වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රථම චිත්‍රපටය නිපදවා ප්‍රදර්ශනය අවසන් වීමට පෙර තවත් චිත්‍රපට හයකට අත ගැසූ නිෂ්පාදකයා....

ප්‍රථම චිත්‍රපටය නිපදවා ප්‍රදර්ශනය අවසන් වීමට පෙර තවත් චිත්‍රපට හයකට අත ගැසූ නිෂ්පාදකයා....

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු

දැන් තිරගතවන ‘අනිත්‍යා’ චිත්‍රපටය සමඟින් නවක නිෂ්පාදකවරයකු හා අධ්‍යක්‍ෂවරයකු අපේ සිනමාවට එක්ව සිටිති. අධ්‍යක්‍ෂවරයා නාලක විතානගේය. නිෂ්පාදකවරයා ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුය. අද අපේ මේ සංවාදය දිග හැරෙන්නේ නිෂ්පාදක අරෝෂ සමඟිනි.

ප්‍රථම චිත්‍රපටයේ ප්‍රදර්ශන වාරය නිම වෙන්නටත් මත්තෙන් තවත් චිත්‍රපට හයකට අර්ථපති දායකත්වය සැපයූ නිෂ්පාදකයකු අපේ සිනමාවේ වේ නම් ඒ අරෝෂ පමණක්ම විය යුතු යැයි මට සිතේ.

මේ ඉඩහසර වෙන්වන්නේ ඔහු හා කළ ඒ සංවාදය ඔබ හමුවට ගෙන ඒම සඳහාය.

මුදල් තිබූ පමණින්ම කෙනකු චිත්‍රපට නිෂ්පාදනයට එක් වෙන්නේ නැහැ. ඒ සඳහා සිනමාව කෙරෙහි යම් ඇල්මක්, උනන්දුවක් තිබිය යුතුයි. ඔබත් එහෙමද?

ඇත්තෙන්ම මම සිනමාවට සම්බන්ධ වෙන්නේ අපේ පවුලේ යම් පසුබිමක් එක්කයි. මගේ සීයාට ඒ කාලේ සිනමාහල් කිහිපයක් තිබිලා තියෙනවා. මගේ කුඩා කාලේ ඒ සිනමාහල්වලට ගිහින් චිත්‍රපට නරඹන්න පුරුදු වුණා.

ඒ ඔස්සේ තමයි සිනමාව ගැන ආසාවක් ඇති වුණේ. පසු කාලෙක මම ඕස්ට්‍රේලියාවට ගියා. ඥාතීන් වෙනත් රටවල පදිංචියට ගියා. අර සිනමාශාලා එහෙමත් විකිණුවා. සිනමාවත් එක්ක තිබුණ සම්බන්ධය වෙන පැත්තකට ගියේ ඒ විදිහට.

ඔබත් ගියේ වෙනම පැත්තක....?

මගේ පියා ඉංජිනේරුවරයෙක්. ඉතින් මම නැඹුරු වුණේ ටෙලි කොමියුනිකේෂන් පැත්තට. ඕස්ට්‍රේලියාවට ගිහින් වැඩිදුර ඒ පිළිබඳ හදාරලා ඒ පැත්තට තමයි මම යොමු වුණේ.

පස්සේ මම ඒ අංශයෙන්ම ‘සියරා’ ආයතනයේ අධ්‍යක්‍ෂවරයෙක් හැටියට ඇවිල්ලා ඒ වැඩ කරගෙන යද්දී මගේ යහළුවකුගේ මාර්ගයෙන් තමයි නාලක හමු වුණේ. එතකොට නාලක ‘අනිත්‍යා’ චිත්‍රපටය නිර්මාණය කරලයි තිබුණේ. එහි පූර්ව දර්ශනයක් නැරඹීමට අහම්බෙන් මට අවස්ථාව ලැබුණා.

චිත්‍රපටය නැරඹුවාට පස්සේ මොකද හිතුණේ...?

