වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් හොරේෂස් සිහිමුර්ජා වූ හැටි

සුනිල් හොරේෂස් සිහිමුර්ජා වූ හැටි

දස වසරක් සරසවිය සමඟ මතක සටහන් තැබූ ප්‍රවීණ මාධ්‍යවේදිනී ලතා බොතේජු

සරසවිය සම්මාන උළෙල කියන්නේ අපේ මංගල්‍යයයි. ග්‍රැන්විල් සිල්වා මහතාගේ කාලයේ නැවතත් ඇරැඹුණු සරසවිය සම්මාන උළෙලේ මුල්ම සම්මාන උළෙල සඳහා මට ද සහභාගිවීමට ලැබිණි. යුනි ලීවර් සමාගම අනුග්‍රාහකත්වය ලබා දී තිබූ ඒ සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය සදහා වේදිකාවට සම්මාන රැගෙන ආවේ මාත්, දීප්ති ෆොන්සේකාත්ය. රීගල් සිනමා ශාලාවේ පැවැත්වෙන චිත්‍රපට සතිය ද හරිම අපූරුය. එවිට ලේක්හවුස් ආයතනයත් රීගල් සිනමා ශාලාවත් අපේ ගෙදර බඳු විය.

සැන්දෑවේ ආරාධිත නළු නිළියන් සමඟ පැවැත්වෙන චිත්‍රපට දර්ශනය අති අලංකාරය. රීගල් සිනමාහලත් ඒ අවට ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතත් ජනයාගෙන් පිරී ගොස්ය. මුළු සිනමා ශාලාවම ලක්ස් සුවඳින් සුවඳවත් වෙලාය. අපිවත් ඒ් සුවඳින් නෑවිලාය. රීගල් සිනමා ශාලාවේ පැවැත්වෙන චිත්‍රපට සතියේ ඡායාරූප ද රැගෙන ලේක්හවුස් ආයතනයට දුවන අපි ඒවා පසුදා පිට වෙන පත්තරවලට දෙන අතරේ ඒ සතියේ පිටවන සරසවිය පුවත්පතට අන්තිම මොහොතේ එක් කළේය.

චිත්‍රපට සතිය පුරාවට ඒ ඒ චිත්‍රපටවල නිෂ්පාදකවරුන්ගෙන්, අධ්‍යක්ෂවරුන්ගෙන් නොවැරැදීම සිනමා ශිල්පීන්ටත්, කර්තෘ මණ්ඩලයටත් සාද පැවැත් වේ. සරසවිය මහා මංගල්‍යයදාටත් එසේමය. එදාට නොවැරැදීම ග්‍රැන්විල් සිල්වා මහතාගෙන් ද සාදයක් සංවිධානය විය. පුංචි දරුවන් මවුපියන්ගෙන් කෑම ඉල්ලන්නාක් සේ අපි ග්‍රැන්විල් මහතාව වට කර සතුට වෙනුවෙන් කෑම ඉල්ලන්නේ තරගයටය. එක් කෙනෙක් අයිස් ක්‍රීම්. තව කෙනෙක් ආප්ප, තව කෙනෙක් බත්. මේ ආකාරයෙන් අපි ඉල්ලුවත් නැතත් ග්‍රැන්විල් මහතා සම්මාන උළෙල අවසානයේ අපිට විශාල සංග්‍රහයක් කරනවා විතරක් නොව සෑම කෙනාම තමන්ගේ නිවසට ආරක්ෂා ඇතුව යාමට අවශ්‍ය වාහන පහසුකම් ද ලබා දෙන්නේය.

දීප්ති හා මම සිනමා සතියේ පුරාවට ඇඳීමට අලුතෙන්ම ඇඳුම් හතක් මැස්සවීමු. ගග්‍රචෝලි ඇඳුම් ඒ අතර ප්‍රධාන විය. මහා මංගල්‍ය දවසට මාත් දීප්තිත්, බුදුසරණ පත්තරයේ සිටි මිතුරියක වූ ප්‍රමෝදිත් නළු නිළියන්ට වඩා සැරසෙන්නට උනන්දු වීමු.

