මහා නළු සම්ප්‍රදායක විශිෂ්ටතම සමකාලීනයා

සනත් ගුණතිලක

කිසියම් පුද්ගලයකුගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කරන්න එක් සිදුවීමක් වුව ප්‍ර‍්‍රමාණවත්ය. හැත්තෑව දශකය අග භාගයේදී පමණ එක් තරුණයෙක් කන්ද උඩරට සිට කොළඹට පැමිණියේ චිත්‍රපටයක සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමටය.

චිත්‍රපටය ‘සිටු කුමරියෝ’ ය. සම්මුඛ පරික්ෂණය පැවැත් වූයේ කොළඹ සුදර්ශි ශාලාවේදීය. සම්මුඛ පරීක්ෂණයේදී අධ්‍යක්ෂ විජය ධර්ම ශ්‍රී නළුවන් දෙදෙනකු කෙරෙහි අවධානය යොමු කර තිබිණි. එක් නළුවකු මේ කියන තරුණයාය. අනිත් නළුවාගේ එකම ගැටලුව වූයේ ඔහුගේ උස ප්‍රමාණයයි. ඔහු සෙසු නළුවා හා සැසඳීමේදී උස පුද්ගලයෙක් නොවීය.

‘සුදර්ශි’ ශාලාව ඉදිරිපිට මෝටර් රියක් නැවැත්විණි. ඉන් බැස ආවේ සිංහල සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකාය.ඇගේ නෙත මේ කඩවසම් තරුණයා වෙත ක්ෂණිකව ඇදී ගියේය. මඳ වේලාවකින් තරුණයාට නැවත කැඳවීමක් ලැබිණි. ඔහු මේ චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා ගේ පෙම්වතාගේ චරිතයට තෝරා ගනු ලැබුවේය. ඔහු සනත් ගුණතිලකය.

සොම්සිරි සනත් ජූලියන් ගුණතිලක 1955 දී මහනුවර උපත ලැබුවේය. මූලික අධ්‍යාපනය ලද්දේ කිංස්වුඩ් විද්‍යාලයෙනි. සිනමාවට ඒමට පෙර සනත් වෘත්තීය වශයෙන් රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයකු වශයෙන් කටයුතු කර තිබිණි.

‘සිටු කුමරියෝ’ සනත් රැඟූ මුල්ම චිත්‍රපටය වුවත් ඔහු රඟපෑ චිත්‍රපටයක් වශයෙන් මුලින්ම තිරයට ආවේ ‘ගඟ අද්දර’ය. මේ චිත්‍රපටයෙන් සනත් එක රැයින් ජනප්‍රිය තරුවක් බවට පත් වූයේය.

විජය කුමාරතුංගගෙන් පසු නළුවෙක් බිහිව තිබෙන බව කාටත් පෙනී ගියේය. ඉන් පසු ඔහුට එක දිගටම චිත්‍රපට ගලා ආවේය. ඔහු තෝරා බේරා ගැනීමකින් තොරව ඒ සියලු චිත්‍රපටවලට ගිවිසුම් අත්සන් කළේය.

ඉන් වැඩි කොටස කළු සුදු චිත්‍රපටය. එයින් ඇතැම් චිත්‍රපට වාණිජමය වශයෙන් ඉතාම අසාර්ථක විය. ඒවායේ සනත් කළ රඟපෑම් ද ඒ තරම්ම අගය කළ හැකි මට්ටමක නොතිබිණි.

නළුවකු වශයෙන් තමාගේ පසු සාර්ථකත්වයේ රහස මේ අසාර්ථකත්වය මැනවින් හඳුනා ගැනීම බව සනත් වරක් කියා තිබිණි. ඉන් පසු ඔහුට චිත්‍රපටයක් ලැබුණු විට ඔහු ඒ ගැන තව තවත් සිතා බැලුවේය. අධ්‍යක්ෂවරයා කවුද, චරිතය කුමක් ද,, සෙසු ශිල්පීන් කවුරුන්ද යන්න කෙරෙහි ඔහු දැඩි සේ විමසිලිමත් වූයේය.

වාණිජ චිත්‍රපටවල කෙසේ වෙතත් සම්භාව්‍ය සිනමාවේදී නම් සනත්ට දක්ෂ අධ්‍යක්ෂවරුන් කීප දෙනකු යටතේ රඟපෑමේ භාග්‍යය ලැබුණේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් (කලියුගය), ඩී. බී. නිහාල්සිංහ (රිදී නිම්නය, මල්දෙණියේ සිමියොන්, එච්. ඩී. ප්‍රේමරත්න (දෙවැනි ගමන) ඊට නිදසුන්ය. ආචාර්ය තිස්ස අබේසේකර තමාගේ ‘විරාගය’ චිත්‍රපටයේ අරවින්දගේ චරිතයට සනත් තෝරා ගත්තේ ‘කලියුගයේ’ ඔහුගේ රංගනය දැකීමෙනි.

