිත්‍රපට ප්‍රදර්ශනය කළ බව ඉන්දියානු සිනමා ඉතිහාසය වාර්තා කරයි. එම ඉම්පීරියල් නමත් ශ්‍රී ලංකාවේ ඉම්පීරියල් සමාගමත් අතර සබඳතාවක් ඇත්දැයි මට තවමත් සොයා ගත නොහැක. එහෙත් ඉන්දියාවේ පාර්සි ජාතිකයන් වූ අයිරාණිලා මෙරට දී ඉම්පීරියල් නමින් සිනමා ව්‍යාපාරයේ යෙදුණ බව ඇත්තය. මේ ඉතිහාසය සොයා බලද්දී ඉන්දියාවේ මදාන් සමාගම මෙරට ස්ථාවර සිනමාශාලා ඉදි කරද්දී ඉන්දියාවේ ඉම්පීරියල් සමාගම මෙරට ජංගම චිත්‍රපට ප්‍රදර්ශනය කළ බව පෙනෙන්නකි. මුල්ම ඉන්දීය කතානාද චිත්‍රපටය නිපදවීමේ තරගයෙන් මදාන් පැරද වූ ඉම්පීරියල් ජය ගත්තේය. මදාන් සමාගමේ ව්‍යාපාර පසු කලක සිලෝන් තියටර්ස් වෙත පවරා ගැනිණ. ඉම්පීරියල් නමින් මෙරට චිත්‍රපට සමාගම් දෙකක් ජංගම චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදුණි ද යන්න සිනමා ඉතිහාසඥයන් විසින් සොයා බැලිය යුතු කරුණකි.

ඉන්දියාවේ ඉම්පීරියල් සමාගම 1920 වන විට ජංගම චිත්‍රපට ව්‍යාපාරයෙන් ඉවත්ව මුම්බායි නගරයේ ඇලෙක්සැන්ඩ්රා සිනමාහල ඉදි කළහ. මෙරට ඉම්පීරියල් මෙන්ම තවත් ජංගම සිනමා ප්‍රදර්ශකයන් රාශියක් සිටියහ. අද ඩී වී ඩී අලෙවි කරන්නාක් මෙන් එකල ජංගම සිනමා ශාලා විශාල ආදායමක් ඉපයූහ. විශිෂ්ට රංගධර ජෝ අබේවික්‍රමයන් සිනමාවට පිවිසියේ ද නව ජීවන සමාගමේ ජංගම සිනමා ශාලා කළමනාකාරවරයකු හැටියටය. අපේ සිනමා ඉතිහාසයේ ඉතිහාසය පිළිබඳ ලියන බොහෝදෙනකු නිහඬව මාහැගි සේවයක් කළ ජංගම චිත්‍රපට ප්‍රදර්ශනය පිළිබඳ අධ්‍යයනයක් කර නොමැති බව මගේ විශ්වාසයයි. එබැවින් දන්නා කරුණු ටිකක් ඉදිරි දිනයකදී ලියන්නට සිතා ගතිමි.