|
කුමරු අප්පුවා වෙයි 05
ආචාර්ය සෝමරත්න දිසානායකයන් ගේ සිරි පැරකුම් තිර නාටකය ඇසුරෙන් සරසවිය ගෙන එන වෘතාන්තය
මාලිගාවේ සිදු වූ සිදුවීම් සියල්ල ඉතා ඉක්මනින් රට තොට පැතිර යන්නට විය. මුලින් ඇසින් දුටු දේ ද පසුව ඒවා කට කතා බවට පත්වීම කරණ කොටගෙන සිදුවීම් එක දෙක වෙමින් කතාබහට ලක් වන්නට විය. තොරතුරු හරි හැටි නොදන්නා විට ඇසින් දුටු සමහරු එයට පලිප්පු දමා ප්‍රචාරය කරන්නට වලි කෑහ. මංකඩේ දිය නාමින් සිටි ගැහැනියක් ද ඒ කතාව පැවසුවේ ඇසින් දුටු හැටියටය. ඒ කතාවට තටු ලැබුණ හැටි අසමින් රෙදි නැන්දා තනිවම රෙදි සෝදන්නට වූවාය. එක් ගැහැනියක් අසන්නේ අනෙක් එකියගේ පිට අතුල්ලමිනි. ඇය ඉඟියකින් පෙන්වා දුන්නේ කිසිදු කතා බහකින් තොරව රෙදි අපුල්ලන නැන්දාව ය. මාලිගාව සමඟ මේ ගමේ සම්බන්ධයක් ඇත්තේ ඇයට පමණි.
‘‘ඉතින් ඔය ඔක්කොම බිසෝවරු දිවි නහ ගෙනද ?‘‘ ගැහැනිය රෙදි නැන්දාගෙන් යමක් දැන ගන්නට සැරසුණේ තමන් දන්නා දෙයට වැඩි යමක් එයින් සොයාගත හැකි බැවිනි. ‘‘එහෙම තමයි කියන්නේ?‘‘ රෙදි නැන්දා පැවසුවේ මදක් කල්පනා කරමිනි. එහෙත් දෙවැනි ගැහැනිය ඇයට බාධා කළාය. ‘‘එහෙනම් උඹ දැක්කයි කියන්නේ“ ‘‘මම දැක්කේ ගලපල්ලේ බිසෝවරුන්ගේ මිනී ගොඩක් වැටිල තියෙනවා විතරයි“ රෙදි නැන්දා ඒ බව පැවසුවේ විස්සෝපයට පත් වූ ආකාරයට ය. කොහොමටත් ඒ මූසල දැක්ම යළි හාරා අවුස්සන්නට ඇය අකැමැතිය. ගත වූ රාත්‍රී කිහිපයකම ඒ නිසා ඇයට නින්දක් නොවූ ගානය. ‘‘පරාක්‍රම කුමාරයාගේ මිනියත් උඹ දැක්කාද?‘‘ ගැහැනිය ඇසුවාය. රෙදි නැන්දා එයට පිළිතුරු ලෙස කළේ හිස සැලීම පමණි. ‘‘අනුමානයක් නැහැ. බිසෝවරුන්ගේ මිනීවලට යට වෙලා තියෙන්න ඇති.‘‘ ගැහැනිය අනුමාන කළා ය. ඔවුන්ගේ කතාවට බාධාවක් වූයේ අසරුවෙකු ඒ දෙසට පැමිණීමත් සමඟිනි. ඔහු හේවායෙක් ලෙස පෙනුණේ ඇඳ සිටි ඇඳුම නිසාවෙනි. ‘‘මට රෙදි නැන්දාත් එක්ක රාජකාරි කතාවක් තියෙනවා‘‘ ඔහු හඬ නඟා කීවෙන් ගැහැනුන් වහා මංකඩෙන් ඉවත් වූහ. රෙදි නැන්දා හේවායා ළඟට ගියා ය. ඔහු සිය මුහුණ බැඳ සිටි ආවරණය ඉවත් කළෙන් රෙදි නැන්දා කලබල විය. සාමාන්‍ය හේවා වෙස්ගෙන පැමිණ සිටින්නේ පතිරාජ සෙනෙවියා ය. මාලිගාවේ කලබලයත් සමඟ යුද්ධය නිමා කළ විජයබා රජු මාලිගයට පැමිණි පසු මහත් විස්සෝපයට පත්විය. මෙයට වඩා යුද්ධයෙන් මිය ගියේ නම් හොඳ යැයි