|
සියවසක ඉන්දියානු සිනමා සහටන්1913 මුල්ම ඉන්දියානු චිත්‍රපටය මැයි තුන් වැනි දින තිර ගත වෙයි.ඒ එදින බොම්බායේ කොරනේෂන් සිනමාහලේ තිර ගත වූ රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටයයි.අධ්‍යක්ෂණය කළේ ඩී.ජේ.පාල්කේය.එයට පෙර එනම් අප්‍රේල් 21 වැනි දින චිත්‍රපටයේ විශේෂ ආරාධිත දැක්මක් පැවැත්වින.මුල්ම ඉන්දියානු සිනමා නිළිය කමලාබායි ගොක්ලේ පාල්කේ ගේ දෙවැනි චිත්‍රපටය වූ මොහිනී බසුම්සූර් චිත්‍රපටයෙන් සිනමාවට එක් වෙයි.
1914 පාල්කේ නිර්මාණය කළ රාජා හරිශ්චන්ද්‍ර,මෝහිනි බසුමසුර් සහ සත්‍යවන් සාවිත්‍රි යන චිත්‍රපට ත්‍රිත්වයම ලන්ඩනයේ තිර ගත වෙයි.
1916 පළමු දකුණු ඉන්දියානු චිත්‍රපටය ආර්.නටරාජා මුඩ්ලියර්ගේ කීචක වාදම් චිත්‍රපටය තිර ගතවෙයි.ඇමරිකානු හොලිවුඩ් චිත්‍රපට සමාගමක් වන යුනිවර්සල් සමාගමේ ශාඛාවක් කල්කටාවේ පිහිටුවනු ලබයි.ඉන්දියාවේ පිහිටවන ලද මුල්ම හොලිවුඩ් සමාගම් ශාඛා කාර්යාලය එයයි.පළමු ලෝක මහා සංග්‍රාමය ආරම්භ වීමත් සමග ආනයන නීති දැඩි කළ බැවින් දළ සේයා පට ඇතුළු සිනමා උපකරණ ආනයන සීමා වීම චිත්‍රපට කර්මාන්තයට ඍජු බලපෑමක් එල්ල කරයි.
1917 බාබුරාඕ පේන්ටර් කොලහපූර් නගරයේ දී මහාරාෂ්ට්‍ර ෆිල්ම් කම්පැනි ආරම්භ කරයි.කල්කටාවේ දී ජේ.එෆ්.මදාන් සත්‍යවාදි හරිශ්චන්ද්‍ර චිත්‍රපටය නිර්මාණය කරයි.පාල්කේ සිනමා කරණය පිළිබඳ මුල්ම ඉන්දියානු අධ්‍යාපනික ග්‍රන්ථය හව් ෆිල්ම්ස් ආ ප්‍රිපේඩ් කෘතිය එළි දක්වයි.පාල්කේ ගේ ලංකා දහන් තිර ගත වද්දි එය නැරඹිමට පැමිනි ජනතාවගෙන් බොම්බායේ මාර්ග පිරී යයි.
1918 ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එංගලන්ත සිනමා පනත අනුව නිර්මාණය කරන ලද ඉන්දියානු සිනමා පනත ක්‍රියාත්මක කරවයි.චිත්‍රපට වාරණය සහ නිෂ්පාදනය සහ බෙදාහැරීමේ දී බලපත්‍ර ලබා දීම එමගින් සිදු කරයි.කොහිනූර් සමාගම සහ පාල්කේ ගේ හින්දුස්ථාන් ෆිල්ම් සමාගම් ආරම්භ වෙයි.පතන්කාර් සමාගම විසින් ඉන්දියාවේ මුල්ම සීරියල් චිත්‍රපටය වන වනවාස් නිර්මාණය කරයි.
1919 බෙංගාලි උප සිරැසි යොදා තැනුණ මුල්ම චිත්‍රපටය බිල්වාමංගල් තිර ගත වෙයි.එහි අධ්‍යක්ෂණය රස්ටොම්ජි දොතිවාලා ගෙනි. නිෂ්පාදනය ?මදාන් ගෙනි.
1920 මුල්ම ඉන්දියානු සිනමා සඟරාව බිජෝලි බෙංගාලි බසින් එළි දකියි.බොම්බායේ මුල්ම රැඟුම් පාලක මණ්ඩලය බිහි වෙයි.ඇමෙරිකාවේ සිනමාව හැදෑරු මුල්ම ඉන්දියානුවා ලෙස සැලකෙන සුචෙත් සිං සිය මුල්ම චිත්‍රපටය සාකුන්තලය එළි දක්වයි. එහි ප්‍රධාන චරිතය රඟපානුයේ හොලිවුඩ් නිළි ඩොරති කිංග්ඩම්ය.මුල්ම ඉන්දීය කතානාද චිත්‍රපටය තැනූ අර්දේශර් එම්.අයිරානි චිත්‍රපට නිෂ්පාදනයට එක්වෙයි.ඒ නල දමයන්ති චිත්‍රපටය නිර්මාණය කරමිනි.ඉතාලිය සමග එක්ව තැනූ එය මුල්ම ඉන්දියානු ජාත්‍යන්තර හවුල් නිෂ්පාදනයයි.
1921 ඉන්දියානු සිනමා වාරණය දැඩිව ක්‍රියාත්මක කරමින් කොහිනූර් සමාගමේ භක්ත විධූර් ලාහෝරයේ තහනම් වෙයි. බටහිර විරෝධි ආකල්ප වලින් යුත් බිලට් ෆෙරට් තිර ගතවෙයි. මේ චිත්‍රපට සියල්ල ඍජුව ඉන්දියානු නිදහස් සටනේ මතවාද ජනතාවට ගෙන එයි. ආර්.එස්.ප්‍රකාශ් මදුරාසියේ ස්ටාර් ඔෆ් ද ඊස්ට් ෆිල්ම් ආයතනය පිහිටුවාලමින් දකුණු ඉන්දියාවේ සිනමා ව්‍යාපාරය ස්ථාපිත කරවයි.
1922 කල්කටාවේ දී විනෝද බදු පැනවෙයි.රෙවශන්කර් පංචෝලි කරච්චි සහ ලාහෝරයේ එම්පයර් ෆිල්ම් සමාගම ආරම්භ කරයි.
1923 බොම්බායේ විනෝද බද්ද සියයට දොළහමාරක් දක්වා ඉහළ දමයි.මදාන් තියටර්ස් සමාගම ඉතාලිය සමග හවුල් නිෂ්පාදන අරඹයි.මුල්ම චිත්‍රපටය ජියෝරිජියෝ මන්නිනි අධ්‍යක්ෂණය කළ සාවිත්‍රිය.මුල්ම ඓතිහාසික කතා තේමාව ඇතුළත් චිත්‍රපටය සිංහගාද් අධ්‍යක්ෂණය බාබුරාඕ පේන්ටර් ගෙනි.
1924 මෝගල් කුමරියක වටා ගෙතුන රසියා බේගම් චිත්‍රපටය නිසා හින්දු මුස්ලිම් ජනයා අතර මහත් කැලඹීමක් ඇතිවෙයි. එය ලාහෝරයේ සහමුලින්ම තහනම් කෙරෙයි. චිත්‍රපටය ප්‍රදර්ශනය කළ වරදට දිරෙන් ගංගුලි වහාම සිය ප්‍රාන්තයෙන් පිටුවහල් කිරිමට හයිද්‍රාබාද් නිසාම් වරයා අණ කරයි.මුල්ම ඉන්දියානු සිනමා මාසිකය වන මවුජ් මජාහ් එළි දකියි.එය බොම්බායේ ප්‍රකාශයට පත් වුව ද ගුජරාටි බසින් යුත් සඟරාවකි.නිහඬ සිනමා යුගයේ අති සාර්ථක චිත්‍රපටයක් වන ගුල් ඊ බකවාලි තිර ගත වෙයි.සත්‍ය කතාවක් පාදක කර ගත් මුල්ම ඉන්දියානු චිත්‍රපටය කාලා නාග් තිර ගත වෙයි.මේ චිත්‍රපට යුගලම කොහිනූර් සමාගමේ නිෂ්පාදනයන්ය.
අධ්‍යක්ෂණය කරන ලද්දේ කන්ජිබායි රතෝද් විසිනි.
1925 සමකාලින සමාජය කේන්ද්‍ර කොට ගත් මුල්ම ඉන්දියානු චිත්‍රපටය බාබුරාඕ පේන්ටර් ගේ සව්කරි පාශ් තිර ගත වෙයි.ඉන්දියාව හා ජර්මනිය ඒකාබද්ධ ව තැනුණ ලයිට් ඔෆ් ඒෂියා හෙවත් ප්‍රෙම් සන්‍යාස් තිර ගත වෙයි.එහි අධ්‍යක්ෂණය ජර්මානු ජාතික ෆ්‍රාන්ස් ඔස්ටන්ගෙනි.නිෂ්පාදනය හිමන්සු රායි ගෙනි.බුද්ධ චරිතය පදනම් කර ගත මෙම චිත්‍රපටයේ සිද්ධාර්ථ චරිතය නිරූපණය කරන ලදදේ හිමන්සු රායි වන අතර යසෝධරා චරිතයට එක් වූයේ සීතා දේවි නම් ඇංග්ලෝ ඉන්දියානු ජාතික නිළියයි.මේ චිත්‍රපටය ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දී සහමුලින්ම තහනම් කෙරෙයි. ඉන්දියාවේ මුල්ම සිනමා අධ්‍යක්ෂවරිය බිහි වෙයි.ඇය ෆැට්මා බේගම් ය.ඇය ගේ මුල්ම චිත්‍රපටය බුල් බුල් ඊ පරස්තාන් නම් විය.සටන් පිරි රැගත් කතා සහිත චිත්‍රපට මාලාවක් ශර්ධා ෆිල්ම් වෙතින් අරඹයි. දකුණු ඉන්දියානු සිනමාවට පසුකාලිනව මහත් බලපෑම් කළ ටී.කේ.එස්.බ්‍රදර්ස් නමින් පසුකලක ප්‍රචලිත වූ නිදහස් චිත්‍රපට කණ්ඩායමක් මදුරෙයි නගරයේ දී බිහිවෙයි.එය නම් කරනුයේ මදුරෙයි බාල ශන්මුගනන්නද සභා යනුවෙනි.ඔවුන්ගේ මූලික අරමුණ නිදහස් ඉන්දියාව පිළිබඳ මතවාදය ව්‍යාප්ත කිරිමයි.
