|
ගීතයෙන් සහ රංගනයෙන් සිත් සතන් ඇද බැඳ ගත් මොරිස් දහනායක
විජයටත් මම පසුබිම් ගායනය කළාමම මොරිස්ට කැමති වුණේ එයත් එක්ක සිංදුවක් කියන්න තියෙන ආසාවට - මානෙල්
අතීතයේ රැව් දුන් හඬක් ඔස්සේ අපි ගියෙමු. ඔහු 80 වැනි වියට පා තැබුවා පමණි. නාවින්නේ ඔහුගේ නිවෙසට යන විට සැඳෑ සමය ගෙවමින් සිටි මොරිස් දහනායක නම් ජනප්‍රිය ගායකයකු වගේම කාගෙත් සිත් දිනාගත් නළුවා සුපුරුදු සිනහවකින් අපව පිළිගත්තේ අප එනමඟට ඔහුට එන්නට හැකි නම් මෙලෙස පිළිනොගන්නා වැනි හැඟීමක් අප හට ජනිත කරවමිනි. මොරිස් දහනායක යනු මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන ජනප්‍රිය නමකි. එපමණක්ම නොව චිත්‍රපට රැසකට රංගනයෙන්, ගායනයෙන් මෙන්ම සම නිෂ්පාදනයෙන් දායක වූ මොරිස් 2006 දී කලා භූෂණ සම්මානයෙන් සහ කොරියන් රටෙන් පිරිනැමූ සාම තානාපති සම්මානයෙන් පිදුම් ලැබූවෙකි. අද දවසේ නිහඬව සිය නිවෙසේ තම බිරිඳ , දරු මුනුපුරන් සමඟ කාලය ගත කරයි. මෙසේ කාලය ගත කරන මොරිස් නම් අපේ කථානායකයාට ඔහුගේ අතීතය පිළිබඳ මතකය අවදි කරන්නට ටිකක් අපහසුයි. ඒ ඔහු වැඩි කාලයක් නිහඬව, සැහැල්ලුවෙන් කාලය ගත කරන නිසාවෙනි. ඒ අපහසුතා මැඬලමින් ඔහුගේ අතීත තොරතුරු සරසවියට කියන්නට අප සමඟ පිළිසඳරේ යෙදුණි. ක්ෂේත්‍ර ගණනාවක අත්දැකීම් ඇති ඔබ වැනි ප්‍රවීණයන් පිළිබඳව අප පාඨකයන්ගේ දැනුම අල්පයි. ඒ නිසා ඔවුන් වෙනුවෙන් ඔබගේ සියලු තොරතුරු දැනගන්න මවුපියන් කවුද කියන තැන සිට පටන් ගනිමු. තාත්තා ගාල්ලේ දහනායක පරම්පරාවේ. සොලමන් දහනායක මගේ සීයා. අම්මා වැලිගම පොල්වත්තේ සැලීනා කරුණාරත්න වීරමන්. පියා සැම්සන් දහනායක. මට සහෝදර සහෝදරියෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ තමයි අජිත්, රංජිත්, පද්මිණී, රන්ජනී. පොඩි නංගී පද්මිණී දහනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම භාරත නාට්‍ය ශිල්පිනියක්. චිත්‍රපටවලත් රඟපෑවා. කොළඹ දෙමටගොඩ උපන් ඔබ පාසල් ගණනාවකින් අධ්‍යාපනය ලැබුව නේද? ඔව්. මගේ අධ්‍යාපන කටයුතුª ආරම්භ කළේ මියුසියස් විද්‍යාලයෙන්. ඊට පස්සේ කොළඹ ආනන්ද, බැද්දේගම ක්‍රියිස්ට් චර්ච්, යාපනයේ ශාන්ත ප්‍රැටි‍්‍රක්, ගාල්ලේ ශාන්ත ඇලෝසියස්, කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා සහ කොළඹ වෙස්ලි විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබුවා. මෙතරම් පාසල් ගණනාවක අධ්‍යාපනය ලැබුවේ? මගේ දඟ වැඩ නිසා තාත්තා දුන්න එක් දඬුවමක් තමයි මේක. පාසල් කාලයේ අමතක නොවන සිදුවීම් ඇති නේද? කොල්ලොත් එක්ක ගහගෙන ඇති වාර අනන්තයි. 