වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අද නාට්‍ය කලාව ව්‍යාපාරිකයන් අතට පත් වෙලා

අද නාට්‍ය කලාව ව්‍යාපාරිකයන් අතට පත් වෙලා
 

'මාතෘ" ගෙනෙන අතුල සමඟ කතාබහක්

අතුල වී. සමරවීර කලා ක්ෂේත්‍රයට අමුත්තෙකු නොවේ. පොලිස් නිලධාරියෙකු ලෙස රාජකාරියෙන් කාර්යය බහුල වුණත් අසූව දශකයේ සිටම හරවත් රසවත් නාට්‍ය නිර්මාණ වේදිකාවට ගෙන එන්නත් ඔහු කටයුතු කළේ වගකීමෙන්. එදා ජනාදරයට පත් ‘සූටි ගමරාළ සහ රයිගම් බණ්ඩා’ ඇතුළු නාට්‍ය ගණනාවක් වේදිකාවට ගෙන ආ ඔහු අද තවත් නවතම නාට්‍ය නිර්මාණයක් වේදිකාවට ගෙන එන්න සූදානම්.

‘මාතෘ’ මේ ගැන කියමින්ම කතාබහ ආරම්භ කරමු?

පන්සිය පනස් ජාතකයේ එන ‘ පදමනාවක ජාතකය’ පදනම් කර නිතිඥ මහානාම ද සිල්වා විසින් තමයි මෙය රචනා කොට අධ්‍යක්ෂණය කළේ. දරු සෙනෙහස වෙනුවෙන් කැප වූ සෙනෙහෙ බර මවකගේ දාරක ප්‍රේමය පිළිබඳ කියැවෙන අනුවේදනීය කතා පුවතක් ‘මාතෘ’ හි ඇතුළත්.

‘මාතෘ’ නාට්‍යයේ මංගල දැක්ම ලබන 29 සහ 30 යන දෙදින මරදාන ටවර් රඟහලේදී රංග ගත කරන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඊට අමතරව තවත් දර්ශන කිහිපයක් ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී ටවර් රඟහලේ කුලියාපිටිය සහ පැලියගොඩ දී පවත්වන්නත් බලාපාරොත්තු වෙනවා.

‘මාතෘ’ හි පිරිවර ගැනත් සඳහන් කළොත්?

ජානක පෙරේරා, දනුෂ්කා ඉරෝෂණී, නිමල් ජයසිංහ, උපාලි තිලංක හේවගේ, සරත් සේනාධීර, රෝහිත විජේසුන්දර, බජී ප්‍රනාන්දු, අජිත් කුමාර මුණසිංහ, බුද්ධික එදිරිසිංහ, සමුදුර පේ‍්‍රමවර්ධන, සමන් මිහිරිපැන්න, ලක්මාල් වීරසේකර, අනුපමා ප්‍රවින්තිකා, නුවන් චාමර, ශානිකා සංජීවනී සහ නිපුණි දෙව්මිණි ඇතුළු නළු නිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. සංගීත අධ්‍යක්ෂණය ජේමිස් පතිරණගේ සහ අංග රචනය සිදු කෙරෙන්නේ නිමල් සුභසිංහ විසින්.

මෙවැනි නාට්‍ය නිර්මාණයක් ඉදිරිපත් කිරීම තුළින් ඔබ බලාපොරොත්තු වන්නේ?

මෙය ජාතක කතාවක් පදනම් කර ගත් නාට්‍ය නිර්මාණයක්. අපේ සාහිත්‍යයේ එවැනි කතා බොහොමයක් තියෙනවා. නමුත් අද බොහෝ වේදිකා නාට්‍ය නිර්මාණය වෙන්නේ පරිවර්තන ඇසුරෙන්. මෙවැනි කතා තේමා තුළින් සමාජයට බොහෝ වැදගත් පණිවුඩ අපට ලබා දෙන්න පුළුවන්. මාපිය දූ දරු සෙනෙහස වගේම පරිසරය රැක ගැනීමේ වැදගත්කමත් ‘මාතෘ’ තුළින් කියැවෙනවා. එය අද සමාජයට ඉතා වැදගත් බව මගේ හැඟීමයි. ඒ වගේමයි මම නාට්‍ය නිිර්මාණ ඉදිරිපත් කරන්නේ ආත්ම තෘප්තියට මිස නාට්‍ය උළෙල ඉලක්ක කරගෙන නෙවෙයි. යහපත් නාට්‍ය කලාවක් දැයට දායාද කරන්න දායකවීම තමයි මගේ අරමුණ.

අසූව දශකයේදී ඔබ වේදිකාවට ගෙන ආ ‘සූටි ගමරාල සහ රයිගම් බණ්ඩා’ වේදිකා නාට්‍යය වගේම අනෙකුත් නාට්‍ය පිළිබඳත් සිහිපත් කරමු?

එදා වේදිකාවට ගෙන ආ ‘සූටි ගමරාල සහ රයිගම් බණ්ඩා’ අද යුගයටත් ගැළපෙන නාට්‍යයක්. සඳුන් විජේසිරි, සරත් කුලාංග, ප්‍රේමදාස විතානගේ, දේවි සකුන්තලා වැනි නළු නිළියන් සූටි ගමරාල සහ රයිගම් බණ්ඩා නාට්‍යය හැඩ කළා. ඊට පසුව ‘පිටිසර කෙල්ල’, ‘අග්‍ර පුරෝහිත’, ‘ආයෙත් එන්න’ වැනි වේදිකා නාට්‍ය පහළොවක් විතර වේදිකා ගත කළා.

