|
|||||||||
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ...
වෙන්වීම දුකකි. ප්‍රියයන් වෙන් වීම ඊටත් වඩා දුක් දොම්නස් රැසක් ඉතිරි කරන්නකි. යළි නොඑන්නටම නික්ම යාම සදාකාලික වේදනාවකි. අපේ නිළි රැජන පසුගියදා ඒ වේදනාව හදවතට තුරුලු කර ගත්තේ තමාගේ වැඩිමහල්ම සොයුරා මෙලොව අතැර නික්ම යාම සමඟය. ඒ මතකය ආදරණීය මිහිරි මෙන්ම අර්ථවත් වූ එකකි. මේ තමාගේ වැඩිමහල් සොහොයුරා දයානන්ද ෆොන්සේකාගේ නික්ම යාම පිළිබඳවත් ඒ ඉමිහිරි මතක පිළිබඳවත් මාලිනියගේ සිතෙහි අවධි වූ සිතිවිලි අහුරකි. එකොළොස් දෙනකුගේ පවුලේ වැඩිමල්ම දරුවා. ඒ තමයි අපේ ලොකු අයියා. පවුලේ වැඩිමලා වුණු නිසාත් පරම්පරාවේම පළමුවෙනි මුනුපුරා වුණ නිසාත් අයියට තිබුණෙ සුන්දරම සුන්දර ආදරෙන් පිරිල ඉතිරිලා ගිය ළමා වියක් කියල මට දවසක් කිව්වේ අපේ අම්මා. හැමෝගෙම ආදරේ මැද හැදුන ලොකු අයියාට අපේ අම්ම කිව්වේ ‘උක්කුවා’ කියලා. පස්සේ කාලෙ ගෙදර හැමෝටම කතා කරන වෙලාවෙදි මුලින්ම ඇහුණෙ ‘උක්කුවා’ කියන නම. ලොකු අයියා පුංචි කාලෙ ඉඳලම සංවර, ශාන්ත, ඒ නමුත් කෙළි සෙල්ලමට පි‍්‍රිය චරිතයක් වුණා. ගෙදර අනෙක් දහ දෙනාගෙම හිත අරන් එයා අපට ඇත්තටම ලොකු අයියා වුණා. කවරදාකවත් කොයි මොහොතකවත් අපේ පුංචි හිත් රිද්දන්න ලොකු අයියා ක්‍රියා කළේ නැහැ. අපේ පුංචි රණ්ඩු සරුවල් අඬ දබරවලට නිතරම විසඳුම් හෙව්වෙත් ලොකු අයියා. ඉස්කෝලෙ යන කාලේ අයියා ජනප්‍රිය චරිතයක්. හැමෝම අතර හොඳ හිත තියාගෙන ඔහු ගත කළ ජීවිතය හරිම සාමකාමීයි. ඒ වගේම අයියා තමයි ඉස්කෝලේ හිටිය පිළිවෙළම පිරිමි දරුවා. ගෑනු ළමයි එයා දිහා බැලුවාම අපි ඒ නම් කියලා විහිළු කරනවා. ගොඩක් යාළුවෝ එයාට කිව්වේ දේව් ආනන්ද් කියල. ඉස්සර එයා ළිඳ ළඟට ගිහිං මූණ සෝදලා මුළු ඔළුවම වතුරෙන් තෙමනවා. ඊට පස්සේ බිල් ක්‍රීම් ගාල බම්ප් එක තියලා ඔළුව පීරනවා. අපි ඒවා දිහා බලන් උන්නේ සහෝදර සෙනෙහසින්. ගුරුකුල විද්‍යාලයේ ජනපි‍්‍රය චරිතයක් වුණේ අයියා. ඔහුගේ ජීවිතයේ තිබුණු පිළිවෙළ නිසාම ගුරුවරුත් ඔහුට හරිම ආදරේ කළා. මෙහෙම කාලයක් ගත වුණා. තාත්තට පස්සේ අපේ ගෙදර රස්සාවකට ගිය මුල්ම කෙනා වුණේ එයා. ඒ දවස්වල පඩි ගත්තම එයත් ගෙදර වියදමට සල්ලි දුන්නු හැටි මට අද වගේ මතකයි. අයිය වැඩ කළේ රජයේ මුද්‍රණාලයේ තාත්තා යටතේ. මේ කාලෙදි අපේ ගෙදර කලාව ගැන කතා බහ ආරම්භ කළ කාලය. එයා තමයි ඉස්සෙල්ලම අපිට චිත්‍රපට ගැන කියල දුන්නෙ. අයියා නිතරම චිත්‍රපට ගැන නළු නිළියෝ ගැන අපට කියනවා. ඔන්න ඔය කාලේ අයියා ගෙදරට සිනමා පත්තරත් අරන් එනවා. එයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. පොත් හදලා නළු නිළියන්ගේ පින්තූර අලවලා එයා පොතක් නඩත්තු කළා. ඒ කපල ඉතුරුවන පත්තර කෑලි ටික මං වෙනම පොතක අලවන්න පුරුදු වුණා. මං කලාවට ආදරය කරන්නට මෙතරම්ම පෙළඹුණේ ලොකු අයියා නිසා. ඒ වාගේම මේ ගමන ලොකු අයියා නැත්නම් වෙනස් වෙන්නට තිබුණා. මං චිත්‍රපටවලට තෝර ගත්තම ගෙදර තිබුණේ වෙනස්ම තත්ත්වයක්. යවනවද නැද්ද ඔය ප්‍රශ්නෙ තමයි ගෙදර ඒ දවස්වල තිබුණු ලොකුම ප්‍රශ්නය. ජෝ අයියලා (ජෝ අබේවික්‍රම) ගෙදර සාලෙ චිත්‍රපට ගැන කතා කරද්දී ගෙදර කුස්සියේ තවත් කතාවක් මං ගැන. මේ වෙලාවේ අයියා තමයි පෙරමුණ අරන් වැඩ කළේ. නෑ . . . නංගිව චිත්‍රපටවලට යවන්නම ඕනේ කියලා. ඔන්න දවසක් රසම සිද්ධියක් වුණා. පුංචි බබා පළමුවෙනි දවසේ ජෝ අයියා මගෙන් ඇහුවා ස්ටුඩියෝ එකකට ගිහිං තියෙනවද කියලා. මං උත්තර දුන්නා ඔව් කියලා. ජෝ අයියත් ටිකක් වික්ෂිප්තව බැලුවා. මොකක්ද ස්ටුඩියෝ එක කියලා ඇහුවා. මං කිව්වා ආර්. ටී. කියලා. ඒ වුණාට මං කවදාවත් ආර්. ටී. එකට ගිහිං නෑ. මං අහල තියෙනවා ලොකු අයියගෙන් ආර්. ටී. කියල චිත්‍රාගාරයක් තියෙනවා කියලා. ඒ වගේ එයා කියපු දේවල් මගේ හිතට තදින් කා වැදුණා. හැමෝටම හොරෙන් අයියා පෙම්වතියක් හොයාගෙන තිබුණා. ඒ තමයි නිමලා කුලතුංග. වසර දහයක ප්‍රේම සබඳතාවයට ගෙදරින් පුංචි පුංචි විරුද්ධකම් ආවා. ඒ වෙලාවෙ මං තමයි එයාගේ පැත්තට කතා කළේ. අයියගෙ පෙම්වතිය මම උපන් අවුරුද්දේ, ඒ මාසේ, ඒ දවසේ මට පැය පහකට ඉස්සර වෙලා උපන් කෙනෙක්. ඒ නිසා නිමලා අක්කා කියලා කතා කරන්න මට හැකි වුණා. එයා තමයි අපේ ගෙදරට ආ හොඳම නෑනා. අවසන් මොහොත දක්වාම නිමලා අක්කයි අයියයි හිටියේ ඉඳිකට්ටට නූල වගේ. අයිය ඒ තරමට අක්කට ආදරේ කළා. ඒ හැම ආදරණීය හැඟීමක්ම නවතලා අයියා අපිව දාලා යන්න ගියා. ඒ බැඳුණු හැඟීම වචනවලට පෙරලන්න බැහැ. ඇත්තමයි . . . ඒ මතකය එදාට වඩා අද ඉමිහිරියි . . . ඔබ නැති ජීවිතය අමිහිරියි අයියේ . . .
|
|||||||||