එසේම වසන්ත ඔබේසේකර තමාගේ ’කැඩපතක ඡායා’ චිත්‍රපටයේ පියතිලකගේ චරිතයට සනත් තෝරා ගත්තේ ‘යහළු යෙහෙළි’ චිත්‍රපටයේ ඔහුගේ රංගනය දැකීමෙනි. ඉහත අධ්‍යක්ෂවරුන් යටතේ වැඩ කිරීමෙන් සනත් රංගනය අරභයා පෘථුල අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තේය.

සනත් වාණිජමය සිනමාවේදී සාර්ථකවන්ට පටන් ගත්තේ ‘නැවත හමුවෙමු’ චිත්‍රපටයෙන් අනතුරුව යැයි මම සිතමි.

එය ද්විත්ව වීර චරිත (Doble Hero) රැගත් චිත්‍රපටයකි. විජය කුමාරතුංග ප්‍රධාන කතා නායකයා වූ අතර සනත් උප කතා නායකයා වූයේය. මේ ද්විත්ව වීර චරිත ප්‍රවණතාව හින්දි සිනමා ආභාසයෙන් ඇති වූවකි. එකල ‘ෂෝලේ’ වැනි ජනප්‍රිය හින්දි චිත්‍රපටවල ද ද්විත්ව වීර චරිත දකින්න ලැබිණි. එහි එම චරිත දෙක රඟපෑවේ අමිතාබ් භච්චන් හා ධර්මේන්ද්‍රය. ‘නැවත හමුවෙමු’ චිත්‍රපටයට පාදක වූයේ ‘කාශ්මීර්වාද්’ නම් හින්දි චිත්‍රපටයයි.

කෙසේ වෙතත් විජය කුමාරතුංගගෙන් පසු සිංහල සිනමාවේ ජනප්‍රිය නළුවකු බිහි වූයේ නම් ඒ සනත් ගුණතිලකය. ඔහු ‘සරසවිය’ සම්මාන උළෙලේදී විජයගෙන් පසු ජනප්‍රිය නළුවා සඳහා වන සම්මානය දිනා ගැනීමෙන් ඒ බව සාක්ෂාත් වෙයි.

විජය – මාලිනී යුගයෙන් පසු සිංහල සිනමාවේ තවත් යුගයක් බිහි කිරීමට ද සනත් දායක වූයේය. ඒ සනත් – සබීතා යුගයයි. මේ දෙදෙනා වාණිජ චිත්‍රපටවල පමණක් නොව සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපටවල ද එකට රඟපෑහ.

‘විරාගය’ සනත්ගේ සිනමා රංග කලා ජීවිතයේ ආවර්තන ස්ථානය(Turning Point) වන්නේය. ඔහු මාර්ටින් වික්‍රමසිංහයන් සාහිත්‍යයෙන් මැවූ අරවින්දගේ චරිතයට සිනමාත්මකව ප්‍රති නිරූපණය කළේය. සනත් මෙම චරිතයේ පොට අල්ලා ගත්තේ වික්‍රමසිංහයන්ගේ පුත් දොස්තර රංග වික්‍රමසිංහ කළ එක්තරා ප්‍රකාශයකිනි. ඒ මෙපරිදිය.

‘අරවින්ද නමැති පුද්ගලයා සරෝජිනි හිමි කර ගන්ට වරම් ලැබුණේ නැතැයි වේදනාවට පත්ව විරහ දුකින් කල් ගත කළ පෙම්වතෙක් විදියට හඳුන්වා දෙන්ට මගෙ තාත්තා කොහෙත්ම කැමැති වුණේ නැහැ. අන්න ඒ ටික විතරක් මතක තබා ගන්න. අරවින්ද ‘ගොළු හදවතේ’ සුගත් කෙනෙක් වගෙ නෙමෙයි.’

සනත්, අරවින්දගේ චරිතය තුළ ජීවත්වීම උදෙසා කළා වූ අප්‍රමාණ කැපවීම චන් සිනමා ඉතිහාසයට එක් වූවකි. දින 16 ක් පුරා නිරාහාරව හුදෙක් ගස්ලබු, දෙහි හා ඇල් වතුරෙන් පමණක් යැපෙමින් ඔහු කළ කැප වීම පසු පරපුරට මහත් ආදර්ශවත් ක්‍රියාවක් වන්නේය.

1987 මෙරට පැවති සරසවිය, ඕ. සී. අයි. සී. හා ස්වර්ණ සංඛ යන සම්මාන උත්සව තුනේදීම හොඳම නළුවා වූයේ සනත්ය. ඒ ‘විරාගය’ චිත්‍රපටයේ කළ විශිෂ්ට චරිතාංග නිරූපණය වෙනුවෙනි. ඊට ඉහත එලෙස සම්මාන උත්සව තුනකදීම එම සම්මාන දිනා ගත්තේ නළුවන් දෙදෙනකු පමණි. ඒ ගාමිණී ෆොන්සේකා හා ජෝ අබේවික්‍රමය.

