අර්නස්ට් වඩුගේ යුගදිවිය සමඟ
අලුත්ම පොත 13 දාදොරට වඩී . . .
මධාරාගේ උපන් දිනයට විජය දුන්න පාකර් පෑන
හඳුන්වා දීම අනවශ්‍යය. අපේ රටේ පොතට පතට හෘදයාංගමව ආදරය කරන රසික පිරිස ඔහු හඳුනා
ගන්නේ මීට දශක හතරකට ඈත අතීතයකදීය. එදා සිට අද දක්වාම තමාට හිමි මාධ්‍ය කිරුළ එකසේ
තබා ගත් මේ අසිරිමත් මිනිසා සැමදා තරුණ තරුණියන්ගේ හදවතට කතා කළ දයාබර ලේඛකයකු
වූයේය. අදට ද එසේමය.
අද්විතීය සිනමා පුවත්පත් කලාවේදියකු වන අර්නස්ට් වඩුගේ නම් වන ඔහු තවත් විටෙක අපට
හමු වන්නේ ජීවිතය දෙස ගැඹුරින් සංයමයෙන් මෙන්ම පරිණත බුද්ධියෙන් එබී බලන වියතකු
ලෙසටය. ඔහු එක් කර ගත් ඒ වටිනා අත්දැකීම් තුළ තමාගේ ජීවිතය සංවර්ධනයේ මඟට යොමු කර
ගත් පිරිස ද අපමණය.
ඔහු පුවත්පතට මෙන්ම පොතට ගොණු කළ අකුරු ජීවිතය ඉගෙනුමට තනන ලද පාසලක් වූයේය. ඔහුගේ
පෑනෙන් කළ වික්‍රම කලා ලොවේ බොහෝ ප්‍රචලිතය. ලේඛකයකුට එහා ගිය සහෘද බව තුළ මේ
අසිරිමත් මිනිසා ලොව දිනුවේ යැයි ලියා තැබීම අතිශෝක්තියක් නොවන්නේය. ඔහු අලුත්
මාධ්‍යවේදීන් පරපුරක් තනන්නට දැවැන්ත තුරු සිරසක් වන්ව නැගී උන්නේය. ඒ තුරු වියළේ
සිහිල ලබන මාධ්‍යවේදීන් මෙන්ම නළු නිළි පිරිස ද අපමණය.
හඳුන්වා දීම අනවශ්‍ය වුවද මේ කෙටි සටහන ලියා තැබිය යුතුම වන්නේ ඔහුට ගෞරවයක්
ලෙසිනි.
මේ ඒ අසිරිමත් මිනිසා සමඟ කළ කෙටි පිළිසඳරකි.
* පළමුවෙන්ම ජනවාරි දහතුන් වැනිදාට ගිහිං ආයෙත් අතීත රස මතක වෙත පිවිසෙමු.
ජනවාරි දහතුන් වැනිදාවක තමයි අර්නස්ට් වඩුගේ උපත ලැබුවේ. එදා ඉඳන් ජීවිතේ කොච්චර නං
කල් ගෙවුණද? මං ඒ ගෙවිල ගිය ජීවිතේ ගැන හරිම තෘප්තිමත්. මගේ වයස වගේ කිහිප ගුණයක
අත්දැකීම් ලබන්නට මම පින්වන්තයකු වුණේ හරියට පෑන හැසිරුව නිසයි කියලා හිතෙනවා.
මේ අවුරුද්දේ ජනවාරි දහතුන් වැනිදා මගේ අලුත්ම ග්‍රන්ථය දොරට වඩින්න සියලු කටයුතු
සූදානම් කරලයි තියෙන්නේ. මෙතෙක් මා ලියූ පොත පත අතරින් මේ ග්‍රන්ථය තරමක වෙනස් මඟක්
ගත් කෘතියක්. මෙවර මං රචනා කළේ යුග දිවිය පිළිබඳ සහ ඒ යුග දිවිය සඳ එළියක් කර ගන්නේ
කොහොමද කියන මාතෘකා පිළිබඳවයි. මගේ ජීවිතයේ ලද අත්දැකීම් පදනම් කර ගනිමිනුයි මේ
ග්‍රන්ථය රචනා වුණේ.
* අලංකාර නවකතාවට, අර්ථවත් සිනමා ලිපියට සුප්‍රසිද්ධ ඔබ ඇයි මෙවැනි මාතෘකාවක් තෝරා
ගත්තේ?
