|
ඉදිරි කාලයේ මගේ අතින් චිත්‍රපටයක් නිපදවේවි
දයාවංශ ජයකොඩි කියන කතාවක්
මේ කතාන්දරයේ ඉතිහාසය වසර පනහක් පමණ ඈත නිදහස් දිනකට දිවයයි. 1961 වසරේ පෙබරවාරි 04 දා හරියටම ලියා ලබනවා නම් ඒ ෙඓතිහාසික දිනයයි. වසර පනහක් පුරා පොත් සමග ජීවත් වෙමින් පාඨකයනට හොඳ පොතක් තිළිණ කිරීමට වෙහෙසෙන මේ අසිරිමත් මිනිසා ප්‍රකාශකයෙකු ලෙස එළිදකින්නේ හෙළබිම ළමා පුවත්පත ප්‍රකාශනයට පත්කරලමිනි. කොළඹ ආනන්දයේ ඉගෙනුම ලබද්දී ප්‍රකාශන උණ නිසා වෙහෙසී නිර්මාණය කළ හෙළබිම දිනෙන් දින නොසිතු ලෙස ජනාදරයට පත් වූයේ මේ තරුණයාද අපේ රටේ ප්‍රචලිත නාමයක් බවට පත්කරලමිනි. හෙළබිම පුවත්පතේ අලෙවිය සීඝ්‍රයෙන් වැඩි වෙද්දි තමා වෙනුවෙන්ම මෝටර් රථයක් මෙන්ම මුද්‍රණාලයක්ද මිලට ගැනීමට සමත්වූ මේ තරුණයා ප්‍රකාශකයෙකු ලෙස කා අතරත් ජනප්‍රිය චරිතයක් වූවේය. මේ අවධිය වනවිටත් පාසල් සිසුවෙකු වූ අපේ කතානායකයා තමාගේ ගමන ඉතාමත් බුද්ධිමත්ව සැලසුම් කළේ මීට පනස් වසරකට පෙරදීය. අද වනවිට හෙතෙම අපේ රටේ සුප්‍රකටම ප්‍රකාශන සමාගමේ අධිපතිවරයාය. පනස් වසරක් සපුරන මේ ප්‍රකාශන සමාගම අපේ රටේ සාහිත්‍ය පෝෂණය කිරීමට දායාද කළ පොත පත ගණනය කළ නොහැකිය. එමෙන්ම බෞද්ධ පුනරුදයෙහිලා ග්‍රන්ථ විශාල ගණනක් අපට දායාද කළ මේ ප්‍රකාශකයා දරුවන් වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ ග්‍රන්ථ ගණන අපමණය. ඔහුගේ සමාගම මඟින් ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථ රැසක්ම පසුකාලීනව චිත්‍රපට මෙන්ම ටෙලි නාට්‍ය තැනීමටද යොදා ගත්තේ ඒවායේ වූ ගුණාත්මක මෙන්ම කලාත්මක බව නිසාමය. දයාවංශ ජයකොඩි .... අද අපේ කතාන්දරයේ නායකයාය. අද ඔහු සමග කතාබහ කරන්නට සූදානම් වන්නේ පනස් වසරක ඉතිහාසය තුළ ඔහු ප්‍රකාශයට පත් කළ පොත් අතුරින් බිහිවූ දෘශ්‍ය නිර්මාණ පිළිබඳවත් ඔහුගේ ජීවිතය සහ කලාව අතර ඇති අසීමිත බැඳීයාවන් පිළිබඳවත්ය. වසර පනහක් කියන්නේ දින 18250කට ආසන්න කාලයක්. මං කැමැතියි 1962.02.04 වෙනිදා මතක අතරින් මේ කතාව අරඹන්න. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලේ මගේ හිතේ ජීවත්වුණු චරිතය තමයි අද වනවිට ජීවත් වෙන්නේ. ඒ කාලේ ලේඛන කලාවට මගේ තිබුණේ පුදුම ආසාවක්. මං ලියපු වෙසක් සැරසිල්ල කියන කෙටි කතාව ගැන පැහැදුණු කමලා රාජපක්ෂ ගුරුතුමිය ආනන්ද විද්‍යාලයේ මාසික සඟරාව වූ සිංහල දරුවා සඟරාවේ ඒ කෙටිකතාව පළ කළා. එදා දැණුනු සතුට නිසා මම ‘සිසුමිණ’ කියල සඟරාවක් මුද්‍රණය කරන්නට කටයුතු කළා. එදා සිට ඇරැඹ් ගමන හරිම සුබදායීව ඉදිරියට ගලාගෙන ගියා. මට උවමනා වෙලා තිබුණේ හැමදාමත් පාඨකයන්ට හරවත් යමක් දෙන්න. එදා වගේම අදටත් මගේ සංකල්පයේ වෙනසක් ඇතිවෙලා නැහැ. පනස් වසරක ඉතිහාසය තුළ ඔබ ප්‍රකාශයට පත්කළ ග්‍රන්ථ සිනමාවට මෙන්ම ටෙලි නාට්‍යවලටත් නිර්මාණය වී තිබෙනවා. ඔව් ... ගොළු හදවත, ගැහැණු ළමයි, යහළු යෙහෙළි පොත් ත්‍රිත්වය සිනමාවට නැගුනා. මේ පොත් මුලින්ම ප්‍රකාශයට පත් කළේ කරුණාසේන ජයලත් මහත්මයා. නමුත් පසුව මේ පොත් ප්‍රකාශයට පත් කළේ මම. පරසතුරෝ, අවරගිර, හිතවතිය, රන් මිණිමුතු වගේ පොත් සිනමාවට නැගුණා. ඒ වගේම අරලියමල් ආරාමය, අඹුදරුවෝ, කුමාරිහාමි, අනුත්තරා, කස්තිරම, යශෝරාවය, මවකගේ ගීතය, බලදේවගේ ලෝකය, මැණික් නදිය ගලාබසී, ගේ කුරුල්ලෝ වගේම ලෝචනා, නිකිණි වැස්ස වගේ කතාන්දර ටෙලි නාට්‍ය බවට පත් වුණා. ඒ ගැන ඇත්තේ අසීමිත සතුටක්. පාඨක ජනතාව ඉතාමත් ආදරයෙන් වැළඳගත් ඒ නිර්මාණ ප්‍රේක්ෂකයාත් ආදරයෙන් වැළැඳ ගත්තෙ ඒවායේ තිබූ කතා රසය නිසාමයි. ප්‍රකාශයට පත්කළ ග්‍රන්ථයක් දෘශ්‍ය මාධ්‍යයට ගැනීම ප්‍රකාශකයාට වාසියක් නේද? ඇත්තටම ඔව්. ඒ නිර්මාණය විකාශය වෙද්දී හෝ තිරගත වෙද්දී පොතට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. මට කවදාවත් චිත්‍රපටයකට ටෙලි නාට්‍යයකට පොතක් දීල සල්ලි ගන්නෙ නැහැ. හොඳ නිර්මාණයක් බිහි කිරීමට දායකවීම සල්ලිවලින් මිල කරන්න බැහැ. ඔබ සතුව හොඳ පොත් ගබඩාවක් තියෙනවා. චිත්‍රපටයක් නිපදවන්න අදහසක් නැද්ද? ඇතැම් මිතුරන්ට චිත්‍රපට නිපදවන්න මං උදව් කරල තියෙනවා. චිත්‍රපටයක් කරන්නට අදහසකුත් තිබෙනවා. ඉදිරි කාලයේ මගේ අතින් චිත්‍රපටයක් නිෂ්පාදනය වේවි. හොඳ අර්ථවත් නිර්මාණයක් කරන්න මගේ හිතක් තිබෙනවා. ඒ වගේම හොඳ කවට චිත්‍රපටයකට අපේ රටේ ඉඩ තියෙනවා කියල මං හිතනවා. මහේන්ද්‍ර පෙරේරා