වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




දේශපාලන පණිවිඩ ලියන්න ඕනෑ අහසේ නෙවෙයි – මහ පොළොවේ

දේශපාලන පණිවිඩ ලියන්න ඕනෑ අහසේ නෙවෙයි – මහ පොළොවේ

මධුමාධව අරවින්ද කියයි

කලාකරුවන් දේශපාලනයට පිවිසීම පිළිබඳ අද සමාජයේ විවිධ මතවාද හා කතිකාවන් ඇතිව තිබේ. මෙවර පළාත් සභා සඳහා තරග වදින කලාකරුවන් දෙස පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව මුළු රටම දෑස් දල්වා බලා සිටිනුයේ එවන් පසුබිමක් තුළය.

ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද බස්නාහිර පළාත් සභාව වෙනුවෙන්, ගම්පහ දිස්ත්‍රිකයෙන් තරග බිමට පිවිසෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙසිනි. කලක් ප්‍රසංගය වේදිකවේ රැව් පිළිරැව් දුන් ඔහුගේ මියුරු හඬ, අද සොඳුරු අඩහැරයක්ව අපට ඇසෙන්නේ දේශපාලන වේදිකාව ඔස්සේය. මේ ඒ හඬට වෙන් වූ ඉඩකඩකි.

ඇයි ඔබ දේශපාලනයට එන්නේ?

දේශපාලනයට එන්න එක හේතුවක් තමයි මම කලාකරුවෙක් හැටියට මේ රටේ මිනිස්සු අතර ගොඩ නගා ගත් ප්‍රතිරූපය. ඔවුන් මට ගායකයෙක් හෝ වෙනත් කලාවක් නිසා හෝ යම් නමක් දුන්නනේ. ඉතින් මම විශ්වාස කරනවා ඒ නම දුන්න එක ඇතුළේ මම ණයකට බැඳී ඉන්නවයි කියලා. මේ රටේ සිංහල භාෂාව කතා කරන මිනිසුන් වෙනුවෙන් මට තියෙනවා ණයක් ගෙවන්න. මම හිතනවා ඒ ණය ගෙවන්න තමයි මම දේශපාලනයට ආවේ කියලා.

ඒ ප්‍රකාශයේ යම් ජාතිවාදී ස්වරූපයක් තිබෙන බවකුයි මට හැඟෙන්නේ?

ඔව්, කවුරු හරි කියනවා නම් ලෝකේ ඉන්න අනෙකුත් අම්මලාට වඩා මගේ අම්මාට ආදරය කිරීම ‘මව්වාදියි’ කියලා, ලෝකෙ ඉන්න අනෙක් තාත්තලාට වඩා මගේ තාත්තාට ආදරය කිරීම ‘පියවාදියි’ කියලා, කවුරු හරි කියනවා නම් ලෝකේ ඉන්න අනෙක් භාර්යාවන්ට වඩා මගේ භාර්යාවට ආදරය කිරීම ‘භාර්යාවාදියි’ කියලා, අනෙක් ජාතීන්ට වඩා මගේ ජාතියට ආදරය කිරීම ‘ජාතිවාදියි’ තමයි.

මේ ඔබ දේශපාලන වේදිකාවේ කරන හුදු ප්‍රකාශයක්ම නෙවේ?

මම අතිශයෝක්තිියෙන් කියන කාරණාවක් නෙවෙයි මේක. අපේ පංචේන්ද්‍රියන්ට දැනෙන දේවල් හා සමානවම සිංහලකම මගේ ශරීරයට ඉතාමත්ම තදින් දැනෙන දෙයක්. එය මගේ ජීවිතයට වඩා වටිනවා වෙන්න පුළුවන් එක වෙලාවකට.

‘ශ්‍රී ලාංකික’ කියන බහුවාදී සමාජ සංස්කෘතිය තුළ ඔබ ආත්මාර්ථකාමී දේශපාලන සටන්කාමියකු යැයි කිසිවකු පැවසුවොත්?

මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා මගේ මතයට මේ රටේ තව අවුරුදු සීයකට වඩා ජීවත් වෙන්න, පැවතෙන්න බැහැ. එතනින් එහාට මේ රට සිංහල රටක් නෙවෙයි. ඒ අවසානය පමා කරන්නට ආපු කඳවුරේ නියෝජිතයෙක් හැටියටයි මම මාව නම් කර ගන්නේ. හැබැයි මේක වලක්වන්න කිසිවකුටත් බැහැ. දැනටමත් රටවල් විසි හතකට මේ දේ සිදු වී ඉවරයි. සිංහල මිනිසුන් කියන්නේ ලෝකයේ ‘පපුව’ හොඳම මිනිසුන්. ඔවුන් හැම ජාතියකටම, හැම ආගමකටම ගරු කරනවා. මමත් එහෙම කෙනෙක්. හැබැයි ඒක පවතින්නේ නැති කාරණාවක්. එහෙම ‘පපුව’ හොඳ මිනිස්සු ඉක්මනටම නැති වෙනවා. ඒක අපි ඇස් දෙකටම දැක්කා. පපුව හොඳ ජාතීනුත් නැති වෙනවා.

