Q & A

අද බස පිළිබඳ

ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ට,

සදාචාරය, නිහතමානීකම, හද බැඳ ගැනීම හා ඉවසීම ඔබේ නිවේදන කලාව තුළින් අපි අත් වින්දෙමු. මා ඔබට මේ නව වසර නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතරම අද සිටින නිවේදක, නිවේදිකාවන්ගේ භාෂාව භාවිතය පිළිබඳ ඔබට හැගෙන දේ අපට කියනවද?

සරත් රණසිංහ,

කපුගොඩ, මාලිඳ නිවස.

සරත්,

ඔබ ඇතුළු සරසවිය පාඨක සැමට 2012 නව වසර නිදුක් නිරෝගී වසරක් වේවා.

නවක නිවේදක නිවේදිකාවෝ අතලොස්සක් හොඳ භාෂා දැනුමකින් සන්නද්ධ වෙලා සිටිනවා. නමුත් සමහරක් (බොහොමයක්) භාෂාව පිළිබඳ කිසිම දැනුමක් හරයක් නැතිව කටයුතු කරනවා. තවත් සමහරුනට භාෂා දැනුම තිබුණත් තමා වැඩ කරන නාලිකාවේ ක්‍රමයට හැඩ ගැහෙන්න ඕනෑ. මේ ඛේදවාචකය තමා අද සන්නිවේදකයන්ට බලපා තියෙන්නේ.


රීමික්ස් හොඳ ද?

ප්‍රියා සූරියසේන,

කාලයෙන් කාලයට අලුත් වන කිසිදා පැරැණි නොවන ජනප්‍රිය ගීත රැසක් ගැයූ ඔබ ළඟදී සුරංග ද අල්විස් රීමික්ස් කර නිර්මාණය කළ සංයුක්ත තැටියට ගී කිහිපයක් ගයා තිබුණා. එයට ඔබේ අවසරය ලැබුණාද? පැරැණි ගීත රීමික්ස් කිරීම ගැන ඔබේ මතය කුමක්ද?

ඩබ්. ලෙනාඩ් ප්‍රනාන්දු

දූනගහ.

සුරංග නිර්මාණය කළ සංයුක්ත තැටියට ගී ගැයුවේ මමයි. වෙන අයෙක් නොවෙයි. නමුත් පැරැණි ගී රීමික්ස් කරන විටදී පැරැණි ගීයට හානි නොවන විදියට නියමිත පරිදි ගී ගයනවා නම් හොඳයි. එසේ නොමැතිව හිතූ හිතූ ලෙස අනුන්ගේ ගීත නිර්මාණය කිරීම, ගීත මංකොල්ලය මම දැඩි සේ විවේචනය කරනවා. අනුන්ගේ ගීත තමන්ගේ වගේ ගායනා කිරීම මහා පාපයක්. ඒ නිසා මේවා බුද්ධිමත්ව, මානුෂීයව විසඳා ගත හැකි ප්‍රශ්න.


චක්‍ර ගැන යමක්

නිමන්ති පෝරගේට,

ඔබේ රංගනයෙන් ඔපවත් වන ‘චක්‍ර’ ටෙලි නාට්‍ය නවතම විස්තර දැන ගැනීමට කැමැතියි.

ගිල්බට් පෙර්රා

තලවතුගොඩ.

චක්‍ර කියන්නේ අමුතුම මාදිලියේ කතා තේමාවක් රැගත් නාට්‍යයක්. එහි රූගත කිරීම් මේ වන විට අවසන්. නමුත් පසු නිෂ්පාදන කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදු කරනවා. මේ නව වසරේදී රූපවාහිනී නාලිකාවක් තුළින් මෙය ඔබට නැරැඹිය හැකියි.


අලුත් සැලසුම්

දීපිකා ප්‍රියදර්ශනීට,

නව වසරේ ඔබේ අලුත් සැලසුම් මොනවාදැයි කියන්න. දුරකතන අංකයත් ලබාදෙන්න.

ආනන්ද වික්‍රමාරච්චි

ඉහළ තල්දූව.

