|
තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණිපිච්ච මලක තියෙන පිවිතුරු සුන්දරත්වය කොතරම් නම් අපූරුද? ඒ පිච්ච මලේ සුවඳ තවත් එමලේ ආකර්ෂණය වැඩි කරනවා. මෙතරම් පිවිතුරු පිච්ච මල්වලට තම ජීවිතය පුරාවටම ආදරය කරන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකගේ ආගමනය සිදුවන තුරු වෙනදා මෙන්ම සරසවිය ඡායාරූපාගාරයට වී අම්බලන්ගොඩ ශ්‍යාංගා භාෂිනී, කුලියාපිටිය කපිල ජයවිලාල්, කෙරමිණිය චන්ද්‍රසිරි මානවඩු හා කරන්දෙණියේ සඳමාලි ඇඟිලි ගනිමින් සිටියි.
හදිසියේ අපේ ඡායාරූප ශිල්පි ටෙනිසන් එදිරිසිංහගේ දුරකතනය නාද වෙයි. ‘අනේ ටෙනි අයියා, මම බොරැල්ලේ ඉන්නේ. විනාඩි විස්සක් විතර පරක්කු වෙයි’ යනුවෙන් එහා කෙළවරෙන් ඇමතුම ලබා දුන්නේ තරු මිහිරේ තරුව බව නම් මේ පාඨක පිරිස නොදනී. මොහොතින් මෙහොත ඔවුන්ගේ හද ගැස්ම වැඩි වෙයි. එකිනෙකා ආ ගිය තොරතුරු විමසුව ද සැමගේ නෙත රැඳී ඇත්තේ ප්‍රධාන දොර වෙතයි. ‘හානේ මම පොඩ්ඩක් පරක්කු වුණා. මරදාන පැත්තෙන් ආපු නිසයි එහෙම වුණේ’ එසේ කියමින් සියල්ලන්ගේම ආදරය දිනාගත් අද තරු මිහිර රස ගන්වන ලබැඳි රංගන ශිල්පිනිය සරසවියට පැමිණියා. නිල්මිණි තෙන්නකෝන්. දහසක් පාඨකයින්ගේ ආදරය හමුවේ තම හැඟීම්බර වදන් තෙපලන්නට ඕ සරසවියට පැමිණ සිටින්නීය. මට හඳුන්වලා දෙන්නකෝ ඔයාලාව. කපිල ඉදිරිපත් වෙමින් ඔවුන්ව හඳුන්වා දුන්නා. කෝ තව එක්කෙනෙක් අඩුයිනේ? නිල්මිණි විමසිලිමත්ව විමසුවා. ‘ආ එයා කංචක, විනෝදාංශයට තැපැල්පත් යොමුකළාට අද මේ වැඩසටහනට එයා අසනීපෙන් නිසා එන්න බැරිලු’ කියා පැනපු ගමන් කපිල පිළිතුරු බැන්දා. ‘අක්කේ ඔයා රංගනය හදාරලද රඟපෑමට ආවේ’ වඩාත් උනන්දුවෙන් සඳමාලි ඇසුවා. ඔව්. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ සූරීන්ගේ මඟ පෙන්වීම යටතේ රංගනය විතරක් නෙමේ, කැමරාකරණය, සංස්කරණය, තව රංගන ක්ෂේත්‍රයට අදාල බොහෝ දේවල් ඉගෙන ගත්තා. රඟපෑමට අවතීර්ණ වුණේ කොහොමද? කපිලගෙන් පැනයක්. මගේ ඥාති සොහොයුරියක් සිටිනවා රෝයි ද සිල්වා හා සුමනා අමරසිංහ යන ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ ගෙවල් ළඟ. දවසක් මාව දැකලා රෝයි අයියයි සුමනා අක්කයි මගේ අක්කගෙන් අහලා තියෙනවා අර ළමයා රඟපාන්න කැමැති නැති ද කියලා. ඒක මගෙන් අහපුවම මම එක පයින් කැමැතියි කිව්වා. එතකොට මගේ දණ හිසටත් පහළ දිගට කොණ්ඩය තිබුණා. හිත හොඳ චණ්ඩියා චිත්‍රපටයට එවකට මිස් ශ්‍රී ලංකා වුණ කෙනයි මායි රංගනයෙන් පොඩි චරිතයකට පෙනී සිටියා. එදා තමයි මම සිනමා කැමරාවක් ජීවිතේ පළමු වතාවට දැක්කේ. ‘දූ දරුවෝ දීප්ති නේද ඔබට වාසනාව ගෙනාවේ?’ චන්ද්‍රසිරි මෙතෙක් වේලා නිහඬව සිට එය බිඳිමින් විමසුවා. ඇත්තටම නාලන් මෙන්ඩිස් මහත්මයාගේ ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යයේ දීප්තිගේ චරිතය නිසා මම මහත් ජනප්‍රියතාවක් ලැබුවා. අදටත් මට එහි බලපෑම තියෙනවා. අනික ඒ දවස්වල අද වගේ හුඟාක් ටී. වී නාලිකත් නැහැ. ඒ වගේම ටෙලි නාට්‍යත් නැහැ. හැදෙන ටෙලි නාට්‍ය හරිම අර්ථාන්විතයි වගේම නිර්මාණශීලීයි. ‘ඔයා අනතුරකට ලක් වුණා නෙද්? කපිල නැවත විමසුවා. මේ ටෙනි අයියා හින්දා තමයි එහෙම වුණේ (විහිළුවට). ඇත්තටම එදා සරසවිය සම්මාන උළෙලකට කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවේ ‘අංජලිකා’ චිත්‍රපය පෙන්නුවා. ඒ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත නිළිය වුණේ මම. ඉතින් වාහනේ පදවගෙන යද්දී මම ‘ඇක්සිඩන්ට්’ වුණා. ආයේ දවස් ගානකට පස්සේ සිහිය එනකොට මම හිටියේ රෝහලක. හැබැයි ඔය ගමන පිටත්වෙන්න කලින් මම අපේ නංගිට කියලා පිච්ච මල් ගොඩක් කඩා ගත්තා. ඇක්සිඩන්ට් එක වෙලා මාව රෝහලට ගෙනි යනවා. දොස්තරලා වට වෙලා බේත් කරනවා මට අහසේ ඉඳන් පෙනුණා. හැබැයි ඒ වෙලාවේ මගේ හිත අමුතුම ප්‍රබෝධයකින් තිබුණේ. මාව අහසේ ඉහළට ඇදිලා යනවා වගේ දැනුණා. නමුත් ටික දුරක් යනකොට කවුදෝ මට කිව්වා ආපසු හැරෙන්න, ඔයාගේ දුව ඔයා එනකන් බලන් ඉන්නවා කියලා. ඒ කාලය මට දැනුණේ අවුරුදු ගානක් වගේ. මට සිහිය ආවේ දවස් හතකට පස්සේ. ඒකයි මම කියන්නේ මම මරණය අත්විඳි ගැහැනියක් කියලා. හැබැයි මාව අර හීනෙන් වගේ නැවත මගේ ශරීරයට ඇතුල් වෙනකොට මාව වැටුණේ පිච්ච මල් ගොඩක් උඩට. බුදු දහමේ කියන චුති සිත කියන එක කියන්නේ මේක වෙන්න ඇති නේද? මගේ මේ කතාව පොතකටත් ඇතුළත් වෙලා තියෙනවා මරණාසන්න අත්දැකීම ගැන. නිල්මිණි එසේ විස්තර කරන විට සඳමාලිගේ නෙතේ මෙන්ම ශ්‍යාංගාගේ නෙත් කෙවෙනිවලට ද සිහින් කඳුළු බිංදු නැගුණා. සියල්ලන්ටම හොරෙන් ඔවුන් ඒවා පිස දැමුව ද අපේ ටෙනීගේ කැමරා කාචයට එය වසන් කිරීමට