ඔහුට කියැවිණ. ‘‘කුමාරයා ආරක්ෂා කර ගැන්මට මට අවශ්‍ය වුණා. රජතුමනි, නමුත් ඔබතුමාගේ නියෝගය නියා පතිරාජ සෙනෙවි‘‘ යැයි බිසව කියන්නට ගිය දෙය ගිල ගත්තේ රජුගේ කෝපාවිෂ්ට මුහුණ දුටු විට ය. පතිරාජගේ තීරණය නිවැරැදි බැව් හඳුනා ගන්නට රජු පොහොසත් වූයේය. තම පුතුට මේතරම් රැකවරණයක් සළසන අන් කිසිවකු හෝ නොමැති වග රජුට වැටහිණ. එබැවින් රජු පතිරාජ කියන්නකට එකඟ වන්නට තීරණය කළේ ය. පුතු නැතිව මාලිගය පාළු වුවත්, පුතුගේ අනාගතය වෙනුවෙන් ඔහු සඟවා ඇති දැඩි කළ යුතු වග රජු වටහා ගෙන උන්නේ ය. කළුන්දෑව භාර රාජ පුරුෂයා ලෙස කටයුතු කරන්නට පතිරාජ, රජුගෙන් අවසර ඉල්ලා සිටියේ ය. රජු පුදුමයට පත් වූයේය. ‘‘ගමක් බාරව සිටින්නේ සාමාන්‍ය සෙබළෙක්. ඔබ මහ සෙනෙවියෙක්‘‘ රජු සිහිපත් කළේ ය. ‘‘සාමාන්‍ය සෙබළෙක් ලෙස වෙස්වලා ගෙන සේවය කරන්නට මට අවසර රජතුමනි‘‘ පතිරාජ ඉල්ලා සිටියේය. රජු එයට ඉඩ දුන්නේය. එදිනම පතිරාජ කළුන්දෑව බලා ගියේය. රෙදි නැන්දා කුමරු සමඟ ගියේ ඒ ගමට බැව් පතිරාජ දැන උන්නේය. පතිරාජ හඳුනා ගත් ගැහැනිය පුදුමයට පත් වූවාය. ‘‘සෙනෙවි තුමා.‘‘ පතිරාජ ඇයට නිහඬ වන්නට සන් කළේ ය. ‘‘අද සිට නුඹ මාලිගාවේ සේවයට නොයා යුතුයි‘‘ ඇය හීල්ලුවා ය. එහෙත් ඇය අස්වසාලන්නට පතිරාජ වග බලා ගත්තේය. ‘‘උඹ මේ ගැන කාටවත් කිව්වද?‘‘ ඔහු ඇසුවේ ය. ‘‘නෑ හාමුදුරුවනේ. තව ටික දොහකින් කුමාරයාටත් අමතක වේවි.‘‘ ‘‘මේක කාටවත් දැන ගන්නට බැහැ. මට ගැහැනුන්ගේ කටවල් විශ්වාස නැහැ. ලබන සෙනසුරාදා ඉර බහින ජාමෙට නාකන්දේ භද්‍රකාලි කෝවිල ළඟට වරෙන්. හැබැයි තනියම.‘‘ පතිරාජ අණ කළේ ය. ගමරාළට උන්නේ දූවරු දෙදෙනෙකි. ඔවුන් කුමාරයාටත් වඩා වයසින් බාල බැව් පෙනෙයි. රෙදි නැන්දා විසින් ගෙදරට ගෙන එන ලද පොඩිඑකා දුටු මතින් ගමරාළගේ සිත ඔහු කෙරේ ඇදී ගියේය. අතරමග දී නෙළාගත් පලතුරු ගොඩක් පොඩිඑකා සිය ඇඳීවතේ ඔතාගෙන උන්නේය. ඔහුට ගෙය ඇතුළට යන්නට කිසිවකු හෝ අවසර දුන්නේ නැත. එහෙත් නිවසට ගොඩ වැඳුණ පොඩි එකා දරුවන් සමඟ පලතුරු බෙදා ගත්තේය. අනාගතයේ දවසක තම කුඹුරක්, හේනක් අස්වද්දන්නට කොලු පැටියෙක් ලබා නොදුන් එක ගැන ගමරාළ බොහෝවිට සිය බිරින්දෑට ආඩපාලි කියැව්වේය. අහම්බෙන් ගෙට වැදුණ දරු පැටියා හදා ගන්නට ගමරාළ ගත් තීරණයට හාමිනේ ද එක පයින් කැමැත්ත පළ කළා ය. එයට