|
මට කවුරුවත් හිනා වෙන එකක් නෑ
ජගත් චමිල නිව්යෝක් සිටි අන්තර්ජාතික සිනමා උළෙලේ දී ජගත් කිර්තියට පත් සැමීගේ කතාව අද සිට සරසවිය ගෙන එයි.මේ කතා මාලාවට පාදක වනුයේ කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග්‍රිසි බසින් සෑම් ස්ටෝරි නමින් රචනා කරන ලදුව ප්‍රියංකර විතානාච්චි විසින් සැමීගේ කතාව නමින් සිනමාවට නගන ලද චිත්‍රපටයේ තිරකතාව යි.
නිරන්තරයෙන් ගඟ ගලා යනු සිරිරත්නට ඇසිණ.එහි වෙනසක් කිසි දිනක සිදුවූයේ නැත. ජීවිතයේ එක් කලක මේ මහා නදිය ගලා ගියේ නිසලවමය. එහෙත් එය විටෙක මහා චණ්ඩ ප්‍රවාහයක් ව ඇදෙන්නට ගනී. සිරිරත්නට කාලය ගත වනු වෙනසක් නොවීය. උපන් දා ගලා ගිය මේ ගඟ අද්දර ඔහුගේ නෑසියන් සදාකාලික නින්දට වැටී සිටිනු ඔහුට පෙනෙයි. කිසියම් දවසක ඔහු ද මේ සියල්ල අතරට එතැයි ඔහුට සිතෙන්නේ නැත. ඔහුට ජීවිතය පුරා ආදරය කළ මිනිසුන් කිහිප දෙනෙක් වූහ.
මේ සමහරු අද අතර නැත. සිරිරත්න නිවසින් බැහැර පාරට පිවිසියේ අදවත් ලියුම් කරු එනු ඇතැයි සිතමිනි. ලියුම්කරු නිවසට නො එන බැවින් ඔහු පෙරමගට යන්නේය.මුල් දවස් වල ඔහු අද මට ලියුමක් ඇත්දැයි අසා සිටින්නේය. එයට ලියුම්කරුට තිබුණේ එකම පිළිතුරකි. ඒ නැත යන්නය.කල්යත්ම සිරිරත්න ලියුම පිළිබඳ විමසීම අතහැර දැම්මේය. එහෙත් වෙනදා මෙන් ම ඔහු ලියුම්කරු එන මග බලා උන්නේය.ඇතැම් විටක් සිරිරත්න සමග සිනා යන්නට නැත්නම් ලියුමක් නැත යන්න කියන්නට ලියුම් කරු ද පුරුදු ව සිටියේය. එසේ නැත්නම් කර බා ගෙන යන්නට ඔහු පුරුදු විය. සිරිරත්නගේ නිවසේ සිට ලියුම්කරු එන පෙරමගට ඔහු එන්නේ ගුරු පාරක් දිගේ ඇවිද ගෙනය. මේ ගම්මානය සරුසාර එකක් විය.ගඟ ගම මැදින් ගලා ගිය බැවින් පස සාරවත් විය. එබැවින් මුළු ගම්මානයම හරිත වර්ණයෙන් බැබලිණ.
ගුරුතුමා උගන් වනුයේ මෙලෝ වැඩකට නැති දෙයකැයි සිරිරත්න ට සිතෙයි. වරක් කිසිවකු විසින් ගෙන දුන් චොකලට් කැබැල්ලක් ඔහු කෑවේ පන්තිය අතර තුරය. ඔහු චොකලට් කැබැල්ලක් රස වින්දේ එදාය. ඒ රස අම්මාට කියන තුරු සිරිරත්නට ඉවසුමක් තිබුණෙ නැත. සිරිරත්නට සිටියේ අම්මාත් බාල සොහොයුරාත් පමණකි. තාත්තා ගැන නිනව්වක් ඔහුට නොවීය. සිරිරත්න අම්මාට බෙහෙවින් ආදරය කළේය. ඔහු කිසි කලක පන්තියේ මුල් තැනට පත් වූයේ නැත. එකම පන්තියේ අවුරුදු කිහිපයක්ම ගත කළ බැවින් අම්මාට ඔහු අවශ්‍ය වූයේ ඔහු නිවසේ නතර කර ගන්නටය. එහෙත් සිරිරත්න පාසල් යන්නට කැමැතිය. හැමදාම ණය ගන්නා නමුත් ගෙවන්නේ නැතැයි මුදලාලි අම්මාට ගෝරනාඩු කලේ සිරිරත්න ඉදිරියේමය. “මිනිහත් නෑ. ඒ මදිවාට මේකත් මෝඩයෙක් වුණා‘ මුදලාලි මහ හයියෙන් පැවසුවේ අම්මා සිරිරත්න සමග ආපසු යද්දිය. ඒ මදිවාට අලුතෙන් කිරන ලද සීනි කාලේ ගොටුවත් මුදලාලි ආපසු ගෝනියට දැම්මේය. ඒ අවුරුද්දේත් සිරිරත්න සිටියේ මුලින් පන්තියේමය. ‘පුතේ උඹ ඉස්කෝලේ යන්නම ඕනෑද ?“
