2012

වසරක් ගෙවී තව වසරක් ඇරැඹිණ. හැම අවුරුද්දක්ම අපට නැවුම් බලාපොරොත්තු රැසක් පොදි බඳීන්නට අවකාශ ලබාදෙයි. එහෙත් බොහෝවිට සිදුවන්නේ මාසයක් දෙකක් ගත් වෙත්ම තවත් පැරැණි අවුරුද්දක් බවට අලුත් අවුරුද්ද පත්වීම ය. අපේ සිතුම් පැතුම් සියල්ල පැරැණි පුරුදු නම් කෝවක හැඩයට නිර්මාණය වීම ය.

2012 එලෙස නොවන සැබෑ අලුත් අවුරුද්දක් වනු ඇතැයි මම සිතමි.

පසුගිය වසරේ අවසන් දවසේ අවසන් හෝරාව මා ගත කළේ සුන්දර සාදයක ය. සුන්දර සාදයක් යැයි මා නම් කරන ලද්දේ බොහෝ සාදවල ගත කරන කාලය මට බොහෝ සෙයින් නීරස යැයි හැඟෙන බැවිනි.

එබැවින් සාදයක ගත කරනවාට වඩා මා කැමැති සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නරඹන්නට ය. නැත්නම් ගෙදර යන්නට ය. මේ සාදයට මා ගියේ දිගු කලකින් හමු නොවුණු සොඳූරු හිතවතුන් රැසක් එහි සිටින වග ලද ආරංචිය නිසා ය. සාදය පැවැත්වූයේ නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී ය. එහි සංවිධායිකාව වූයේ මාලනී වීරමුනි ය.

බුද්ධි කීර්තිසේන යුවළ මෙන්ම බුද්ධදාස ගලප්පත්ති, ටී. අර්ජුන, නාලන් මෙන්ඩිස් ඇතුළු හිතවතුන් කිහිප දෙනෙක්ම එහි සිටියහ.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයකු වූ තිලක් ඉද්දමල්ගොඩ මහතාණන් පැරැණි වේදිකා ගී පෙළක් ගායනා කරන ලද්දේ අප සිත් සතන් පුබුදුවමිනි. එහෙත් මා මේ සඳහන කරන්නේ එම සාදය මත්තෙහි මා දුටු අපූරු සිදුවීමක් සිහිපත් කරන්නට ය. ඒ යොවුන් තරුණ තරුණියන් පෙළක් එහි අතිශය ජනප්‍රිය වේදිකා ගීත ගායනා කරමින් රැඟ ® අන්දම කියන්නට ය.

මෙයින් මාස කිහිපයකට මත්තෙන් කොළඹ පොත් ප්‍රදර්ශනය ඇරැඹුණදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ දී ද මම මෙබඳූ දර්ශනයක් බලා සිටියෙමි. එහි උන්නේ ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍ය පාසලේ දරු - දැරියන් ය.

උන් එදා ගී ගයමින් දුන් රඟ තවමත් අපූරු රසයක් අපට ගෙනාවේ ය. ප්‍රවීණ කිවි හා විචාරක බුද්ධදාස ගලප්පත්තිගේ කනට කොඳූරා විමසුවේ මෙරට තරුණයන් පිළිබඳ දරුණු විචාරයේ නියැලෙන ඇතැමුන් තරුණ පෙළ පිළිබඳ කරන ඇතැම් විනිශ්චයන් ඉඳූරා ප්‍රතික්ෂේප කළ යුතු බව ය.

බුද්ධි අයියා මටත් වඩා තදින් ඒ මතයේ සිටියේ ය.

සිදුව ඇත්තේ තරුණයන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් පිළිබඳ තක්සේරුවක යෙදීමක් නොව වාණිජ තරු ප්‍රවාහයේ ඔවුන් අතර මං කිරීම නොවේ ද යන්න අප විසින්ම විමසා බැලිය යුතු ව ඇතැයි මම සිතමි.

