එඩ්වඩ් ගේ රස කතා

ඔය තියෙන්නෙ එවෝඩ් එක බැබළි - බැබළි

කොළඹ විශ්ව විද්‍යාලයෙන් බිහි වුණු ඊ. එම්. ඩී. උපාලි නමැති තරුණ නාට්‍යකරුවා මීට දශක තුනකට පමණ පෙර පියාඹන අස්සයා නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. එච්. ඒ. පෙරේරා සහ ගීතා කාන්ති ජයකොඩි එම නාට්‍යයේ ප්‍රධාන භූමිකාවන් රඟ දැක්වූවා.

එහි වේදිකා පාලනය භාර වුණේ උපාලිගේ මිතුරකු වූ සුදම් එස්. පහළගම නමැති තරුණයෙකුට. උපාලිිගේම ජනප්‍රිය නාට්‍යයක් වූ ‘මෙතැනින් මාරු වෙනු’ නාට්‍යයේ ද වේදිකා කළමනාකරු වූ සුදම්, ගුණදාස කපුගේ සංගීතවේදියාගේ ‘කම්පන’ නම් වූ ජනප්‍රිය ඒක පුද්ගල සංගීත ප්‍රසංගයේ නිෂ්පාදක කළමනාකරු ලෙස ද පසුව කටයුතු කළා. ‘මෙතැනින් මාරු වෙනු’ සහ ‘පියාඹන අස්සයා’ නාට්‍යවලදී සුදම්ගේ වේදිකා කළනාකරණයට සහාය වූ ප්‍රේමදාස නම් සහාය ශිල්පියෙක් හිටියා. ඔහු නාට්‍ය කණ්ඩායමේ කාගේත් ආවතේවකම් කළ ජනප්‍රිය සගයෙක්.

‘පියාඹන අස්සයා’ එම නාට්‍ය බිහි වුණු වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලට තේරුණු අවසන් නාට්‍ය හතට ඇතුළත් වුණා. අවසන් වටයට දින නියම කර ගත් දවසේම ජෝන් ද සිල්වා රඟහලේදී ‘පියාඹන අස්සයා’ නාට්‍යය රංගගත වුණා. නාට්‍යයේ 6.30 දර්ශනය ඇරැඹීමට මත්තෙන් එහි සියලුම ශිල්පීන් වේදිකාවට කැඳ වූ උපාලි ‘පියාඹන අස්සයා’ එම වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරී ඇති බැවින් හොඳ තරගයක් දීම සඳහා තම වගකීම් නියමාකාරයෙන්ම ඉටු කළ යුතු බැව් හැම ශිල්පියෙකුටම අවධාරණය කළා. එම කතිකාවෙන් පස්සේ නාට්‍යය ආරම්භ කරන්නට මොහොකට පෙර තමා ළඟින් යන්නට ආ ප්‍රේමදාසට සුදම් කතා කළා.

‘ප්‍රේමදාස මල්ලි, ඔන්න බලපං මේ පාර කොහොම හරි හොඳම ස්ටේජ් මැනේජර්ගේ එවෝඩ් එක මම උස්සනවා’ ඔහු තම සගයාට කිව්වේ අධිෂ්ඨාණශීලීව, ආඩම්බාරකාර සිනාවක් මුවඟට නංවා ගනිමින්.

‘පියාඹන අස්සයා’ නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා රංග ගත කෙරුණු දිනය එළැඹුණා. එහි එක් දර්ශනයක ප්‍රධාන නළු එච්. ඒ. පෙරේරා තම බිරිඳ ලෙස රඟපෑ ගීතා කාන්ති සමඟ තම නිවසේ සාලයේදී බහින්බස් වන ජවනිකාවක් තිබුණා. එම දර්ශනය නිම වෙද්දී වේදිකාව අඳුරු වෙනවා. තවත් මොහොතකින් වේදිකාව ආලීකමත් වෙද්දී එච්. ඒ. බස් නැවතුම් පළක රැඳී සිටින දර්ශනයක් දිස් වෙනවා. එච්. ඒ. ට පිටුපසින් බස් නැවතුමක සංඥා පුවරුවක් වේදිකාවේ රඳවා තිබුණා.

එච්. ඒ., ගීතා කාන්ති සමඟ තම සාලයේ බහින්බස්වන දර්ශනය ඉතා ;හාදින් නිරූපණය වී අනතුරුව වේදිකාව අඳුරු වුනා. තවත් මොහොතකින් වේදිකාව ආලෝකමත් වී එච්. ඒ. මහත් නොඉවසිල්ලකින් බස් නැවතුම්පළේ ඒ මේ අත ඇවිදිමින් සිටිනු දිස් වුණා. ඒ දර්ශනය වේදිකාවේ පැති තිරයකට මුවා වී නිරීක්ෂණය කරමින් සිටි ප්‍රේමදාස ඒ කිට්ටුවම හිඳ නළු නිළියන්ට නාට්‍යයේ පෙළ මතක් කරමින් සිටි සුදම් ළඟට කිට්ටු කළා.

‘සුදම් අයියේ, අන්න උඹේ එවෝඩ් එක, ස්ටේජ් එක මැද්දෙ තියෙනවා බැබළි බැබළි’ ප්‍රේමදාස කිව්වේ තද සමච්චල් සිනාවක් පාමින්. බැලින්නං ඊට කලින් දර්ශනයේ සාලයේ තිබූ මේසය වේදිකාව අඳුරු කළ මොහොතේ එතැනින් ඉවත් කරන්නට සුදම්ට අමතක වෙලා. බස් හෝල්ට් එකට පිටුපසින් මේසය විදුලි ආලෝකයෙන් බැබළෙමින් විරාජමානව තිබුණා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