ඔව්යැයි හැඟවෙන්නට සිරිරත්න හිස සැලුවේය.වැඩිය කතාකරනවාට වඩා හිස සලා උත්තර දෙන්නට සිරිරත්න කැමතිය. “ඇයි උඹ ඉස්කෝලේ යන්නේ“ අම්මා ආයෙත් ඇසුවාය. "මට ලොරියක් ගන්න ඕනෑ." සිරිරත්න පැවසුවේය. "ඇයි උඹට ලොරියක් ? "එතකොට මට කවුරුවත් හිනා වෙන එකක් නෑ." සිරි රත්න පැවසුවේය.ගම්මානයේ ඇති රබර් පටවා ගෙන යන ලොරි රියැදුරෝ මග සිටින කිසිවකු හෝ තඹ දොයිත්තුවකට මායිම් නොකරති. ඔවුන් මහ පාර පුරා යන්නේ එය තමන්ගේ දේපළ බැව් අවධාරණය කරමින් බැව් සිරිරත්න සිතුවේය. එහෙයින් ඔහුට ලොරියක් වුවමනාය. සිරිරත්න විටක සිතින් මවා ගත් ලොරියක් පදවා ගෙන යන්නේය. එය පාරේ යන හිටි ගමන් කටින් සැර දමා කඳු අද්දන විධිය ද ඔහු හොඳීන් දන්නේය. 'මං ගඟෙන් වැලි ගොඩ දාලා උඹට ලොරියක් අරන් දෙන්නං"
එහෙත් පියස්න හොඳ එකෙකි. ඔහු අනුන් වගේ නොවේ. දිනක පියසේන දුන් අඹ ගෙඩිය රැගෙන යන විට අම්මා බත් උයා තිබුණේ නැත. මල්ලී අම්මා සමග රණ්ඩු වෙමින් සිටියේය. 'මට හැමදාම කොස් කන්න බෑ" පොඩි එකා චෝදනා කළේය. 'මට තියෙන හැටියට නෙව මයෙ පුතේ' අම්මා ගේ තිබුනේ හැඬුම් ස්වරූපයකි. සිරිරත්නට දුක සිතිණ. ඔහු අඹ ගෙඩිය මල්ලිට දුන්නේය. අනතුරුව ඔහු කොස් පිඟාන අතට ගත්තේය. පියසේන පාසල් යාම අත හැරියේය. ඒ සමග සිරිරත්න ද පාසල් යාම අත් හැර දැම්මේය.කිසිවක් ඔව්හු පාසැල් යන්නේ නැත්තේ ඇයිදැයි ඇසුවේ නැත. සිරිරත්න ගෙදරට වී සිටියේය. ටික දිනකින් පියසේන ගඟෙන් වැලි ගොඩ දාන්නට ගියේය. වැඩිහිටියන් විසින් ගඟ අද්දරට ගෙන එන වැලි පියසේන කූඩා මගින් ලොරියට පැටවුයේය. පියසේන වැලි ගොඩ දාන දුටු සිරිරත්න බිම දිගේ චිත්‍ර අඳීන්නට පටන් ගත්තේය. සිරිරත්නගේ චිත්‍රයේ ඇඳුනේ අනාගතයේ දවසක ඔහු මිළයට ගන්නා ලොරියේ රූපයයි. එයට මග දැන් පෑදි ඇත්තේය. පියසේන වැලි ගොඩ දමනුයේ ඒ වෙනුවෙනි. එක්වරම සිරි යනුවෙන් පියසේන කතා කරනු සිරිරත්නට ඇසිණ. ඔහු හැරී බැලුවේය. පියසේන එහි සිටියේ නැත. එහෙත් මොහොතකට පෙර පියසේන තම නම කියා ඔහු ඇමතූ බැව් සිරිරත්නට විශ්වාසය. ඔහුට අමුත්තක් දැනින. පියසේන වැලි ගොඩ දමන ඉවුර දෙසට යන්නට සිරිරත්නට සිතිණ. ඔහු ගං ඉවුර දෙසට දිව්වේය. වැලි ගොඩ දමන මිනිසුන් කිහිප දෙනෙකු කිසිවක් වට කර ගෙන සිටී. ඒ අස්සෙන් හිස පෙවූ සිරිරත්නට පෙනුණේ පියසේන ගේ සිරුරයි. පියසේන වැලි ගොඩ දැමීමේ කටයුත්ත හොඳීන් කළේය. වැලි කූඩයක් හිසට ගත් ඔහුට හිස කැරකැවිල්ලක සැදිණ. මේ අසනීපය කිහිප විටක්ම පියසේන ට සෑදි තිබිණ. එයට පෙර දවසක මේ අසනීපය හැදුණේ පාසැල් ඇරී ගෙදර යන විටය. එවිට පියසේන ගේ අත පය දර දඬු වෙයි. මුවින් සෙම වැගිරෙයි. දත කට පූට්ටු වන්නට පෙර හැන්දක් හෝ එවිට මුවෙහි රැඳවිය යුතුය. නැතිනම් යකඩයක් අතට දුන් විට ඒ අසනීපය සුව වෙයි. එහෙත් මෙදින පියසේනට අසනීපය හැදුනේ වැලි හට්ටිය හිස මත තබා ලී පාලමෙන් ගඟ තරණය කරද්දීය. ඒ වෙලාවේ ඔහු සමග වැලි ගොඩ දමමින් සිටි වැඩිහිටියා ද ලොරිය දෙසට ගොසිනි. වෙනදා මෙන් නොව අසරණයා වැටුණේ වතුරටය.
ඊළඟ කොටස ලබන සතියේ... |