මමත් සිංහලයෙක් වුණාට ඔබෙන් මෙහෙම අහන්න හිතෙනවා?

ඕනෑ දෙයක් අහන්න.

බොහොම පටු දේශපාලන අදහස් තිබෙන, වර්ගවාදී, කුහක, තමන්ගේම ජාතියට වින කටින මිනිස්සුත් මේ සිංහල ජාතියේ නැද්ද?

අපොයි ඉන්නවා. එහෙම අය කොයි ජාතියේත් ඉන්නවා. මම හිතනවා මේක මේ සිංහලයන්ට පමණක් අදාල දෙයක් නෙවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඔය කොයි ජාතියේත් එහෙම අය ඉන්නවා. මම හැබැයි මෙහෙමයි කියන්නේ. ඒක පටලවා ගන්න නරකයි. කලාකරුවන් හැටියට අපි ‘මානව ප්‍රේමය’ට ඉතා ගරු කරනවා. ෂරියා නීතියෙන් බෙල්ල කපන කොට රිසානාගේ අපේ ගිරිහඬු පිපුණා. ඉතින් එතනදි පැහැදිලියි අපේ පපුව ලොකුයි කියන කාරණාව. වෙන අයට එහෙම නෑ. ඔවුන්ට කිරි එරෙන්නේ තමන්ගේ ජාතියට. තමන්ගේ ආගමට විතරයි.

නමුත් ‘ශ්‍රී ලාංකික’ නමැති කොටු පවුර මත අප සියලු දෙනා එකම ජාතියක් බවට පත් විය යුතු කාලය දැන් එළඹිලා?

ඔව්, ඒකයි මම කියන්නේ මේ රටේ ඉන්න ඕනෑ සිංහල, සිංහල මිනිසුන්, සිංහල ද්‍රවිඩ මිනිසුන්. සිංහල මුස්ලිම් මිනිසුන් තමයි. එකම ජාතියක්. මම හැමෝගෙන්ම අහන ප්‍රශ්නයක් තමයි මොහිදින් බෙග් මහත්තයා කවුද? ඔහු සිංහල මුස්ලිම්වරයෙක්. අපි දැකපු ඔය තිරිසන් විදිහට හැසිරෙන අරාබි මිනිස්සුයි, මොහිදින් බෙගුයි එකයි කියලා කාටවත් කියන්න බෑ. වන්දනාවේ යන අහිංසක මිනිස්සු ඝාතනය කරන තමිල්නාඩුවේ දෙමළ මිනිහයි, අපේ මුරලිදරනුයි දෙකක්. මම කියන්නේ මේ රටේ ඉන්නවා නම් සිංහල දෙමළෙක් වෙන්න. නැතිනම් මුත්තයියා සිහලදරන් වෙන්න. අනේ අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙම සිහල රටක්.

මේ සිංහල අපගෙ රටයි?

ඔව්, ඒ ‘සිංහල’ කියන එක ඇතුළේ නැවතත් මතක් කරන්නේ සිංහල ද්‍රවිඩයා, සිංහල මුස්ලිම්වරයා කියන අපේකම, ඒ සබැඳියාව. ලෝකෙ වෙන කොහේවත් රටවල එහෙම නෑ. හැබැයි එක්දාස් නවසිය පණස් ගණන්වල නොතිබුණ ඔළුගෙඩි ගානක් වැඩි වෙන කොට කළු ලෝගුව එනකොට, නව ෂරියා නීති එනකොට අපට දැනෙනවා මේ නරක සුවඳ. අපට තේරෙනවා ඒක. අපි කියන්නේ එහෙම වෙන්න එපා. එහෙම නැතිව කවුරු හරි අන්තවාදී වුණොත් ‘නන්දිකඩාල්’ තමයි’ තියෙන එකම තැන යන්න.

කලාකරුවෝ දේ්ශපාලනයට ප්‍රවිශ්ඨ වීම ගැන වර්තමාන සමාජයේ එතරම් ප්‍රසාද පූර්වක හැඟීමක් නෑ. සමහරු මේ දිහා බැලුවේ වපරැහින්. දැන් ඔබත් කලාකරුවෙක් නේ?