තරු ප්‍රවාහය පිළිබඳ මා දරන අදහස වන්නේ ඔවුන් සැබෑ දක්ෂයන් බවයි. ඔවුන් ඉස්මතු කරන තරු ගුණය පිළිබඳ ද මට දෙවරක් සිතන්නට වුවමනා නැත. එහෙත් වාණිජ අවශ්‍යතා වෙනුවෙන් ඔවුන්ගේ කුසලතාවන් බිළි දීමට වඩා වෙනත් පුළුල් වැඩ පිළිවෙළකට ඔවුන්ගේ හැකියාවන් යොමු කළ නොහැකිදැයි මම සිතමි.

එසේ නොවන්නේ නම් තරු ගුණැති ඇතැමුන් ට ඊළඟ අවුරුදුවල එළැඹෙන තරුවලට ඉඩ දී ආතක් පාතක් නැතිව යන්නට අවශ්‍ය වන්නේ නැත.ඔවුනට දෙපයින් නැඟී සිටින්නට එම ශක්තියම ප්‍රමාණවත් බැවිනි. මේ අතරවාරයේ එස්.එම්.එස් තරුවක් පිළිබඳ අපූරු මතකයක් මගේ මතකයට නැඟේ. වර්තමානයේ සරසවිය කලාකරුවන්ගේ උපන්දින සැමරීම සඳහා දුරකතන අංකය පුවත්පතේ පළ කරයි.

එහෙත් එමගින් තම පුද්ගලිකත්වයට බාධා වන්නේ යැයි සිතන ඇතැම් කලාකරුවෝ එම අංකය පළ නොකරන ලෙස අපෙන් ඉල්ලා සිටිති. එහෙත් රසිකයන්ගේ වදය සොඳූරු එකකැයි සිතන ඇතැම්හු එයට ඉඩ දෙත.ි කෙසේ වෙතත් මේ මෑතක එස්.එම්.එස් නිසාම රට හඳූනාගත්තෙකු අපට පැවසුවේ තම අංකය පළ කිරීමෙන් වළකින ලෙසය. එය තමන්ට වදයක් බවය. එහෙත් මනාප සටනේ දි එස්.එම්.එස් ඉල්ලා ඔහු කී වරක් කන්නලව් කරන්නට ඇතිද?

එළැඹි වසර බැලූ බැල්මට ගිය වසරට වඩා හොඳ බැව් කෙනෙකුට සිතෙනු ඇත. පසුගිය වසර ආරම්භය වනවිට මෙරට සිනමාව තිබුණේ පේ‍්‍රක්ෂකයන් සිනමාහලට ගොඩ නොවදින තත්ත්වයකය. එහෙත් වසරේ මැද භාගය වනවිට තත්ත්වය එහෙම පිටින්ම අනිත් පැත්ත ගැසුණේය. සිනමාහල්වලට සෙනඟ එන්නට පටන් ගත්තේය.

මෙතුවක් සුපිරි වෙළඳ සල්වලට ආයෝජනය කළ ආයෝජකයෝ පවා යළි සිනමාහල්වලට ආයෝජනය කරන්නට තීරණය කළහ. පැරැණි සිනමාහල් රැසක් යළි විවෘත විණ. බිය සැක නැතිව ගෙයින් එළියට බට මිනිසුන්ගේ විනෝදාශ්වාදි මාධ්‍යය ලෙස සිනමාවට යළි ඉල්ලුමක් ඇතිවිණ. එය හැට හැත්තෑව දශකයේ තිබූ සුපිරි තත්ත්වය යළි වගා නොකර ගත්තද සිනමාහලට යන්නට කැමැති පිරිසක් සිටින වග ඉන් පෙන්වා දෙනු ලැබිණ. එය අප මිනිය යුත්තේ රට පුරා නිවෙස්වල පිරි ඩීවීඩී යන්ත්‍ර සංඛ්‍යාව සමඟ රට පුරා විසිරී ඇති සියයට අනූ නමයක් පමණ වන අනවසර වීඩියෝ වෙළඳ සල්වල ලාබයට පැකට් කොට දිනපතා අලෙවි කරනු ලබන චිත්‍රපට සංඛ්‍යාව සමඟ ගණනය කරමිනි. මේ විකිණෙන චිත්‍රපට සංඛ්‍යාව තවමත් නිසි ලෙස කිසිවකු හෝ ගණනය කොට නැත්තේය.එමගින් සිනමාහල්වලට ඇබ්බැහි නොවුණ සංඛ්‍යාව ඉමහත් ය.

