කරළිය

ජනවාරි 08 වැනිදා

රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ මහරගම යොවුන් රඟහලේ.


අපේ කලාකරුවන්ගේ තොරතුරු අන්තර්ජාලයට

ලංකාවේ වෙසෙන සියලුම කලාකරුවන්ගේ තොරතුරු ඇතුළත් කරමින් ලංකා ෆේසස් නමින් වෙබ් අඩවියක් තව නොබෝ දිනකින් අන්තර් ජාලයට මුදා හැරීමට නියමිතය. එය ලංකා ෆේසස් ආයතනයේ නිමැවුමක් වන අතර එමගින් එක් කලාකරුවකුට තම ජීව දත්ත පෞදගලිකව ඇතුළ් කල හැකි ඉඩක් වෙන් වී තිබීම විශේෂත්වයකි. මෙහි එළි දැක්වීම මෙම මස 25 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදුවේ


වික්ටර් බණ්ඩාරගෙන් හිස ගිනිගත් ගැහැනිය

වික්ටර් බණ්ඩාර සේනාරත්නගේ නවතම නිර්මාණය වූ ‘හිස ගිනිගත් ගැහැනිය’ නම් වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා සුදර්ශී ශාලාවේදී පැවැත්විණ.

සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමති ටී. බී. ඒකනායක මහතා, අධ්‍යක්ෂ වික්ටර් බණ්ඩාර සේනාරත්න, නිවේදක සේනානායක පොඩි නිලමේ, ප්‍රධාන නිළි ශ්‍රියාණි දිසානායත, අසංකා පෙරේරා ඇතුළු පිරිස පොල් තෙල් පහන දල්වන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

සරසවිය ‘ඇතුගල්පුර සුපර් නයිට්’ අද

සරසවිය ‘ඇතුගල්පුර සුපර් නයිට්’ අද රාත්‍රී 9.30 ට ඔබට ටී. වී. දෙරණ ඔස්සේ නැරැඹිය හැකියි.


කවරයේ කතාව

මෙවර ‘සරසවිය’ කවරය හැඩ කරන්නේ උදාරි වර්ණකුලසූරියගේ රුවයි.

උදයකාන්ත වර්ණසූරියගේ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටයෙන් රිදී තිරයට පිවිසි උදාරි ඉදිරියේදී තිරගත වීමට නියමිත චන්ද්‍රරත්න මාපිටිගම ගේ ‘සිහිනය දිගේ එන්න’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූවාය. බොඳ මීදුම්, ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයට පත් ඈ මේ දිනවල සිහින පියාපත් හා වන්දනා ටෙලි වෘත්තාන්තයන් මඟින් ඔබ හමුවේ.


ස්ත්‍රී සහ වයිරා නැවතත් එයි

පද්මසිරි ගමගේ ගේ ‘ස්ත්‍රී සහ වයිරා’ වේදිකා නාට්‍යය විසි වසරකට පසුව නැවතත් අද (05) දින ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.

මර්සි එදිරිසිංහ, රින්ස්ලි වීරරත්න, ශ්‍රියානි කුරුවිට, ජේ. ඒ. කරුණාරත්න හා පද්ම රංග කලායතනයේ සිසු සිසුවියන්ගේ රංගන දායකත්වයෙන් හැඩවන ‘ස්ත්‍රි සහ වයිරා’ හි සංගීතය සරත් වික්‍රම සිදු කරනු ලබයි.


මින්සර 08 වැනිදා

‘මින්සර’ ගී ප්‍රසංගය මෙම මස 08 වැනිදා ඉරිදා කොළොන්නාව මංගල පාය උඩුමහල ශාලාවේදී පැවැත්වේ.

කුමාරසිරි පතිරණ, සරත් රුද්‍රිගෝ, චරිතා රුද්‍රිගෝ, මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ, සමන්ති සාගරිකා, කිංකිණි පෙරේරා, තුෂාර රත්නායක, ගාමිණී රත්නායක, සමන් පෙරේරා, අජිත් බණ්ඩාර, සම්පත් ජයලාල්, ශාමින් දිලිප, මහින්ද ජයසේන එදිනට ගීත ගයන අතර සංගීතය රනිල් අසෝක ද සිල්වා ප්‍රමුඛ සංගීත කණ්ඩායමෙනි. කථනය රංජිත් කුමාර රත්නායකයි.


කේශ ධාතු විස්තරය අඟහරුවාදා එළි දකී

ගයාන් චානුක විදානපතිරණ ලියූ ‘කේශ ධාතු විස්තරය’ බෞද්ධ ග්‍රන්ථය මෙම මස 10 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.


ශ්‍රද්ධාංජලී පෝදා ගුවනින්

ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි පිටපත ලියූ බොදු ගී සරණියක සුවය කැටිවුණු ශ්‍රද්ධාංජලී විශේෂ ගී සමාධිය මෙම මස දුරුතු පොහෝදා (8 වැනිදා) දහවල් 12 සිට 12.45 දක්වා ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වේ.


රන්සර සන්හිඳ මහරගම තරුණ සේවා රඟහලේ

‘රන්සර සන්හිඳ’ ගී ප්‍රසංගය මෙම මස 07 වැනිදා සෙනසුරාදා මහරගම තරුණ සේවා රංග ශාලාවේදී පැවැත්වේ.

අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, ටී. එම්. ජයරත්න, දීපිකා ප්‍රියදර්ශනී යන ප්‍රවීණ ගායනා ශිල්පීන් හා ශිල්පිනියකගේ ගායනයෙන් සුන්දර වන ‘රන්සර සන්හිඳ’ හි ඉදිරිපත් කිරීම වසන්ත රෝහණ ගෙනි.


සිල්වෙස්ටර් විදුහලේ ආදි මාධ්‍ය කලා සංසදයක්

මහනුවර සිල්වෙස්ටර් විදුහලේ ආදි සිසුන් ‘ආදි මාධ්‍ය කලා සංසදයක්’ පිහිටුවීමේ මූලික පියවර මෙම මස 08 වැනිදා ඉරිදා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට නියමිතය. ඒ සඳහා එම පාසලෙන් ඉගෙන ගත් මාධ්‍ය හා කලා ක්ෂේත්‍රවල සිටිනා සැමට එදිනට පැමිණෙන්නැයි සංවිධායක කමිටුව ආරාධනා කරයි.


නාට්‍ය හා රංග කලා වැඩමුළුවක් නොමිලයේ

අ. පො. ස. සාමාන්‍ය පෙළ සහ අ. පො. ස උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂයයෙහි විභාගය සඳහා පෙනී සිටින සිසුනට අවැසි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් වැඩමුළු දෙකක් පැවැත්වීමට නියමිතය. මෙම මස 06 වැනිදා සහ 13 වැනිදා දිනයන්හි පස්වරු 3.00 සිට 6.00 දක්වා එක් වැඩ මුළුවක් පැවැත්වේ. අනෙක් වැඩමුළුව පාසල් හැර ගිය වයස අවුරුදු 18 න් ඉහළ අය සඳහා මෙම මස 6 සහ 13 යන දිනයන්හි පෙ. ව. 9.00 සිට 2.00 දක්වාත් පැවැත්වේ. කොටිකාවත්ත සණස ගොඩනැඟිල්ලේදී නොමිලේ පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම වැඩමුළු සඳහා ඕනෑම අයෙකුට අදාළ දිනයේදී සහභාගි විය හැකිය. මෙම වැඩමුළු මෙහෙය වන්නේ නාට්‍ය ශිල්පී හේමන්ත ප්‍රසාද් ඇතුළු ප්‍රවීණයන් පිරිසකි.


සිතෙහි රැඳුණු ගී ප්‍රසංගය 07 දා ජෝන් ද සිල්වා රඟහලේ

හෙළයේ ගීත කෝකිලාවිය, නිළි රැජන වූ රුක්මණී දේවියගේ ගීත ගයමින් රසික හදවත් දිනූ ශ්‍රියානී දිසානායක නව වසර් සුබ නැකතකින් අලුත් කටයුත්තකට මුල පුරලා.

‘මොකක්ද මේ අලුත් කටයුත්ත’

අප ඇගෙන් විමසුවා.

‘මෙ මාසයේ 07 වැනිදා සෙනසුරාදා රාත්‍රී 6.00 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේදී ‘සිතෙහි රැදුණු ගී’ නමින් ගී තරු, රසික තරු සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට තීරණය කළා. මේ සංගීත රාත්‍රිය අද පැවැත්වෙන සංගීත ප්‍රසංගවලට වඩා වෙනස් මුහුණුවරක් ගන්නේ ගී ලොව බැබළ වූ කලාකරුවන් 50 දෙනෙක් මෙහිදී උපහාර ලබන නිසයි. මේ කටයුත්ත කෙරෙන්නේ පැරැණි ගී රසික සංසදය ඔස්සේ.

රසිකයන් මාව හඳුනන්නේ රුක්මණී දේවියගෙ ගී ගයන නිසාවෙන්. ඈ මට දුන් ඒ වරම යහපත් කාර්යයකට යොදවන්න කාලයක පටන් මගේ සිතේ තිබුණු සිතුවිල්ල මල්ඵල ගැනෙන්නේ මෙම මස 07 වැනිදා. බොහෝ ගැටලුවලට මුහුණ පා සිටින අපේ පැරැණි කලාකරුවන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම ඔස්සේ කලාකරුවන්ට සුබසාධන වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. එහි මුල් පියවරත් මේ සංගීත රාත්‍රියයි. දෙවනුව කලා නිකේතනයක් නිර්මාණය කිරීම අපේ අදහසයි.

මේ පැරැණි ගී රසික සංසදය ඔස්සේ නීතිඥවරුන්, වෛද්‍යවරුන් ආදී විවිධ ක්ෂේත්‍රවල අය අප හා බැඳී සිටිනවා. ඕනෑම අයකුට අපගේ සංසදයට සම්බන්ධ විය හැකි බව පවසන්නේ සතුටින්.

ඒ වගේම මේ සංගීත රාත්‍රියේදී ග්‍රැමෆෝන් ගීත ඇතුළත්ව බොහෝ පැරැණි ගීත එදිනට අප ගයනවා. ගී ගයන්න ආරාධිත ශිල්පීන් කිහිප දෙනෙක් වගේම තෝරා ගත් රසික තරකාවන් ද එදිනට ගීත ගයාවි. සංගීත රාත්‍රිය විඳින්න ඔබත් එන්න. හැමෝටම මා ආරාධනා කරනවා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