මීට අවුරුදු විස්සකට කලින් අපට තිබුණ ජීවිතයයි, ලෝකයයි අද අපට තිබෙන ජීවිතයයි, ලෝකයයි ගත්තාම මම හිතනවා අසංකත්, මාත් වැඩිහිටි මිනිස්සු බවට පත්වෙලා. තවදුරටත් අපි චූටි පඳුරු නෙවෙයි. අපි දළු දාන්න කැමැතියි. ඒක වෙනම කාරණයක්. කිසියම් වූ වෘත්තියක් කරන කෙනෙකුට දේශපාලනය කියන්නේ තමන්ට අයිති උරුමයක්. හැබැයි නරක තියෙන්නේ එක් එක් අයගේ භාවිතය. දැන් ගාමිණී ෆොන්සේකා මහත්තයා දේ්ශපාලනයට එනකොට මේ රටේ මිනිස්සුන්ගේ ඇස් උඩ ගියේ නෑ. විජය කුමාරතුංග දේශපාලනයට එනකොට ජේ. ආර්. ජයවර්ධන බය වුණා. අද චූටි බෝනික්කෝ වගේ දරුවෝ මේ විකට ඇඳුම් තරගයකට වගේ දේශපාලනයට එනකොට මගේ ඇස් පවා උඩ ගියා.

ඇයි ඒ?

නෑ ඔවුන් කලාව කන හැටි අපි දැක්කනේ. විවිධ තැන් අල්ලගෙන, විවිධ සල්ලිකාරයන් අල්ලගෙන ඔවුන් මේ නගරය කැත කළා. ඒක අපි පපුවට එකඟව පිළිගන්න එපායැ. දුප්පත් කොල්ලෙකුට, කෙල්ලෙකුට ආයේ මේ රටේ නළුවෙක්, නිළියක් වෙන්න ගායකයෙක්, ගායිකාවක් වෙන්න තවදුරටත් අපහසුයි. ඉතින් ඒකට වෙන වෙන මාර්ග හුරු කරපු සමහර පිරිස් මේ නගරය කැත කළා. ඒගොල්ල ඇවිත් විවිධාකාර වෙස් අරගෙන මේක විනාශ කළා. ඒත් අපි ඉවසගෙන හිටියා. ඒ කලාව විනාශ කරපු අය රටේ පාලනයට උර දෙන්න එනවා නම් ඔක්කොටම කලින් මම පොල්ල අතට ගන්නවා. කලාකාරියෝ දේශපාලනයට එන එක ගැන මම එලිපිටම මගේ විරෝධය ප්‍රකාශ කළා. හැබැයි මතක තියාගන්න මම මේ පොල්ල බිම තියන්නේ නෑ. අද පාර්ලිමේන්තුවේ ඉන්න සමහරු රට, ජාතිය ගැන තියා තමන්ගේ විෂයපථය ගැනවත් එක වචනයක් කතා කරනවාද? කසාය බීපු ගොළුවෝ වගේ. එතකොට පළාත් සභාව තුළ කොයි තරම් අකටයුතුකම් සිදුවෙනවද? ලොකු, පොඩි තරාතිරමක් නොබලා වැරැදි කරන කොයිකටත් එරෙහිව මම මේ පොල්ල හතර වටේටම වනනවා. එක්කෝ මම නවතියි. එක්කෝ මාව නවත්වයි.

මධුමාධව අරවින්දට දේශපාලනයට එන්න තියෙන සුදුසුකම මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත්?

එකක් තමා මම අවුරුදු දහ අටක් තිස්සේ නොයෙක් ජාතික ව්‍යාපාරවල හිටියා. ඒ කියන්නේ මම සටන් පාඨ නොවෙනස් වන කඳවුරේ මිනිහෙක්. අවුරුදු 18 ක් තිස්සේ අපි ත්‍රස්ත විරෝධී ව්‍යාපාරයේ ඉදිරි පෙළ සාමාජිකයෝ හැටියට ඉඳගෙන මේ තියෙන්නේ කැරැල්ලක්, හමුදාවට මේක දිනන්න පුළුවන් කියන කාරණාව පුන පුනා කියපු කට්ටියක්. එතන ඉඳලාම අද වෙනතුරුත් මගේ දේශපාලනය තුළ මම හිතනවා මෙන්න මෙහෙම දෙයක්. මේ රටේ අන්තවාදී දෙමළ කොටසුත්, මූල ධර්මවාදී මුස්ලිම් කොටසුත්, අහිංසක දෙමළ, මුස්ලිම් වැසියන් මේ වර්ගවාදයට ඈඳාගෙන යන තුරු මම දේශපාලනයේ ඉන්නවා. මොකද ඡන්දෙ නිසා ඒ අයට කතා කරන්න ගොඩක් අයට බැරි වෙලා තියෙනවා. ඇයි මේ ඡන්ද ටික ගන්න. මම ඔවුන්ගේ ඡන්ද නොගන්නේ මොකක් හින්දවත් නොවේ, උඹලා වැරැදියි කියලා කියන්න එතකොට ශුද්ධ වූ අයිතියක් මට ලැබෙන නිසා.