1926 පන්ජාබ සිනමාව ලාහෝරයේ ඇරඹෙයි.ඒ සඳහා පන්ජාබ් ෆිල්ම් කෝපරේෂන් ආයතනය පිහිටුවා ගැනෙයි.බාල්ජිපෙන්දර්කාර්ගේ වන්දේ මාතරම් ආශ්‍රම් සහමුලින්ම තහනම් වෙයි.මුල්ම කතානාද චිත්‍රපටය නිපද වීමේ අරමුණින් අර්දේශර් එස්.අයිරානි ඉම්පීරියල් ෆිල්ම්ස් ආරම්භ කරයි.
1927 කල්කටාවේ දී ඉන්ඩියන් කිනෙමා ආර්ට්ස් ආයතනය බිහි වෙයි.මදුරාසියේ දි මූවි මිරර් සහ බොම්බායේ කිනෙමා යන සිනමා සඟරා එළි දකී.ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට රජය මගින් කමිටුවක් පත් කරයි.
1928 ඉන්දියානු සිනමා කර්මාන්තය පිළිබද මුල්ම වාර්තාව එළි දකී.මේ කමිටු වාර්තාව මගින් එළි දැක්වූ කරුණු නොපිළිගැනිමට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයෝ තීරණය කරති.පසුකලක හින්දි සිනමාවේ ප්‍රබලයකු වූ ඒ.ආර්.කාදර් ලාහෝරයේ යුනයිටඩ් ප්ලෙයර්ස් චිත්‍රපට සමාගම අරඹයි.ආර්.පද්මනාභන් මදුරාසියේ ඇෂෝසියේටඩ් ෆිල්ම් ස්ටුඩියෝ අරඹයි.කේරළයේ මුල්ම චිත්‍රපටය ජේ.සී.ඩැනියල්ගේ විගතකුමාරන් එළි දකියි.නිතින් චන්ද්‍ර මිත්‍ර අතින් මුල් වරට දේව්දාස් සිනමාවට නැගෙයි. ඒ නිහඩ චිත්‍රපටයක් හැටියටය.
1929 ඇමෙරිකානු කොටස් වෙළඳ පොළේ ඇති වූ යම් බලපෑම් ඉන්දියාවට චිත්‍රපට කෙරෙහි බලපෑම් ඇති කිරිමට සමත් වෙයි.ඉන්දීය සිනමා ඉතිහාසයේ වැදගත් චිත්‍රාගාර කිහිපයක් ඇරඹෙයි.කොලහපූර් හි ප්‍රභාත්,බොම්බායේ රංජිත්,කල්කටාවේ බ්‍රිටිෂ් ඩොමිනියන්, සහ අවුරෝරා මදුරාසියේ ජෙනරල් පික්චර්ස් ඒ අතර කැපී පෙනෙයි.ඇමෙරිකාවේ යුනිවර්සල් සමාගම නිපදවන ලද මුල්ම කතානාද චිත්‍රපටය ලෙස සැලකෙන මෙලඩි ඔෆ් ලව් චිත්‍රපටය ඉන්දියාවේ තිර ගත වෙයි. එය ඉන්දියාවේ තිර ගත කරනු ලබන මුල්ම කතානාද චිත්‍රපටයයි.ඒ කල්කටාවේ එල්ෆින්ස්ටන් සිනමාහලේය.ගුබ්බි විරන්නා බැංගලෝරයේ දි කර්නාටක සිනමාව අරඹයි.
1931 මුල්ම ඉන්දිය කතානාද චිත්‍රපටය අලම් අරා තිරගත වෙයි. හින්දි සහ උර්දු බසින් තැනුණ මෙහි අධ්‍යක්ෂණය අර්දේශර් එම්.අයිරානිගෙනි.එහි ප්‍රධාන චරිත රඟපෑවේ මාස්ටර් විතාල් සහ සුබෙයිදාය. ගීත අටක් ඇතුළත් මෙහි ගායකයාවූයේ වසීර් මොහමඩ් කාන්ය.ගායිකාව සුබෙයිදාය.ඒ සමග මදුරාසියේ දී මුල්ම දෙමළ කතානාද චිත්‍රපටය කලිදාස් නමින් ද භක්ත ප්‍රහ්ලාදා තෙළිගු බසින්ද ජමායි සාස්ති බෙංගාලි බසින්ද එළි දකින මුල්ම කතානාද චිත්‍රපටයන්ය.බෙංගාලි සිනමාවට වඩා මෙහෙය කළ බි.එන්.ශ්‍රීකාර්ගේ නිව් තියටර්ස් අරඹයි. නිතින් බෝශ්,බිමල් රෝයි වැනි සිනමාකරුවන් රැසක් දොරට වඩිනුයේ එමගිනි.
1932 මහා කවි රබින්ද්‍රනාත් තාගෝර් නිව් තියටර්ස් වෙනුවෙන් නතීර් පූජා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරයි.ගුජරාටයේ මුල්ම චිත්‍රපටය නානුබායි වකිල් ගේ නරසිං මෙහෙතා තිර ගත වෙයි.ඉන්දියානු සිනමාවේ අභිවෘද්ධිය වෙනුයෙන් ඉන්දියානු චලන චිත්‍ර සමාජය පිහිටුවයි.
1933 කොලහපූර් හි පිහිටුවන ලද ප්‍රභාත් චිත්‍රාගාරය පූනා වෙත පැමිණෙයි.ඔවුන් තැනූ සෛයිරාන්ද්‍රි ඉන්දියාවේ මුල්ම වර්ණ චිත්‍රපටය වන අතර එහි පිටපත් තැනෙණුයේ ජර්මනියේදීය.හිමන්සු රායිගේ කර්ම චිත්‍රපටයයේ මංගල දර්ශනය ලංඩනයේ දී පැවැත්වෙයි.
1934 නිහඬ චිත්‍රපට නිෂ්පාදනය සම්පූර්ණයෙන් නිමා වෙයි.ඒ වන විට ඉන්දියාවේ නිෂ්පාදිත සම්පූර්ණ නිහඬ චිත්‍රපට සංඛයාව 1288 කි.ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැදගත් සිනමා සමාගමක් වන බොම්බේ ටෝකිස් ආරම්භ වෙයි.ඔරිස්සා බසින් තැනුණු මුල්ම චිත්‍රපටය සීතා බිබාහ තිර ගත වෙයි.කන්නඩ භාෂිත මුල්ම චිත්‍රපටය භක්ත දරුවා තිර ගත වෙයි.
1935 මුල්ම පන්ජාබි භාෂිත චිත්‍රපටය වන ශීලා සහ ඇසම් භාෂිත මුල්ම චිත්‍රපටය ජෝයිමාති තිර ගත වෙයි.මුල් වරට ඉතා නිවැරදිව හඩ සහ තොල් චලනය මුසු වන පසුබිම් ගායනා ඇතුළත් චිත්‍රපටය නිතින් බෝශ් ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව තිර ගත වෙයි.ඒ දූප් චාඕන්ය.මුල් වරට මදුරාසියේ දී තැනූ තෙළිඟු චිත්‍රපටය වේල් පික්චර්ස් සමාගම වෙනුවෙන් නරසිම්හ රාඕ නිර්මාණය කරන ලද සීතා කල්යානම් තිර ගත වෙයි.නිර්භීත නාදියා නම් සටන් නිළිය හදුන්වා දෙමිනි ජේ.බී.වාඩියා දේශ් දීපක් නිර්මාණය කරයි.වාර්ෂික ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදනය 228 ක් දක්වා වර්ධනය වෙයි.මුල්ම කතානාද දේව්දාස් චිත්‍රපටය පී.සී බරුවා ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව එළි දක්වයි. දේව්දාස් ලෙස රඟපානුයේ කේ.එල්.සයිගාල් ය.
1936 මුල්ම වැනිස් සිනමා උළෙලේ වී.ශාන්තාරාම්ගේ අමර් ජෝති තිර ගත වෙයි.බෙංගාලි චිත්‍රපට පදනම කල්කටාවේ දී බිහි වෙයි.ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජර්මානු ජාතික ෆ්‍රාන්ස් ඔස්ටන් හිට්ලර්ගේ නාසි පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනියි.සොරාබි මෝඩි රස්ටම් මෝඩි දෙසොහොයුරන් මිනර්වා මුවිටෝන් අරඹයි. චිත්‍රපට නිළි ජද්දන් බායි සිය කුඩා දියනිය නාර්ගිස් සිනමාවට හඳුන්වා දෙනු වස් සංගීත් ෆිල්ම්ස් ආරම්භ කරයි.මොහාන් සුනද්ර් දේබ් ගොස්වාමි මුල්ම ඔරිස්සා චිත්‍රපටය සිතා බිබාහ නමින් තිරයට ගෙන එයි.දෙමළ සිනමාවට නව මුහුණු වරක් දෙමින් චිත්‍රපට රැසක් නිර්මාණය කළ අමෙරිකානු ජාතික සිනමාකරු එලියාස් ආර්.ඩන්කන් සිය මුල්ම දෙමළ චිත්‍රපටය වූ ඉරු සහෝදරගල් අධ්‍යක්ෂණය කරයි.ඔහු දකුණු ඉන්දියාවේදෙමළ චිත්‍රපට නිර්මාණය කළ එකම විදේශිකයාය.