එදා සරසවියේ සිටි බොහෝ දෙනාගේ දුක්ගන්නා රාල වූයේ මාය. මම අනුන්ගේ ප්‍රශ්න මගේ කොට විසඳුම් සෙව්වේ අපේ සමීප සබැඳියාව නිසාමය. සුනිල් හොරේෂස් කිසි දිනෙක ස්ථිර සේවකයෙක් වීමට උත්සාහ නොගත්තේය. ඔහු නිදහස් ලේඛකයකු ලෙස සරසවියේ කටයුතුª කරනු ලැබිණි. ළමා වියේදී මවුපියන් අහිමි වූ ඔහු ගත කළේ හුදකලා ජීවිතයකි. නතරව සිටියේ බෝඩිමකය.

සුනිල් දිනක් සවස සරසවිය අසල වැටී ඔළුව වැදී ලේ ගලමින් සිහිමුර්ජාව සිටි හෙයින් ඒ වන විට සියල්ලෝ සේවය නිමා කොට නිවෙස් බලා ගොස් සිටි බැවින් ද වැටී සිටි සුනිල් දුටු ආරක්ෂක අංශය වහා ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේය. ඒ අවධියේ අද මෙන් දුරකථන පහසුකම් ද නොවීය. පසුදා උදේ වැඩට පැමිණි මා මුලින්ම දුටුවේ සරසවිය අසල ගලා ගිය ලේ ගොඩකි. කරුණු දැනගත් මා හනික දිව්වේ ජාතික රෝහලටය. මා යන විටත් සුනිල්ට සිහියක් නොතිබිණි. ඒ වන විට ඔහු ශල්‍යකර්මයකට සුදානම් කර තිබුණි. වෛද්‍යවරු, මෙයාට සීරියස්. අපි දැන් හිසේ ඔපරේෂන් එකකට ගන්නවා. ඒකට කැමැත්ත පළ කරලා මේකට අත්සන් කරලා දෙන්න යැයි වෛද්‍යවරු මට පැවසූහ. මට සිදු වූයේ ජීවිතයත්, මරණයත් අතර සිර වී සිටි ඔහුව බේරා ගැනීමේ තීරණාත්මක ශල්‍යකර්මයට පවුලේ ඥාතියකු ලෙස අත්සන් කිරීමටය. සිහියක් නොමැතිව සිටි හොරේෂස් සුදු වතින් සැරසී හිස මුඩු කොට ශල්‍යාගාරයට ගෙන යද්දී මා කඳුළු සලමින් ඒ පසුපස ගියෙමි.

එතැන් පටන් සුනිල්ට අවශ්‍ය සියලු දෑ රැගෙන මා රෝහලට ඔහු බැලීමට ගියෙමි. ඔහුගේ ඇඳුම් පවා ගෙදර ගෙන ගොස් සෝදා ගෙනැවිත් දුනිමි. දින කීපයක් රෝහලේ ගත කරන විට ඔහු ක්‍රමයෙන් සුවය ලැබූ හෙයින් ටිකට් කපා නිවසට යාමට අවසර ලැබිණි. දිනක් මා ඔහු බැලීමට යන විට සුනිල් ඇඳේ වාඩි වී කකුල් දෙක සොලවමින් සිටියේය. මා දුටු සුනිල්, ආ ලතා මගේ ටිකට් කැපුවා. ක්ලිනික් එකට එන්න කියලා ඩේට් වගයකුත් දුන්නා. පරෙස්සම් වෙන්න කිව්වා. සුනිල් කියාගෙන ගියේය. එහෙනම් සුනිල් අයියා බෝඩිමට යනවද? නෑ මං යන්නේ ලතාලගෙ ගෙදර. ඔහු ගාණක් නැතිව පැවසුවේය. අන්තිමට මගේ සැමියාගේද අවසරය සහිතව සුනිල් නිරෝගී වනතුරුම අපේ නිවෙසේ නතර විය.

