|
සරසවියේ ‘කුසුමලතා’ට ජනපති මැදුරෙන් ආරාධනාවක්
ශෂිකලාට ඔසරිය ඇන්දූ සිබිල් වෙත්තසිංහ
බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ඉගෙන ගන්නා අවධියේ පටන් ලියන්නට මෙන්ම අඳීන්නට ආශාවක් තිබූ නිසාම මා වඩාත් ආශා කළේ පත්තර කලාවටය. ඩී. බී. ධනපාල මහතා කර්තෘත්වය හොබවන යුගයේ එනම් 1948 දී මම ලංකාදීපයට එක් වීමි. එහි ස්ථිර සේවයට එක් වූ ප්‍රථම පත්තරකලාවේදිනිය මම වෙමි. එවක දිනමිණ ප්‍රධාන කර්තෘවරයා වූ මාර්ටින් වික්‍රමසිංහයන් ද මගේ චිත්‍ර පිළිබඳ විචාරාත්මක බවකින් අගයා පළ කර තිබූ ලිපිය නිසා මට ප්‍රශංසා ගලා ආවේය. එකල ලංකාදීපයේ ළමා පිටුව වෙනුවෙන් මා චිත්‍ර ඇන්දේ බොහෝ ජන කවි ඇසුරු කොටගෙනය. 1952 දී මගේ චිත්‍ර පිළිබඳ රසිකාවක වූ එඩ්මන්ඩ් රොඩ්රිගෝ මහත්මිය කදිම යෝජනාවක් මා වෙත ගෙන එනු ලැබිණ. ලේක්හවුස් ආයතනයෙන් අලුත් පත්තරයක් පටන් ගන්න යන බැවින් ඉල්ලුම් පතක් දමන ලෙසය. එවිට සතියකට නොව දිනපතා චිත්‍ර අඳින්න පුළුවන් බවට ඇය යෝජනා කළාය. මම ද එම යෝජනාවට එකඟව ඩී. බී. ධනපාල මහතාගෙන් ලංකාදීප සේවයෙන් යාමට අවසර ඉල්ලුවෙමි. දියුණු වෙන්න හදනවා නම් බැහැයි කියල බැහැනේ. අපිට ඔබ යන එක පාඩුවක්. එත් තමන්ගේ දියුණුවක් වෙනුවෙන් යන්න හදන එකේ මම අකමැත්තෙන් වුණත් අවසර දෙනවා යැයි එතුමන් පැවසුවා. 1952 දී මා ලේක්හවුස් පැමිණියේ අලුත් පත්තරය වූ ජනතා පත්තරයටය. ඩෙන්සිල් පීරිස් එහි ප්‍රධාන කර්තෘවරයා වූ අතර ඩී. බී. වෙත්තසිංහ එහි නියෝජ්‍ය කර්තෘවරයා විය. ඉන් දෙවසරකට පසු එනම් 1954 දී මම වෙත්තසිංහයන්ගේ අත ගතිමි. ජනතා පත්තරයට මා ලේක්හවුස් පැමිණිය ද තිනකරන් හැර ආයතනයේ ඩේලිනිව්ස්, ඔබ්සර්වර් ඇතුළු ලේක්හවුස් ආයතනයේ සියලු පුවත්පත්වලට ඇන්දෙමි. මාගේ චිත්‍ර කලාවේ මෙන්ම ලේඛන කලාවේ ස්වර්ණමය යුගය ඇරැඹෙනුයේ ලේක්හවුස් ආගමනයත් සමඟය. ප්‍රධාන පෙළේ පුවත්පත් සියල්ලේම පාහේ කර්තෘවරු මා ලවා චිත්‍ර අන්දවා ගනු ලැබුවේ තරගයක ස්වරූපයෙනි. චන්ද්‍රරත්න මානවසිංහ, ඩබ්ලිව්. ඒ. සිල්වා, සුනිල් ශාන්ත වැනි පුද්ගලයන් පවා මා දිරිමත් කළ පිරිස අතර සිටියාහ. 1963 දී සරසවිය නමින් පත්තරයක් ඇරැඹීමට ලේක්හවුස් ආයතනයේ පාලන අධිකාරිය කටයුතුª කරමින් සිටියේය. එවක සිළුමිණ කර්තෘ මීමන ප්‍රේමතිලකයන්ගේ මූලිකත්වයෙන් එහි කටයුතු ඇරැඹීමට සැලසුම් සකස් කර තිබිණි. මීමන ප්‍රේමතිලකයන්ගේ දෙවැනියා ලෙස කටයුතු කරමින් සිටි විමලසිරි පෙරේරා මහතා අලුතින් පටන් ගැනීමට යන සරසවිය පුවත්පතට චිත්‍රයක් ඇඳ දෙන ලෙස මගෙන් ඉල්ලීමක් කළේය. ඒ ඉල්ලීම වෙනුවෙන් මා වර්ණ චිත්‍රයක් ඇඳ දුන්නා මතකය. එය මුල්ම පත්තරයේ පළ කර තිබීම මට සතුටට කරුණක් ද විය.