අද අපේ කලාකරුවන් දේශපාලනයට ප්‍රවිශ්ට වීමම අපුල දනවන ක්‍රියාවක්. කලාකරුවෝ දේශපාලනය වෙනුවෙන් කඩේ යනවා කියන තත්ත්වයට අද සමහරු පත් වෙලා ඉවරයි?

ඔව්. එහෙම මතවාදයක් මේ රටේ පොදු ජනතාව අතර තියෙනවානේ.

නමුත් දැන් අපි බැලුවොත් බොබ්මාලේ, වික්ටර් හාරා වගේ ලෝකයේ දැවැන්ත කලාකරුවන් වගේම අපේ රටේ විජය කුමාරණතුංග, ගුණදාස කපුගේලාගේ දේශපාලනය මිනිස්සු ආදරයෙන් වැළැඳ ගත්තා. මිනිස්සු ඒවාට දුරින් ඉඳන් හෝ ආදරය කළා. මේ පල් මඩ ගොහොරුවේ ඉඳන් එවැනි තත්ත්වයකට යන්න ඔබත් උත්සාහ දරනවාද?

මේ දේශපාලන පණිවිඩ අපි ලියන්න ඕනෑ අහසේ නෙවෙයි මහ පොළොවේ. සෞන්දර්ය අපට අහසේ ලියන්න පුළුවන්. ඒක වෙන විෂයයක් නිසා. මම කලාකරුවකුගේ හැඩය, ගරුත්වය උපරිමයෙන් රකිනවා. හේතුව මම මේ රටට ණයයි. පක්ෂ භේදයකින් තොරව මේ රටේ සියලු මිනිස්සුන්ට මගේ ගෞරවයක් තියෙන්නේ. පළවෙනි ගල් පහර ගහන්න මේ කලාකරුවා දිහා බලාගෙන ඉන්න. මම දේශපාලනයට ආවේ හුරතල් වෙන්න නෙවේ. මම ආවේ හායි යයි යා කියලා ඔයගොල්ල අන්දන්න නෙවෙයි. කොටින්ම මගේ දේශපාලනයේදී ඉස්සර වෙලා මධුමාධව අරවින්දව මරලා දාන්න. මොකද මම ආවේ සිංදු කියන්න නෙවෙයි.

සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට යෑම ඔබට අවාසියක් නෙවෙයිද?

මම පෝස්ටර්, කටවුට්, බැනර් ගහන්නේ නෑ. ඒ්වායින් බිත්ති සහ තාප්ප විනාශ කරන මොහොතක එහෙම ස්ථාවරයක ඉඳීමම සුබවාදී ලක්ෂණයක්. පෝස්ටර් නොගහන එක මට පාඩුයි. ඒත් මම එක පෝස්ටරයක්වත් ගහන්නේ නෑ. කටවුට්, බැනර් නෑ. පොලිතින් භාවිතා කරන්නේ නෑ. මිනිසුන්ගේ දුක අලෙවි කරලා ඡන්දය ඉල්ලන්නේ නෑ. බත් පැකට් එකටයි, අරක්කු ටිකකයි ඡන්දය ඉල්ලන්නේ නෑ. මම කොළඹ තිබ්බ මන්ත්‍රීකම දාලයි ගම්පහට ආවේ. මාව මිනිස්සු ප්‍රතික්ෂේප කළොත් මම නැවත යා යුත්තේ ගෙදර. මට සතුටුයි ඒකට. ‘සියනෑවේ සිංහයා’ සහ ‘මධුමාධව අපේ එකෙක්’ කියන මගේ ඡන්ද දායකයෝ මට පලන්දපු කීර්ති නාමයන් එක්ක වාසනාවන්ත අංක 07 මට මේ ලොවේ අයිතිය සුරකින්නට අවස්ථාව ලබා දෙයි කියන විශ්වාසය මට තියෙනවා.