එක් හේතුවක් වූයේ මේ ආඩපාලියයි. පැවසූ පරිද්දෙන් සෙනසුරාදා රෙදි නැන්දා දේවාලයට යනවිටත් පතිරාජ සෙනෙවි එහි පැමිණ සිටියේය. ඔහු ඇය දේවාලය ඇතුළට ගෙන ගියේය. එහි කපුවා කිසියම් නොතේරෙන බසකින් යාතිකාවක් කියාගෙන ගියේය. එය ඇඟ කිළි පොළන තරමේ කියුමකි. එකවර කපුවා ආවේශයෙන් මිදුණි. ඔහු පතිරාජ ඇමතුවේය. ‘‘ඔන්න කාරණේ ඉෂ්ට වුණා. මෙතැන් ඉඳන් මේ තැනැත්තියට කතා කරන්නට බැරිව යනවා. භද්‍රකාලි මෑණියන්ගේ ආරක්ෂාව මේ උන්දැට නොඅඩුව ලැබෙනවා.‘‘ අනතුරුව කපුවා සුරයක් ගෙන එය රෙදි නැන්දාගේ ගෙල පැළඳුවේය. ‘‘මෙතැන් පටන් මේ ස්ත්‍රියට කතා කරන්නට බැරිව යනවා. හැබැයි හොඳට ඇහෙනවා. යම් දවසක කතා කරන්න වෙන්නේ මේ සුරය ගෙලෙන් ගලවපු දවසටයි‘‘ ‘‘ හැබැයි සුරය ඉවත් කළොත් රාජ උදහසට ලක්වෙලා උල තියන්න වෙයි‘‘ පතිරාජ පැවසුවේ කපුවාටත් වඩා සැරෙනි. රෙදි නැන්දා යමක් කියන්නට සැරසුනි. එහෙත් ඇයගේ මුවට වදන් නොඑයි. දිවට යමක් වූ සැටියෙකි. ඇය යළි කතා කරන්නට උත්සාහ කළා ය. පතිරාජ සිය ඉනෙන් රන් කාසි දෙකක් ගෙන එකක් කපුවාට ද, අනෙක රෙදි නැන්දාට ද දුන්නේය. කාසිය අතට ගත් ගැහැනිය සතුටින් ඉපිල යන බවක් හැඟෙව්වාය. ‘‘රන් කාසියක්. තවත් තෑගි මාලිගාවෙන් ලැබෙයි.‘‘ කුමාරයා, දැරියන් සමඟ සෙල්ලමට පිවිසුණි. ගමරාළ මේ දරුවන්ගේ සෙල්ලම බලා උන්නේය. හාමිනේ උන්නේද ඉපිල ගිය සතුටිනි. මේ අලුත් එකා ගෙට ආ කල ගෙයම පිරී ඇති සේය. කාගේ උනත් සැපට හැදුණ එකෙක් යැයි ඇයට සිතිණ. කුමාරයා සිය අලුත් යෙහෙළියන්ගේ නම් විතාළා ය. ‘‘සිරිමල් එතනා‘‘ නම ඇසූ කල පොඩි එකිය උත්තර දුන්නා ය. ‘‘කළු එතනා‘‘ යැයි වැඩිමහල් දියණිය උත්තර දී, උඹේ නම මොකක් දැයි විතාළා ය. ‘‘පරාක්‍රමබාහු‘‘ කොලුවා උත්තර දුන්නේය. එය ඇසූ ළමෝ මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්හ. ‘‘අප්පච්චි මේකාගේ නම පරාක්‍රමබාහු ලු‘‘ කළු එතනා පැවසුවේ ගතු කියන විලාසයෙනි. ‘‘රාජ කුමාරයෙකුගේ නමක්. රජ වාසලට ආරංචි වුණොත් පොඩි එකෙක් කියලා බලන එකක් නැහැ‘‘ ගමරාළ පැවසුවේ සිනා සෙමිනි. ‘‘මම රාජ කුමාරයෙක් නෙවි. ගමේ කොල්ලෙක්.