වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මිනී පෙට්ටි සාප්පුවක් ඇතුළේ චිත්‍රපට දාහක් වුණත් හදන්න පුළුවන්

මිනී පෙට්ටි සාප්පුවක් ඇතුළේ චිත්‍රපට දාහක් වුණත් හදන්න පුළුවන්

‘නිකිණි වැස්ස’ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන සමඟ සෘජු කතාබහක්

අරුණ වසර පහළොවකට එපිටින් අපි මේ කතාව අරඹමු.

වසර පහළොවක ඈතට දිවෙන ඉතාමත් සුන්දර ශක්තිමත් මාධ්‍ය ජීවිතයක් මට තිබෙනවා. නිර්මාණශීලී හැකියාවන් හිතේ පුරවගෙන මාධ්‍ය ජීවිතයට ඇතුළත් වෙන ඕනෑම කෙනකුට හීන ලැයිස්තුවක් ඉබේටම හැදෙනවා. ඒ හීන හරිම සුන්දර නොකිළිටි ඒවා. ඇතැම් වෙලාවට මිතුරන් සමඟ එක් වී අපි ඒ හීන ගණන් කරනවා. ඒ වගේම තමන්ගේ හිතේ තිබෙන හීන ගැන කතා කරනවා.

පුංචි තිරයේ රූප අඳින සිත්තරෙකු වන්නට පෙරුම් පිරූ මට රිදී තිරයේ අධ්‍යක්ෂක ලැයිස්තුවට මගේ නම එකතුª කරන්නට තිබුණේ විශාල ආසාවක්. නමුත් ඒ නම එකතු විය යුත්තේ හොඳ නිර්මාණයකින් කියලා මම ස්ථාවරයක හිටියා.

මගේ හීනය යථාර්ථයක් කරගන්න හීන දකිමින් ඉන්නේ නැතුව බොහෝ දේ හැදෑරුවා. සිනමාව කියන්නේ ඉතාමත් අලංකාර භාෂාවක්. ඒ භාෂාව නෙදැන අපට කාටවත් කතා කරන්න බැහැ. සිනමා භාෂාව තරමක් හැදෑරුවට පස්සේ හොඳ වස්තු බීජයක් ලැබෙන තෙක් බලාන හිටියා. හොඳ වස්තු බීජයකුත් ලැබුණා. ඉන් පස්සේ හැකි උපරිම දේ යොදා ගනිමින් තිර පිටපතක් ලිව්වා. ඉන් පස්සේ හොඳ නිෂ්පාදකවරයකුත් ලැබුණා. නිකිණි වැස්ස වහින්න පටන් ගත්තේ එහෙමයි.

* ඔබ ඇයි මෙවැනි මාතෘකාවක් ගැන කතා කරන්නට පෙලඹෙන්නේ?

මම හොඳ වස්තු බීජයක් හොයමින් ඉන්දෙද්දී තමයි මේ කතාව කියවන්නට ලැබුණේ. පත්තරේක පළ වූ මේ ප්‍රවෘත්තියේ විශේෂයෙන් කියැවුණේ මා චිත්‍රපටයට පදනම් කරගත්, තමාගේ වෘත්තිය මත කිසිවකු ගණන් නොගන්නා, සමාජය මූසලයැයි කියනා නමුත් අත්‍යවශ්‍ය චරිතයක් ගැනයි. මේ සත්‍ය කතාවේ චරිතය මගේ මනසේ මැවුණේ කතන්දරය කියවන විටදීමයි. එසේම අපි අදහන, අපි කැමැති සිනමාරූපී බව මතුකර ගැනීමට මෙම වස්තුª බීජය ඉතාමත් කදිම බව මට වැටහුණා.

ඒ නිසා මෙවැනි මාතෘකාවක් ගැන කතා කරන්නට හිතුවා.

* මේ කතාන්දරය ඇතුළේ ජීවත් වන චරිත විවිධයි. විෂමයි. ඒ වගේම ඔවුන්ගේ මනෝභාවයන් විවිධයි?

ඔව් . . . ඒ නිසාම තමයි මම මේ චිත්‍රපටය කරන්නට හිතුවේ. මේ කතාවේ අපට විවිධ පන්තිවල උදවිය හමු වෙනවා. මේ හැමෝම අපේ සමාජයේ ජීවත්වන පිරිස. හරියට ඇස් ඇරලා බැලුවොතින් මේ හැමෝම අපේ අවටින්ම හමු වේවි.

* ඔබ මේ හරහා අපේ රටේ විවිධ ක්ෂේත්‍ර සියුම්ව විවේචනයට ලක් කරනවා?

