|
කමල් හසන් - ශ්‍රී දේවි බොලිවුඩ් සිනමාවේ තැනූ ටජ්මහල සද්මායි. එදා මෙදාතුර බිහි වූ විශිෂ්ට සිනමාපටයක් ලෙස එය සැලැකෙයි. දමිළ සිනමාවේ අමරණීය පෙම්වතුන් වූ කමල් හසන්ට සහ ශ්‍රී දේවිට පසුගිය තිස් වසරක් යන තුරුම තිිරයේ පෙම්වතුන් වීමට වරම් ලැබුණේ නැත. ‘ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්’ සිනමාපටයෙන් සිනමාවේ දෙවැනි ජයග්‍රාහී ගමන ඇරැඹූ ශ්‍රී දේවිය වෙනුවෙන් කමල් හසන් දැන් පිටපතක් ලියමින් සිටින්නේය. ශ්‍රී සමඟ රැඟීමට කමල් කවදත් කැමැතිය. ඇය යළි සිනමා රංගනයට පිවිසි වහාම ඔහු ඒ කැමැත්ත ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය. මේ ආරංචිය අනුව දෙදෙනාගේ තවත් විශිෂ්ට ප්‍රේමණීය රංගනයක් නුදුරු අනාගතයේදීම බොලිවුඩයට හිමිවෙනු නිසැකය.
හැමෝටම නටන්න පුළුවන්
‘හැමෝටම නටන්න පුළුවන්’ මේ කවදත් බොලිවුුඩයට සාධාරණ වූ කියමනකි. නර්තනයට උපන් හපන්කම් ඇත්තන්ගෙන් නොඅඩු සිනමා පුරවරයෙන්, අලුතින්ම බිහි වූ විචිත්‍රවත් සිනමා අන්දරය, ‘එනි බොඩි කැන් ඩාන්ස්’ (ඒබීසීඩී) ය. සියවසක් පිරෙන බොලිවුඩයට ‘එනි බොඩි කැන් ඩාන්ස්’ සුවිශේෂී වන්නේ එය එරට තිරගතවන පළමු ත්‍රිමාන සිනමා සිත්තම නිසයි. පෙබරවාරි 8 වැනිදා තිරගත වූ සිනමාපටය දැන් ලොවටම රසාලිප්ත අත්දැකීමක් වී අවසානයි. ඒ එහි ඇති අපූර්වත්වය නිසාමයි. සිනමාපටයේ රඟන තරු හතරෙන් තුනක්ම නර්තන ලොවේ රජවරුන්ය.
ගනේෂ් බොඩිගාඩ්, සිංහම්, ඩබල් දමාල් සිනමාපටවල නර්තන අධ්‍යක්ෂවරයායි. මේ ඔහුගේ කුලුඳුල් බොලිවුඩ් රංගනයයි. රියා ලෙස රඟන ප්‍රධාන තාරකාව ලොරේන් ගොට්ලීඛ් අමෙරිකානු නර්තන ශිල්පිනියකි. නිළියකි. ඇය බ්‍රිට්නි ස්පියර්ස්, ෂකිරා වැනි සුපිරි පොප් තාරකාවන්ගේ නර්තන ප්‍රසංගවල කැපී පෙනෙන නර්තන තාරකාවකි. සල්මන් යූසුෆ් ඛාන් ‘රොකී’ චරිතයට පණ පොවයි. විසි හත් හැවිරිදි ඔහු’ඩාන්ස් ඉන්ඩියා ඩාන්ස්’ නම් ජනප්‍රිය රියැලිටි වැඩසටහනේ පළමු පියවරේ ජයග්‍රාහකයායි. චිත්‍රපට දෙසීයකට වැඩි ගණනක ජනප්‍රිය නර්තන අධ්‍යක්ෂවරියක වු හැට හතර හැවිරිදි සරෝජ් ඛාන් ද මෙහි තාරකාවකි. රෙමෝඩි සූසා, ධර්මේෂ් යෙලන්දේ මෙහි රංගනයෙන් එක්වන අනෙක් නර්තන තරුය. ‘එනි බොඩි කැන් ඩාන්ස්’ දමිළ භාෂාවෙන් ද හඬ කවා ‘ආදලම් බෝයිස් චින්තානා ඩාන්ස්’ නමින් තිරගතකර තිබේ. 2005 දී ඒබීසීඩී නමින් දමිළ සිනමාපටයක් තිරගත වී ඇතත් ඒ වෙනස්ම කතා පුවතක් රැගත් සිනමාපටයකි. නර්තන නිර්මාණ ශිල්පියකුට පැරැණි මිතුරන් පිරිසක් සිය නර්තන ආයතනයේදී මුණ ගැසි ඉන් පසු නර්තන කණ්ඩායමක් පිහිටුවා ගැනීමේ මේ කතා පුවත හාස්‍යයෙන්, ප්‍රේමයෙන් ප්‍රේක්ෂකයන් මුසපත් කරන්නකි. ඉන්දියානු රුපියල් කෝටි 12 ක් වැයකර නිපද වූ ඒබීසීඩී මේ වන විට වැය කළ මුදල මෙන් දෙගුණයකට වැඩි ආදායමක් ලබා අවසන්ය. මේ නිසාම අධ්‍යක්ෂවරයා දෙවැන්නක් පිළිබඳව ද සිහින දකිමින් සිටියි.
දීපිකා ෂාරුක්ගේ ඇඳුම් අඳියි
තමන් රඟන සිනමාපටය වෙනුවෙන් රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට කළ නොහැකි දෙයක් නැත. ගැහැනුන් පිරිමින් සේ ද, පිරිමින් ගැහැනුන් සේ ද රඟන සිනමාවක හුවමාරු කරගෙන ඇඳුම් ඇඳීම එනිසාම එක අතකින් එහි අරුමයක් ද නැත. චෙන්නයි එක්ස්ප්‍රස් සිනමා පෝස්ටරයේ දීපිකා සැරසී සිටින්නේ කිසිවකු ඇය දැකීමට බලාපොරොත්තු වන අයුරින් නම් නොවෙයි. එහි ඇය ෂාරුක්ගේ කමිසයකින් සහ සරමකින් සැරසී වෙනස්ම ස්වරූපයකින් පෙනී සිට තිබේ. දීපිකාගේ සරාගී බව ෂාරුක්ගේ ඇඳුම් නිසා වඩාත් ඉස්මතු වී ඇති බව කාගේත් හැඟීමයි.
|