මම හිතන්නේ ‘අනිත්‍යා’ වෙනත් ශෛලියකින් හදපු චිත්‍රපටයක්. මොකද මම ඕස්ට්‍රේලියාවේ ඉඳන් නිවාඩුවකට ලංකාවට ආවම මුලින්ම කරන දෙයක් තමයි සිංහල චිත්‍රපට නරඹන්න යන එක. ඒ සඳහා මම ප්‍රෝග්‍රෑම්ස් හදා ගන්නවා. ඊට පස්සේ තමයි ඩිනර්ස්වලට, පාටීස්වලට එක එක්කෙනා ගේ ආරාධනා බාර ගන්නේ. ඒ තරමටම මම අපේ සිනමාවට ආදරෙයි.

කොහොම වුණත් ඔබ ව්‍යාපාරිකයෙක් නේ. එතකොට සිනමාවට සම්බන්ධ වෙන්නෙත් යම් ව්‍යාපාරික අරමුණක් පෙරදැරි කරගෙන ද?

නෑ, මෙහෙමයි. කවදාහරි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඕනැයි කියන සිතිවිල්ල කාලයක් තිස්සේ මගේ සිතේ පැලපදියම් වෙලා තිබුණා. ඒක ඇත්තටම ව්‍යාපාරික වශයෙන් ආපු සිත්විල්ලකට වඩා සිනමාව ගැන තිබුණ ආශාවක්.

නාලකගේ ඉල්ලීම මත මම ‘අනිත්‍යා’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා දායක වුණා. හැබැයි ඒ වාණිජ පරමාර්තයකින් නම් නෙවෙයි. නාලක ගේ දෙවැනි චිත්‍රපටය ‘රූපාන්තරණ’ සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කළේ මම. එතනදි මම දැක්කා සිනමාව කියන්නේ ව්‍යාපාරයක් හැටියට වුණත් සාර්ථකව කරගෙන යන්න පුළුවන් මාධ්‍යයක් කියලා.

ඇයි එහෙම හිතුවේ....?

හොඳ චිත්‍රපට බලන්න යන්න මිනිස්සු කැමැතියි. හැබැයි, හොඳ චිත්‍රපට. මොකද යුද්ධෙන් පස්සේ රටේ තිබෙන නිදහස්, සාමකාමී පරිසරයත් එක්ක මතුවුණ ප්‍රවණතාවක් ඒක.

එතකොට නාලක ගේ තුන්වැනි චිත්‍රපටයටත් ඔබ නිෂ්පාදනයෙන් දායක වෙනවා...?

ඔව්, මම හිතන්නේ 80% ක් විතර දැන් එහි රූගත කිරිම් සිදුකොට අවසානයි. ඒකෙ නම ‘අග්නි වර්ෂා’ එහි සම නිෂ්පාදකවරයකු විදිහට මම කටයුතු කරනවා. ටෙලි කොමියුනිකේෂන් පැත්තෙන් තමයි මගේ වෘත්තීය කටයුතු සිදු වුණේ. එතකොට සිනමාව කියන්නේ වෙන අංශයක්. මම හිතුවා සිනමාවත් ව්‍යාපාරයක් හැටියට ඩිවලොප් කරන්න පුළුවන්නම් ඒක හොඳයි කියලා. මොකද මට ඒකෙන් මානසික තෘප්තියකුත් ලැබෙන නිසා. අනෙක මේ දෙක අතරේ ගැටුමකුත් නැහැ.

නාලක ගේ චිත්‍රපට තුනට අමතරව ඔබ තවත් චිත්‍රපට තුනකට මේ වන විටත් නිෂ්පාදන දායකත්වය ලබා දී තිබෙනවා. ඒ ගැන කතා කළොත් ...?