1937 මුල්ම ගීත රහිත ඉන්දියානු චිත්‍රපටය ජේ.බී.එච්.වාඩියාගේ වාඩියා මුවිටෝන් වෙනුවෙන් තැනූ නව්ජ්වාන් තිර ගත වෙයි.ඉන්දියාවේ දී වර්ණ ගැනුණ මුල්ම චිත්‍රපටය ඉම්පීරියල් ටෝකිස් සමාගම මගින් නිර්මාණය කරයි.ඒ මෝති ගිඩ්වානි අධ්‍යක්ෂණය කළ කිෂන් කන්‍යා ය.දකුණු ඉන්දියානු සිනමාවේ මෝගල් වරයා ලෙස වැජඹුණ ටී.ආර්.සුන්දරම් සේලම් නගරයේ දී මොඩන් පික්චර්ස් ආයතනය ආරම්භ කරයි.ඉන්දියානු සිනාමාවේ මුල්ම වෘත්තිය සංවිධානය වන ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංවිධානය බොම්බායේ දී ඇරඹෙයි.දාම්ලේ සහ ෆත්තේලාල් පූනාවේ ප්‍රභාත් පික්චර්ස් වෙනුවෙන් නිර්මාණය කරන ලද සන්ත් තුකරාම් වැනිස් සිනමා උළෙලේ විශේෂ ජූරි සම්මානය දිනා ගනී.ඉන්දියානු සිනමාවේ පියානන් වූ පාල්කේ ගේ අවසන් චිත්‍රපටය මෙන්ම මුල්ම කතානාද චිත්‍රපටය ගංගාවතරන් තිර ගත වෙයි.
1938 වැනිස් සිනමා උළෙලේ තිර ගත කරන ලද සිව් වන ඉන්දියානු සිනමා කෘතිය වන ප්‍රභාත් පික්චර්ස් වෙනුවෙන් වී.ශාන්තාරාම් නිර්මාණය කරන ලද දුනියා නා මානේ යුරෝපියානු චිත්‍රපට ප්‍රදර්ශකයන් විසින් මිලයට ගනිති.
බහු ජාතික සමාගමක් වූ ලිවර් සහෝදරයන් වෙනුවෙන් මුල් වරට ඉන්දියානු සිනමා සමාගමක් දැන්වීමක් නිර්මාණය කරති. ඒ බොම්බේ ටෝකිස් සමාගම මගින් ලින්ටාස් වෙළඳ දැන්වීම් වෙනුවෙන් නිර්මාණය කරන ලද දාල්දා පිසින තෙල් පිළිබඳ දැන්විමයි.එයට පෙර ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටයේ තිර නාටක රචකයා වන නිරන්ජන් පාල් ද දැන්වීම් නිර්මාණය කරන ලද නමුත් ඒ සියල්ල ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ එංගලන්තයේ සිටය. ඉන්දියානු චිත්‍රපට බෙදාහරින්නන්ගේ සංවිධානය (IMPDA) සහ දකුණු ඉන්දියානු චලන චිත්‍ර වාණිජ මණ්ඩලය(THE SOUTH INDIAN FILM CHAMBER OF COMMERCE) යන ආයතන පිහිටුවා ගැනෙති.පාල්කේ ගේ රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටය තිර ගත කළ දිනය ඉන්දියානු සිනමාවේ නිල උත්පත්ති දිනය ලෙස සලකා සිනමාවේ විසි පස් වසර සැමරීමට ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකවරු සූදානම් වෙති. මෙහි ලා මුල් තැන ගන්නේ වී.ශාන්තාරාම්ය.පළමු මලයාලම් කතානාද චිත්‍රපටය බාලන් නමින් තිර ගත වෙයි. එය මොඩර්න් පික්චර්ස් ආයතනය වෙනුවෙන් නිෂ්පාදනය කරනුයේ ටී.ආර්.සුන්දරම්ය.අධ්‍යක්ණය එස්.නොට්ටානි ගෙනි.චිත්‍රපට උපදේශක මණ්ඩලයේ මෙහෙයවීමෙන් වාඩියා මුවිටෝන් ආයතනය ද ඉන්ඩියන් ස්ක්‍රීන් ගැසට් නම් ප්‍රවෘත්ති චිත්‍රපට මාලාව එළි දක්වයි.
1939 මදුරාසියේ දී බී.එන්.රෙඩ්ඩි විසින් වාහිනි පික්චර්ස් ආයතනය ද එස්.එස්. වාසන් විසින් ජෙමිනි පික්චර්ස් ආයතනය ද අරඹති.
1940 චිත්‍රපට දළ සේයා ආනයනය සීමා කිරිමට චිත්‍රපට උපදේශක මණ්ඩලය තීරණය කරයි.ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට යම්තම් හෝ හවුල්වන වචන හෝ රූප ඇතුළත් සියලු චිත්‍රපට තහනම් කිරිමට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයෝ තීරණය කරයි.පී.කේ.ආත්‍රේ සහ මාස්ටර් විනයක් ගේ නවයුග් චිත්‍රපට මුල්වරට මහජන කොටස් නිකුතුවක් නිකුත් කරයි. මෙහෙබුබ් ඛාන් ගේ අවුරත් තිර ගත වෙයි.පසුකලක ඔහුගේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සැලකෙන මදර් ඉන්ඩියා ලෙස ප්‍රති නිර්මාණය කරනුයේ අවුරත් චිත්‍රපටයයි.හිමන්සු රායිගේ හදිසි මරණය සමග බොම්බේ ටෝකිස් සියලු පාලනය ඔහුගේ බිරිය නිළි දේවිකා රාණි විසින් පවරා ගනු ලබයි.
1941 මෝති ගිඩ්වානි අධ්‍යක්ෂණය කළ කලන්චි චිත්‍රපටය සමස්ත ඉන්දියාව පුරාම අති සාර්ථක වෙයි.ලාහෝරයේ තැනුණ චිත්‍රපට අතරින් එලෙස සාර්ථක වූ මුල්ම චිත්‍රපටය එය විය.පුශ්ටු භාෂිත මුල්ම චිත්‍රපටය ලයිලා මජ්නු එළි දකී.දිල්ලියේ චලන චිත්‍ර ආයතනය බිහි වෙයි.
1942 පසු කලක අතිශය විශිෂ්ට චිත්‍රපටයක් වූ ශාන්තාරාම්ගේ ඩොක්ටර් කොට්නිස් කී අමර් කහානි චිත්‍රපටයට පාදක වූ දොස්තර ද්වාරකනාත් කොට්නිස්ගේ චීනය බලා ගිය චාරිකාව සිදුවූයේ මේ වසෙර්ය.බොම්බාය සිනමා සමාජය පිහිටුවා ගැනෙති.දළ සේයා පට හිඟය සමග වෘත්තිය නිෂ්පාදකයන්ට පමණක් එක් චිත්‍රපටයකට දිග අඩි 11000කට සීමා වූ දළ සේයා පට ප්‍රමාණයක් ලබා දීමට රජය සැලසුම් කරයි.ප්‍රචාරක කටයුතු සඳහා අමතරව ලැබෙනුයේ අඩි 400 කි.දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍ය සේනාවන්ට සහාය පළ කෙරන තේමාවන් සහිත චිත්‍රපට සඳහා සේයා පට සැපයීමේ ප්‍රමුඛතාවය හිමි වෙයි.බොම්බේ ටෝකිස් සමාගමෙන් වෙන්ව යන එස්.මුඛර්ජි සහ අශොක් කුමාර් දෙමස්සිනාවරුන් ෆිල්ම්ස්තාන් සිනමා සමාගම පිහිටුවයි. එය ඉන්දියාන් සිනමාවේ අදටද නියැළි පරම්පරාවක අලුත් ආරම්භයයි.සින්දි භාෂිත මුල්ම චිත්‍රපටය හෝමි වාඩියා විසින් ඒක්තා නමින් නිර්මාණය කරයි.මර්වාරි භාසිත මුල්ම චිත්‍රපටය එළි දකිනුයේ නස්රානා නමිනි.එහි අධ්‍යක්ෂණය ජී.පී.කපූර් ගෙනි.ප්‍රභාත් සමාගමින් වෙන්ව යන වී.ශාන්තාරාම් පැරණි වාඩියා මුවිටෝන් සමාගම් භූමියෙහි සිය නවතම නිෂ්පාදන සමාගම වූ රාජ්කමාල් කලා මන්දිර් ආරම්භ කරයි. වාඩියා මුවිටෝන්ගේ බාල සොහොයුරු හෝමි වාඩියා බසන්ත් පික්චර්ස් අරඹයි.කේ.ඒ.අබ්බාස් සහ විපී.සාතේ එක්ව සවුන්ඩ් නමින් විශිෂ්ට සිනමා සඟරාවක් අරඹති.එය සිනමාව,දේශපාලනය මිශ්‍ර කළ සිනමා සගරාවකි.
1943 සියලු ආදායම් වාරාතා බිඳ හෙලමින් කිස්මට් තිර ගත වෙයි. බොම්බේ ටෝකිස් නිෂ්පාදනයක් වන එය ගයාන් මුඛර්ජි ගේ අධ්‍යක්ෂණයකි.රාජ් කමාල් කලා මන්දිර් නිෂ්පාදනය කරන ලද මුල්ම චිත්‍රපටය සකුන්තල තිර ගත වෙයි.ඉන්දියානු වාර්තා චිත්‍රපට අංශය අරඹයි.ඉන්දියානු ආරක්ෂක පනත යටතේ ඉන්දියාවේ සියලු චිත්‍රපට බෙදාහරින්නන් මේ සදහා ඔවුන්ගේ සියලු චිත්‍රපට වලින් මුදලක් ගෙවිය යුතු විය.කේ.රාම්නාත් දකුණු ඉන්දියානු චිත්‍රපට කාර්මික ශිල්පින්ගේ සංගමය අරඹයි.වාඩියා මුවිටෝන් වෙනුවෙන් මධු බෝස් නිර්මාණය කළ රාජ් නාර්ටකි චිත්‍රපටය කෝට් ඩාන්සර් නමින් දෙබස් කැවීමෙන් පසු අමෙරිකාවේ සිනමාහල් කිහිපයක තිරගත වෙයි.
1944 යුද්ධය නිසා ඉන්දියානු සිනමා නළු නිළියන්ගේ සහ කාර්මික ශිල්පින්ගේ ගෙවීම් මුදල් අඩු වෙයි.සේවා පහසුකම් සැපයීම හිඟවීම මත බොහෝ ස්වාධීන නිෂ්පාදකවරුන්ට චිත්‍රාගාර පහසුකම් ලබා ගත නොහැකි වෙයි.මයිසූරයේ මුල්ම චිත්‍රාගාරය නව ජෝති අරඹයි.රජය මගින් චිත්‍රපට උපදේශක මණ්ඩලයක් පත් කරයි. එමගින් උත්තර,මධ්‍ය බොම්බාය සහ මදුරාසියේ විනෝද බද්ද වැඩි කරයි.බොම්බේ ටෝකිස් සමාගමේ ජ්වාර් භාතා චිත්‍රපටයේ රඟපාමින් අග්‍රගණය නළු දිලිප් කුමාර් සිනමාවට එක් වෙයි.