වගේ නළුවො යොදා ගෙන හොඳ චිත්‍රපටයක් කරන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක් හමුවුනොත් චිත්‍රපටයක් නිපදවන්න දෙපාරක් හිතන්නේ නැහැ. සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ සක්මන් මළුව සිනමා සිත්තම නැරඹුවෙමි. කලකට පසු ඉතා හොඳ චිත්‍රපටයක් නැරඹීමට වාසනාව ලද්දෙමි. මේ සිංහල බෞද්ධ රටේ නිපදවිය යුත්තේ කෙබඳු චිත්‍රපටදැයි අප අධ්‍යක්ෂවරුන් මේ චිත්‍රපටය නරඹා උගත යුතු යයි මම සිතමි. 2004/01/04 දිවයින මේ ඔබ විසින් ලියන ලද විචාරයක්. ඇත්තෙන්ම ඔබ සිනමා විචාරකයෙන්ද? නැහැ... මං විචාරකයෙක් කියනවට මං කැමැති නැහැ. චිත්‍රපටයක් බලල අවංකව දැනෙන දේ මං අකුරු බවට පත් කරනවා. ඒ අකුරු ප්‍රබලයි කියල ලැබෙන ප්‍රතිචාර වලින් මට දැනෙනවා. ඔබ විසින් මුල් කාලයේ ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථ කිහිපයකම කවර කලා තරුවල රුවින් ඔපවත් වුණා. ඔව්... මුල් කාලයේ බොහෝ පොත්වල නළු නිළියන් තමයි කවර සැරසුවේ. ඒ කාලේ ඒ අය මගේ හිතවතුන් බවට පත් වුණා. කුඩා කාලේ ඉඳලම ඔබ සිනමාවට ප්‍රියද? අපෝ ඔව්... ඉතිං මං හැම චිත්‍රපටයකම පළමු දර්ශනය නරඹනවා. පෝමේ ඉඳල කොහෙම හරි චිත්‍රපටය බලලම තමයි එළියට එන්නේ. ඒ කාලේ ඉඳලම චිත්‍රපටවලට මං හරිම ළෙංගතුයි. කවුද කැමැතිම නළුවා? ටෝනි රණසිංහයන්ට මං බොහොම ප්‍රියයි. එතුමා පදිංචිවෙලා ඉන්නේ මගේ නිවසට යාබද නිවසේ. ඇත්තටම මා ප්‍රිය කරනම නළුවා මගේ යාබද නිවසේ ජීවත්වීම මට ලොකු ගෞරවයක්. ඔබ කලාකරුවන්ගේ පොත පත ප්‍රකාශයට බාරගෙන තියෙනවා. ඒ කලාවට තියෙන ඇල්ම නිසාද? ඔව්...ජෝ අබේවික්‍රමයන් හෙන්රි ජයසේන වගේ අයගේ පොත් මං ප්‍රකාශයට පත් කරල තියෙනවා. කොහොමද කලා තරු සමඟ තිබුණ සබඳතාව? මං හැම කලාකරුවෙකු සමගම සුහදයි. ගාමිණි ෆොන්සේකා මහත්මයා, විජය වගේ අය මං ඇසුරු කළා. විජය මගේ හොඳ මිතුරෙක් වෙලා හිටියා. ඒ කාලේ ඔහු හිටියේ අපේ ගමේ. ඉස්සර මමයි ආර්. ප්‍රේමදාස මහත්තයයි ගාමිණි ෆොන්සේකා හමුවෙන්න යන්නේ වෙලාවක් වෙන් කරගෙන. ඇත්තටම ඒ අතීතය හරිම මිහිරියි. මං හිතනවා මට ලංකාවේ චිත්‍රපට කලාව වගේම ටෙලි නාට්‍ය කලාවටත් යම් සේවයක් කළා කියලා.
|