තිසුරි වහලෙ උඩ ඉන්නව දැකල ආච්චිට පපුවෙ අමාරුවක්
සුසන්තා චන්ද්‍රමාලිගේ මතකය
රිං . . රීං . . රීං . . රීං
හලෝ . . .
ඔව්,
අනේ මට එදාට නම් බෑ,
කෙහෙද ලෝකේෂන් එක?
වෙන දවසක් දාගමුද?
හ්ම් . . . හරි හරි එදාට නම් පුළුවන්.
අමාරුවෙන් වචන අහුලාගෙන මේ පුංචි නිළිය කතා කරන්නේ කාර්ය බහුල නිළියක් වගේ. හැබැයි
පුංචි අතේ රැඳුණේ දුරකථනයේ රිසීවරය නම් නෙවෙයි.
අම්මාගේ හිස පීරන පනාව. එදා එහෙම
රංගනය සඳහා දින වෙන්කර ගනිද්දී නම් මේ සිඟිත්තිය හිටියේ හැමදාම අම්මාගේ තුරුළේ.
හැබැයි දැන් නම් අම්මා වගේම දුවත් හරිම කාර්ය බහුලයි.
අම්මා, ජනප්‍රිය නිළි සුසන්තා
චන්ද්‍රමාලි. ඇගේ දියණිය යොවුන් රංගන ශිල්පිනී තිසුරි යුවනිකා. අලුත් අවුරුද්දේ
සුසන්තා චන්ද්‍රමාලි අපිවත් රැගෙන තිසුරිගේ පුංචි දවස්වලට ගියා.
අම්මෝ . . . තිසුරි පුංචි කාලේ හරියට කොල්ලෙක් වගේ. හරිම දඟයි. ඒ කාලේ හැම වෙලාවෙම
මගේ ඇඟේ ලේ රත්වෙලා තියෙන්නේ. මගේ දඟමල්ල කරපු දඟම වැඩේ කියන්නම්කෝ.
අපේ ගෙදර ළඟම තවත් තට්ටු තුනේ ගෙයක් තිබුණා. ඒ ගෙදරත් ඉන්නේ අපේ මැණික්ගේ වයසෙම
දුවක්. ඉතින් දවල් දවසේ ඒ ගෙදර ඉන්නේ ඒ දුවයි ආච්චියි විතරයි.
ගොඩක් දවස්වල දූලා
දෙන්නා දවල්ට එකට සෙල්ලම් කරනවා. එක දවසකුත් මැණික් මගෙන් අහලා ඒ ගෙදරට සෙල්ලම්
කරන්න ගියා. ටික වේලාවකින් මගේ අසල්වැසියෙක් ඇවිත් මගෙන් ඇහුවා ‘අර එහා ගෙදර වහල උඩ
ඉන්නේ ඔයාලාගේ දුව නේද?’ කියලා.
මමත් ඉතින් අපේ කෙල්ලගෙත් හැටි දන්න නිසා දෙපාරක්
නොහිතම දුවලා ගියා. ‘හත් දෙයියනේ . . . කෙල්ලො දෙන්නම වහල උඩ. දෙන්නම වැටෙන්න ඔන්න
මෙන්න.
මුලින් මට ඉබේටම කැ ගැහුණා. ඒත් දරුවෝ බය වෙන නිසා මම මාවම පාලනය කරගෙන
ආදරෙන් කතා කරලා දෙන්නවම බිමට බස්ස ගත්තා. හැබැයි එදා තමයි තිසුරි මගෙන් වැඩිපුරම
ගුටිකාපු දවස වුණේ.
තිසුරි ගෙදරට මැණිකක්?
අපොයි ඔව්. කොච්චර දඟ වුණත් මට මගේ කෙල්ල මැණිකක්. ඒ නිසා අපි ගෙදරදි ආදරේට කතා
කරන්නේ මැණික් කියලා.