සිනමා පත්තරකාරයා ඉටිපන්දමක් වැනිය. අනුනට ආලෝකය දී තමන් දැවී යන කෙනෙකි. මේ සුනිල්ගේ ආප්තෝපදේශයක් විය. සුනිල් හොරේෂස් ඒ අයුරින්ම අන් අයට ආලෝකයක් දී පසු කලෙක රිය අනතුරකින් සදහටම අප අතහැර ගියේය. සුනිල්ට මා කළ උපකාරයන්ට ඔහු මා වෙත ප්‍රති උපකාරයන් දැක්වූයේ හරි අපූරුවටය. කොහේදී හෝ සුනිල් මා හමුවන ඕනෑම මොහොතක දී තැන කොතැන වුවත් ඔළුව පහත් කර මට ආචාර කිරීමට පුරුදුව සිටියේ මා ඔහුටත් වඩා වයසින් බාල තැනැත්තියක බවවත් නොසිතාය.

බොතේජු නමට මම බොහෝ සේ ගරු කළෙමි. ඒ තාත්තා නිසාය. මගේ සැමියා වූ සරත් විජේසිංහගේ විජේසිංහ නම මගේ නමට ඈදාගෙන රැකියාව කිිරීමට මම අකමැති වීමි. විවාහයට පෙර මා භාවිත කළ ලතා බොතේජු නම විවාහයෙන් පසුව ද මම භාවිත කළෙමි.

පැවරෙන ඕනෑම කාර්යයක් පත්තරය වෙනුවෙන් කිරීමට මම කැපවීමි. රාජකාරියේදී මට වෙලාවක් අවේලාවක් තිබුණේ නැත. සරසවියේ සිටි අපි හැමෝම එකම පවුලක් විය. අපි එකට කෑම බෙදාගෙන කෑවේ මේ සහෝදරත්වයේ එකමුතුව හේතුවෙනි. ගායක ගායිකාවන් පිළිබඳ වැඩි වශයෙන් ලිපි ලියනු ලැබුවේ කැමිලස් පෙරේරාය. හරබර ලිපි රැසක් එවක ලියනු ලැබුවේ රංජිත් කුමාර අතිනි.

ගාමිණී ෆොන්සේකා හැරුණු විට අන් සෑම කෙනෙක් පිළිබඳවම මම සරසවියට කතාබස් කොට ලිපි ලියා ඇත්තෙමි. ගාමිණී ෆොන්සේකා සමඟ සාකච්ඡා සඳහා යාමට මා තුළ බියක් ද තිබිණි. ඔහු පිළිබඳ මා අසා තිබූ කරුණු කාරණා එයට හේතුª විය. ගාමිණී ෆොන්සේකා සමඟ ගනුදෙනු කරමින් ඔහුගේ ලිපි වැඩි වශයෙන් ලියනු ලැබුවේ රංජිත් කුමාරය. සරසවියේ තිබූ පාඨක නිර්මාණයන් සංස්කරණය කළේ මාය. හින්දි භාෂාව පිළිබඳ හොඳ දැනීමක් තිබූ විවේකා සමරසිංහ භාරත නළු නිළියන් පැමිණි විට සරසවිය වෙනුවෙන් සාකච්ඡාවන් සඳහා ගියාය.

සරසවියේ සිටි කාලයේ රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා දෙපළගේ නිවෙස්වල තිබූ සාදයන් අමතක නොවන සුන්දර අත්දැකීම් එක්කළ සාද දෙකක් විය. මාත්, දීප්තිත් හරි හරියට ගී ගයමින් නටමින් රැය පහන් වනතුරු විනෝද වූ හැටි අද විවේක සුවයෙන් දිවි ගෙවන මට සුන්දර මතක සටහන්ය.

මතු සම්බන්ධයි