1945 දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළු හා ගායක එම්.කේ.ත්‍යාගරාජ් භගවතාර් සහ එන්.එස්.ක්‍රිෂ්ණන් පුවත්පත් කලාවේදියකු වන ලක්ෂ්මිකාන්තන් ඝාතනය කළ වරදට සිපිරි ගෙයට නියම වෙයි. නිෂ්පාදකයන් සහ බෙදාහරින්නන් වෙනුවෙන් පත් කරන ලද සාමාජිකයන් චිත්‍රපට උපදේශක මණ්ඩලයට විරෝධය පළ කරමින් එයින් ඉල්ලා අස්වෙති.යුද්ධය නිසා ඇති වුන දළ සේයා පට සීමාවන් අහෝසි වෙයි.
1946 ඉන්දියානු මහජන නාට්‍ය සංවිධානය (ධ්ර්‍ථඊඒ) මගින් නිපද වන ලද මුල්ම චිත්‍රපටය වූ කේ.ඒ.අබ්බාස් ගේ දාර්ති කේ ලාල් චේතන් ආනන්ද ගේ නීච් නගර් සහ ශාන්තාරාම්ගේ ඩොක්ටර් කොට්නිස් කී අමර් කහානි චිත්‍රපට ත්‍රිත්වය තිර ගත වෙයි. මේ චිත්‍රපට ත්‍රිත්වයම යුද්ධය තේමා කර ගනිමින් තැනුණු චිත්‍රපට වීම විශේෂයකි.වී.වයි. උවයිස් අධ්‍යක්ෂණය කළ රන්කාදේවි නම් ගුජරාටි චිත්‍රපටය අතිශය සාර්ථක වීමත් සමග ගුජරාටි සිනාමවේ ප්‍රබෝධයක් ඇතිවෙයි.අමෙරිකානු මෙට්‍රො ගොල්ඩ්වින් මේයර් සමාගම ජංගම සිනමා ශාලා සදහා මිලි මිටර් 16 චිත්‍රපට පිටපත් ඉන්දියාවට හඳුන්වා දෙයි.ඉන්දියානු ප්‍රවෘත්ති චිත්‍රපට අංශය වසා දමයි.පළමුවන කාන් සිනමා උළෙලේ දී නීච් නගර් සම්මාන දිනා ගනියි.
1947 ඉන්දියාව නිදහස ලබයි.ඒ සමග නැගෙනහිර පාකිස්තානය සහ බටහිර පාකිස්තානය නමින් ඉන්දියාව කොටස් තුනකට කැඩෙයි.මේ අරගලයේ දී මිය ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි. ලාහෝරය කේන්ද්‍ර කොට ගත් බහුල වශයෙන් උර්දු භාෂිත සිනමාව ඉන්දියාවට අහිමි වෙයි. කේරළයේ මුල්ම සිනමා සමාගම උදයා ආරම්භ වෙයි.මදුරාසියේ සුප්‍රකට ඒ.වී.එම් චිත්‍රාගාරය ආරම්භ වෙයි. නාම් ඉරුවර් එහි මුල්ම චිත්‍රපටයයි.පෝල් සිල්ස් සහ ෆාලි බිලිමොරියා එක්ව ඉන්දියානු වාර්තා චිත්‍රපට අංශය ආරම්භ කරයි.සත්‍යජිත් රායි සහ චිදානන්ද දාස් ගුප්තා එක්වී කල්කටා සිනමා සමාජය පිහිටුවයි.දකුනු ඉන්දියාවේ මදුරෙයි නගරයේ දී මුල්ම සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුව නමින් බිහි වෙයි.
1948 ඉන්දියාව පුරා අලුත් සිනමාහල් ඇති කළ යුතු වග ඉන්දියානු අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් කියා සිටී.මුළු ඉන්දියාව පුරාම අතිශය ජනප්‍රිය වූ මුල්ම දෙමළ චිත්‍රපටය චන්ද්‍රලේඛා තිර ගත වෙයි.එය එස්.එස්.වාසන්ගේ නිර්මාණයකි.ඉන්දියානු සංස්කෘතික නැටුම් ඇතුළත් විශිෂ්ට චිත්‍රපටයක් වූ උදේ ශංකර්ගේ කල්පනා තිර ගත වෙයි. මේ චිත්‍රපට යුගලම මදුරාසියේ ජෙමිනි සමාගමේ නිෂ්පාදනයන්ය.කේරළයේ දී තැනුණ නිර්මල චිත්‍රපටය එහි තැනුණ මුල්ම මලයාලම් චිත්‍රපටයයි.ආග් චිත්‍රපටය නිපදවිමත් සමග රාජ් කපූර්ගේ ආර්.කේ චිත්‍රපට ආරම්භ වෙයි.
1949 කිස්මට් චිත්‍රපටයේ ආදායම් වාර්තාව රාජ් කපූර්ගේ බර්සාත් තිර ගත වීමෙන් බිඳ වැටෙයි.ඉන්දියානු රජයේ ෆිල්ම් ඩිවිෂන් ආයතනය ආරම්භ කරයි.දෙමළ සිනමාවේ තිර කතා රචකයකු වූ සී.එන්.අන්නාදොරේ විසින් ද්‍රවිඩ මුන්නේත්‍ර පක්ෂය පිහිටුවනු ලබයි.එම පක්ෂයේ ප්‍රචාරක කටයුතු සඳහා ක්‍රිෂ්ණන් සහ පන්ජුගේ අධ්‍යක්ෂණයෙන් නල්ලතම්බි චිත්‍රපටය ද ඒ.එස්.ඒ.සාමිගේ අධ්‍යක්ෂණයෙන් වේලක්කාරි චිත්‍රපටය ද නිපදවයි.සෝවියට් ජනපදය පුරා දාර්ති කේ ලාල් තිර ගත වෙයි.1918 වසරේ බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද චිත්‍රපට පනත අහෝසි වෙයි.ඒ වෙනුවට චිත්‍රපට රැඟුම් පාලනයට නව නීති සැකසීම සදහා එස්.කේ පතිල් කොමිසම පත් කරයි.මධ්‍ය පුදේශයේ සියයට පනහකින් ද කල්කටාවේ සියයට හැත්තෑ පහකින් ද විනෝද බද්ද වැඩි කිරිමට එරෙහිව ඉන්දියාවේ සිනමාහල් හිමියන් ශාලා වසා දමා විරෝධය පළ කරති.දේව්,චේතන් සහ විජය යන ආනන්ද සොහොයුරන් එක්ව නව්කේතන් චිත්‍රපට ආරම්භ කරති.ආර.කේ.කරන්ජියා ගේ සංස්කරණයෙන් මූවි ටයිම්ස් සඟරාව ඇරඹෙයි.
1950 ඉන්දියානු චිත්‍රපට ආනයනයේ දී එහි දිග සෑම අඩියකටම රුපියලක බද්දක් ගෙවිය යුතුයැයි පාකිස්තානය එරට චිත්‍රපට ප්‍රදර්ශකයන්ට අණ කරයි.කල්කටාවේ දී නිර්මල් ගෝෂ්ගේ චින්නාමුල් තිර ගත වෙයි.ජනප්‍රිය දෙමළ චිත්‍රපටයක් වන එලය් පාඩුම් පාඩු තිර ගත වෙයි.මුල්ම කොන්කනි චිත්‍රපටය ජෙරි බොගැන්සා ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව එළි දකින්නේ මොගාචෝ අන්විදෝ යන නමිනි.
1951 එස්.කේ පටිල් කොමිසමේ නිර්දේශ එළි දකියි. එමගින් චිත්‍රපට කර්මාන්තයේ දියුණුව උදෙසා පිළියම් ලෙස චිත්‍රපට සංරක්ෂණාගාරයක්, සිනමා පාසලක් ද අවශ්‍ය බැව් කරුණු දක්වති.චිත්‍රපට කර්මාන්තයේ තාරකා ක්‍රමය පිළිබඳ මෙන්ම එයට කළු සල්ලි ආයෝජනය වන අන්දම ද එමගින් පෙන්වා දී තිබිණ.එබැවින් චිත්‍රපට කර්මාන්තයට රජය ආයෝජනය කළ යුතුව ඇති වග කොමිසම නිර්දේශ කරයි.චිත්‍රපට රැඟුම් පාලනය බොම්බායේ ස්ථාපිත මධ්‍යම කමිටුවකට පූර්ණ බලතල සහිතව පත් කෙරෙයි.ඉන්දියානු ෆිල්ම් ෆෙඩරේෂණය පත් කරයි. එහි මුල්ම සභාපති පදවිය හිමිවනුයේ චන්ද්‍රලාල් ශා ටය.පාතාල භෛරවි චිත්‍රපටය තෙළිඟු සිනමාවේ වැඩිම මුදල් ඉපැයූ චිත්‍රපටය බවට පත් වෙයි.ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත් සමාගම මගින් ස්ක්‍රීන් පුවත්පත නිකුත් කරයි.සුප්‍රකට රුසියානු සිනමාකරු පුඩොව්කින් ඉන්දියානු සහ සෝවියට් සිනමා හවුල් පිළිබඳ සාකච්ඡා කිරිමට ඉන්දියාවට පැමිණෙයි.ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම ලද චිත්‍රපටය වූ බර්සාත් චිත්‍රපටයේ වාර්තාව රාජ් කපූර් විසින්ම සිය අවාරා චිත්‍රපටයෙන් බිඳ හෙළනු ලබයි.