පාසල් කාලයේදීත් ඔබ කලාවට ලැදි කෙනෙක්ද?

මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නෙත් පාසල් කාලයේදීමයි. ඒ නළුවෙක් විදියට. ‘සිවම්මා ධනපාල’, ‘විදුර’, ශ්‍රී වික්‍රම’ වැනි වේදිකා නාට්‍යවලට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේමයි ඒ කාලයේදී ළමා පිටියට එක් වෙන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ තුළින් ලද හැකියාවෙන් ගුවන් විදුලි නිවේදකයෙක් ලෙස ‘සුභාරතී’, ‘ආරාධිත අමුත්තා’ වැනි වැඩසටහන් නිවේදනයට සම්බන්ධ වෙලා තියෙනනවා. දැනටත් මම නිවේදන කටයුතු කරගෙන යනවා.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණත් ඔබ වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක්.

මේ ක්ෂේත්‍ර දෙක එකිනෙක වෙනස් වූ ක්ෂේත්‍ර දෙකක්. ඔබ කොහොමද මේ දෙඅංශයම සමබරව කරගෙන යන්නේ?

කලා ක්ෂේත්‍රය කියන්නේ සංවේදී හිතකින් කටයුතු කළ යුතු ක්ෂේත්‍රයක්. නමුත් පොලිස් සේවය තුළ දී ඒ විදියට කටයුතු කරන්න අපහසුයි. මම රැකියාවෙන් පොලිස් සේවයට සම්බන්ධ වුණත් මගේ කලාවට ලැදි ඒ සංවේදී හිත හැමදාමත් කලා කටයුතු සඳහා මා යොමු කරනවා. මෙහිදී ඇති එකම ගැටලුව කාලය තමයි. නමුත් කෙසේ හෝ මා කලා කටයුතු වෙනුවෙනුත් යම් කාලයක් වැය කරනවා.

මේ වන විට මම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උප පොලිස් පරික්ෂකවරයෙක් විදියට සේවයේ නිරත වෙලා සිටින්නේ. දැනට මම පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙනුත් ‘දේශ’ නමින් සඟරාවක් සංස්කරණය කරනවා. මම එය සිදු කරන්නේ පෞද්ගලිකවමයි. ඒ සඳහා මට පොලිස්පතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. නිසි කාලය කළමනාකරණය නිසා මේ හැම කටයුත්තක්ම මම සාර්ථකව කරගෙන යනවා.

අපි නැවතත් වේදිකාවට පිවිසෙමු. ඔබේ නාට්‍ය නිර්මාණ සඳහා විශේෂ වූ දැක්මක් තියනවාද?

මගේ අරමුණ සමාජයේ යහපත් වූ නාට්‍ය කලාවක් බිහි කිරීමයි. ඒ වෙනුවෙන් මට සමාජයට යහපත් පණිවුඩයක්, ආදර්ශයක් විය හැකි නාට්‍ය තමයි මම වේදිකා ගත කරන්නේ. මට පෞද්ගලික මතිමතාන්තර නාට්‍යමය ස්වරූපයෙන් වේදිකා ගත කරන්න ආසාවක් නැහැ. වෛරය, ක්‍රෝධය, පළිගැනීම නාට්‍ය තුළින් ඉස්මතු කර පෙන්වන්න මට වුවමනා නැහැ. සමාජයට ප්‍රයෝජනවත් සුබවාදී නාට්‍ය තමයි මගේ දැක්ම.

අසූව දශකයේ සිට නාට්‍ය කලාවේ රැඳී සිටින ඔබ එදා සහ අද කාලය අතර වෙනස දකින්නේ කොහොමද?

එදා සහ අද කාලය අතර නාට්‍ය කලාව තුළ ප්‍රවේශ පත්‍රයේ වටිනාකමේ සිට හැම දේම වෙනස් වෙලා. අද නාට්‍ය කලාව ව්‍යාපාරිකයන් අතට පත් වෙලා. ඇත්තටම නාට්‍ය කලාවට ලැදි අලුත් කොල්ලන්ට හා කෙල්ලන්ට නාට්‍යයක් කරන්න අපහසු තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. පුහුණුවීම් ශාලා වගේම අනුග්‍රාහකයන් නොමැති වීම එයට දැඩි ලෙස හේතු වන බව මගේ හැඟීමයි. ඒ වුණත් එදා වගේම අදත් අසාර්ථක නිර්මාණ ක්ෂේත්‍රය තුළ බිඳ වැටෙනවා වගේම හොඳ නිර්මානයක් කවදාවත් අතහැරලා දැම්මේ නැහැ. නාට්‍ය බලන්න හැඟීම ඇති වුණාම මිනිස්සු එය අනිවාර්යයෙන්ම බලනවා.

ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කෙටි සටහනක් තබමු?

මේ වන විට ‘මාතෘ’ මංගල දැක්ම වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනවා. ඉදිරියේදී එය කොළඹින් පිට ස්ථාන කිහිපයකත් වේදිකා ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව නව නිර්මාණයකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.