අඳීන්නට මෙන්ම ලියන්නට ද දස්කම් පෙන් වූ මට විමලසිරි මහතා පවසා සිටියේ කැමති දෙයක්
පිළිබඳ සරසවියට ලියන ලෙසය. ගාල්ලේ ගිංතොට ග්‍රාමයේ ගැමිකම උරුම කොට හැදී වැඩුණු මා
විපරිත සමාජයේ අසන දකින දේ ගැමිකම තුළ සිට ලියන්නට පටන් ගත්තේ පාඨකයන් තුළ සිනාවක්
ද ඇති කරමිනි. ඒ අනුව මා අතින් මුල් වරට සරසවියෙන් කුසුමලතා එළි දැක්විණි. කුසුමලතා
හැඩ වූයේ ද මාගේ චිත්‍රයකිනි. කමලා කෙප්පසිංහ, මඩගොඩ ඉස්කෝලෙ හාමිනේ, කොකනදවතී ආදී
බොහෝ චරිත කුසුමලතාගේ සෙසු චරිත විය. සරසවිය අතිශයින් ජනාදරයට පත් කුසුමලතා ලිපි
එකතුව මීට වසර පහළොවකට පෙර මා පොතක් ලෙස මුද්‍රණය කරනු ලැබිණි. යළිත් මෙම වසරේ එහි
විසි වැනි මුද්‍රණය එළි දක්වනුයේ අදටත් කුසුමලතා කියවීමට පාඨකයන් තුළ ඇති උනන්දුව
නිසාමය.
කිරි මැණිකට පේන හැටි නමින් මා ලියූ ලිපි මාලාව ගැන ඩී. බී. ධනපාල මහතා වරක් කතා කොට කිව්වේ නම නම් දාන්න එපා ගල් පාරවල් කන්න වෙයි කියාය. එඩ්මන් රණසිංහයන් දිනමිණ ප්‍රධාන කර්තෘවරයාව සිටින අවධියේ මා අතින් සූත්තර පුංචා නිර්මාණය විය. ඩේලිනිව්ස්, ඔබ්සර්වර් පුවත්පත් සඳහා ද මා ලිපි ලියනු ලැබුවේ ද මා හට ඉංග්‍රීසි දැනුමක් තිබූ නිසාමය. නූටාන්, ශෂිකලා, නර්ගීස්, බිස්වාස්, සුනිල් දත් ලංකාවට පැමිණි පසු සරසවිය වෙනුවෙන් ඔවුන් හමුවීමට ගියේ මාය. නිමල් පෙරේරා ඔවුන්ගේ පින්තූර ගැනීමට ගියේය. වරක් ඉන්දිරා ගාන්ධි මහත්මිය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි මොහොතේ සරසවිය නියෝජනය කරමින් මාද, ඔබ්සර්වර් පුවත්පත නියෝජනය කරමින් රෝෂන් පීරිස් ද සහභාගි වූ හැටි මතකය. රෝෂන් පීරිස් මෙහිදී මීට වසර හතරකට එපිට ලංකාවට එන අවස්ථාවකදී ඇඳි සාරියම නැවත ඇන්දාදැයි ගාන්ධි මැතිනියගෙන් ඇසුවේය. එයට නිහතමානී පිළිතුරක් එක්කළ ඉන්දිරා ගාන්ධි මැතිනිය එය සනාථ කළේ ඔව් යනුවෙනි. කොතරම් සුරූපී නිළියන් එදා ඉන්දියාවේ සිට මෙහි පැමිණිය ද ඔවුන් කවුරුත් ඇඳ පැමිණියේ චාම් කදාර් කපු සාරිය. 1964 පැවති මුල්ම සරසවිය සම්මාන උළෙලේ හැඩ තල නිර්මාණයන් සිදු කරනු ලැබුවේ මමත් නිමල් පෙරේරාත්ය. නිමල් පෙරේරා අබේවර්ධන දක්ෂතාවයන්ගෙන් පිරි පුද්ගලයෙක් විය. ඔහු සරසවියට මෙන්ම ලේක්හවුස් ආයතනයට ද සම්පතක් විය. දක්ෂ ඡායාරූප ශිල්පියෙකු සේම විචිත්‍රකරණ නිර්මාණ සැලසුම් ශිල්පියකු වූ නිමල් අතින් සරසවිය විචිත්‍රවත් විය.
