|
||||
තාත්තාගේ මිතුරන් කොටස් දෙකකට බෙදිය හැකියි
ප්‍රවීණ සංගීතඥ සරත් දසනායක පුත් රංග දසනායක
තාත්තාගේ මෙවර ගුණ සමරුවටත් කාලය කෙමෙන් ළං වෙනවා නේද? ඔව්. මෙවර යෙදී තියෙන්නේ දාසය වන ගුණ සමරුව. නොවැම්බර් දහ අට වෙනිදාට තාත්තා නැති වෙලා වසර දහසයක් සපිරෙනවා.
මේ දාසය වසර පුරා තාත්තා ගැන සැමරීමක් සිද්ධ කළේ නැද්ද? පවුලේ අපි සිහිපත් කළා ඇරෙන්න වෙන කවුරුවත් එහෙම දෙයක් කළේ නැහැ. අපේ රටේ කලාකාරයෝ අතළොස්සක් හැරුණු කොට අනෙක් හැම කලාකාරයකුටම අත් වූ සිද්ධි සමුදාය මගේ තාත්තටත් අත් වුණා. ඔබ ඔය කියන්නේ මොන වගේ අදහසක්ද? මගේ තාත්තා මේ රටේ ශ්‍රේෂ්ඨ කලාකාරයෙක් කියන දේ අවිවාදයෙන් පිළිගත්තු, පිළිගත යුතු දෙයක් වුවත් කලාකාරයකුව ඇගැයීමට ලක් නොකිරීම මේ දහසය වසර පුරා සිද්ධ වෙච්ච දෙයක්. තාත්තා ජීවත් වෙලා හිටිය කාලේ වුණත් එහෙමයි. එවැනි ඇගැයීමක් සිද්ධ වුණේම නැති තරම්. ඇයි තාත්තාගේ ගුරුහරුකම් ලබා බිහි වූ ගෝල පිරිස් ගායක ගායිකාවන් තාත්තා ගැන අද කතා කරන්නේ නැද්ද?
අද වෙන කොට තාත්තාගේ නිර්මාණ එක් වූ ගීත විස්සක් තිහක් දවසකට අපේ ගුවන් විදුලි
රූපවාහිනි නාළිකාවල විකාශය වෙනවා. එවැනි මාධ්‍යවල විකාශය වන වැඩසටහන්වලට තාත්තාගේ
ගෝල බාලයන් එක් වෙනවා. ඒත් කවුරුවත් තාත්තාගේ ගීත ඉදිරිපත් කළත් තාත්තා ගැන වචනයක්
කතා කරන්නේ නැහැ. සරත් දසනායක කියල සංගීතවේදියෙක් මේ ගීත සංගීතවත් කළා කියලා ඒ අය
නිකමටවත් කියන්නෙවත් නැහැ. ඕකයි ඇත්ත තත්ත්වය. අපේ හැම කලාකාරයෙකුටම ඔබ කියන ඔය ගුණමකුකම පොදු ද? චන්ද්‍රිකා සිරිවර්ධන, නන්දා මාලිනී, ලතා වල්පොල මහත්මීන් කිහිප අවස්ථාවක මාධ්‍ය වැඩසටහන්වලදී බොහෝ විට මගේ තාත්තා ගැන කතා කරනවා මම අහල දැකලා තියෙනවා. සමහර කලාකරුවන් වෙනුවෙන් උපහාර උත්සව පවත්වනවා. මියගිය කලාකරුවන් ගැන ගුණානුස්මරණ උත්සව, ප්‍රසංග සංවිධානය වෙනවා. ඒත් ඔබේ පියා වෙනුවෙන් එවැන්නක් අපිට තවම දකින්න ලැබුණේ නැහැ? උපහාර උත්සව ගැන යෝජනා කිහිපයක්ම මට ආවා. හැබැයි