|
යශෝධරාට මුලින්ම හඬ කැව්වේ මම
ජයකලනී
තමාට වූ
අසාධාරණය ගැන සරසවියට කතා කරයි
“ශ්‍රීසිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ එක් දර්ශනයක් ඇරෙන්නට, යසෝදරා දේවියගේ හඬ, මගේ හඬ නොවෙයි.” මෙම ප්‍රකාශය සරසවියට කළේ, ජිතේන්ද්‍රිකා ජයකලණි. ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ යසෝදරා දේවියගේ චරිතය නිරූපණය කළ ආන්චල් වෙනුවෙන් මුල් හඬ දී තිබුණේ ඇයයි. ඒ පිළිබඳ ජිතෙන්ද්‍රිකා සරසවියට කියූ කතාවයි මේ... “ මගේ හිතවතියක් වන, කෞශල්‍යා වික්‍රමසිංහ මට ආරාධනාවක් කළා, චිත්‍රපටයේ යසෝදරාගේ චරිතයට හඬ කවන්න. මම ඍජුව කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. වෘත්තියෙන් මම නර්තන ශිල්පිනියක්. මම හඬකැවීම් ශිල්පිනියකුත් නෙවෙයි. මේ බව මම මිතුරියට පැහැදිලි කළා. එහෙත් අවසානයේ, හිතවත්කම නිසාම මා හඬ පරීක්ෂණයට සහභාගි වුණා. පසුව මගේ මිතුරිය දැනුම් දුන්නා, හඬ පරීක්ෂණ විනිශ්චය මණ්ඩලයේ ඉහළම ලකුණු ලබා ගනිමින් මා පරීක්ෂණයෙන් සමත් වී ඇති බව. මට විශාල සතුටක් දැනුණා.
නමුත්, මගේ හද කම්පා කරවන සිදුවීම, මට අත්විඳින්න ලැබුණේ පසුගිය සතියේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මෙම චිත්‍රපටය මම සම්පූර්ණයෙන්ම නැරඹුවා. මුහුරත් උළෙලේ දී, චිත්‍රපටය නැරඹුවත්, විරාම කාලයේ දී, වෙනත් උත්සව අවස්ථාවක් සඳහා පිටත්ව යන්නට සිදුවුණා. ඒ නිසා එදා සම්පූර්ණ චිත්‍රපටය මට බලන්න බැරිවුණා. පසුගිය සතියේ චිත්‍රපටය නරඹද් දී තමයි, මා දුටුවේ නාමාවලියේ හඬකැවීම් සඳහා මගේ නම සමඟ, තවත් ශිල්පිනියකගේ නම සඳහන් කරලා තිබෙන බව. ඒ වෙලාවේ මට ඇතිවුණේ කනගාටුවක්. මගේ හඬ ඉවත් කර, වෙනත් ශිල්පිනියකගේ හඬ යෙදුවාට මගේ කිසිම අමනාපයක් නැහැ. මා ඒ ශිල්පිනියට දොස් නගන්නෙත් නැහැ. ඇයගේ වරදකුත් නැහැ. මා චිත්‍රපටයේ, අධ්‍යක්ෂවරයාට කතා කළා. මෙහෙම කරන්න හේතුව මොකක්ද කියා ඇසුවා. යසෝදරා චරිතය නිරූපණය කළ රංග ශිල්පිනියගේ තොල් සෙලවීම හා මගේ හඬ ඉඪදඬ නැති බව, බොහෝ දෙනාගේ මතය වූ බවට අධ්‍යක්ෂවරයා පිළිතුරු දුන්නා. හඬ කැවීම පිළිබඳ අසතුටු නම්, ඒ පිළිබඳ මා දැනුවත් කළා නම්, නැවත හඬකැවීම් කරන්නට මා ඕනෑම අවස්ථාවක සූදානම් බව මම ඔහුට කිව්වා. සදාචාර සම්පන්න ව ඔහුට එය මට කියන්නට තිබුණා. මම නිසා, මෙම චිත්‍රපටය නැරඹූ පිරිසක් ඉන්නවා. මගේ පවුලේ අය, ඥාතීන්, යෙහෙළියන්, මා පෞද්ගලිකව හඳුනන බොහෝ අයට මා වෙත ඍජුවම මේ දේ ප්‍රකාශ කරන්න බැරිව සිටි බව මට වැටහුණා. “අනේ කලණි, ඒ හඬ ගොඩක් වෙනස්, ඔයා නෙවෙයි ” වගේ ප්‍රකාශ මගේ හිතවතියන්ගෙන් අසන්නට ලැබුණා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ, ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ මගේ හඬ තියෙන්නෙ, එකම එක දර්ශනයක පමණයි. ඒ අභිනිෂ්ක්‍රමණ දර්ශනයේ. ඒ ඇරෙන්නට, යසෝදරා දේවී චරිතයට කැවූ හඬ, මගේ යැයි ඒත්තු ගැන්වෙන වෙනත් හඬක්.”
|