1952 ඉන්දියාවේ මුල්ම අන්තර්ජාතික චිත්‍රපට උළෙල බොම්බාය,මදුරාසිය සහ කල්කටාවේ දී පැවැත්වෙයි. එය ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි ඇමතිනි ඉන්දිරා ගාන්ධි මැතිනියගේ නියමයෙන් සංවිධානය කරනුයේ ඉන්දියානු ෆිල්ම් ඩිවිෂන් ආයතනය මගිනි. ඉන්දියානු සිනමා කර්මාන්තය වෙනුවෙන් අලුත් පනතක් ක්‍රියාත්මක වෙයි.එය 1918 මුල් පනතින් වෙනස් වනුයේ වාරණ නීති අනුවය. ඒ අනුව චිත්‍රපට තහනම් කරනුයේ රාජ්‍ය ආරක්ෂාවට එරෙහිවීම, යම් ජන කොට්ධාශයකට හෝ යම් ආගමකට හෝ පීඩා විම,මහජන නීතිය උල්ලංඝනය විම සහ අසල්වැසි මිත්‍ර රටවලට එරෙහි වීම යන කාරණා වලදි පමණී.එමෙන්ම චිත්‍රපට ගීත ප්‍රචාරණයේ දී ඒවායේ නිෂ්පාදකයන්ගේ හෝ අදාළ චිත්‍රපටයේ නම ප්‍රචාරය අත්හිටුවීමට සමස්ත ඉන්දීය ගුවන් විදුලිය ගත් තීරණයත් සමග සියලුම චිත්‍රපට නිෂ්පාදකයන් ඔවුන් සහ ගුවන් විදුලිය අතර ඇති කර ගත් සියලුම ගිවිසුම් අත්හිටුවා එයට දැන්වීම් ලබා දීම ප්‍රතික්ෂේප කරති. ඔවුන් සිය චිත්‍රපට සඳහා විකල්පය වශයෙන් තෝරා ගන්නේ ලංකා ගුවන් විදුලියයි.බොම්බායේ දී වර්ණ ගැන් වුන මුල්ම චිත්‍රපටය මෙහෙබුබ් ගේ ආන් තිර ගත වෙයි.අවාරා චිත්‍රපටයේ ආදායම් වාර්තා බිඳ හෙළන්නට ආන් චිත්‍රපටය සමත් වෙයි.බොම්බේ ටෝකිස් විසුරුවා හරියි. බෙංගාලි සිනමාවේදි රිට්වික් ඝටක් ගේ මුල්ම චිත්‍රපටය නාගරික් එළි දකියි.පාකිස්තානය ඉන්දියානු චිත්‍රපට ආනයනය සහමුලින්ම තහනම් කරයි. ඉන්දියානු සිනමා ප්‍රකාශනයන්හි වෙනසක් ඇති කළ ෆිල්ම් ෆෙයාර් සඟරාව නිකුත් වෙයි.
1953 නව තාත්විකවාදි සිනමා කෘතියක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ බිමල් රෝයි ගේ දෝ බිගා සමීන් කාන් සිනමා උළෙලේ දී විශේෂ ජූරි සඳහනකින් සහ කාලොවිවාරි උළෙලේ දී සමාජ ප්‍රගති සම්මානයෙන් පිදුම් ලබයි.ඉන්දියානු සිනමා පනතෙහි ප්‍රකාර බොම්බායේ චිත්‍රපට වාරණ මණ්ඩලයට අමතරව ප්‍රාන්ත සඳහා ද රැඟුම් පාලක බලතල ලබා දෙයි. ෆිල්ම් ෆෙයාර් සඟරාව සිය වාර්ෂික සිනමා සම්මන උළෙල ආරම්භ කරයි.
1954 මුල්ම ඉන්දියානු ජාතික සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය බවට පත් වනුයේ ශ්‍යාමිචි ආයි චිත්‍රපටයි. රාජ් කපූර්ගේ අවාරා සෝවියට් දේශයේ අති සාර්ථකව තිර ගත වෙයි.ඉන්දියානු සිනමා බලධාරින් සහ සමස්ත ඉන්දියානු ගුවන් විදුලි බලධාරින් අතර සාකච්ඡා අසාර්ථක වෙයි.චිත්‍රපට ප්‍රචාරය සඳහා ලංකා ගුවන් විදුලිය තෝරා ගැන්මට ඉන්දියානු නිෂ්පාදකයන් තීරණය කරති.
1955 සත්‍යජිත් රායිගේ පතේර් පංචාලි චිත්‍රපටයේ ජගත් මංගල දර්ශනය නිව්යෝක් හි නූතන කලා කෞතුකාගාරයේ දී පැවැත්වෙයි.ඉන්දියානු ළමා චිත්‍රපට සංගමය ආරම්භ කරයි.ආන් ආදායම් වාර්තාව රාජ් කපූර් ගේ ශ්‍රී 420 විසින් බිඳ හෙළනු ලබයි.
1956 සුප්‍රකට ඉතාලි සිනමාකරු රොබටෝ රොසලිනි ඉන්ඩියා 57 චිත්‍රපටය නිම කරද්දී අවශ්‍ය වීසා දීර්ඝ කිරීම ඉන්දියානු බලධාරින් ප්‍රතික්ෂප කරති. රොසලිනි සහ ඉන්දියානු විවාහක කාන්තාවක අතර ඇති වූ සබඳතාවය මෙයට හේතු ව ලෙස සැලකෙයි.
1957 රාජ් කපූර් නිපද වූ සොම්බු මිත්‍ර සහ අමිත් මොයිත්‍ර නිර්මාණය කළ ජග්තෙ රහෝ කාලොවිවාරි සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනයි.සත්‍යජිත් රායිගේ අපරාජිතෝ වැනිස් උළෙලේ සම්මාන දිනයි.ඉන්දියා සෝවියට් මුල්ම හවුල් චිත්‍රපටය පරදේශී තිර ගත වෙයි.මුල් වරට ඇකඩමි සම්මාන උළෙලේ හොදම විදේශ භාෂිත චිත්‍රපටයට නිර්දේශ වන ඉන්දියානු චිත්‍රපටය වන මදර් ඉන්ඩියා එතෙක් ඉන්දියානු චිත්‍රපටයක් ඉපැයූ ඉහළම ආදායම් වාර්තාවට හිමි කම් කියයි.
1958 මුල්ම වාර්තා සිනමා උළෙල බොම්බායේ දී පැවැත්වෙයි.
1959 ගුරු දත් ඉන්දියාවේ මුල්ම අති විශාල පුළුල් තිර චිත්‍රපටය කාගෙස් කේ පූල් එළි දක්වයි.ශාන්තාරාම්ගේ දෝ ආන්කේ බාර හාත් හොලිවුඩ් විදෙස් පුවත්පත් කලාවේදින්ගේ සමාජය මගින් පිරි නමනු ලබන සැමුවෙල් ගෝල්ඩ්වින් සම්මානය දිනා ගනී.එතෙක් නිව්යොක් හි වැඩිම දින ගනණක් තිර ගත වූ විදෙස් චිත්‍රපටය ලෙස දින 226 ක් තිර ගත වෙමින් පාතෙර් පංචාලි වාර්තා තබයි.සත්‍යජිත් රායි ගේ සභාපතිත්වයෙන් සහ ඉන්දිරා ගාන්ධි මැතිනියගේ උප සභාපති පදවියන් ඉන්දියානු සිනමා සමාජ ෆෙඩරේෂණය ඇරඹේ.
1960 කේ.අසිෆ් ගේ මුගල් ඊ අසාම් වැඩිම ආදායම් ලද චිත්‍රපටය බවට පත් වෙයි. එය එතෙක් වැඩිම වියදමක් දරන ලද ඉන්දියානු චිත්‍රපටය ද වෙයි. 1951 වසරේ චිත්‍රපට කොමිසමේ නිර්දේශ පරිදි චිත්‍රපට සදහා ණය පහසුකම් සැපයීමේ අරමුණින් යුතුව ඉන්දියානු චිත්‍රපට ආයෝජන සංස්ථව පිහිටුවයි.පූනාවේ පැරණි ප්‍රභාත් චිත්‍රාගාර භූමියෙහි ඉන්දියානු සිනමා පාසල ආරම්භ වෙයි.හින්දුස්ථාන් ෆොටෝ ෆිල්ම් මනුෆැක්චරින් කම්පැනි ආයතනය දළ සේයා පට නිපදවීම ආරම්භ කරයි.කන්නඩ සිනමා කෘතියක් වන රණධීර කන්තීරවා අති සාර්ථක වෙයි.එන්.ටී.රාම රාඕ ට තෙළිගු දේශපාලන කේෂත්‍රයේ නමක් තැබිමට උපකාරි වූ ඔහු රඟ පෑ ශ්‍රී වෙන්ටේශ්වර මහත්යාම් ප්‍රදර්ශනය අරඹයි.ගාන්ධියනු සර්වෝදය ව්‍යාපාරය මගින් අවිනිත සිනමා පොස්ටර් වලට විරුද්ධව නැගී සිටිති.ඉන්දියානු සිනමා නළු ශිවාජි ගනේෂන් කයිරෝ අන්තර් ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනී.ඉන්දියානු නළුවෙකු රංගනය උදෙසා මුල් වරට ජාත්‍යන්තර සම්මානයක් දිනා ගන්නා අවස්ථාව එයයි.
1961 මුල්ම රාජස්තාන් චිත්‍රපටය බී.කේ ආදර්ශ් ගේ බබාසා රිලාදි තිර ගත වෙයි. දෙවන ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට උළෙල නව දිල්ලියේ දි පැවැත්වෙයි.
1962 නැගෙනහිර පාක්ස්තානය (වර්තමාන බංගලාදේශය) ඉන්දියානු චිත්‍රපට තහනම් කිරීම බෙංගාලි සිනමාවට බලවත් තර්ජනයක් වෙයි.ගංගා මයියා ටොහේ ප්‍යාරි චදයිබෝ මුල්ම බොජ්පූරි භාෂාවෙන් තැනුණ චිත්‍රපටයයි.එහි අධ්‍යක්ෂනය කුන්දන් කුමාර් ගෙනි.
