|
මඟුල් මුද්ද උගස් තියලා අවුරුද්දට කෑම ගෙනත්
පියදාස විජේකෝන් ගැන සොඳුරු මතක ප්‍රියන්ත විජේකෝන්ගේ ඇසින්
කොහේදෝ සිට ආ උලලේනියක් පළ දරා ඇති කොස් ගසේ සිට කෑ මොර දුන්නාය. ඉඳුන වැල මදුලුවල රස බලන්නට ගසේ වසා සිටි වවුලන් ද උලලේනිගේ හ¼ඩින් අන්ද මන්ද වී සී සී කඩ විසිර ගියෝය. මධ්‍යම රාත්‍රිය පසු වී තිබූ නිසාම උලලේනිගේ සහ වවුලන්ගේ හඬින් අඩ නින්දේ සිටි ප්‍රියන්ත පියවි සිහියට පැමිණියේය. හෙමින් සීරුවේ ඇෙඳන් බැසගත් මේ යෞවනයා තම පියා ළඟට පැමිණියේ ඔහුගේ අසනීපය ගැන නැවත සොයා බලන්නටයි. සිහින් කෙඳිරියක් නඟමින් සිටි ප්‍රියන්තගේ ආදරණීය පියාණන් ප්‍රියන්ත දුටු සැණින් ඔහුගේ සුරත ගෙන මොනවාදෝ පැවසුවේය. ප්‍රියන්තටත් නොදැනී කාලය ගෙවී ගියේය. උදෑසනම මිදුලට විත් අවට බැලූ ප්‍රියන්තට හැඟී ගියේ වෙනදා මෙන් සුන්දර වටපිටාව නොවේය. කොස් ගහේ අකලට පැසුණු කොස් ගෙඩි හත අටක්ම බිම වැටී තැන තැන විසිරී තිබුණේය. මේ දසුන නෙතට මෙන්ම සිතට ද ගෙන දුන්නේ අමුතු මූසල හැඟීමක්ය. ගෙතුළින් නැ¼ගුණ කෙදිරිය නිසාම නැවතත් ප්‍රියන්ත හනි හනිකට ගේ තුළට දිව්වේය. තම පියාගේ අසනිප තත්ත්වය උත්සන්න වී තිබූ බැවින් තම හිත මිතුරු කැළුම් අමතා පැවසුවේ හනිකට වෛද්‍යවරයකුª කැඳවාගෙන එන ලෙසය. මඳ වේලාවකින් කැළුම් වෛද්‍යවරයකු ද සමඟ ප්‍රියන්තගේ නිවෙස වෙත පැමිණියේය. රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා ප්‍රතිකාර නියම කළේ වේදනාවෙන් පෙළෙන ප්‍රියන්තගේ පියාට වේදනා නාශක ද ලබා දෙමින්ය. අනතුරුව පියා ළඟ කැළුම් හා සේවිකාවන් තබා ප්‍රියන්ත වෛද්‍යවරයා ඇරලීමට ගියේය. අතරමගදී තම ජංගම දුරකතනයට ඇමතුමක් එනු දුටු ප්‍රියන්ත වාහනය පසෙකට කළේය. දුර ඇමතුමෙන් කියැවුණේ ප්‍රියන්තගේ පියා මෙලොව අතහැර ගිය බවකි. පියදාස විජේකෝන්, තම රංගන හැකියාවෙන් මෙරට ප්‍රේක්ෂකයා පින වූ රංගන ශිල්පියා තම සහෘදයින් මෙලොව තනිකර දමා සදහටම නික්ම ගොස්ය. ඔහුගේ මතක ආවර්ජනය සමඟින් අප හා දුක බෙදා ගන්නේ පියදාස විජේකෝන්ගේ දෙටු පුත් ප්‍රියන්ත විජේකෝන්ය. මේ ප්‍රියන්ත සරසවියට තම පියාගේ අතීත සැමරුම හෙළි කළ අයුරුයි. ‘පොඩි කාලේ අපි ජීවත් වුණේ ඇඹුල්දෙණියේ ගෙදර. තාත්තා මහනුවර පැත්තේ වුණත් පසු කාලෙක ඇඹුල්දෙණියේ පදිංචියට ඇවිත් තිබුණා. ඒ කාලේ ඇඹුල්දෙණිය දැන් වගේ නාගරික වෙලා තිබුණේ නැහැ.’ කියමින් ප්‍රියන්ත තම පියාගේ අතීත සුවඳ ස්මරණයට එකතු වුණේ පිය සෙනෙහසක තරම ගැන මතක් කරමින්ය. ‘තාත්තාට ඒ කාලේ ෂූටිං නිසා කාර්යබහුල වෙලා හිටියත් ගෙදර ඉන්න හැම වෙලාවකම අපි ගැන හොයලා බලනවා. අපේ ගේ ළඟ විශාල, ගොඩක් පල දරන කොස් ගසක් තියෙනවා. ඊට මඳක් එහායින් ගස් සෙවණ යට හදපු හතරැස් බඹ කිහිපයක් ගැඹුරු, සීතල වතුර තියෙන ලිඳක් තියෙනවා. තාත්තා උදෙන්ම මාවයි මල්ලිලාවයි එකතු කරගෙන ළිඳ ළඟට යනවා. එයාම වතුර ඇදලා අපිව නාවනවා. සබන් ගාන කොට අපි තරඟෙට සබන් බෝල පිඹිනවා. ඒ කාලේ තාත්තා අපි හැමෝටම සැලකුවේ එක වාගේ.’ එහෙම පවසන විට ප්‍රියන්තගේ ඇස්වල දිස් වුණේ අතීත සැමරුමක මතකයන් අතර සැරිසරන ඔහුගේ මනසය. ‘තාත්තා චිත්‍රපටවල රඟපෑවේම දුෂ්ඨ චරිත. ඒ නිසා පාසලේදී ළමයි විහිලු කරපු අවස්ථාත් තිබුණා. ඒ වගේම මට පාසලේ ලොකුª පිළිගැනීමක් තිබුණා. නමුත් කවදාවත් මම ඉස්කෝලෙදි පියදාස විජේකෝන් වෙන්න ගියේ නැහැ. ඒ දවස්වල නිතරම අපේ ගෙදරට චිත්‍රපට අධ්‍යක්ෂවරු එනවා. තාත්තා ඒ වෙලාවට මට එළියට එන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මාව දැකලා ඒ අය චිත්‍රපටයකටවත් ගත්තොත් මම ඉගෙනීම කඩාකප්පල් කර ගනියි කියලා. එහෙම පවසමින් නෙතඟට ඉනූ කඳුළක් ප්‍රියන්ත අපි කාටත් හොරා පිස දැමුවේ හිස් අවකාශය දෙසට නෙත් යොමු කරමින්ය. ‘තාත්තා සෙලෝලොයිඩ් ලෝකෙදි දුෂ්ඨයෙක් වුණාට සැබෑ ලෝකෙදී හරිම උතුම් මිනිසත් ගුණ තියෙන නිහතමානී මනුස්සයෙක්.’ ‘ඒ දවස්වල නළුවන්ට එච්චර ගෙවීමක් නැහැ. තාත්තා මුදල් බලාගෙන රඟපෑවෙත් නැහැ. ඒ නිසා සල්ලි මදි පාඩු වෙන අවස්ථාත් එනවා. දවසක් සිංහල අවුරුද්ද ළං වෙනකොට මම තාත්තාගෙන් වතුර විඳීන තුවක්කුවක් ඉල්ලුවා. මට ඉතින් ඒ කාලේ මුදල් හදල් ගැන වැඩිය වැටහීමකුත් නැහැ. ඒ වගේම තාත්තා අතේ තිබුණ මඟුල් මුද්ද මම ඉල්ල ඉල්ලලා හිටියේ. කොහොම හරි සිංහල අවුරුදු ළං වෙනකොට තාත්තා මම ඉල්ලපු වතුර විඳින තුවක්කුªªවයි, ගෙදරට බඩු මුට්ටු ගොඩක් ගෙනත් තිබුණා. අපි හරිම සන්තෝෂයෙන් ඒ අවුරුද්ද ගෙව්වා. අවුරුදු පහු වෙලා දවසක් මම ආයෙත් තාත්තගෙන් මඟුල් මුද්ද ඉල්ලුවා. එයා එතකොට කිව්වා ඒක නැති වුණා කියලා. නමුත් පසු කාලෙක තමයි මම දැනගත්තේ එදා අවුරුද්දට බඩු මුට්ටු ගෙනාවේ එයාගේ මඟුල් මුද්ද උකස් කරලා කියලා. ඒක කවදාවත් බේර ගන්නත් බැරි වුණා.’ පිය සෙනෙහසක අරුමය ප්‍රියන්තගේ සිතින් ගලන්නේ උතුරා යන සෙනෙහස ද එකතු කරගෙනය. මඳක් නිහඬව සිටි ඔහු නැවත මතක සිතුවිලි අවදි කළේ කවර දිනකවත් නොසිඳෙන පීතෘ සෙනෙහසක මහිමය සමඟින්ය. අපි පොඩි කාලේ තාත්තා රඟපාන චිත්‍රපට බලලා තිබුණේ නැහැ. යාන්තම් තේරෙන කාලේදි තමයි තාත්තා රඟපාන චිත්‍රපටයක් බැලුවේ. ඒ මමයි රජා චිත්‍රපටය. මම ඉගෙන ගත්තේ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ. පාසල් යන කාලේම වත්ත පිටිය සුද්ද කරන වැඩ විතරක් නෙමේ ගරාජ් වැඩත් ඉගෙන ගන්න තාත්තා මාව යොමු කළා.’ ‘මම ටිකක් තේරෙන වයසට එනකොට තාත්තා ගෙදර ඉන්න දවසට කාල සටහනකට ගෙදර වැඩ කෙරුණේ. උදේම නැගිටලා හැමෝම එකතුª වෙලා උයන්න ඕනෑ. දවල් වෙනකෙට වත්තේ පිටියේ වැඩ කරන්න ඕනෑ. දවල්ට උයන්නේ තාත්තා එළියේ හදපු ලොකු ලිපක. ඒයා කැමැතිම චිකන් සුප් එකකුත් හදනවා. විවිධ කෑම බීම හදනවා. මම තමයි පළතුරු කපන්නේ. පළතුරු කපන ගමන් භාගයක්ම මම කනවා. තාත්තා කවදාවත් මට ගහලා නැහැ. හැබැයි බැනලා තියෙනවා. එයාට කවදාවත් වුවමනා වුණේ නැහැ මාව රඟපාන්න එවන්න. හැබැයි මට හැමදේම උගන්වන්න තාත්තා මහන්සි ගත්තා. තාත්තා රංගනය හදාරා නැහැ. නමුත් ආචාර්ය සලමන් ෆොන්සේකා මහත්මා ළඟට රංගනය කියන්නේ මොකක්ද කියලා දැනගන්න මාව යොමු කළා. ‘ඔහු කවදාවත් මසුරු අයෙක් වුණේ නැහැ. ගෙදරට එන අයට බත් කටක් නොදී ඇරියේ නැහැ. එයා හැම වෙලේම කිව්වේ ‘දුන් දේ සුවඳයි කෑ දේ ගඳයි’ ඒ නිසා අපි සුවඳ හමන ජීවිතයක් පවත්වා ගත යුතුයි කියලා. ‘සමහර වෙලාවට තාත්තා අති සංවේදී මනුස්සයෙක්. එයා හැම වෙලේම හිතට එකඟව වැඩ කළ කෙනෙක්. ඒ වගේම ප්‍රතිපත්ති ගරුක උතුම් මිනිසෙක්. ‘මම ප්‍රථමයෙන්ම රඟපෑවේ රේණුකා බාලසූරිය සමඟ වෙළෙඳ දැන්වීමක. ඊට පස්සේ සෝමරත්න දිසානායක මහත්මයාගේ ‘ඉටිපහන්’ ටෙලි නාට්‍යයේ. මේ ටෙලි නාට්‍යය විකාශය වෙනකොට අනතුරකින් මගේ කකුල කැඩිලා ඇඳට වැටිලා හිටියේ. ඒ දවස්වල තාත්තා නිතරම මගේ හිත හදනවා. කවදාවත් මගේ රඟපෑම් ගැන කතා කළේ නැහැ. එයා නිහඬව හැම දේම වින්ද කෙනෙක්. එයාව මුලා කරලා එයාගෙන් වැඩ ගත්ත මිනිසුන්ටවත් පියදාස විජේකෝන් කියන උතුම් මිනිසා වෛර කළේ නැහැ. ‘තාත්තා අපිව මේ ලෝකේ තනි කරලා යන වෙලාවේ මම සමඟ හිටියේ කැළුම් විජේසූරිය අයියා. තාත්තාගේ අවසන් කටයුතු කරන වෙලාවේ පාංශු කූලය හැරුණාම කිසිම කතාවක් පවත්වන්නට අපි ඉඩ දුන්නේ නැහැ. තාත්තා ජීවත්වෙලා ඉන්න කාලේ මම පුළුවන් උපරිමයෙන් මගේ තාත්තා ළඟ හිටියා. පොඩි කාලේ අපිව තාත්තා ලිඳ ළඟට අරන් ගිහින් නෑව්වා වගේම තාත්තා අසනීපෙන් ඉන්න කොට සැලකුවා. නමුත් තාත්තගෙන් වැඩ ගත්ත කිසිම කෙනෙක් තාත්තා අසනීප වුණාට පස්සේ බැලුවේ නැහැ. ඉතින් මරණෙදි ඒ අය කතා පවත්වන්නත් ඕනේ නැහැ. තාත්තා අපව අතහැර ගියේ පෙබරවාරි මාසේ අට වැනිදාවක. එදා ඉදන් හැම පෙබරවාරී අට වැනිදාවකම තාත්තා වෙනුවෙන් දානමාන, ලේ දන් දීම් කරනවා. ඒ වගේම මගේ ලොකු නැන්දා මියුලින් විජේකෝන් එක්ක එකතු වෙලා මල්ලිකා වැඩිහිටි නිවාසෙට දානයක් දෙනවා. තාත්තා ජීවතුන් අතර ඉන්න කොට අපිට හරි මඟ කියා දුන්නා වගේම, තාත්තටත් හොඳට සලකන්න පුළුවන් වීම ගැන ගොඩාක් සතුටු වෙනවා. පියදාස විජේකෝන් කියන නළුවා වගේම හොඳ පියෙක්, සහෝදරයෙක් වුණ මගේ තාත්තා ගැන ප්‍රථම වරටයි මම මාධ්‍යයකට කතා කළේ. සරසවියට ඒ ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. එසේ පැවසූ ප්‍රියන්ත විජේකෝන් අපට සමු දුන්නේ තම පියාගේ මතකයන් ද හදවතේ කොනක ඉතිරි කර ගනිමින්ය. |