40 දශකයේ විතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ශාලාවකට ගිනි තිබ්බා. පාසල් තාප්පය පෙරළිලා ළමයෙකුත් මැරුණා. ගෙදර අය මේ සිද්ධියට හොඳටම බය වෙලා. හැබැයි මේ සිද්ධිය වෙන කොට මම හිටියේ නිව් ඔලිම්පියා හෝල් එකේ පික්චර් ඒකක් බලමින්. මේක තාත්තට ආරංචි වෙලා තාත්තා මාව ගාල්ලේ පාසලකට දැම්මා. අපි ඔබේ කලා ජීවිතය පැත්තට නැඹුරු වෙමු. පාසල් කාලයේ සිට ගීත ගායනා කළ ඔබ 1950 දශකයේ ගායන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ අයෙක් නේද? සුසිල් ප්‍රේමරත්න නිසා ගුවන් විදුලි වැඩසටහන්වල සහාය ගායකයෙක් වුණා. මේ කාලේ ඉන්දියාවේ සිට පැමිණි රතන් ජංකර් පඬිතුමා පැවැත් වූ ගුවන් විදුලි ගායක ගායිකා පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියේ ගායකයකුª ලෙස තේරුණා. එදා මම මුලින්ම කිව්වේ උපාලි අත්තනායක ලියූ රිදී චාන්දනියේ ගීය. ඔන්න ඕලු මලක් නිල් දිය මත පාවෙලා, සුදෝ පොඩ්ඩක් අඬන්න, මෙත් මල් පිබිදේවා, මුහුදු වෙරළට එන්න, රස මිහිරි කතා, සිඟිති සිනා සුදාගේ මුහුණේ, රූ රැසේ අඳීනා ලෙසේ, මුතුªමිටක් පිරී ඇත්තේ, බැඳිලා ප්‍රේම බැම්මේ, රන්කිරි ගාපු කටේ මං ගායනා කරපු මේ ගීත අදටත් ජනප්‍රියයි. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 50 කටත් වැඩියි. දැනට සිංදු හාර දාහක් විතර කියල තියෙනවා. කැසට් දෙකක් කළා. ඒ කාලේ ග්‍රැම්ෆෝන් තැටිවලටත්, ෆිලිප්ස් තැටි 8 කටත් සිංදු කිව්වා. කාගිල්ස් එක මට ආරාධනා කළා එච්. එම්. වී. තැටියක් කරන්න. ඒකට කරු අයියා ලියූ බැඳීලා ප්‍රේම බැම්මේ, උපාලි අත්තනායක ලියූ රිදී චාන්දනියේ ගීත ගැයුවා මතකයි. අද වගේ නෙවෙයි ආධුනික පැයේදී අපේ සිංදු අපි කිව්වම අපට ලැබුණේ බුෂප් කෝපි පැකට් එකක් විතරයි. අද වගේ එදා ස්ටාර්ස්ලා නැහැ. ගායකයෙක් වෙන්න අද වගේ ලෙහෙසිත් නැහැ. අද එක සිංදුවක් විද්‍යුත් මාධ්‍යයෙන් ගායනා කළාම ඔහු ගායකයෙක්නේ. අද බොහොම චැනල්වල ස්ටාර්ස්ලා තෝරනවා. ඒ අයට කෝටි ගණනින් තෑගි දෙනවා. හැබැයි ඒ අය තරගෙන් දිනන්නේ අපේ සිංදු කියලා. එහෙම එන අයගේ සිංදු පැවැත්මක් නැහැ. මොකද ස්ටාර්ස්ලා වෙන්නේ අපේ සිංදු කියලනේ. මේ ගැන දුකක් නැහැ. තියෙන්නේ සතුටක්. මොකද අපේ සිංදු අදටත් ජීවමානයි කියල හිතෙන නිසා. 