විවේචනයක් නොවෙයි. මා පෙර කී සේම ‘නිකිණි වැස්ස’ හැම චරිතයක්ම මේ සමාජයෙන්ම චිත්‍රපටයට කැඳවා ගත් චරිත. කිසිදු අභව්‍ය චරිතයක් මා චිත්‍රපටයට බලෙන් ඈඳුවේ නැහැ. මේ සමාජයේ ජීවත් වෙද්දී අපි විවිධ උපක්‍රමවලට හසුවෙනවා. ග්‍රාමීය සමාජයේ තත්ත්වය මීට හාත්පස වෙනස්. ඔවුන් හැමෝටම වඩා නොදැනුවත්කම නිසාම උපක්‍රමවලට අහුවෙනවා. මේ හැම චරිතයක්ම චිත්‍රපටයට පෙර කොහේදී හෝ අපට හමුවෙලා තිබෙනවා.

* ඔබ ක්ෂේත්‍රයට පය තබන්නේ කලාත්මක සිනමාව හරහා?

සිනමාව එසේ පටු සීමාවන්ට යටත්ව බෙදන්නට බැහැ කියන පෞද්ගලික මතයේ තමයි මම ඉන්නේ. අප හැදෑරීම් කළ, පර්යේෂණ කළ විෂය ඇතුළේ මං සිනමාව කියලා විශ්වාස කරන දේ තමයි මේ.

* මේ පිටපත තුළ ජීවත්වන චරිත ඉතාමත් සංකීර්ණයි?

මේ චිත්‍රපටයේ පිටපත තුළ ජීවත් වූ චරිත විවිධයි. ඒ වගේම චිත්‍රපටය තුළත් දෙබස් ඉතාමත් අල්පයි. මේ සංකීර්ණ චරිත සඳහා නළු නිළියන් තෝරා ගැනීම ඉතාමත් ප්‍රවේසමෙන් කළ යුතුයි. බොහෝ අධ්‍යයනයකින් පසුව තමයි චරිත සඳහා පිරිස තෝරා ගත්තේ.

ඇත්තටම අපේ කණ්ඩායම ඇතුළේ ඉතාමත් හොඳ සංවාදයක් තිබුණා. ඒ සංවාද හරහා චිත්‍රපටය පෝෂණය වුණා. මං සියලුම දෙනාගේ අදහස්වලට හොඳින් ඇහුම්කන් දුන්නා. චිත්‍රපටයට දායක වූ සියලුම දෙනා මේ සාර්ථකත්වයට උර දුන් අය. අපි ඉතාමත් සහෝදරත්වයෙන් තමයි කටයුතු කළේ.

නිකිණි වැස්ස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා?

ඔව් . . . අපේ චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට උළෙල හයක් නියෝජනය කළා. කොරියාවේ බූසාන්, ඉන්දියාවේ මූම්බායි කේරළ, ඩුබායි අන්තර් ජාතික සිනමා උළෙල, ප්‍රංශයේ විසුල් සිනමා උළෙල. පූසාන් සිනමා උළෙලේ දී චාන්දනී සෙනෙවිරත්න හොඳම නිළිය ලෙස සම්මානනීය වුණා. විසුල් සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස ජූරියේ සම්මානයට පාත්‍ර වුණා.

*මේ චිත්‍රපටය සහ බඹර වළල්ල අතර සමානතා තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

එකම මාතෘකාව සාකච්ඡාවට බඳුන් කරන චිත්‍රපට ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. මිනී පෙට්ටි සාප්පුවක් ඇතුළෙ චිත්‍රපට දාහක් හදන්නට පුළුවන්. නමුත් ඒ චිත්‍රපට දාහ කතා කරන්නට උත්සාහ දරන දේ ඉතාමත් වෙනස්. මම මේ නිර්මාණය ඇතුළේ කතා කරන්නේ ව්‍යාපාරිකයන්ගේ තරගය නෙවෙයි. මා කතා කරන්නට උත්සාහ දරන්නේ තමන්ගේ පියාගේ උරුමයෙන් ලැබෙන වෘත්තිය බාරගන්නා ගැහැනියක් වෘත්තිය මට්ටම මත සමාජයෙන් ඉවත් කිරීම කියන කාරණාව වටා බැඳුණු කතාන්දරයයි.

මේ කතාන්දරය ඇතුළේම තවත් කෙනකුට කතාන්දරයක් හදන්නට පුළුවන්. එහෙමයි කියලා මේ චිත්‍රපට දෙකම එකම වගේ කියලා කාටවක් කියන්නට බැහැ. මාතෘකාව බැලූ බැල්මට එකවගේ වුණත් චිත්‍රපටය එකවගේ කියලා කාටවත් කියන්නට බැහැ.