ඒ එකකටවත් මම කැමැති වුණේ නැත්තේ ඒ හැම එකක්ම ආර්ථික වාසි තකා කරන්න හදපු නිසා. මට එදත් අදත් අවශ්‍ය වුණේ නැහැ තාත්තාගේ නම විකුණගෙන හරි හම්බ කරන්න. ඒත් එදා තාත්තාගෙන් හරි හම්බ කරගත් අදටත් තාත්තා ජීවතුන් අතර නැතත් තාත්තාගෙන් හරි හම්බ කරගන්න ලොකු පිරිසක් ඉන්නවා. මට අවශ්‍ය නැහැ තාත්තාට උපහාර උත්සව තියන මුවාවෙන් සල්ලි හම්බ කර ගන්න. වර්තමානය වන විට සංගීතයේ නව මං පෙත් සොයා යන සංගීතවේදියෙක් ලෙස අඩු තරමින් කවුරු නැතත් තාත්තා වෙනුවෙන් ඔබ අතින්වත් උපහාරයක් පුද දිය යුතු කාලය නොවේද දැන්? එවැනි සූදානමක් මගේ තියෙනවා. ඒක සමහර විට තාත්තාගේ දාසය වන ගුණ සැමරුමට කලින් සිද්ධ වෙයි. කරුණාරත්න අබේසේකරගේ පුත් දිලීප අබේසේකරත් මමත් එකට එකතු වෙලා අපි දෙන්නාගේම තාත්තලාගේ නිර්මාණ එකතුවක් ඇතුළත් උපහාර උත්සවයක් තමයි තියන්න බලාපොරොත්තුව. තාත්තාගෙන් හැදුණ වැඩුණ කොච්චර පිරිසක් ඉන්නව ද? ඒ අයට ඕනෑකමක් තිබුණා නම් තාත්තා වෙනුවෙන් ආර්ථික වාසිවලින් බැහැරව උපහාරයක් තියන්න. ඕනෑ විදියට උදවු කරන්න මම ලෑස්තියි. තාත්තාගේ අභාවයත් සමඟ තාත්තා වටා රොක් වෙලා හිටිය හිත මිත්‍රාදීන් ඔහුගේ මරණයත් සමඟ ඔබේ පවුලෙන් ඈත් වුණාද? තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ එයාට ගොඩක් මිතුරන් හිටියා. ඒ මිතුරන් වුණත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. තාත්තාට හිතවත් සහෝදරත්වයෙන් ඇසුරු කළ පිරිස් හා මත්පැන් උදෙසා මිතුරන් වූ පිරිස් වශයෙන් කියලා. කොහොම හරි තාත්තාව සහෝදරත්වයෙන් ඇසුරු කළ කීප දෙනෙක් ඇරෙන්න අනික් හැම කෙනෙකුටම තාත්තා වගේ කෙනෙක් මේ ලෝකයේ හිටියා ද කියලාවත් මතක නැහැ. කිහිප දෙනෙක් නම් අදටත් අපේ දුක සැප විමසනවා. සමන් චන්ද්‍රනාත් වීරසිංහ, දයා විමලවීර, බුද්ධි කීර්තිසේන, චන්ද්‍රිකා සිරිවර්ධන, සෝමපාල ලීලානන්ද වගේ කීප දෙනෙක් නම් අප ගැන වචනයකින් හරි සොයා බැලීමක් කළා. ඔබ තාත්තාව හඳුනාගෙන හිටියේ මොන වගේ පුද්ගලයෙක් විදියටද?