හතරවැනි චිත්‍රපටය විදිහට මම සම්බන්ධ වුණා උපාලි ගම්ලත් ගේ ‘ගුරු ගීතය’ ට. ඒ වගේම අර්ජුන් කමලනාත් ගේ ‘ඉගිලෙන්න ඇයි දඟලන්නේ’ ජූලි මාසයේ දී තිරගත වෙන්න නියමිතයි. අර්ජුන්ම අධ්‍යක්‍ෂණය කරන ‘ආශාවේ මායා’ තවම රූගත කිරීම් සිදු වෙනවා. ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ සමඟ මම මේ දිනවල සාකච්ඡා කරමින් යනවා ඔහුගේ අලුත්ම චිත්‍රපටය ගැන. ගොඩක් දුරට ඒක මගේ හත්වැනි චිත්‍රපටය වේවි.

අඩුම කාලයකින් වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කළ නිෂ්පාදකයා ලෙසින් ඔබේ නම ඉතිහාසයට එකතු වේවි. කොහොම වුණත් ඔබේ ප්‍රථම චිත්‍රපටයත් තවම ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. කොහොමද ඊට ලැබෙන ප්‍රතිචාර....?

විවිධ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙනවා. දැන් ඇත්තටම ගත්තොත් චිත්‍රපට හදද්දී අපි කිසියම් ප්‍රේක්‍ෂක පිරිසක් ඉලක්ක කරගන්නවානේ. ‘අනිත්‍යා’ චිත්‍රපටයෙන් හුඟක්ම ෆෝකස් කරලා තියෙන්නේ ‘යූත්’ එක. අර මම වෙනස් ශෛලියේ චිත්‍රපටයක් කිව්වේ ඒකයි. එතනදි අපට බලාපොරොත්තු වෙන්න බෑ පොඩි ළමයි, වැඩිහිටියෝ හැමෝම මේක බලයි කියලා.

ඒ කියන්නේ එක සෙග්මන්ට් එකක් මේක බලන්නේ. ඒ සෙග්මන්ට් එක ගොඩක් දුරට තෘප්තිමත් කියලා මම හිතනවා. ඒ කියන්නේ චිත්‍රපටය සාර්ථකයි. සමහරු කියන්න පුළුවන්, අපි බලාපොරොත්තු වුණ දේ මේ චිත්‍රපටයේ නෑ කියලා. නමුත් නිෂ්පාදකවරයෙක් විදිහට මම හිතනවා මේ චිත්‍රපටය 100% ක් සාර්ථකයි කියලා.

චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු විදිහට ඔබ නාලක ගේ දකින සුවිශේෂතා මොනවාද...?

මම හිතන්නේ නාලක අලුත්, ඉසව් සොයා යන අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු අවුරුදු කිහිපයක් නවසීලන්තයේ වාසය කළ කෙනෙක්. මම දන්න තරමින් එයා ඉංගී‍්‍රසි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඔහුගේ පියා අපේ රටේ සිටින ප්‍රවීණතම කලාකරුවෙක්. බන්දුල විතානගේ මහතා. ඒක කියන්නම ඕනෑ. ඒ ආභාසය තමයි මම හිතන්නේ ප්‍රධාන කාරණය. එතුමාගෙන් ඒ ලැබුණු දේවල් හා නවසීලන්තය වගේ රටකින් ලත් අත්දැකීම් එක්ක නාලක ඉන්නේ වෙනම තැනක.

මම දකින විදිහට ඒ නිසා නාලක අපේ සාම්ප්‍රදායික සිනමාවෙන් සම්පූර්ණයෙන්ම මිදුණු අධ්‍යක්‍ෂවරයෙක් වෙලා තියෙනවා. ඒත් ඔහු බටහිරකරණයට පමණක්ම නැඹුරුවෙලා නැහැ. මේ දෙක අතරේ මැද මාවතක් තමයි ඔහු තෝරාගෙන තියෙන්නේ.

නමුත් එක්තරා ප්‍රකට විචාරකයෙක් කියා තිබුණා ‘අනිත්‍යා’ චිත්‍රපටයේ සියයට එකක්වත් හොඳක් දකින්නේ නැහැ කියලා...?