1963 ඉන්දියානු චිත්‍රපට අපනයන සංස්ථාව(ධ්ර්ර්‍ථඡ්ඛ්) ආරම්භ වෙයි.බ්‍රිතාන්‍ය ඉන්දියානු හවුල් නිෂ්පාදන රැසකට මග පෑදු ඉස්මයිල් මර්චන්ට් හා ජේම්ස් අයිවරි එකතුවෙන් තැනුණු මර්චන්ට් අයිවරි නිෂ්පාදන සමාගමේ මුල්ම නිෂ්පාදනය ද හවුස් හොල්ඩර් තිර ගත වෙයි. ඉන්දියානු සිනමාව පිළිබඳ ලියුවුන වැදගත් ග්‍රන්ථයක් ලෙස සැලකෙන එස්.ක්‍රිශ්ණස්වාමිගේ ඉන්ඩියන් ෆිල්ම් ග්‍රන්ථය එළි දකියි.ද ජර්නල් ඔෆ් ද සවුත් ඉන්ඩියා සඟරාව මදුරාසියේ දී එළි දකියි.එය සිනමාවේ කාර්මික දැනුම පදනම් කර ගෙන ඉන්දියාවේ පළ වූ මුල්ම සිනමා සඟරාවයි.
1964 ඉන්දියානු සිනමා සංරක්ෂණාගාරය පූනේ නගරයේ දී විවෘත වෙයි.එය පාලනය වනුයේ ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි අමාත්‍යංශය යටතේය.මදුරාසි සිනමා ආයතනය මදුරාසියේ අඩයාර් හි ආරම්භ වෙයි.යුනෙස්කෝව වෙනුවෙන් ජර්සි ටොයෙප්ලිට්ස් විසින් ලියන ලද ඉන්දියානු සිනමා වාර්තාව එළි දක්වයි. මුල්ම කාශ්මිර චිත්‍රපටය නයිස්රාත් තිර ගත වෙයි.
1965 ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙළ මුල්වරට තරගකාරි සිනමා උළෙලක් බවට පත්වෙයි.එහි හොඳම චිත්‍රපටය ට හිමි රණ මයුර සම්මානය ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වුණ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම් පෙරළිය දිනා ගනී.මලයාලම් සිනමාවේ නව පෙරළියක් කළ ආර්.කරියාත් ගේ චෙම්මින් තිර ගත වෙයි.
1966 රිටිවික් ඝටක් පූනා සිනමා පාසලේ සේවයට එක් වෙයි.කර්නාටක මහ ඇමති විරෙන්ද්‍ර පටිල් කන්නඩ සිනමාව දියුණු කිරිමේ අභිලාෂයෙන් ප්‍රාන්තයේ නිපදවන කළු සුදු චිත්‍රපටයකට ඉන්දියානු රුපියල් පනස් දහසක් ද වර්ණ චිත්‍රපටයකට රුපියල් ලක්ෂයක්ද ලබා දෙයි.ඉන්දියානු සිනමාව වෙනුවෙන් යාවජිව කැපවිම් කරන්නෙක් වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් රජය මගින් පිදෙන ඉහළම සම්මානය දාදා සහාබ් පාල්කේ සම්මානය ලෙස නම් කරයි.මුල්ම සම්මානය පිරි නැමුණේ චිත්‍රපට නිළි නිෂ්පාදිකා දේවිකා රාණිටය.ඩොග්රි භාසිත මුල්ම චිත්‍රපටය කුමාර් කුල්දිප්ගේ ගල්ලන් හයියන් බීටියන් තිර ගත වෙයි.
1967 හින්දුස්තාන් ෆොටෝ ෆිල්ම්ස් ආයතනය ශබ්ද නෙගටිව් පත් නිෂ්පාදනය ආරම්භ කරයි.සුප්‍රකට දෙමළ නළු එම්.ජී.රාමචන්ද්‍රන් තවත් දෙමළ නළුවකු වූ එම්.ආර්.රාධා ගේ වෙඩි පහරකට ලක්වෙයි.රජය සමස්ත ඉන්දියා ගුවන් විදුලියේ වෙළඳ සේවය ලෙස විශ්ව භාරති සේවය පිහිටුවීමත් සමග යළිත් ඉන්දියානු චිත්‍රපට ප්‍රචාරණය සදහා එහි සේවය ලබා ගැන්මට නිෂ්පාදකවරු එකඟ වෙති.
1968 ඉන්දියානු සිනමා වාරණය පිළිබඳ සෙවීමට පත් කළ ජී.ඩී. කෝසලා කමිටු වාර්තාව මගින් එතෙක් පැවැති වාරණ නීති තද බල විවේචනයට ලක් කරයි. එයට හේතුව වනුයේ කේ.ඒ.අබ්බාස් ගේ චාර් සහේර් එක් කහානි නම් කෙටි චිත්‍රපටය තහනම් කිරිම සම්බන්ධව ඇති වුන විවාදාත්මක මතවාදයයි.මිර්නාල් සෙන් සහ අරුන් කෞල් විසින් නව ඉන්දියානු සිනමාව පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශනයක් එළි දක්වයි.සම්ප්‍රදායික ඉන්දිය සිනමාව වෙනුවට ඉන්දියානු සිනමා පාසලෙන් සිනමාව හැදෑරු නව පරපුරක් සඳහා රාජ්‍ය ආයෝජනයකින් යුතු මේ සිනමාව වඩා කලාත්මක සිනමාවක් බිහි කිරීමේ අරමුණින් ගොඩ නැගූවකි.
1969 චිත්‍රපට ආයෝජන සංස්ථාවේ මෙහයවීමෙන් නව ඉන්දියානු සිනමාව හඳුන්වාදෙමින් මිර්නාල් සෙන් ගේ භුවන් ශෝම සහ මනි කෞල් ගේ උස්කි රොටි චිත්‍රපට එළි දැක්වෙයි. නව ඉන්දියානු සිනමාවේ ආභාෂයෙන් යුත් මුල්ම මලයාලම් චිත්‍රපටය ඔල්වුම් තීරවුම් තිර ගත වෙයි. ආරාධනා චිත්‍රපටය සමග ඉන්දියානු සිනමාවේ සුපිරි තරුව බවට රාජේශ් ඛන්නා පත් වෙයි.කේ.ඒ.අබ්බාස් ගේ සාත් හින්දුස්තාන් චිත්‍රපටයෙන් අමිතාබ් බච්චන් සිනමාවට එක් වෙයි.
1970 ඕපා දූප අවලාද පිරි මාධ්‍යක් හඳුන්වා දෙමින් ස්ටාර් ඩස්ට් සඟරාව ප්‍රකාශනයට පත් වෙයි.පත්තාභ රාම රෙඩ්ඩි නිර්මාණය කරන ලද සම්ස්කාර් චිත්‍රපටය සමග නව ඉන්දියානු සිනමා ව්‍යාපෘතිය කන්නඩ සිනමාවට හඳුන්වා දෙයි.
1971 වසරකට ඉන්දියානු චිත්‍රපට 433 ක් තිර ගත වීමත් සමග ලොව වසරකට වැඩිම චිත්‍රපට එළි දක්වන රට ලෙස ඉන්දියාව පත්වෙයි.විදේශ චිත්‍රපට සදහා වාරණ නීති දැඩි වෙයි.අමෙරිකානු චිත්‍රපට ප්‍රදර්ශනය සීමා වෙයි.මරාති චිත්‍රපටයක් වන ශාන්තටා කොට් චලෝ ආහේ තිර ගත වෙයි. නව ඉන්දියානු සිනමා ව මරාති සිනමාවට එක් වනුයේ එමගිනි.
1972 පළමු මනිපුරි සිනමා කෘතිය මරම්ගි මලනිපුර් සහ කූර්ගි සිනමා කෘතිය වන නාද මන්නේ නාද කූලු තිර ගත වෙයි.මුල්වරට සිනමා කාර්මික ශිල්පින්ගේ සමුපකාර සංගමයක් කේරළයෙන් බිහි වෙයි.චිත්‍රෙල්ඛා සමුපකාරය නම්වන එමගින් තැනෙණ ස්වයංවරම් චිත්‍රපටය නිර්මාණය කරමින්අධුර් ගෝපාල ක්‍රිෂ්ණන් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙයි.රාම්සේ සහෝදරයන් නිර්මාණය කළ දෝ ගාස් සමීන් කේ නීචේ ඉන්දියාවේ මුල්ම භීෂණාත්මක චිත්‍රපටය ලෙස වාර්තාවක් පිහිටුවයි.
1973 චිත්‍රපට ආයෝජන සංස්ථාවේ මග පෙන්විම යටතේ ඉන්දිය රාජ්‍ය වාණිජ සංස්ථාව මගින් දළ සේයා පට ආනයනය කිරීම අරඹයි. ඒ සමග ඉන්දියාව විදේශ දළ සේයා සඳහා ආනයන බදු සියයට දෙසිය පනහකින් වැඩි කරයි. මුල්ම හරියානා චිත්‍රපටය භීරා සේරා තිර ගත වෙයි.ශ්‍යාම් බෙනගාල් ගේ අන්කූර් වාණිජමය වශයෙන් අති සාර්ථක ව තිර ගත වෙයි.ඒ සමග වාණිජමය වශයෙන් සාර්ථක වන කලාත්මක සිනමාවක් පිළිබඳ රජයේ අවධානය යොමුවෙයි.රාජ් කපූර්ගේ බොබී ජනප්‍රිය ඉන්දියානු සිනමාවේ අලුත් රැල්ලක් අරඹයි.
1974 හින්දුස්ථාන් ෆොටෝ ෆිල්ම්ස් වර්ණ දළ සේයා පට නිපදවීම අරඹයි.ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල එරට වාර්ෂික අංගයක් බවට පත් කරයි.ඉන්දියානු සිනමා පාසල ටෙලිවිෂන කර්මාන්තයටත් යෝග්‍ය පරිදි සිය වැඩ සටහන් නව්‍යකරණයේ යෙදෙයි. ආයතනය ඉන්දියානු චිත්‍රපට සහ ටෙලිවිෂන ආයතනය ලෙස නම් කෙරෙයි.
1975 ඉන්දියානු සිනමා ඉතිහාසයේ එතෙක් වැඩිම ආදායම් ලබන චිත්‍රපටය ලෙස රාමේශ් සිප්පි ගේ ෂෝලේ වාර්තා තබයි.එය බිඳ හෙළන්නේ 15 වසරක් පැරණි වාර්තාවකි.එමෙන්ම ත්‍රාසජනක කතා ඇතුළත් සිනමා රැල්ලක් ඒ සමග මතු වෙයි.සියලු ඉන්දියානු නළුවන්ගේ ජනප්‍රියත්වය අබිබවා අමිතාබ් බච්චන්ගේ ජනප්‍රියත්වය ඉහළ යයි.ඒ සමග ජායි සන්තශී මා චිත්‍රපටය ද ඉහළ ආදායම් වාර්තා තබයි.ඇමෙරිකානු චිත්‍රපට සඳහා යළි ඉන්දියානු දොර විවෘත වෙයි.