ඉතින් තවත් කොටසක් තියෙනවා කතාවේ කියන්න. එදා මේ දෙන්නා වහල උඩ ඉන්නවා දැකලා ඒ ගෙදර
හිටපු ආච්චිට පපුවෙ අමාරුවත් හැදුණා. කොහොමත් තිසුරිට පුංචි කාලේ බිමින් ගමනක්
තිබුණෙම නෑ. ඉස්කෝලෙදිත් ටීචර් කෙනෙක් පන්තියේ නැත්නම් කෙල්ල පන්තිය පුරා ඇවිදින්නේ
ඩෙස් උඩින් පැන පැන. ඩෙස් උඩින් පැන පැන ගිය හා පැටියාට එතකොට වයස අවුරුදු හයක්,
හතක් විතර ඇති. හැබැයි දඟ වගේම තමයි දූ ඉස්කෝලේ වැඩවලටත් දක්ෂයි.
තිසුරි පුංචි කාලේදි අපි කොහේ හරි එක්ක ගෙන ගියොත් ගෙදර ඇවිත් අපිට හොඳ නාට්‍යයක්
බලන්න පුළුවන්. මොකද දන්නවාද මම එහෙම කියන්නේ? මඟදි දකින එයාගේ හිත් ගත්ත චරිතයක්
තිබුණොතින් ගෙදර ඇවිත් ඒ චරිතේ අනුකරණය කරනවා. අපිත් ඉතින් හරිම ආසාවෙන් බලාගෙන
ඉන්නේ එයාගේ වැඩ දිහා.
ආ . . . තිසුරි හරි අපූරු වැඩක් කළා ඊශ්වර සති ටෙලි නාට්‍යයේ. දුවත් ඒ ටෙලි
නාට්‍යයේ මගේ දුව විදිහට රඟපෑවා. මගේ හස්බන්ඩ් විදිහට රඟපෑවේ ගාමිණී හෙට්ටිආරච්චි.
දුවත් ගාමිණී අයියාට හරි ආදරෙයි. එයාගේ තාත්ති වගේයි කියලාත් දූ කියනවා.
ඒ නිසා
දූත් කිසිම ප්‍රශ්නයක් නැතිව ගාමිණී අයියාට ‘තාත්තා’ කියලා කතා කළා. ඔන්න ඉතින් එක
දවසක් ගාමිණී අයියාගේ නළලට මම කිස් එකක් දෙන දර්ශනයක් රූගත කරන්න තිබුණා. අපි ඒ
වෙලාවේ දුවව දර්ශන තලයට එක්කගෙන ආවේ නෑ. ඒ සීන් එක ගන්න කොටම කොහේදෝ ඉඳලා දූ ආවා.
තත්පර දෙකක් විතර බලාගෙන ඉඳලා අනිත් පැත්ත හැරිලා දිව්වා. ඒ මොහොතේ ඉඳන් දුවට
ගාමිණී අයියාව පෙන්නන්න බෑ. මොනවා කිව්වා කරත් ෂේප් කර ගන්නම බෑ.
ඔය අතරෙදි මමයි
ගාමිණි අයියායි පාර්ක් එකක බංකුවක වාඩි වෙලා අත් දෙක අල්ලගෙන ඉන්න දර්ශනයක් රූගත
කරන්න තිබුණා. ඔක්කොම රෙඩි කරගෙන අපි රූගත කරන්න පටන් ගත්තා. ‘ඇක්ෂන්’ කියනවාත්
එක්කම කැමරාවට ගල් වදින්න පටන් ගත්තා.
ඒ වගේ තුන් පාරක්ම වුණා. ඊට පස්සෙ කට්ටියම
වැඩේ නවත්තලා ගියා ගල් එන්නේ කොහෙන්ද කියලා හොයන්න. බැලින් නම් අපිට පිටි පස්සෙ
තිබුණු පඳුරක හැංගිලා හිටියා අපිට ගල් ගහපු පැංචි. ඒ වෙන කවුරුත් නෙවෙයි, මගේ
මැණික.
මම එයාගේ තාත්තාගේ අත නෙවෙයිනේ අල්ලගෙන හිටියේ. එයාට ඒකට කෙන්ති ගිහින්.
ඔන්න ඔහොමයි තිසුරිගේ වැඩ. හැබැයි දැන් නම් ඉන්නේ ඉස්සර හිටපු තිසුරි නම් නෙවෙයි.
පුංචි කාලේ දඟ කෙල්ල දැන් නම් හරිම අහිංසකයි. ඒ අහිංසකාවිය තමයි එදා වගේම අදත් මගේ
ඇස් දෙක.
ඡායාරූපය – ප්‍රසාද් සමරතුංග
- නිශංකා උඩුගම්පල
|