සංගීත පිපාසාවෙන් පෙළෙන ඕනෑම තරාතිරමක අය වෙනුවෙන් මා පවත්වාගෙන ආ සංගීත පන්ති නව මානයකට යොමු කර පවත්වනවා. එය ‘දීපිකා ප්‍රියදර්ශනී සෞන්දර්ය ශාලිකාව‘ නමින් කළුබෝවිල මගේ නිවසේම පවත්වනවා. එළැඹෙන හත්වැනි සෙනසුරාදා දිනයේදී එහි නව පන්ති ආරම්භ කෙරෙනවා. එමෙන්ම විශේෂ ආබාධ සහිත දරුවන් වෙනුවෙනුත් සංගීතය ක්‍රමානුකූලව ඉගැන් වෙනවා.

මේ කටයතු අතර මගේ කලා කටයුතුත් සිදු කරමින් කාර්යබහුල ජීවිතය ගලාගෙන යනවා. මගේ දුරකතන අංකය 0714476354.


පිය ගී එකතුවක්

අමිත් වල්පොලට,

පැරැණි චිත්‍රපට ගීතාවලියේ සුපෙම් හඬ ඔබ පියා ධර්මදාස වල්පොල හා ලතා වල්පොලයි. එදා අප චිත්‍රපට නැරැඹුවේ එම ගීතවලට ඇති කැමැත්ත නිසාමයි. 2012 දීවත් ඔබේ පියාගේ ගීත එකතුවක් එළි දක්වන්නේ නැතිද? දුරකතන අංකයක් ලබා දෙනවාද?

වෛද්‍ය නෙල්සන් වීරසිංහ

පොල්ගහවෙල,

පූජාපිටිය.

මගේ පියාගේ හා මවගේ ගීත ඇතුළත් නව සංයුක්ත තැටියක් මගේ හා මගේ මවගේ හඬින් එළඹෙන අප්‍රේල් මස එළි දක්වන්න කටයුතු යොදා තියෙනවා. එමෙන්ම ‘මේ සෞම්‍ය රාත්‍රිය’ ප්‍රසංගය රට පුරා පවත්වන්න මේ දිනවල අප කටයුතු සම්පාදනය කරගනෙ යනවා. ධර්මදාස වල්පොලයන්ගේ සුපෙම් ගී හඬට හා ඒ සංගීතයට හානි නොවන ආකාරයට ‘අන්ප්ලග්’ වර්ගයේ සී. ඩී. පටයකුත් ළඟදීම නිකුත් කරනවා. මගේ දුරකතන අංකය 0713063911.


ආරංචියක්

ගාමා ගාමිණීට,

ඔබ එදා – මෙදා තුර ලියූ ගී පදමාලා සංයුක්ත තැටියකට නිකුත් කරන බව ආරංචියි. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න.

හේමලතා පෙරේරා, කැලණිය.

ඔව්, මම ලියූ පදමාලා බොහෝමයක් ලාංකේය ගායන ක්ෂේත්‍රයේ බොහෝ ශිල්පීන් ගායනා කළා. එයින් තෝරා ගත් ගීත කිහිපයක් සංයුක්ත තැටියකට ළඟදීම නිර්මාණය කෙරෙනවා. මෙය මා නිර්මාණය කරන්නේ මුදලට නොව මිතුරන් අතරේ බෙදා හැරීමටයි. ඒ ගැන විස්තර අවශ්‍ය නම් 0718166696 ට මා අමතන්න.


චරිත අධ්‍යයනයක

මිහිර සිරිතිලකට,

ඔබ මොනරතැන්න ටෙලි නාට්‍යයේ සහ අරුන්දතී නාට්‍යයේ මන්ද මානසික චරිත ඉතාම හොඳින්, තාත්ත්වික අයුරින් නිරූපණය කරනවා. එවැනි චරිත නිරූපණයට පෙර ඔබ ඒ පිළිබඳ යම් අධ්‍යයනයක යෙදෙනවාද?

අයිලින් සෝවිස්

වැලිසර, රාගම.

මෙහෙමයි අයිලින්, මේ සමාජයේ යම් යම් තැන්වලදී දකින ඇසුරු කරන පුද්ගලයන් තුළින් හා පොත පත පරිශීලනය තුළින් මේ චරිත ගැන යමක් ඉගෙන ගත හැකියි. එමෙන්ම තිර රචනයේ ඇති පරිදි හා අධ්‍යක්ෂකගේ අවශ්‍යතාව අනුව මම චරිත නිරූපණයේ යෙදෙනවා. ඇත්තටම මට මේ චරිත දෙක රංගනයේදී එම නාට්‍ය කණ්ඩායමේ සියලු දෙනාගේ සහයෝගය ලැබුණා. ඒ තුළින් හොඳ නිරූපණයක් කිරීමට හැකි වුණා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