මමත් ඒ විචාරය දැක්කා. නමුත් ප්‍රශ්නයක් නෑ. එහෙම විචාරයට ලක් කිරීමෙන්ම ඔප්පු වෙනවා මේ චිත්‍රපටයේ වෙනසක් තිබෙන බව. මම හිතන්නේ නාලක අධ්‍යක්‍ෂවරයකු වශයෙන් ඔහුගේ ගමන ආරම්භ කරපු තැන හොඳයි. ඔහුගේ දෙවැනි චිත්‍රපටය ‘රූපාන්තරණ’ අපි දැන් අවසන්කර තිබෙනවා.

මේ අවුරුද්ද අවසානයට පෙර එය ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒක වෙනම කතාවක්. අපේ රටේ යුද්ධෙන් පසුව ඇති වූ ජාත්‍යන්තර බලපෑම් මොනවාද, නැවත ඊළම්වාදයක් ගොඩ නැගේද යන සමාජ, දේශපාලන ප්‍රශ්න ගැන කතා කෙරෙන පුළුල් පරාසයක් කරා දිවෙන චිත්‍රපටයක් ඒක. දිගටම ප්‍රේක්‍ෂකයා කුතුහලයකින් යුතුව රඳවා ගන්න නාලක මේ චිත්‍රපටයෙන් සමත්ව සිටිනවා. කවුරුත් බලාපොරොත්තුවන අවසානයට වඩා වෙනස් අවසානයක් එහි තියෙන්නේ. ඒ වගේම නාලක ගේ තුන්වැනි චිත්‍රපටය ‘අග්නි වර්ෂා’ රහස් පරීක්‍ෂක කතාවක්. ඒකත් වෙනම ශෛලියක චිත්‍රපටයක්.

දේශීය සිනමාව බිඳ වැටිලා, නැතිනම් කිසියම් අර්බුදයකට ලක්වෙලා කියා මතයක් සමාජයේ තිබෙනවා. මෙවැනි පසුබිමක ප්‍රථම චිත්‍රපටයේ වියදම් පියවා ගැනීමටත් පෙරාතුව චිත්‍රපට කිහිපයකට මුදල් යෙදවීම අවදානම් සහගත ක්‍රියාවක් කියා ඔබට හැඟෙන්නේ නැතිද?

ඇත්තම කියනවා නම් මම ඔය ගැන පසුගිය කාලේ හුඟක් දුරට අධ්‍යයනය කළා. නිෂ්පාදකවරයකු ලෙස මම ඉදිරියට ආවට මම පිටුපස මට අවශ්‍ය මුදල් දෙන්න, ප්‍රතිපාදන සපයන්න කණ්ඩායමක් ඉන්නවා. මම අවුරුදු දහයක් ඕස්ට්‍රේලියාවේ හිටියා. ඇත්තම කියනවානම් එහෙ ගොඩක් ක්‍රවුඩ් එකක් ඉන්නවා චිත්‍රපටවලට කැමැති. මේ වගේ වැඩක් වෙනවා කිව්වාම ඒ අය හරි ආසයි මේකට සම්බන්ධ වෙන්න. නමුත් සමහරවිට ඒ අයට මේවට සෘජුව සම්බන්ධ වෙන්න බෑ යම්, යම් හේතුමත. ඉතින් ඒ අය මට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සලසා දෙනවා. මගෙ වගකීම වෙන්නේ එයාලා එහෙම ආයෝජනය කරන මුදල කොහොම හරි ආරක්‍ෂාකර දෙන එකයි.

එතකොට ඔබ කියන්නේ සිනමාව ලාභදෘයී ව්‍යාපාරයක් කියලද...?