ශෂිකලා ලංකාවට පැමිණි පසු සරසවිය වෙනුවෙන් ඇය හා සම්මුඛ සාකච්ඡාවක් සඳහා යනු ලැබුවේ
මාය. ඇගේ පින්තූර ගැනීම සඳහා යනු ලැබුවේ නිමල් පෙරේරාය. ගෝල්ෆේස් හෝටලයේ නැවතී සිටි
ඈ හමුවීමට මා යනු ලැබුවේ ඔසරියකින් සැරැසීගෙනය. මාගේ ඔසරිය ගැන හිත ගිය ශෂිකලාට
කෙසේ හෝ ඇයව ඔසරියකින් සරසාලන මෙන් මගෙන් ඉල්ලිමක් කරනු ලැබිණි. පසුදා එවක බතික් කලාවේ නම් දරා සිටි රූපලාවන්‍ය ශිල්පිනියක වූ සෝමා උඩබාගේ හමු වී ඇගෙන් වටිනා සාරියක් ගෙන ශෂිකලාට අන්දවා ඇගේ ආශාව ඉෂ්ට කළෙමි. එදා ඔසරියකින් හැඩ වූ ශෂිකලාව නිමල් පෙරේරා කැමරාවට හසු කරගෙන සරසවියේ පිටුවක් පුරා ඡායාරූප පළ කළේ ඔසරියට වශී වූ ශෂිකලා යනුවෙනි. සරසවිය නිසාම මට හින්දි නිළි ශෂිකලාට ඔසරියක් අන්දවන්නට සිදු විය. මගේ කලා ජීවිතය් දෙවැනි ගෙදර වූයේ ලේක්හවුස් ආයතනයයි. එවක කවුරුත් සහයෝගයෙන් කටයුතු කරනු ලැබුවේ එකා මෙන්ය. කිසිදු කැපිලි කෙටිලි එදා තිබුණේ නැත.
එම්. එඩ්වඩ් මුඩුක්කු ජීවිතය අලළා ඔබ්සර්වර් පුවත්පතට ලියූ ලිපි පෙළට චිත්‍ර ඇන්දේ මාය. මීමන ප්‍රේමතිලකයන් ලෝවටා පෙම් කවි නමින් ලියූ ජනප්‍රිය කවි සංකල්පනාවන්ට ද චිත්‍ර ඇන්දේ මාය. සිංහල නළුවන්ට වඩා නිළියන් ගැන මම සරසවියට ලිව්වෙමි. හරිම බඩු තුනක් නාට්‍යයේ හොඳම නිළිය වූ ප්‍රේමා ගනේගොඩ පිළිබඳ මා සරසවියට ලියනු ලැබූ ලිපිය ගැන අදත් ප්‍රේමා කතා කරනුයේ බොහෝ සතුටකින් යුතුවය. මාලිනී ෆොන්සේකා නොරත රත නාට්‍යයේ හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වීම නිමිති කොට මම ඇයට පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇරැයුම් කළෙමි. මා රාජකාරි අවසන් කර නිවෙස බලා යාමට ස්වල්ප මොහොතකට කලින් මාලිනී ෆොන්සේකා බසයෙන් බැස දහදිය පෙරාගෙන හති දමමින් ලේක්හවුස් ආයතනය වෙත දුවගෙන ආ හැටි මට අද වගේ මතකය. පත්තරේ ලිපියක් වෙනුවෙන් එදා ඈ මාව සොයා ලේක්හවුස් ආයතනයට ආ හැටි අදත් මාලිනී මා හමු වූ මොහොතක සිහිපත් කරනුයේ හද බැතියෙන් යුතුවය.
ලේඛන කලාවෙනුත්, චිත්‍ර කලාවෙනුත් අපමණ තෘප්තියක් ලබමින් ලේක්හවුස් ආයතනයේ කටයුතුª කළ මා එයින් සමු ගත්තේ ආයතනය රජයට පවරා ගැනීමත් සමඟය. එයින් සමුගෙන යළිත් විජය පුවත්පත් ආයතනයට එක් වූ මා පසුව බිංදු පත්තරයේ ඇරැඹුමට එක් වනුයේ උපාලි පුවත්පත් සමාගමටය. සරසවියේ පළ වූ කුසුමලතා කියවා එවක ජනාධිපති විලියම් ගොපල්ලව මහතාගේ බිරිය මා වෙත ආරාධනයක් කරනු ලැබුවේ ඇයත් සමඟ තේපැන් සංග්‍රහයකට එක්වන ලෙසටය. මා එවැන්නකට නොගිය ද එවැනි ගෞරවනීය ආරාධනයක් මා ලැබුවේ ද සරසවියට ලියූ කුසුමලතා නිසාමය. අද සරසවියට වසර පනහක් පිරී ඇත. මට වසර අසූ හතරක් පිරී ඇත. මේ කාල පරාසය තුළ සේම මතුවටත් කවරකුª හෝ මිසිස් සිබිල්, සිබිල් නෝනා, සිබිල් අක්කා, සිබිල් නැන්දා කියා කතා කොට මේ විදියට කටවත් අඳින්න බෑ කියල කියන වචන ටික අහන එක තරම් සතුටක් වෙන කොහෙත්ම නෑ. ලෙන්ගතුකමින් පවසන මේ වචන ටික මට සම්මානයකට මිල මුදලකට වඩා වටිනවා.
|