1954 දී පමණ ගායන ක්ෂේත්‍රයට පිවිසි ඔබ චිත්‍රපට රංගනයටත් යොමු වුණා නේද? සයිමන් මරවනාගොඩ නිසා තමයි නළුවෙක් වෙන්න අවස්ථාව උදා වුණේ. මම පළමුවෙන්ම රඟපෑවේ පාරාවළලු චිත්‍රපටයේ පොලිස් පරීක්ෂකවරයෙක්ගේ චරිතයක්. ඊට පස්සේ උන්නත් දාහයි මලත් දාහයි, ලස්සන කෙල්ල, ප්‍රවේසම් වන්න, ඔන්න මාමෙ කෙල්ල පැනපි, ඔන්න බබෝ බිල්ලෝ එනවා, ජීවන ගීතය, ආදරේ හිතෙනව දැක්කම, හිතුවක්කාරයෝ, හොඳම වෙලාව, රහසක් නැති රහසක්, ඉන්ස්පෙක්ටර් ගීතා, නැව ගිලුණත් බෑංචූං, අම්මයි දූලා දෙන්නයි. චිත්‍රපට 20 කට වැඩිය රඟපෑවා. හිතුවක්කාරයෝ චිත්‍රපටයේ පෙම්වතෙක්ගේ චරිතය රඟපෑවා. අනෙක් හැම චිත්‍රපටයකම දුෂ්ටයාගේ චරිතය තමයි රඟපෑවේ. ඉන්ස්පෙක්ටර් ගීතා චිත්‍රපටයේ සම නිෂ්පාදක ලෙසත් කටයුතුª කළා. දුෂ්ට චරිත රඟපෑවත් මම සැබෑ ජීවිතයේදී දුෂ්ටයෙක් වුණේ නැහැ. රංගන දිවි ගමනේ මතක සටහන් බොහොමයක් ඇති? දවසක් ලෙනින් මොරායස් මට හරි වැඩක් කළා. එක චිත්‍රපටයක ටෝනි මට කම්මුල් පහරක් ගහන දර්ශනයක් තිබුණා. මේක හරියට ආවේ නැහැ කියලා 15 සැරයක්ම ටෝනිට කියලා මට ගැස්සුවා. ටෝනි දැනගෙන ඉඳලත් නැහැ මේකෙ යට තිබුණු කෛරාටිකකම. මමත් දැනගත්තේ ලයිට් වැඩ කරපු ළමයෙක්ගෙන්. ‘ටේක්’ තුනකින් වැඩේ ඉවරයි. ඉතිරි ටික ගස්සලා තියන්නේ කැමරා ඕෆ් කරලයි. නළුවෙක් විදිහට විජය, ටෝනි, මාලිනී, ජෝ වගේ අය එක්ක හරිම විනෝදයෙන් කාලය ගත කළා. ඒ කාලේ ක්ෂේත්‍රය මේ වගේ සංකීර්ණ නැහැ. හරිම සැහැල්ලුවෙන් වැඩ කළේ. අපි හරිම එකමුතුයි. ඒ කාලය කවදාවත් අමතක වෙන්නේ නැහැ. අනෙක තමයි ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයේ ‘මුතු මිටක් පිරී ඇත්තේ’ කියන ගීතය මම විජය කුමාරතුංග වෙනුවෙන් පසුබිම් ගායනය කළා. ඒක අමතක නොවන අත්දැකීමක්. වෘත්තීය නළුවෙක් නොවුණේ ඇයි? මේ කාලේ මම වැඩ කළේ රක්ෂණ සංස්ථාවේ. විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් හැටියට වසර 30 ක් පමණ වැඩ කළා. ඊට පස්සෙත් නොයෙක් ආයතනවල අධ්‍යක්ෂක මංඩල බොහොමයකම කටයුතු කරන්න හැකි වුණා. ඒ නිසා මට උවමනාවක් තිබුණේ නැහැ වෘත්තීය නළුවෙක් වෙන්න. මට අඬ ගැහැව්ව, මම රඟපෑවා. එච්චරයි. ඔබේ සමකාලීනයන්? මගේ සමකාලීනයන්ගෙන් අද ඉන්නේ හරුන් ලන්ත්‍රායි, මමයි, ආර්. ශිවනන්දන්, ඇන්ටන් ජෝන්ස් වගේ කීප දෙනයි. ගොඩක් අය නැති වෙලා. සී. ටී. ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරා, ෆේරඩී සිල්වා, ජෝතිපාල, අපි ඔක්කොම එකටමයි හිටියේ. ඒ අවදිය හරිම විනෝදජනකයි. අපි හැමෝම හවසට සිරිල් ඒ. සීලවිමල අයියගේ සිංදු කාමරයට සෙට් වෙනවා. ඒකෙදි සිංදු කිය කිය පොඩි අඩියක් ගහලා, කබරය දාගෙන නිදා ගන්නවා. හරිම විනෝදයි. ඔබේ බිරිඳ රූප සුන්දරියක්. ඔබ ආදරය කර විවාහ වූ අයෙක් නේද? ඔව්. ඇය 60 දශකයේදී කුරුණෑගල නගර ශාලාවේ පැවැත් වූ රූප සුන්දරී තරගයකින් ජය ගත්තා. මගේ බිරිඳ අනුලා මනෙල් අතුකෝරාල. නුවර ට්‍රින්ටි විදුහලේ තිබුණු සංගීත සාජ්ජෙකදී හමුවුණේ. ‘පායන්න සීත රාත්‍රියේ ඔබ පුන්සඳ වූදා’ කියන ගීය තමයි මම එහෙදී ගායනා කළේ. දර්ශනයෙන් පස්සේ කෙල්ලො සමරු පොත් දිගු කළා. අද මගේ බිරිඳ මානෙලුත් එදා සමරු පොතක් දුන් කෙනෙක්. ඊට ටික කාලෙකට පස්සේ මෙයා කුරුණෑගල එස්. පී. ළඟ ලේකම් හැටියට වැඩ කළ කාලයේදී තමයි අපේ ආදරය පටන් ගත්තේ. වසර 6 ක් විතර දැන හඳුනගෙන තමයි අපි විවාහ වුණේ. උත්සවය තිබුණේ නුවර ක්වීන්ස් හෝටලයේ. අත්සන් කළේ විජයානන්ද දහනායක හා ෆීලික්ස් ආර්.ඩයස් බණ්ඩාරනායක මහත්වරු. ගාමිණී ෆොන්සේකා මහත්තයා සුමිත්‍රාත් එක්ක අපේ විවාහ උත්සවයට ආවා. මානෙල් මහත්මියගෙන් මෙවන් ප්‍රශ්නයක් අසන්නට සිතුණා. ජනප්‍රිය ගායකයෙක් වගේම නළුවෙක් වූ මොරිස්ව විවාහ කරගන්න හිතුවේ ඇයි? ටික කාලයක් අපි ඇසුරු කළා. ඒ කාලය තුළදී මට හැඟුණු දෙයක් තමයි මෙයා ප්‍රතිපත්තියක් ඇති ඉදිරි දැක්මක් ඇතිව කටයුතුª කරන අයෙක් බව. ඒකට මම කැමැතියි. ඒ වගේම මෙයාට හොඳට සිංදු කියන්න පුළුවන්. එදා පාසල් යන කාලයේ ඉඳල මගේ හිතේ තිබුණේ මෙයත් එක්ක සිංදු කියන්න. ඒ සිහිනයත් සැබෑ කරගන්න පුළුවන් නිසා මෙයාට මම කැමැති වුණා. මෙයා මාව බලන්න කුරුණැගලට එන හැම පාරම මම ඇහැව්වේ කවදද මාත් එක්ක සිංදු කියන්නේ කියලා. මෙයත් කියනව හරි හරි අපි සිංදු කියමු කියලා. අපි විවාහ වුණාම හරි අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවත් තවම නම් බැරි වුණා. ඒ ගැන දුකක් නැහැ. මේකට අපට ඇත්තටම ඉඩක් නොලැබුණේ අපේ රාජකාරි ජීවිතය බොහොම කාර්යයබහුල වුණු නිසයි. මම ගොඩක් තැන්වල වැඩ කරලා අන්තිමට වැඩ කළේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාර්යාලයේ පෞද්ගලික සහකාර ලේකම් වශයෙන්. දැන් විශ්‍රාම සුවයෙන් මෙයත් එක්ක සතුටින් ජීවත් වෙනවා.