අපේ රටේ වැඩියෙන්ම විකිනුණු යොවුන් පුවත්පතේ නිර්මාතෘවරයා වන්නට මට වරම් ලැබුණා.
‘සුවඳ’ පුවත්පත මුද්‍රණය කළ වකවානුවේ සයුරෙන් එපිටට පිටපත් විශාල සංඛ්‍යාවක් අළෙවි
වුණා. ඒ වගේම ‘බිරිඳ’ පුවත් පත හරහා කාන්තාවන්ට ළෙන්ගතුව අමතන්නට මට හැකි වුණා.
දවසකට ලියුම් මලු කිහිපයක්, දුරකතන ඇමතුන් සිය ගණනක් ගලා ගෙන ආවා. ඇතැම් වෙලාවට
විදේශගත පිරිස් කටුනායකින් බැහැල කෙලින්ම ආවේ මගේ කාර්යාලයට. ඔවුන් කිව්වේ ජීවිතේ
හදා ගත්තේ ඔබතුමාගේ ලිපි හරහා කියලයි. ඒ වචන මගේ පෑන තවත් ශක්තිමත් කළා. සිනමා
පුවත්පත් කලාවේදියකු විදියට මා ප්‍රචලිත වුවත් කාන්තා පරපුර වෙනුවෙන් මම පෑන මෙහෙය
වූවා. ඒ හරහා මා එක්කර ගත් අත්දැකීම් මේ පොත රචනයට ද හොඳ වස්තු බීජ බවට පත් වුණා.
මේ පොත කාලීන වශයෙන් ඉතාමත් වැදගත් කියල මට දැනෙන්න පටන් ගත්තා. අද ඇතැම් පවුල්
ජීවිතවල තිබෙන්නේ පවුල විතරයි. ජීවිතය නෑ. ලෝකයට පේන්න අත්වැල් පටලාගෙන ඉන්න පවුල්
ගෙදරදී එකාට එකා පේන්න බැරි තරමට විරසකයි. සාදවලට ගිහිං අත් පටලාගෙන නටන අඹු සැමියෝ
ගෙදර ඉන්නේ නයාට අඳු කොළ වගෙයි. මේකයි අද ඇතැමුන්ගේ පවුල්වල තත්ත්වෙ.
ඒ වගේම අද අසන ඇතැම් දේ ඛේදනීයයි. බඩේ ඉන්න දරුවා මරා දමන තත්ත්වයට අම්මලා පත්වෙලා.
ඔඩොක්කුවේ මලක් වගේ ඉන්න යන දරුවා අද ඉන්නෙ කුණු බක්කිවල. ඇයි අපට මෙහෙම වුණේ. මේක
ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි. මා ‘යුග දිවිය’ හරහා උත්සාහ ගන්නේ මේ මාතෘකා ගැඹුරින්
සාකච්ඡා කිරීමටයි. අපේ පවුල් සංස්ථාව හරිම සුන්දරයි. මේ සුන්දරත්වය පවත්වා ගෙන යාමට
සංවේදී හෘදයාංගම උපදේශ අවශ්‍යයි. මා මේ පොත හරහා කතා කරන්නේ සමස්ථ ලාංකීය
ජනතාවටමයි.
* ඔබේ පොත් දොරට වැඩීම සඳහා උත්සව පවත්වන්නේ නැති තරම්. නමුත් මෙවර උත්සවයකුත්
සංවිධධානය කර ඇති බවට ආරංචියි.
ඔව් . . . ඉතාමත් චාම් උත්සවයක් සහ සාදයක් පවත්වන්නට සැලසුම් කළා. කාලෙකින් මිතුරන්
හමු නොවුණු නිසා ඉතාමත් සීමිත හිතවතුන් සමඟ සාදයක් පවත්වලාම මේක දොරට වඩන්නට
හිතුවා. සාදය, උපන් දිනය සහ පොත දොරට වැඩුම කියන කාරණා දෙක තුනම මූලික කොට ගෙනයි
සංවිධානය කළේ.
* කතාබහ තරමක් වෙනස් මාතෘකාවකට ගෙනෙමු. ඔබ ලංකාවේ සිටින ප්රවීණතම සිනමා
මාධ්‍යවේදියෙක්. අද නළු නිළියන්ගේ තත්ත්වය ගැන මොකද හිතන්නේ?