1976 චිත්‍රපට ආයෝජන සංස්ථාව මගින් නිපදවන ලද කලාත්මක චිත්‍රපට හේතුවෙන් ඔවුන් ලක්ෂ 62 .5ක පාඩු වක් ලබයි.ඔවුන් චිත්‍රපට තිහක් සඳහා ආයෝජනය කරන ලද අතර එයින් සම්පූර්ණ කර ඇත්තේ චිත්‍රපට 16කි. දහයක් සඳහා යෙද වූ සතයක් හෝ යළි ලබා ගත නොහැකි වී ඇති අතර ඉතිරි චිත්‍රපට කිසි කලක නිම වී නැත.චිත්‍රපට බෙදාහැරීමේ දී බරපතළ වැරදි සිදු වී ඇතැයි සංස්ථාව තීරණය කරයි. කලාත්මක එමෙන්ම පහසුවෙන් ප්‍රෙක්ෂකයන් ග්‍රහණය කර ගත හැකි චිත්‍රපට කෙරෙහි සංස්ථාව අවධානය යොමු කර ගත යුතුව ඇතැයි තීරණය විය.පූනාවේ ආදි සිසුන් ගේ එකතුවෙන් බිහි වූ යුක්ත් පදනම මගින් ඝාෂිරාම් කෝට්වල් චිත්‍රපටය එළි දක්වයි.සංජේ ගාන්ධිගේ අණ පරිදි අම්රිත් නහතාගේ කිස්සා කුරිසි කා චිත්‍රපටයේ දළ සේයා පටය පවා පුළුස්සා දමයි.
1977 තමිල්නාඩුවේ බලයට පත් වන එම්.ජී.රාමචන්ද්‍රන් විසින් ප්‍රාන්ත සිනමාවට රාජ්‍ය සහාය ලබා දීමට තීරණය කරනු ලබයි. වාර්ෂික දෙමළ චිත්‍රපට නිෂ්පාදනය 105 ක් දක්වා ඉහළ යයි.
1978 සමස්ත ඉන්දියානු සිනමාවේ ආදායම කෝටි 247 ක් ඉක්මවයි.විනොද බද්ද මගිවන් රජය ඉපැයූ ආදායම කෝටි 187 කි.පන්ජාබ,උත්තර ප්‍රදේශ,කේරළ සහ ඔරිස්සාවේ ප්‍රාන්ත රාජ්‍යයන් මගින් සිනමාහල් ඉදි කරති.
1979 මැද පෙරදිග සේවා නියුක්තිකයන්ගේ මුදල් සිනමා කර්මාන්තයට යෙදවිම සමග මලයාලම් චිත්‍රපට වසරක් ඇතුළත 124 ක් දක්වා ඉහළ යයි.සංකරාභරණම් තෙළිගු සිනමාවේ ආදායම් වාර්තා තබයි
1980 ඉනදියාවේ ස්ථාවර සිනමාහල් සංඛ්‍යාව 6368 ක් බවත් තාවකාලික සිනමහල් සංඛ්‍යාව 4024 ක් බවත් සමීක්ෂණයකින් හෙළි වෙයි.චිත්‍රපට ආයෝජන සංස්ථාව බොම්බායේ ලෝටස් සිනමාහල මිලයට ගෙන එය කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනයට එක් කරයි.මේ වසරේදී ම චිත්‍රපට ආයෝජන සංස්ථාව සහ ඉන්දියානු චලන චිත්‍ර අපනයන සංස්ථාව ඒකාබද්ධ කොට ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාව (ව්ජ්ච්ඛ්) ගොඩ නංවයි.
1981 අපර්ණා සෙන් ගේ 36 චෞරන්ගි ලේන් ඉන්දියාවේ ඉංග්‍රීසි උගත් පංතිය අතර අතිශය ජනප්‍රිය වෙයි.එය විදේශයන්ගේ ද සාර්ථක වෙයි.
1982 තෙළිඟු සිනමාවේ ජනප්‍රිය නළු එන්.ටී.රාමරාඕ තෙළිඟු දේසම් පක්ෂය පිහිටුවයි.මුල්ම බ්‍රිජ් භාෂිත චිත්‍රපටය බ්‍රිජ් භූමි සහ මාල්වි භාෂිත චිත්‍රපටය භාද්වා මාතා තිර ගත වෙයි.
1983 කර්නාටක රජය කන්නඩ චිත්‍රපට සදහා සපයන අනුග්‍රහයන් දෙගුණයක් බවට පත් කරයි.කර්නාටක ප්‍රාන්තයේ සහමුලින් රූ ගැන්වෙන සහ එහි චිත්‍රාගාර පහසුකම් ලබා ගන්නේ නම් තවත් අමතර පහසුකම් ලබා දීමට ප්‍රාන්ත රජය කටයුතු කරයි.ගර්වාලි භාෂිත මුල්ම චිත්‍රපටය වූ ජග්වාල් සහ කාසි භාෂිත මුල්ම චිත්‍රපටය කා ලවෙයි හා කී ක්ට්ජොන්ග් නගී චිත්‍රපට එළි දකී.ලොව එකම සංස්කෘත භාෂිත චිත්‍රපටය වන අධි සංකරාචාර්ය ජි.වී.අය්යර් විසින් අධ්‍යක්ෂනය කරයි.ඇකඩමි සම්මාන උළෙලේ දී භානු ආතයියා ගාන්ධි චිත්‍රපටය වෙනවෙන් හොදම ඇඳුම් නිර්මාණය සදහා සම්මාන දිනයි.
1984 ඉන්දියානු සිනමාවේ කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය සදහා දූර්දර්ශන් ටෙලිවිෂන නාලිකාව ඉදිරිපත් වෙයි.
1985 දූර්දර්ශන් නාළිකාව මගින් විකාශය කළ මුල්ම මාලා නාටකය වූ හම්ලොග් බොම්බායේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙයි.එම්.ජී.රාමචන්ද්‍රන්ගේ මරණය අසා කම්පාවට පත් වූ ඔහුගේ රසිකයන් 29 දෙනෙකු දිවි නසා ගනිති.
1986 හින්දි චිත්‍රපටයක් වන නරේශ් මල්හෝත්‍රාගේ නාගිනා ඊජිප්තුවේ දී වසර තුනක් එක දිගට ප්‍රදර්ශනය කරමින් වාර්තාවක් තබයි.
1987 මනි රත්නම් නිර්මාණය කරන ලද ආන්දෝලානාත්මක චිත්‍රපටයක් වූ නායගන් තිර ගත වෙයි.
1988 ඉන්දියානු සිනමාවේ විශිෂ්ට සිනමා සඟරාවන් වූ සිනෙමායා සහ ඩීප් ෆෝකස් සිනමා සඟරාවන් එළි දකී.ශාජි එන්.කරූන් නිර්මාණය කළ පිරවි එරට සිනමා ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර සම්මාන දිනා ගත් චිත්‍රපටය බවට පත් වෙයි.මන්සූර් ඛාන් ගේ ක්යාමත් සේ ක්‍යාමත් ටක් සමග නව පන්නයේ ආදර කතා රැල්ලක් ඇති වෙයි.
1989 අධූර් ගෝපාල ක්‍රිෂ්ණන් ගේ මතිලුකල් වැනිස් උළෙලේ සම්මානයට පත් වෙයි.ඉන්දියානු මධ්‍යම රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘතාන්ත චිත්‍රපට වීඩියෝ පට මාර්ගයෙන් 1268 ක් එළි දක්වා ඇතැයි වාර්තා වෙයි.සුරාජ් බර්ජත්යාගේ මෛනේ ප්‍යාර් ක්‍යා අති සාර්ථක වෙයි.
1990 බොම්බායේ මුල්ම ඉන්දියානු අන්තර්ජාතික වාර්තා හා කෙටි චිත්‍රපට උළෙල පැවැත්වෙයි.
1991 ඉන්දියානු ජනගහනයෙන් සියයට අසූ දෙකක් ටෙලිවිෂන නරඹන බැව් වාර්තා වෙයි.රට ප්‍රරා ඇති ටෙලිවිෂන යන්ත්‍ර සංඛ්‍යාව මිලියන 27.8ක් බැව් පැවසෙයි.හොලිවුඩ් චිත්‍රපට ඇතුළු විදේශිය චිත්‍රපට සදහා ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත භාෂාවන්ගෙන් දෙබස් කවා තිර ගත කරවිමට අවසර ලැබෙයි.
1992 සත්‍යජිත් රායි ඇකඩමි සම්මාන උළෙලේ දී යාවජීව සම්මානයෙන් පිදුම් ලබයි.රායි මිය යනුයේ ද මේ වසෙර්ය.ෂා රුක් ඛාන් දිවානා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙයි.
1993 මනිරත්නම්ගේ රෝජා චිත්‍රපටය ආසියාව පුරා අතිශය ජනප්‍රිය වෙයි.එහි එන චින්න චින ආසෙයි ගීතය ලොව පුරා රසිකයන් අතර ජනප්‍රිය ගීතයක් බවට පත් වෙයි.
1994 වසර 19 ක් පැරනි ආදායම් වාර්තාව ක් බිඳ හෙලමින් ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම් ලද චිත්‍රපටය බවට හම් ආප් කේ හෛ කොන් පත් වෙයි.එය සුරාජ් ආර්.බර්ජත්යාගේ අධ්‍යක්ෂණයකි. මේ චිත්‍රපටයේ රඟපෑ මධුරි ඩික්ෂිත් වෙනුවෙන් නිර්මාණය කරන ලද එක් ඇඳුමක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂයක් වැය වු වග වාර්තා වෙයි.මේ චිත්‍රපටයේ ආදායම සමග ඉන්දියානු චිත්‍රපට ආදායම් හෙළි දරව් වු අතර ඉන්දියානු නළු නිළියන් හා කාර්මික ශිල්පින් ද සිය මිල ගනන් ඉහළ දැමීමට එය හේතුවක් කර ගනිති.