නොහැකි වූවා. මඳ වේලාවක නිශ්ශබ්දතාවයකට පසු නැවත කපිල හඬ අවදි කළා. දිය සුළිය ටෙලි නාට්‍යය රූගත කළේ කොහෙද? දංකොටුව පැත්තේ. ඒකෙත් විශේෂ සිදුවීමක් තියෙනවා. ඒ දවස්වල ෂූටිං බලන්න දංකොටුව පැත්තට සෙනඟ විශාල වශයෙන් පැමිණුනා. උදය අයියා (උදයකාන්ත වර්ණසූරිය) සමහර වෙලාව උදේ පාන්දරම රූගත කිරීම් පටන් ගන්න කලින් වටේටම ලණුවක් අදිනවා, ඒ සීමාවෙන් මෙහාට සෙනඟට එන්න බැරි වෙන්න. අර ශ්‍රියන්ත අයියා මගේ ඔළුව බිත්තියේ හප්පන දර්ශනය රූගත කරද්දී සෙනඟ බස් පිටින් ඇවිත් සිටියා. ඒ වුණාට ඒ සිදුවීම රූගත කළ ගෙදර සියලු දෙරවල් වහලා රූගත කළේ. මොකද මගේ ඔළුව බිත්තියේ හප්පනවා මිනිස්සු දැකලා කලබල වෙයි කියන බයට. ඒ දවස්වල ෂූටිංවලට මට පාරට බහින්න බැහැ මිනිස්සු වට කරගන්නවා. ඒ දූ දරුවෝ දීප්ති නිසා. දීප්තිට විශේෂ අනතුරක් වෙලා තියෙනවාද? දීප්තිට නම් නෙමේ. අර දීප්ති සොහොන ළඟ තනි වෙලා අඬන දර්ශනය දැකලා වත්තල පැත්තේ මුස්ලිම් මනුස්සයෙකුට දරාගන්න බැරි වෙලා මැරිලා. ඒ තරම් ඒ මනුස්සයා දීප්ති චරිතයට ආදරෙයිලු. මම මළ ගෙදර යන කොට එහි කටයුතු අවසන් කරලා. ඒ අය මුස්ලිම් නිසා පැය 24 නෙ තියාගන්නේ. ඇයි දැන් වැඩිපුර ටෙලි නාට්‍යවල පේන්න නැත්තේ? ඒ නිහඬව සිටි ශ්‍යාංගාගේ එකම ප්‍රශ්නයයි. කොටස් සියයට වැඩි ටෙලි නාට්‍යවල මම රඟපාන්නේ නැහැ. අනික හොඳ නිර්මාණත් අඩුයිනේ මේ කාලේ. ඉදිරියට මම රඟපාපු ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙන්න තියෙනවා. අනාගතයේදී මොකද කරන්නේ? සඳමාලි නැවත විමසුවා. මගේ දුව ස්වේතා තමයි මගේ එකම අරමුණ. එයාට මේ ලෝකේ යහපත්ව ජීවත් වෙන්න පිටිවහලක් වෙන එක තමයි මගේ එකම අරමුණ. මගේ නුගේගොඩ සැලුන් එකත් එයා වෙනුවෙන්ම තමයි. සතුටු සිනා, දුක් කතා, ධෛර්මත් සිදුවීම් සමඟ ඉක්මනින් කාලය ගෙවී ගියා. නිල්මිණි රැගෙන ආ ඇගේ අත්සන සහිත ඡායාරූප ඇය මේ පිරිසට බෙදා දන්නා. සරසවිය තරු මිහිරේ ත්‍යාග අනුග්‍රාහකයා වන ලක් සළුසල ත්‍යාග වවුචර් පත් ද නිල්මිණිගේ අතින් මේ පිරිසට ලබා දුන්නා. නිල්මිණිගේ ආගමනයෙන් හැඩ වුණ තරු මිහිරට හෝරා දෙකක කාලයක් ගෙවුනද මේ පිරිස නිල්මිණි තනිකර යාමට නොසිතයි. කෙසේ හෝ හමුවීමක් ළඟ වෙන්වීමක් ඇත්තා සේම වෙන්වීම ළඟ හමුවීමක් ඇතැයි කියමින් පිරිස සතුටින් සරසවියෙන් නික්ම ගියා.
|