අපේ රටේ නාට්‍ය කළා ඉතිහාසය

ලංකාවේ නාට්‍ය කලා ඉතිහාසය සොයා යාම වනාහී අනාගතවාදී ශාස්ත්‍රීය කටයුත්තකි. මා එය අනාගතයට භාර දෙන්නේ මේ වන විට මේ විෂය අළලා පර්යේෂණ සිදු වී නැතයි සිතා නොවේ.

ලංකාවේ නාට්‍ය කලාවේ ඉතිහාසය යන මැයෙන් සිදු කොට ඇති සියලු පර්යේෂණ තවත් සම්පූර්ණ ක්‍රියාවන් බවට පත් වී නැත යැයි මට සිතේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්, මහාචාර්ය තිස්ස කාරියවසම් වැනි මගේ ගුරුවරුන් මේ විෂය අළලා සිදු කළ දීර්ඝ පර්යේෂණ ‘අසම්පූර්ණ ඒවා’ යැයි වර්ග කොට ද්‍රෝහී ගෝලයකු හෙවත් ‘මූසිලයකු’ වන්නට මට අවශ්‍ය නැත. මේ පර්යේෂණශීලී උගත්, බුද්ධිමත්, ගුරුවරු උක්ත විෂය අළලා පර්යේෂණ ආරම්භ කළෝය. ඊළග බුද්ධිමතුන් මුල් පර්යේෂණ මත පිහිටා තම පැහැදිලි කිරීම් සිදු කළා මිස සරච්චන්ද්‍රයන්, තිස්ස කාරියවසම් සේ ගමින් ගම යමින් මූලාශ්‍ර පරිශීලනය කරමින් මත පළ කළ අවස්ථා විරලය.

සජීවි කලා විෂයක ක්ෂේත්‍ර පර්යේෂණ එසේ අවසන් කළ නොහැක. මහාචාර්ය පරණවිතානයන් සීගිරි කුරුටු ගී කියැ වූ පළමු බුද්ධිමතාය. එහෙත් ඊළඟ යුගයේ ඉතිහාසඥයින් සහ භාෂා සාහිත්‍යවාදී විශාරදයෝ පරණවිතානයින්ගෙන් තෘප්ත නොවී සීගිරි ගී යළි යළිත් සහ තව තවත් කියැ වූහ.

ග්‍රීසිය අවට තිබූ පෞරාණික දූපත් වාසීන්ට ඇත්තේ ඉතිහාසයක් නොව මිථ්‍යා කථා කලාවක් පමණ යැයි සිතා සිටි යුගය වෙනස් වූයේ ශ්‍රිමත් ආතර් එවන්ස් නම් පුරා විද්‍යාඥයාගේ ට්‍රෝජ නුවර පර්යේෂණයන් ආරම්භ වීමත් සමඟය.

ක්‍රිස්තු පූර්ව 1 වෙනි සියවසේදී භරත නම් මුණිවරයා විසින් සොයා ගත් ‘රස සිද්ධාන්තය’ ක්‍රි. ව. 7 වන සිය වස දක්වාම විවිධ පශ්චාද් උගතුන් (භට්ට ලෝලට, භට්ටෝදය, භට්ට නායක, අභිනවගුප්ත, අභිනව භාරතී, ශ්‍රී ශංකුක) විසින් විමර්ශනය කරන ලද්දේය. ක්‍රිස්තු පූර්ව 5 වෙනි ශත වර්ෂයේ ග්‍රීසියෙන් පහළ වූ ඇරිස්ටෝටලියානු මතවාදයන්, ක්‍රි. ව. 3 වෙනි ශත වර්ෂයේ රෝමයේදී ද, ක්‍රි. ව. 16 වන ශත වර්ෂයේ එලිසබතානු එංගලන්තයේදී ද, 20 වැනි ශත වර්ෂයේ ස්ටැනිස්ලවුස්කියානු රුසියාවේදී ද, බ්‍රෙෂ්ටියානු ජර්මනියේදී ද යළි යළිත් විමර්ශනය කොට පෝෂණය කරන ලදී.

එහෙත් අප සරච්චන්ද්‍රයන්ගේ පර්යේෂණයන්ගෙන් තෘප්ත වී එහි නතර වී සිටින්නන්ය. අපේ සාහිත්‍ය ඉතිහාසයේ දෘශ්‍යකාව්‍ය පිටපතක් තවමත් හමු වී නැති හෙයින් ‘අපට දෘෂ්‍යකාව්‍ය ඉතිහාසයක් නැත්තේ’ යැයි අප විශ්වාස කරයි. අපේ පුරාවිද්‍යා පරිශ්‍ර අතර රඟහල ආකෘතියක් හමු වී නැති මෙයින් ‘අපට ඓතිහාසික රඟහල සංස්කෘතියක් නැතැ’ යි අප විශ්වාස කරයි. අපේ වංශ කථා අතර නාට්‍ය කලා විෂයයක් ගැන සෘජුව සඳහන් නොවන හෙයින් ‘අපට රංග කලා ඉතිහාසයක් නැත’ යැයි අප විශ්වාස කරයි.

එහෙත් ඉතිහාසය යනු පරම සත්‍යයක් නොවන බවත් එය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බවත් මම විශ්වාස කරන්නෙමි. එහෙයින් ලංකාවේ නාට්‍ය හා රංග කලා ඉතිහාස විමර්ශනයේ පරිසමාප්ති පර්යේෂණ අනාගතවාදීය. අද නාට්‍ය හා රංග කලා විෂය මාලාව ඉගෙන ගන්නා ශිෂ්‍යයා හෙට දිනයේ උසස් අධ්‍යාපන ලැබ ශ්‍රේෂ්ඨ පර්යේෂකයකු වී අපේ රටේ නාට්‍ය හා රංග කලාවේ පරිසමාප්ති නිගමනය සොයා ගනු ඇතැයි මම විශ්වාස කරමි.

නාට්‍ය හා රංග කලා විෂය පථයේ පර්යේෂණ කාරණා පමා වීමට ද හේතුවක් ඇත. මේ විෂයේ අධ්‍යයන කටයුතු බොහෝ කාලයක් පුරා ඇනහිට තිබුණේය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට තනි නොතනියට සිටි තිස්ස කාරියවසම් නම් තරුණ ශිෂ්‍යයා සමඟ කළ පර්යේෂණ ‘සිංහල ගැමි නාටකය’ නමින් 1968 දී එළි දැක්වුව ද අපේ රටේ නාට්‍ය හා රංග කලාව කියා විෂයක් එවක ප්‍රකටව නොතිබුණි. ලංකාවේ නාට්‍ය හා රංග කලාව විමර්ෂණය කරන ලද්දේ පොදු කලා උපාධිධාරීන් මිස නාට්‍ය හා රංග කලාව ශාස්ත්‍රීයව විශේෂීකරණය කළ විශේෂවේදී උගතුන් පිරිසක් විසින් නොවේ.

එහෙත් දැන් උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය බොහෝ ප්‍රකට විෂයකි. එදා විශ්ව විද්‍යාලවල තිබුණේ කලා පීඨ පමණි. එහෙත් සෑම විශ්ව විද්‍යාලයකම පාහේ ‘නාට්‍ය හා රංග කලා පීඨ’යන් ඇත. ලංකාවේ අභිනවයෙන් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයක් ද ඇත. එහි නාට්‍ය හා රංග කලාව උසස් පෙළට හදාල බාලක බාලිකාවෝ විශාල පිරිසක් අධ්‍යතන විෂයේ උසස් අධ්‍යාපනය ලබති. එහෙයින් මගේ අනාගත ප්‍රාර්ථනාවට පැවැත්මක් ඇත. ලංකාවේ නාට්‍ය හා රංග කලාවේ ඉතිහාසය දෙස අලුත් මානයකින් බැලීමට අවශ්‍ය යටිතල පහසුකම් දැන් දැන් සකස් වෙමින් පවතියි.