මෙහෙමයි, පසුගිය කාලේ සමහර චිත්‍රපට සාර්ථක වෙලා තියෙනවා. සමහර ඒවා අසාර්ථක වුණා. තවත් චිත්‍රපට වියදම් පමණක් පියවා ගත්තා. පසුගිය කාලේ මම ඒ ගැන අධ්‍යයනය කළා. එතනදි මට හිතෙන්නේ වඩාත් වැදගත්ම දේ තමයි බජට් එක. ලංකාවේ ෆිල්ම් එකකට යන්න පුළුවන් බජට් එකක් තියෙනවා. ඒ බජට් එක ඇතුලේ අපි යනවානම් අපට සාර්ථක ප්‍රතිඵල නෙලාගන්න පුළුවන්.

හැම චිත්‍රපටයකටම එක වගේ බජට් එකක් යනවා කියලා අපට තීරණය කරන්න බෑ. චිත්‍රපටයෙන්, චිත්‍රපටයට ඒක වෙනස් වෙනවා. අපි හැම චිත්‍රපටයකටම බිස්නස් කේස් එකක් හදන්න ඕනෑ. මම කියන්නේ අපි කැල්කියුලේටඩ් රිස්ක් එකකින් යන්න ඕනෑ. මම අහලා තියෙන විදිහට අපේ සමහර චිත්‍රපටවලට විශාල මුදලක් වැය වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවට ඉතින් වැඩේ අමාරුයි.

පසුගිය කාලයේ අපේ සිනමාශාලා රැසක් වැසී ගියා. සමහර සිනමාහල් කඩා දමා ඒතැන්වල සුපිරි වෙළෙඳ සැල් ඉදි කළා. තිබෙන සිනමාහල් බොහොමයක නියමිත පහසුකම් නෑ කියා ප්‍රේක්‍ෂකයන් මැසිවිලි නගනවා. මේ තත්ත්වයත් අපේ සිනමාව අර්බුදයකට පත්වෙන්න ප්‍රබල හේතුවක් වුණා නේද?

සිනමාශාලා තුන්සිය ගණනක් තිබුණ අපේ රටේ දැන් තියෙන්නේ සිනමාහල් එකසිය හැට ගණනයි. නමුත් ඉදිරියේදී අපේ රටේ තවත් සිනමා ශාලා ඉදිවෙන්නට නියමිතයි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ ‘සිනමා වසන්තය’ ව්‍යාපෘතිය යටතේ සිනමා ශාලා සියයක් ඉදි කිරීමට නියමිතයි. මම දන්න තරමින් සමහර ඒවා දැන් හැදීගෙන යනවා. පෞද්ගලිකව මමත් මේ කටයුත්තට මැදිවෙලයි ඉන්නේ.

ඒ කොයි විදිහටද...?

සිංගප්පූරු සමාගමක් සමඟ මම මේ ගැන සාකච්ඡා කරගෙන යනවා. හොඳ බිස්නස් කේස් එකක් තියෙනවානම් ඔවුන් කැමැතියි ලංකාවේ සිනමාහල් විස්සත්, තිහත් අතර ප්‍රමාණයක් ඉදිකරීම සඳහා මුදල් ආයෝජනය කරන්න. අලුත්ම සිනමාහල්.

චිත්‍රපට සංස්ථාවත් සමඟ අපි පසුගිය මාස තුනක කාලය මුළුල්ලේ මේ ගැන කතා කරමින් ගියා. යුද්ධෙන් පස්සේ ලංකාවේ තිබුණු තත්ත්වය එහෙම පිටින්ම වෙනස් වුණා. අද රටේ මිනිස්සුන්ට ඕනෑ සාමයෙන් ජීවත් වෙන්න. ඒ වගේම විමෝදයෙන්. ඉතින් අපේ වගේ රටක සිනමාව කියන්නේ වෙනත් කලා මාධ්‍යයන්ට සාපේක්‍ෂව අඩු මුදලකට රස විඳින්න පුළුවන් මාධ්‍යයක්. වේදිකා නාට්‍යයක් හෝ සංගීත සංදර්ශනයක් බලනවාට වඩා මිනිස්සු කැමැති පවුල් පිටින් ගිහින් චිත්‍රපටයක් නරඹන්නයි.