ඔබ දෙපළ විවාහ වෙලා දැන් වසර 48 ක් විතර වෙනවා. ඔබේ දරුවන් ගැනත් කියමු. මොරිස්ගේ ඇරයුම මානෙල්ට මේ ගැන කියන්නයි. ඡන්න අනුර සහ සංජීව වත්සල පුත්තු දෙන්නම විවාහකයි. දෙදෙනාම රාජකීය විද්‍යාලයේ ඉගෙන ගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියා. දැන් ලංකාවට ඇවිත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැලී සිටිනාව. ලොකු පුතාට (එරන්දි මහේෂිකා මොරිස්) දුවෙක් ඉන්නවා.පොඩි පුතාට (යසද දිල්සර මොරිස්) පුතෙක් ඉන්නවා. මෙයා අපිත් එක්ක ඉන්නේ මේ වසරේ රාජකීය විද්‍යාලයට යන්නයි. හරිම දඟයා. මෙයාගේ වැඩ කටයුතු කරන කොට කාලය ගත වෙනවා තේරෙන්නේ නැහැ. අපිට ලැබුණු දුවල දෙන්නත් හොඳයි. මේ හැම දෙනාම අපි ගැන සොයා බලනවා. අපි අපිට කරන්න පුලුවන් විදිහට අපේ දරුවන්ට හොඳට ඉගැන්නුවා. මෙයා විනෝද වැඩ කළා වගේම අපිට මේ කාලය එන බව දැනගෙන බොහොම සකසුරුවම්ව වැඩ කළා. ඒ නිසා අපි අපේ පවුලේ සැවොම කාටත් අත නොපා බොහොම සතුටෙන් කාලය ගත කරනවා. ඔබ ඔබ වෙනුවෙන් නොව කලා පරපුරක් වෙනුවෙන් පෙනී සිටි අයෙක්. ඒ නිසා කලා ජීවිතයේ පෙරළිකාර චරිතයක් කිව්වොත් මා නිවැරදියි නේද? ඔව් මට මතක හැටියට 1968 දී ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානියා නෙවිල් ජයවීර, ප්‍රේමදාස මහත්තයා උප ඇමැති. එයා නීතියක් ගෙනාවා ගොවි ගීත 3 ක් කියන්න කියලා ශිල්පීන්ට බල කළා. මේක ඉල්ලීමක් නෙමෙයි නියෝගයක්. මම ඒකට බෑ කිව්වා. මාව ගුවන් විදුලි වැඩ සටහන්වලින් අයින් කරන්නත් හැදුවා. එදා ලේක්හවුස්, ටයිම්ස් පත්තර මේ සිද්ධියට අති විශාල ප්‍රචාරයක් දුන්නා. මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙත් තියෙනවා. ඊට පස්සේ මට ලැබුණු පළමු වැඩ සටහනේදීම මම ගායනා කළේ ප්‍රේම ගීත තුනක්. මම ගායකයෙන් වගේම නළුවෙක් තමයි. හැබැයි කොන්ද කෙලින් තියාගෙන වැඩ කළා. වසර 50 කටත් වැඩි කලා ජීවිතයේදී ඔබට මුණ ගැසුණු මතකයේ රැඳුණු නම් ඇති. ඒ අය ගැන කිව්වොත්? අප්පෝ බොහොම අය ඉන්නවා. විශේෂයෙන් නැසීගිය තේවිස් ගුරුගේ, ලිවිව් විජේමාන්න, කරුණාරත්න සහ චිත්‍රානන්ද අබේසේකරයන්ගෙන් ලද අසහාය සහයෝගයට ස්තුති කළ යුතුයි. මොරිස් නම් අසහාය ජනප්‍රිය පුද්ගලයාගේ ජීවිත කතර සාර්ථක කර ගන්නට එදා සිට අදත් සෙවනැල්ලක් වූ බිරිඳ මානෙල් අපගේ මේ සාකච්ඡාවට විටින් විට පැමිණ අතීතාවර්ජනය සඳහා උපකාරී නොවුණා නම් මේ සාකච්ඡාව සාර්ථක කර ගන්නට නොහැකි වේ යැයි මා හැඟීමයි. මොරිස් දහනායකයන් පිළිබඳව ලියන්නට තොරතුරු බොහොමයි. නමුත් ඉඩ අල්පයි. මේ සාකච්ඡාවෙන් ඔබව දැනුවත් කරන්නට උත්සාහ ගත්තේ ප්‍රසිද්ධිය එක් රැයකින් නොසොයන, මුදල් පසුපස හැල්මේ නොදුවන, ප්‍රතිපත්තියක් අනුව ඉදිරි දැක්මකින් කටයුතු කළොත් සැඳෑ සමය සතුටෙන් ;ගවා දමන්නට හැකිවේවි යන්න පසක් කරලීමටයි.
|