ගමේ කියන දේ ඇඟ පුරා දුවපු සරල ජීවිතයක් ගත කළ පුද්ගලයෙක් තමයි තාත්තා. මේ රටේ ජනප්‍රිය සංගීතඥයෙක් වුණාට සරල නිරහංකාර පුද්ගලයෙක් වශයෙනුයි ජීවත් වුණේ. බොහොම සංවේදී චරිතයක්. එයා ඒ කාලේ හරියට ප්‍රිය කළා පොලට ගිය වෙලාවට හමුවන විවිධ තරාතිරමේ පුද්ගලයන් හා කතාබස් කරන්නට. මටත් නංගිටයි මල්ලිටයි හොඳ පියෙක් වගේම මගේ අම්මට හොඳ ස්වාමි පුරුෂයෙක් වුණා. තාත්තා හරි සංවේදී කෙනෙක්. පොඩි දේටත් එයාට දුක දරාගන්න බැරිව අඬනවා. ඒ වගේම කෙන්තිත් යනවා. හැමෝම විශ්වාස කරන කෙනෙක්. මධුවිතට ලොල්වීමත් එයා තුළ තිබුණ එක දුර්වලකමක්. තාත්තාගේ හීනයක් තිබුණද කවද හරි ඔබව සංගීත ක්ෂේත්‍රයේ තැනකට ගේනව කියලා? තාත්තාට ලොකු ඕනෑකමක් තිබුණා මට ශබ්දාගාරයක් හදල දෙන්න. සංගීතයට මම කුඩා කාලයේ පටන් ආශා කළා. උසස් පෙළ කරල ගෙදර ඉන්න කොට මාව කීබෝඩ් ඉගෙන ගන්න ක්ලෝඩ් ප්‍රනාන්දු මහත්තයා ළඟට මාව යොමු කළා. ඊට පස්සේ ලාල් දිසානායක මහත්තයා ළඟට යොමු කළා ශබ්දාගාරයක වැඩ කටයුතු ඉගෙන ගන්න. මේ ආයතනයට විශාල වශයෙන් වෙළෙඳ දැන්වීම් ආවා සංගීතය එක් කරන්න. මේ පිළිබඳ මගේ ලොකු ආශාවක් ඇති වුණා. ඒ නිසාමයි මම අමෙරිකාවේ නිව්යෝර්ක් ඉන්ස්ටිටියුට් ඔෆ් ඕඩියෝ රිසර්ච් ආයතනයට ඇතුළු වී ශබ්ද පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. තාත්තා එක්ක වැඩ කරන්නත් ඔබට අවකාශ උදා වුණාද? 92' දී පටන් මට තාත්තා සමඟ එයා දායක වූ හැම චිත්‍රපටයකම වැඩවලට දායක වුණා. ආත්මා චිත්‍රපටයේ හැම දේටම මම සහභාගි වුණා සංගීතය පැත්තෙන්. පියාගේ අඩි පාරේම යාමක් ද ඔබ අපේක්ෂා කරන්නේ? කොහෙත්ම නැහැ. තාත්තා ඉන්දීය රාගධාරී සංගීතයට ජන සංගීතයට බරව තමයි තමන්ගේ නිර්මාණ බිහි කළේ. මම බටහිර සංගීතයට බරව තමයි නිර්මාණ බිහි කරන්නේ. මගේ පරම්පරාවේ නිර්මාණවලට බටහිර ආර අවශ්‍ය දෙයක්. තාත්තාගේ ආභාෂය ලැබුණත් තාක්ෂණයත් සමග ඉදිරි ගමනක් තමයි සංගීත ලෝකයේ මා නියැලී සිටින්නේ. තාත්තාගේ සංගීත නිර්මාණ කොතෙක්ද කියා ඔබ ළඟ සංඛ්‍යා ලේඛන තියෙනවාද? තාත්තා මිය යන කොට අවුරුදු පනස් අටයි. ඒ කාලය තුළ ඔහු අතින් චිත්‍රපට 152 කට සංගීතය සපයලා තිබුණා. කොතරම් ගීත සංඛ්‍යාවකට සංගීතය සපයලා තිබුණා ද කියලා අදටත් අපි දන්නේ නැහැ. සරත් දසනායකයන්ට මෙරට සංගීත ක්ෂේත්‍රයට කළ සේවයට ලැබුණු උපහාර ගැන ඔබ තෘප්තිමත්ද?