* චිත්‍රපටයේ නිමාව ගැන විවිධ මතිමතාන්තර තිබෙනවා නේ?

ඔව් . . . පෞද්ගලිකවම චිත්‍රපටයේ ප්‍රියතම කෙටස තමයි අවසන් තත්ත්පර කිහිපය. ඒ තරමටම මං අවසානයට කැමැතියි. නමුත් මේ අවසානය පිළිබඳ විවිධ මත තිබුණා. බොහෝදෙනෙක් මට කතා කළා. ප්‍රවීණයන් කිහිපදෙනකු මේ අවසානය ගැන මට සුබවාදීව කතා කළා. මං හිතන්නේ චිත්‍රපටයට ආදරය කරන ප්‍රේක්ෂකයන්, ප්‍රවීණයන් වගේම මගේ මිතුරන් තමයි මේ මතවාදී ගැටුම ඇති කළේ. මොකද චිත්‍රපටයක ආදරේ නැත්නම් ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.

චිත්‍රපටය නිමකොට වසර දෙකකටත් වැඩි කාලයක් ඔබ බලාගෙන හිටියා. ජාත්‍යන්තර සම්මාන ලැබුණු මොහොතේ චිත්‍රපටය අපේ රටේ ප්‍රදර්ශනය වූවා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්නටත් තිබුණා.

ඔව් . . . ඇත්ත. චිත්‍රපටයක් කරන්න කණ්ඩායමක් ගන්නා වෙහෙස අගැයුමකට ලක් නොවන රටක තමයි අපි ජීවත් වෙන්නේ. චිත්‍රපටය කරල වසර දෙකක් බලන් ඉන්න අපට සිදුවුණා. අපට අපේ දේවල් ගැන වටිනාකමක් නැති බවයි මට පෙනෙන්නට තිබෙන්නේ. මොකද අපි චිත්‍රපටය කරලා අපිටම කෑගහන්න වෙලයි තියෙන්නේ. ඇතැම් වෙලාවට කෑගහන්න නෙවෙයි, ආයාචනා කරන්නටත් වෙනවා. මේකයි තත්ත්වය.

* චිත්‍රපට ලෝකයේ ඒකාධිකාරියක් තිබෙන බව ඔබට දැනිල තිබෙනවාද?

මෙහෙමයි. හොඳ නිර්මාණයක් කළොත් හැමෝම හොඳ කියනවා. ඔය කියන ආකාරයේ ඒකාධිකාරියක් මට නම් දැනිලා නැහැ. මං අලුත් නිසා ද දන්නේ නැහැ. මට තවම දැනුණෙ නැහැ. ප්‍රවීණයන් බොහෝදෙනකු මට චිත්‍රපටය ගැන ප්‍රශංසනාත්මකව කතා කළා. ඒක මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්.

කොහොමද පොදු ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාරය?

ඉතාමත් හොඳයි. චිත්‍රපටය නැරැඹූ ඇතැම් දෙනා මගේ අංකය සොයාගෙන කතා කළා. ඔවුන් ගෞරවය, ආදරය දැක්වූයේ චිත්‍රපටයට මිස පෞද්ගලිකව මට නෙවෙයි.

* ලංකාවේ සිනමාකරුවකු වීම ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව් . . . බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ගෞරවය ලබන්නට අපි පිං කරලා තිබෙනවා. ඒ නිසාම මේ ගමන ගැන මට තිබෙන්නේ තෘප්තියක්.

* ඉදිරිය මොනවගේ වේවිද?

ඉදිරියේදී තවත් හොඳ නිර්මාණයන් කරන්නට මඟ බලාගෙන ඉන්නවා. මට මේ චිත්‍රපටයට ලැබුණා වගේ හොඳ නිෂ්පාදකවරයකු හමු වුණොත් ඉතාම පරිස්සමෙන් මගේ ඊළඟ නිර්මාණයේ කටයුතු ඇරැඹේවි. බොහෝවිට ඒ නිර්මාණය ධීවර ජනතාව සම්බන්ධ කතාවක් වෙන්නට පුළුවන්.

මේ චිත්‍රපටය නරඹමින් එහි විවේචන අඩුපාඩු දකිමින් ඒවා මට පෙන්වා දුන් හැමෝගෙම ශක්තිය ඒ චිත්‍රපටයේ තියේවි.

පෙන්වා දුන් හැමෝගෙම ශක්තිය ඒ චිත්‍රපටයේ තියේවි.