නළුවෙක්, නිළියක් කියන්නේ ගෞරවනීය චරිතයක්. ඒ ගෞරවය ලංකාවේ තවමත් තිබෙනවා. ඇතැම්
පිරිස මේ තත්ත්වය විහිං නැති කර ගන්නට උත්සාහ දරන බවක් මට පේනවා. අද ඇතැම් නළු
නිළියන් කියා ගන්නා අය කුලීකාරයන් වගේ තමයි ක්‍රියා කරන්නේ.
* අද එදාට වඩා නළු නිළියන් ගැන දූෂ්‍යමාන ආරංචි පැතිරෙනවා නේද?
ඔව් . . . ඇතැම් වෙලාවට මාධ්‍ය කිසිම සෙවිල්ලකින් තොරව කටයුතු කරනවා. නළු නිළියන්
දික්කසාද වුණොත් පත්තරවල පොල් අකුරින් හෙඩිම් යනවා. නළු නිළියන් ගැන දූෂ්‍යමාන
ආරංචි ගොතමින් පතුරුවනවා. එදා මාධ්‍ය මෙවැනි තැන්වල හරිම සංයමයෙන් කටයුතු කළා. මේ
දූෂ්‍යමාන ආරංචි පැතිරවීමට අන්තර් ජාලය ප්‍රබල මාධ්‍යයක් බවට පත්ව තිබෙනවා. ඒත්
නළුවෙක්, නිළියෙක් කියා ගන්නා කෙනෙක් වැරැදි දෙයක් කලාම හැම දෙනා දිහාම එකම ඇසින්
බැලීම වැරැදියි.
* අතීතයේ නළු නිළියන්, ගායක ගායිකාවන් වගේම රසිකයන් මෙන්ම මාධ්‍යවේදීන් අතරේ හොඳ
සහෘද සබඳතාවක් තිබූ බව ඔබ දිනක් කියනවා මා අසා තිබෙනවා. නමුත් අද මේ සබඳතාව නැත්තටම
නැති තරම්.
ඔව්, අද හැමෝම වැඩ කරන්නේ යන්ත්‍ර වගෙයි. මේ සබඳතාව අද ඉතා සීමිතයි. උදාහරණයක්
විදියට ඉස්සර විජය, ජෝති වගේ අය අපේ හොඳ යාළුවෝ. ඔවුන් නිරතුරුවම අපි සමඟ සුහදව හමු
වෙනවා.
මං සරල උදාහරණයක් කියන්නං. විජය දවසක් අපේ චූටිගේ (මධාරා වඩුගේ) උපන් දින සාදයකට
පැමිණියා. විජය කියන්නේ ඒතරමට සල්ලි බාගෙ ගැවසුණ කෙනෙක් නෙවෙයි. එක දවසකට උත්සව
කිහිපයකට විජයට ආරාධනා ලැබුණා. විජය අපේ චූටිගේ උපන් දිනේ දවසේ ලස්සන පාකර් පෑනක්
තෑගි දුන්නා. විජය ඒ පෑන දුන්නේ කතාවක් කරලා.
‘පුතේ මං ඔයාට ලස්සන පාකර් පෑනක් ගෙනවා. මට තෑගි ගන්න සල්ලි නෑ. හැබැයි පුතේ මේ පෑන
ගන්න සල්ලි හොයා ගන්න තරම් මාව ජනප්‍රිය කරන්න ඔයාගේ තාත්තගේ පෑන් කීයක් ඉවර වෙන්න
ඇද්ද කියලා මං දන්නේ නෑ. මේ පෑන ගන්න මට උදව් කළේ ඔයාගේ තාත්තා.
මේ කතාවේ අපේ සහෘද බව තිබෙනවා. නමුත් අද පරම්පරාව මිනිසුන් එක්ක සුහදශීලී නැහැ.
* ඉදිරිය ගැන කතා කරමින් මේ කෙටි පිළිසඳර අවසන් කරමු.
ඉදිරියේදී තවත් නවකතා පොතක් දොරට වඩන්නට නියමිතයි. ඒ වගේම එදා ජෝතිපාලයන් සමඟින් කළ
සංවාද ඇසුරෙන් ලියූ ජෝතිපාලයන්ගේ ජීවිත කතාව යළි එළි දක්වන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා
සිටිනවා. ඉදිරියේදී මේ කටයුතු අතරේ තමයි කල් ගෙවන්නේ
* ලිපිනය දැනගන්නට පාඨකයන් කැමති වේවි.
86/19,
කටුවාවල පාර,
මහරගම.
පිංතූරය –
මාලන් කරුණාරත්න
චතුර ගීතනාත් බණ්ඩාර
|