සිංහල සිනමාවට වසර 65 පිරෙන්නේ එළැඹෙන 21 වැනි දාය. සරසවිය අප්‍රේල් 10 වැනිදා පනස් වැනි වියට පාතබයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කුස පබා ,

බූඩී කිර්තිසේනගේ මාතා ද ඒ සමීපයේ දිනෙක තිරගත වන වග ආරංචිය. මේ චිත්‍රපට යුගලම අධික වැය ශිර්ෂ සහිත චිත්‍රපටයන්ය. අනතුරුව තවත් එවැනි ම දැවැන්ත චිත්‍රපටයක් වන සුපර් සික්ස් තිර ගත වනු ඇත. උදයකාන්ත වර්ණසූරියගේ සෙනසුරු මාරුව ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩ්‍රෙල්ලා ද මේ වසරේ තිරගත වනු ඇත.

සෝමා එදිරිසිංහගේ නවතම නිෂ්පාදනය මේ දිනවල රූ ගැන්වෙයි. අපේ සිනමාවේ කිවිඳීය සුමිත්‍රා පීරිස් ගේ නවතම චිත්‍රපටය ද ප්‍රසන්න විතානගේ නවතම චිත්‍රපටය ද මේ වසරේ වැඩ ඇරැඹෙනු ඇත. තවත් අලුත් චිත්‍රපට රැසක් පිළිබඳ ආරංචි බහුල ය. මේ සියල්ල සිනමාව පක්ෂයෙන් ගත් කළ වැදගත් ආරංචි වෙයි.

කවර අර්බුද මැද්දේ වුවද ටෙලිනාටක මාලාවන් ද තැනෙයි. අලුත් නාට්‍ය කරුවෝ කිහිප දෙනෙක්ම තම අලුත් නාට්‍ය කරළියට ගෙන ඒමට කටයුතු කරමින් සිටිති. මේ සියල්ල අලුත් අවුරුද්දක සුබ ඵල ගෙන එන ලකුණු හැටියට හඳූන්වා දීමට මම මැළි නොවෙමි.

හේතුව ඒ සියල්ල අපේ කලාවන්ගේ පෝෂණයට හේතු වන බැවිනි. මේ වසරේ කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලක සිහිනය සඵල වේවා යැයි යන සිහිනයක් දකින්නට පෞද්ගලිකව මම කැමැත්තෙමි.

2012 අවුරුද්ද හොලිවුඩ් සිනමාකරුවන් අපට අඳූන්වා දුන්නේ ලෝක විනාශයක් සිදුවන වසරක් ලෙසටය. පැරැණි මායාවරුන්ගේ දින දර්ශනයකට අනුව යමින් ගොඩ නැඟුණ මේ මළගිය විශ්වාසයට රෝලන්ඩ් එමෙරිච් නම් සිනමාකරුවා තැනූ 2012 චිත්‍රපටයේ ප්‍රචාරක ව්‍යාපෘතිය සමඟ හුළං ගසනු ලැබ ලොවපුරා පැතිර ගියේය. 2012 චිත්‍රපටයේ හරි අඩක් නරඹද්දී මට සිතුණේ එබඳූ චිත්‍රපටයක් නරඹනවාට වඩා ලෝක විනාශයට හසුවීම කොතරම් වාසනාවක්ද යනුවෙනි. එහෙත් අපේ හැදෙන චිත්‍රපට ගැන සිතද්දී ලෝකය වඩා සුබ පළ ගෙන දෙන්නක් ලෙස සිතන්නට මම කැමැත්තෙමි.

චිත්‍රපටයක නමක් හේතුවෙන් අරඹන්නටත් පෙර ආන්දෝලනාත්මක වසරක් වූ 2012 ඔබට සුබ නව වසරක් වේවා.

සරසවියේ ඒකායන ප්‍රාර්ථනාවයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