කොහෙත්ම නැහැ. තාත්තා ජීවත්ව සිටි කාලයේ ඔහුට ලැබෙන්න තිබුණ සම්මාන පවා නොලැබී ගියා. හොඳම ගීතයට සම්මාන දෙන කොට ගායකයා, පද රචකයා සම්මාන ගන්න කොට සංගීතඥයා විදියට තාත්තාට සම්මාන අහිමි කළා. මේ වගේ කුහක වට පිටාවක් තුළ තාත්තාට ලැබුණේ සම්මාන නොවෙයි, සිත් රිදීම්. මම කියන්නේ රජයට වුණත්, ගුවන් විදුලි, රූපවාහිනී මාධ්‍යයට වුණත් අපේ රටේ විශිෂ්ට කලාකරුවන් පිළිබඳ වසරකට වරක්වත් සැමරීමක් කරන්න කියලා. එවැනි සැමරුමක් ඇගැයීමක් කිරීම තුළ අලුත් පරම්පරාවක් නිරන්තර දැනුවත් කිරීමක් අත් විඳිනවා. දැන් ඔබේ පවුල් තොරතුරු කොහොමද? මමත්, මගේ නංගි ලක්මාලිත් විවාහකයි. අපේ මල්ලි සංඛ. අම්මා ප්‍රීති දසනායක මම ගාවත් නංගි ගාවත් ජීවත් වෙනවා. මගේ බිරිය උපේක්ෂා වගේම මට චෙනිත, මිනෙව් නමින් පුතාලා දෙන්නෙකුත් ඉන්නවා. තාත්තාගේ හදිසි වියෝව ඔබේ පවුලේ අනාගතයට කොයි ආකාරයේ බලපෑමක් ද ඇති කළේ? තාත්තා මිය යන කොට මම අමෙරිකාවට ගිහින් සති දෙකයි. මම ආයෙත් තාත්තාගේ අවමඟුලට ගෙදර ආවා. ඒ එනකම් සියලු වගකීම් කරට අර ගත්තේ නංගි ලක්මාලි. අම්මත් මල්ලිත් බලාගෙන මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යන්න මට මනස හදාගගන්න මුලු පවුලේ වගකීම් සියල්ල කරට ගෙන ආයෙත් මට අමෙරිකාවට යන්න ශක්තියක් වුණේ නංගි. ඉගෙන ගෙන යළි ලංකාවට එනකම් අම්මගේ, මල්ලිගේ වගකීම් රුඳිලා තිබුණේ නංගි අතේ. පියා නැති හුදකලා ලෝකයේ තනිය පාලුව දැනෙන්නේ සංඛටද? අපේ වෙර වීරියෙන් අපි තෝරා ගත් මඟේ ඉදිරියට ආවා. ඒ එන කොට තාත්තා ජීවතුන් අතර නෑ. අපිට පුළුවන් වෙන කොට සලකන්න තාත්තා නැහැ. ඒ ගැන මතක් වෙන කොට හිතට හරි දුකයි. මල්ලි විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්. එදා තාත්තා ඉන්න කොට එයා තාත්තා යන හැම තැනකම රෙකෝඩින්වලට එයත් අරන් ගියා. අපිට වඩා එයා තමයි තාත්තා එක්ක එදා කලා ලෝකයේ ගැවසුණේ. තබ්ලාව, ඕගන් එක එයාට වාදනය කරන්න පුළුවන්. එදා තාත්තා වාදක මණ්ඩලය මෙහෙයවපු ආකාරයට සංඛ මල්ලිය ඒ රිදම් එකට මෙහෙයවන්න හරිම සූරයා. තාත්තා නැති අඩුව අපිටත් වඩා එයාට තදින් දැනෙනවා. එදා තාත්තාගේ හොඳම රසිකයත් එයා. එයාගේ පණ තාත්තා. එයාගේ එකම සතුට තාත්තාගේ සිංදු අහන එක. තාත්තාගේ ගීතවලින් ඔබ වඩාත් ආශා මොන නිර්මාණවලටද? උන්මාද සිතුවම්, සරා සඳේ, පාවෙලා, බුදුනේ, රූස්ස ගහ යට. අලුත් පරපුර තුළ මෙවැනි සංගීතඥයන් ගැන කතිකාවක් නැති තරම්? අපේ ගෙදරට ඒ කාලේ නොආපු ගායක, ගායිකාවක් නැති තරම්. මේ තරම් සේවයක් කරපු තාත්තාව මේ තරම් ඉක්මනට අමතක වුණේ ඇයි කියලා හිතා ගන්නත් බෑ. අද සුපර් ස්ටාර්ස්ලා කියල ගායකයෝ ගායිකාවෝ බිහි වෙනවා. මේ අය ස්ටාර්ස්ලා වෙන්නේ බොහෝ විට තාත්තා සංගීතවත් කළ ගීත ගායනා කරලා. ඒත් මේ අය එක වචනයක්වත් තාත්තා සිහිපත් කරලා කියන්නේ නැහැ. ඒ අය ගීත කියන්නේ හරියට ඒ අයම නිර්මාණය කළා වගේ. ඇයි දෙයියනේ තමන් කිව්ව සිංදුවේ පද රචකයා, ගායකයා, සංගීතඥ ගැනවත් නොකියන්නේ.
|
||||