1995 දකුණු ඉන්දිය නිළියන් හින්දි සිනමාවට පිවිසීම සාමාන්‍ය කරුණක් වුවද දකුණු ඉන්දිය චිත්‍රපට ජනප්‍රිය වීමත් සමග බොහෝ හින්දි නිළියන් දෙමළ චිත්‍රපට සදහා රංගනයට යොමු වෙති.
1996 ඒ වන විට ලොව විශාලතම සිනමා චිත්‍රාගාරය ආන්ද්‍ර ප්‍රදේශයේ දී විවාත වෙයි. රාමෝජි රාඕ ට අයත් එය රාමෝජි ෆිල්ම් සිටි ලෙස නම් කර ඇත. එය අක්කර 1200 ක බිම් කඩක් සහිතය බොම්බේ චිත්‍රපටය පිළිබඳ ටයිම් සඟරාවෙ සිය කවරයේ කතාව වෙන් කරයි.
1997 ඉන්දියානු සිනමාකරු ශේකර් කපූර් මුල් වරට හොලිවුඩ් දැවැන්ත චිත්‍රපටයක් වූ එලිසෙබත් නිර්මාණය කරයි.ඒ වන විට ජාග් මුන්ද්‍රා ඇතුළු කිහිප දෙනෙකු ඉංග්‍රීසි චිත්‍රපට නිර්මාණය කළ ද ප්‍රධාන හොලිවුඩ් නිෂ්පාදනයක් අධ්‍යක්ෂණය කරන මුල්ම ඉන්දියානු සිනමාකරු ශේකර් කපූර්ය.
1998 ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ දී මුල්වරට ජාත්‍යන්තර සිනමා කරුවකු වෙනුවෙන් යාවජීව සම්මානයක් පිරි නමයි.එය මුල් වරට පිදෙන්නේ බර්නාඩෝ බර්ටොලුචීටය.
1999 ඉන්දියානු සිනමාව වෙනුවෙන් බිහි වූ අගනා ග්‍රන්ථයක් වන එන්සයික්ලෝපීඩියා ඔෆ් ඉන්ඩියන් සිනමා ග්‍රන්ථය එළි දකී.එහි සංස්කරණය අශිස් රාජදක්ෂා සහ පෝල් විල්මන් ගෙනි.
2000 ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ මුල් වරට හොදම චිත්‍රපටයට හිමි රණ මයුර සම්මානය දිනූ ගම් පෙරළිය එම සිනමා උළෙලේ දී යළි තිර ගත වෙයි. එවර එහි දී යාව ජීව සම්මානයෙන් පිදුම් ලබන සිනමාකරු වනුනේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ගුරු දත් ගේ කාගස් කේ පූල් පැරිසියේ එක දිගට සිවුමසක් තිරගත වෙයි. දශක ගණනාවකට පෙර නොසලකා හරින ලද එම චිත්‍රපටය වර්තමානයේ අග්‍රගණ්‍ය චිත්‍රපටයක් සේ සළකයි.
2001 අශූතොස් ගවරිකාර්ගේ ලගාන් ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපටය ලෙස නිර්දේශයට පත් වෙයි.බාස් ලුහ්ර්මාන් නිර්මාණය කරන ලද මෝලින් රෝ නම් හොලිවුඩ් සංගීත චිත්‍රපටය ඉන්දියානු බොලිවුඩ් සිනමාවෙන් ලද ආශ්වාදය නිසා නිර්මාණයවූවක් යැයි සිනමාකරු පවසයි.ගද්දර් එක් ප්‍රෙම් කතා වැඩිම ආදායම් ලැබු චිත්‍රපටය වෙයි.
2002 ලතින් අමෙරිකානු රටවල් රැසක් ඉන්දියානු චිත්‍රපට ආනයනය කරති.මුලින් එම රටවල වසන ඉන්දියානු සම්භවයෙන් යුතු පිරිස අත පමණක් ජනප්‍රිය වන එම චිත්‍රපට ඉත් ඉක්මනින් එම රටවල සාමාන්‍ය ජනතාව අතරට ද පිවිසෙති.
2003 චීන චිත්‍රපටයක් වූ වොරියර් ඔෆ් හෙවන් ඇන්ඩ් අර්ත් චිත්‍රපටයේ සංගීතය සැපයීම සඳහා ඒ.ආර්.රහ්මාන් තෝරා ගැනේ.ඉන්දියානු කොටස් වෙළඳ පොළෙහි ලැයිස්තු ගත සිනමා සමාගම් ප්‍රමාණය තිහ ඉක්මවයි.
2004 වසරක් හැර වසරක් නව දිල්ලියේ ද ඊළඟ වසරේ වෙනත් ප්‍රාන්ත අගනුවරක ද පැවැත් වූ ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල ගෝවේ ප්‍රාන්ත අගනුවර වූ පනාජි නගරයේ ස්ථාපිත වෙයි.සංචාරක කර්මාන්තය දියුණු කිරිම එහි අරමුණයි.
2005 තම චිත්‍රපටයක් අනුකරණය කළේ යැයි ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම බී.ආර්. චොප්රාට එරෙහිව නඩු පවරයි.ඔපු ත්‍රිත්වය සහ ගුරුදත් ගේ ප්‍යාසා ටයිම් සඟරාව මගින් ලොව හොඳම චිත්‍රපට සියය තෝරා ගනිද්දී එයට ඇතුළත් වෙයි
2006 ඉන්දියානු චිත්‍රපට සමාගමක් වූ ඊරෝස් ඉන්ටර්නැෂනල් සමාගම ලන්ඩන් කොටස් වෙළඳ පොළෙහි ලැයිස්තු ගත සමාගමක් වෙයි.සන්ජේ ගාඩ්විගේ ඩූම් 2 වැඩිම ආදායම් වාර්තා තැබීමට සමත් වෙයි.
2007 අමෙරිකානු ප්‍රධාන සිනමා සමාගම් වන යුනිවර්සල්,ෆොක්ස්,කලම්බියා,පැරමවුන්ට් ඉන්දියානු සිනමාව සදහා ආයෝජනයෙන් දායක වෙයි.
2008 ඉන්දියාවේ නිෂ්පාදිත හවුල් චිත්‍රපටයක් වූ ඩේවිඩ් බොයිල් ගේ ස්ලම් ඩෝග් මිලියනර් චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයට පත් වෙයි. ඒ.ආර්.රහුමාන් ඇකඩමි සම්මාන දිනා ගනියි.
2009 රාජ් කුමාර් හිරානි නිර්මාණය කරන ලද ත්‍රී ඉඩ්යට්ස් ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලද චිත්‍රපටය බවට පත් වෙයි.ලොව ඉහළම චිත්‍රපට සමාගමක් වන ස්ටිවන් ස්පිල්බර්ග්ගේ ඩ්‍රීම් වර්ක්ස් සමාගමේ අයිතියෙන් සියයට පනහක් ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක රිලයන්ස් එන්ටර්ප්‍රයිසස් අධිපති අනිල් අම්බානි විසින් මිලයට ගනු ලබයි.
2010 ශංකර් අධ්‍යක්ෂනය කරන ලද දෙමළ චිත්‍රපටයක් වන ඓයින්තිරන් ඉන්දියානු චිත්‍රපටයක් ඉපැයු ආදායම් අතර දෙවැනි තැනට පත්වෙයි.දෙමළ සහ හින්දි (රොබෝ) යන භාෂා වලින් තිර ගත වුන එය ප්‍රාන්ත චිත්‍රපටයක් ඉපැයු ඉහළම ආදායම වාර්තා කිරිමට සමත් විය.
2011 වසරේ නිෂ්පාදිත චිත්‍රපට සංඛ්‍යාව 1255කි.එයින් හින්දි 206,තෙළිගු 192,දෙමළ 185,කන්නඩ 138,බෙංගාලි 122,මරාති 107,මලයාලම් 95, බොජ්පූරි 74,ගුජරාටි 59,ඔරිස්සා 38 චිත්‍රපට යන්ය.ඉතිරි චිත්‍රපට පන්ජාබි,ඇසෑම්,ඉංග්‍රීසි,රාජස්තාන්,හර්යාන්වි, භාෂා වලිනි.අනුබව් සිං අධ්‍යක්ෂණය කළ රා.වන් චිත්‍රපටය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම වියදමක් දැරූ චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක් වෙයි.
2012 ලොව වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් වාර්ෂිකව නිපදවන රට වනුයේ ඉන්දියාවයි. එහි දෙවැනි තැන අමෙරිකාවටත් තුන් වැනි තැන චීනයටත් හිමි වෙයි.සිනමවේ වාර්ෂික ආදායම බිලියන 400 ක් ඉක්මවන අතර එය සමස්ත ඉන්දිය දළ ජාතික ආදායමෙන් සියයට එකළොහකි.අවම වශයෙන් ලොව පුරා රටවල් අනූවක දිනකට අවම වශයෙන් එක් ඉන්දියානු චිත්‍රපටයක් හෝ තිර ගත වන බව වාර්තා වෙයි. ඉන්දියානු චිත්‍රපටය ජාත්‍යන්තර වෙළද පොළට ගෙන යෑමේ දි අනූපමේය මෙහෙයක් කළ සිනමාකරු යාශ් චොප්රා මිය යයි.ඔහු 1995 වසරේ නිර්මාණය කරන ලද දිල්වාලේ දුල්හානියා ලේ ජයන්ගි චිත්‍රපටය මේ වන විටත් මුම්බායි හි මරාත මන්දිර් සිනමාහලේ තිර ගත වනුයේ ගිනස් වාර්තාවක් තබමිනි. ඒ එකම සිනමාහලක වැඩිම දින ගණනක් තිර ගත වන චිත්‍රපටය හැටියටය. මේ වන විට එය සති 900ක් ඉක්මවා ඇත්තේය.
2013 ඉන්දියානු සිනමාව සියවස සපුරයි.මේ සියවස ඇතුළත ඉන්දියාව භාෂා පනස් දෙකකින් චිත්‍රපට නිර්මාණය කර ඇතැයි හෙළිදරව් වෙයි.අසල්වැසි ලංකාවේ මෙන්ම ඉරානයේ ද මුල් චිත්‍රපට නිපදවා ඇත්තේ ඉන්දියාවේය. |