චිත්‍රපටයක් පිටපත් තිස්පහකට සීමා කිරීමට චිත්‍රපට සංස්ථාව ගත් තීරණය පිළිබඳ ඔබේ අදහස...?

මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්ත ගැනම මම කතා කරන්නම්. අද තියෙන්නේ අපට සිනමාහල් එකසිය හැට ගාණයි. ඔයිනුත් හැම සිනමාහලකම සිංහල චිත්‍රපට පෙන්වන්නේ නැහැ. මෙන්න මේ සීමිත සිනමාහල් ප්‍රමාණය නිසා අපට වරකට පෙන්වන්න පුළුවන් වෙන්නේ චිත්‍රපට තුනක් නැත්නම් හතරක් පමණයි. එතකොට පිටපත් ප්‍රමාණය තිස්පහකට සීමා කිරීමෙන් වැඩි චිත්‍රපට ප්‍රමාණයක් එළියට දාගන්න පුළුවන්. ඒ එක්කම ප්‍රේක්‍ෂකයාට ඔප්ෂන්ස් හම්බ වෙනවා.

මොකක්ද නරඹන චිත්‍රපටය කියලා තීරණය කරන්න පුළුවන්...?

මට එහෙම වෙලා තියෙනවා. එක චිත්‍රපටයක් බලලා ඊළඟ සතියේ තවත් චිත්‍රපටයක් නරඹනවා. ඊට පස්සේ බලන්න ෆිල්ම් එකක් නෑ. ඇයි තිරගත වෙන්නේ චිත්‍රපට දෙකයි. අන්න ඒ වගේ. එතනදි මම හිතන්නේ පිටපත් තිස් පහකට සීමා කිරීමෙන් ගොඩක් චිත්‍රපටවලට එළියට එන්න පුළුවන්. එතකොට සාමාන්‍ය හා මධ්‍යම ප්‍රමාණයේ නිෂ්පාදකයන්ට හොඳයි.

නමුත් ඒකම අනෙක් පැත්තට ගත්තොත් දැවැන්ත නිෂ්පාදකයකුට ඒ සිමා කිරීම් අවාසියක් වෙන්න පුළුවන්. මොකද දැවැන්ත නිෂ්පාදකයෝ කීප දෙනෙකුත් අද ලංකාවේ ඉන්නවා. ඒ අයට පුළුවන් කෙළින්ම සිනමාහල් පනහ, හැට, හැත්තෑවකට වගේ යන්න. ඉතින් ඒ ගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙනවා.

දැන් ඔබ නිෂ්පාදකවරයකු වශයෙන් ඉන්නේ මේ කුමන පාර්ශවයේද...?

ඇත්තටම අපි ‘අනිත්‍යා’ චිත්‍රපටය දැම්මේ පිටපත් විසි අටයි. ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටයේ පිටපත් විසි පහකට අපි යන්නේ.

ඇයි ඒකට විශේෂ හේතුවක් තියෙනවද?

පිටපත් මුද්‍රණයටත් විශාල මුදලක් යනවනේ. එතකොට චිත්‍රපටයට වැය වූ මුදල. ඒ ඔක්කොම බලලා තමයි අපි පිටපත් ප්‍රමාණය තීරණය කරන්නේ. දැන් නාලක ගේ දෙවැනි චිත්‍රපටය ‘රූපාන්තරණ’ ඒකෙ අනිවාර්යයෙන්ම පිටපත් තිස්පහකට අපි යනවා. මම හිතන්නේ ෆිල්ම් එකෙන් ෆිල්ම් එකට ඒක වෙනස්. නමුත් පොදුවේ ගත්තොත් මම හිතනවා පිටපත් තිස්පහ කියන සීමාව වඩාත් හොඳයි කියලා.