‘‘ කුමාරයා කෑගෑවේය. ‘‘මුගේ නම හොයන්න වේලාපත්කඩයක් වත් තියෙන එකක් යැ‘‘ ගම හාමිනේ පැවසුවාය. ගමරාළ මදක් කල්පනා කළේය. ‘‘අපි මූට අප්පුවා කියමු ‘‘ එයට විරුද්ධ වන්නට කුමාරයාට හේතුවක් නොවීය. පරාක්‍රමබාහු කුමරුගේ නම වෙනස් කළ ගැහැනිය ඔහුට කොලුවා යැයි පැවසුවේ ටික දිනකට පෙර ය. දැන් අලුත් නමකි. එහෙත් ඒ කිසිවකුට විරුද්ධ වන්නට ඔහු අකැමැති ය. අනිත් අතට මාලිගාවේ නැති මිතුරු පෙළක් කළුන්දෑවේ සිටිති. කුමාරයා නැත්නම් අප්පුවා සිතුවේය. එතැන් පටන් කුමාරයා අතුරුදහන් වූවේය. අප්පුවා නමින් කොලු ගැටයෙක් කළුන්දෑව ගම්මානයට ඉතිරි විණ. ඔහු ගමට ගෙනාවේ රෙදි නැන්දා ය. දරුවාගේ පියා ගැන ද, මව ගැන ද ගමේ ගැහැනුන් සොයාබලා විපරම් කළ කතාබහ ටික දිනකින් අමතක ව ගියේය. එයටත් වඩා විජයබා රජු කාලිංග මාඝ සමඟ නිරන්තර අරගලයක යෙදී උන්නේ ය. එහි ඇති ආරංචි මාර්ග දිනෙන් දින දළුලා වැඩෙන්නට විය. අන්තිමට ගමරාළගේ නිවෙසෙහි වෙසෙන සුරතල් පොඩිඑකා ගැමි දරුවෙක් බවට පත්විය. එබැවින්ම ඔහු පන්සලේ හාමුදුරුවන් ළඟ අකුරු කියන්නට ද ගියේය. හාමුදුරුවෝ වැලි පිල්ලක අකුරු ඇඳ දරුවන්ට කියා දුන්නේය. මේ කියන වචනය එසැනින් අමතක කරන දරුවෝ බොහොමයකි. භික්ෂුන් වහන්සේ දරුවන්ගේ මුහුණු නිරීක්ෂණයක යෙදුණාහ. අප්පුවා කතා කරන්නට තැත් කළේය. ‘‘හොඳයි අප්පුවා කියවන්න බලන්න“ අප්පුවා වැලි පිල්ලේ වූ අකුරු නොපැකිළිව කීවේ ය. ඒ වැකියේ වූ නිමා නොකළ දේ ද කීවේ ය. වෙලාවක ගමරාළගෙන් දරුවාගේ වේලා පත් කඩය සොයා කියවිය යුතු යැයි උන්වහන්සේට සිතිණ. මේ අතරවාරයේ ගැමියන් ද, භික්ෂුව ද, ගමරාළ ද නොදන්නා කාරණයක් සිදුවිය. ඒ අප්පුවා පසුපස, ගමට අලුතෙන් පැමිණි හේවාරාළ සිටින වග ය. හේවාරාළ එන විට ගැමි දරුවන් ඔහුට බියේ සැඟවෙන නමුත් අප්පුවා බිය නොවිණ. ඔහු හේවාරාළ ළඟ වූ අසිපත අත ගා බලන්නට වෑයම් කළේ ය. එය දඬුවම් ලැබිය යුතු වරදක් වුයෙන් ගමරාළ බිය වූයේය. ‘‘ රාජ පුරුෂයකුගේ අසිපත ගමේ කොල්ලෙකුට අල්ලන්න බෑ.‘‘ හේවාරාළ හෙවත් පතිරාජ කියා සිටියේය. ‘‘මං ගමේ කොල්ලෙක් ‘‘ යැයි කියා සිටි අප්පුවා වහා සිය වචනය වෙනස් කළේ ය. ‘‘මම රාජ කුමාරයෙක් නෙවේ. ගමේ කොල්ලෙක්‘‘ සංග්‍රාම බිමේ මහා රණ විරුවකු ලෙස පතළ වුව ද පතිරාජගේ ඇසට කඳුළක් උපන්නේය. එහෙත් ඔහු වහා එය පිසදැම්මේ ඇහැට මැස්සෙක් ගියා යැයි කියමිනි. ‘‘කාගෙද මේ කොලුවා‘‘ පතිරාජ ගමරාළගෙන් විමසා සිටියේ නොදන්නා පරිද්දෙනි. ‘‘මගෙ ආයි බොවං‘‘ ගමරාළ කියා සිටියේය.
මතු සම්බන්ධයි ලබන සතියේ උදැල්ලක පලහිලව්වක්
|