වර්තමාන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය වනාහී අතීතයේ ‘හේවුඩ් විද්‍යාලය’ ලෙසට ප්‍රකට වී තිබූ සංගීත, නැටුම් සහ චිත්‍ර කලා සඳහා වෙන්ව තිබූ අධ්‍යයන ආයතනයයි. පසුව එය කැලණිය විශ්ව විද්‍යාලයේ ‘සෞන්දර්ය කලා පීඨය’ බවට පත් විය. එය වර්තමානයේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය බවට පත් වී තිබේ. එහි දෙවන උප කුලපතිවරයා වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටගොඩයන් විසින් රචිත ශාස්ත්‍රීය විෂය කෘති දෙකක් දොරට වඩින උත්සවයක් පසුගිය දිනෙක ඒ විශ්ව විද්‍යාලයේ අභිනව රංග ශාලාවේදී පැවැත්විණ. ඒ උත්සවයේ චිරාගත පොල් තෙල් පහන දැල්වීම සඳහා මට ද ආරාධනා කරනු ලැබීය. මා මගේ පහන් වැටිය දැල්වූයේ ලංකාවේ නාට්‍ය හා රංග කලාවේ අභිනව විමර්ෂණ ග්‍රන්ථය ද නුදුරු දිනයක මෙම විශ්ව විද්‍යාලයේදීම ප්‍රකාශයට පත් වේවායි ප්‍රාර්ථනා කරමිනි.

වර්තමාන සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවියක් දරන මුදියන්සේ දිසානායකයන් වනාහී ලංකා ශාස්ත්‍රීය ඉතිහාසයේ නැටුම් ශිල්පියෙකු මහාචාර්ය පදවියක් දැරූ පළමු අවස්ථාව හිමි කර ගත් දුර්ලභ බුද්ධිමතෙකි. එතුමන් වනාහී තමන් අනුදත් විෂය පථය යහමින් පර්යේෂණය කරන්නා වූ මහාචාර්යවරයෙකි. නර්තන විෂයේ මහා ශබ්දකෝෂය සකස් කරන ලද්දේ ද එතුමන්ය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් අපේ නර්තන කලාව පිළිබඳ කළ දුර්ලභ පර්යේෂණයන් අතර නාට්‍ය හා රංග කලා විෂයේ ඉතිහාසයට අවශ්‍ය කරන දත්ත රැසක් ද සොයා පාදා දී ඇත. එතුමන්ගේ ‘සිංහල නර්තන කලාව’ නම් පර්යේෂණ කෘතියේ 28 වැනි අධ්‍යාය වනාහී සිංහල නාට්‍ය හා නර්තන කලාවේ ඓතිහාසික විකාශනය (පිටු අංක 300 සිට 323) ලෙස හඳුන්වා ඇත. එහිදී එතුමන් මේ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික, පූර්ව ඓතිහාසික සහ ඓතිහාසික යන යුග වෙන වෙනම ගෙන පුරා විද්‍යාත්මක සහ වංශ කථා සාහිත්‍යමය දත්ත රැසක් හෙළි කරයි.

ප්‍රාග් බෞද්ධ යුගයේ මේ විෂය ලංකාවේ පැවති බවට පුරා විද්‍යාත්මක සහ වංශකථා සාධක 12 ක් දක්වන එතුමන් අනුරාධපුර යුගයෙන් සාධක 34 ක් ද, පොළොන්නරු යුගයෙන් සාධක 17 ක් ද, දඹදෙණි යුගයෙන් සාධක 07 ක් ද, කුරුණෑගල යුගයෙන් 05 ක් ද, ගම්පොළ යුගයෙන් 08 ක් ද, කෝට්ටේ යුගයෙන් 09 ක් ද, මහනුවර යුගයෙන් සාධක 12 ක් ද සැකැවින් හෙළිදරව් කරයි.

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපතිතුමන් වන්නේ ප්‍රකට පහත රට නැටුම් විමර්ෂකයකු වන මහාචාර්ය ආරියරත්න කළුආරච්චි සූරීන්ය. පහත රට නර්තන කලාව පිළිබඳ බොහෝ පර්යේෂණ, විමර්ෂණ, විචාර සහ නිර්මාණ රැසක් බිහි කරන එතුමන් අනාගත ලංකාවේ සිදුවීමට නියමිත නාට්‍ය හා රංග කලා ඉතිහාසයේ අලුත්ම කියැවීම වෙත තම ශිෂ්‍ය පිරිස හසුරුවනු ඇතැයි මම සුභවාදීව බලාපොරොත්තු දල්වමි. එය එසේම වේවා!

එහෙයින් එන්න, ලංකාවේ රංග කලා ඉතිහාසය විමසන්නට මේ හොඳම උස් බිමයි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