‘විරාගයේ’ සනත්ගේ රංගනය සිංහල සිනමාවේ අමරණීයම චරිතාංග නිරූපණ දහයෙන් එකක් වන්නේය.

‘කැඩපතක ඡායා’ චිත්‍රපටයේ ද සනත්ගේ විශිෂ්ට රංගනයක් දක්නට ලැබේ. එය සංකීර්ණ චරිතයක් වූයෙන් එහිදී විවිධ අවස්ථා ඔහුට නිරූපණය කිරීමට සිදු විය.

‘විරාගයේ’ අරවින්දගේ රංගනය දුටු විදේශීය ප්‍රේක්ෂකයෙක් ‘පාලම යට’ චිත්‍රපටයේ විලී නොහොත් වලහා ලෙස රඟපෑවේ එකම නළුවා යැයි අත් දුටුවහොත් ඔහු විස්මයෙන් ඇළලී යනු නොඅනුමානය. සනත් සිංහල සිනමාවේ සිටින අති විශිෂ්ට චරිතාංග නළුවකු ලෙස හැඳින්වීම ඔහු මේ දෙකෙහි කරන්නා වූ එකිනෙකට පරස්පර රංගනයන් වුව ප්‍රමාණවත් යැයි මම සිතමි.

මේ රංගනය මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි විචාරකයකුගේ තියුණු ගර්හාවට ලක්වුවත් ඩොනල්ඩ් රිචි වැනි සිනමා මාධ්‍යය අරභයා පෘථුල අවබෝධයකින් යුතු සිනමා කලා විද්වතකුගේ ප්‍රශංසාව දිනූ බව ද මෙහිලා සිහිපත් කිරීම වටී.

‘සිසිල ගිනි ගනී’ හා ‘රාජ්‍ය සේවය පිණිසයි’ වැනි සිනමාපටවලදී ද සනත් අද්විතීය රංගනයක් ඉදිරිපත් කරයි. ඒවා බොහෝ විට ප්‍රතිවීර(ඒදබඪ- ඩ්ඥපධ) චරිතය. දේශපාලනඥයන්ට උරුම දෙබිඩි ජීවිත ස්වභාවය ඔහු මේවායෙහි අපූර්ව ලෙස ප්‍රති නිර්මාණය කර තිබිණි.

‘දොරකඩ මාරාව’, ‘සුදු කළුවර’, ‘සක්මන් මළුව’, ‘ආගන්තුකයා’ සනත් චරිතාංග නළුවකු ලෙස වඩාත් පරිපාකයට පත් අවස්ථා ලෙසට හඳුන්වා දිය හැකිය.

මේ සකලවිධ චරිතාංග නිරූපණ දෙස විචාරක්ෂියෙන් බලන කල්හි අපට උද්ධරණය වන්නේ සනත්, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය වැනි නළුවන් නියෝජනය කරන්නා වූ මහා නළු පරම්පරාවට අයත් විශිෂ්ටතම සමකාලීනයා බවය.

එසේ අර්ථ ගැන්වීමට තවත් සුවිශේෂ කරුණක් ඇත. ඒ නම්, සනත් සම්භාව්‍ය සිනමාවේ විදග්ධප්‍රිය නළුවකු වන්නා සේම වාණිජ සිනමාවේ ජනකාන්ත නළුවකු ද වීමය. සිරිල් වික්‍රමගේ, ජැක්සන් ඇන්තනි ප්‍රමුඛ එම මට්ටමේ නළුවන් දක්ෂ චරිතාංග නළුවන් බව සැබෑය. එහෙත් සනත් ඔවුන් අතරින් සුවිශේෂ වන්නේ ඔහු සතු සුපිරි තාරකා ගුණය නිසාවෙනි.

රංගනයට අමතරව සනත් පසු කලෙක චිත්‍රපට නිෂ්පාදනයට ද, පසුව අධ්‍යක්ෂණයට ද සම්බන්ධ වූයේය. ‘සසර සැරිසරන තෙක් ඔබ මගේ’, ‘සිසිල ගිනි ගනී’ ඔහුගේ නිෂ්පාදන දෙකකි. මෙයින් ‘සිසිල ගිනි ගනී’ චිත්‍රපටයෙන් ප්‍රසන්න විතානගේ සිනමාකරුවකු බවට පත් වීම සුවිශේෂ සංසිද්ධියකි. ‘එකමත් එක රටක’ සනත් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයයි.

සනත් මුල් කාලයේදී ටෙලි නාට්‍ය කීපයක ද රඟපෑවේය. (උදා: රන් කහවණු, දොළොස් මහේ ගංගාව). ඔහු ජනප්‍රිය ගීතයක පද රචකයා ද වෙයි. මිල්ටන් මල්ලවආරච්චි ගයන ‘මාගේ අතීත දිවියේ සැමරුම් මැකී මැකී’ ගීතය ඔහුගේ පබැඳුමකි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