|
සිනාසිසී ආ සුසී
"ෂා අපූරු ගවුමක් නෙ ඇදගෙන ඉන්නේ" මැදිවියත් පසුකෙරූ මනමාල කුරුල්ලෙක් වූ බස්තියන් මුදලාලි, හිරිමල් වියේ පසුවන "සුසී" ඇඳ සිටි කෙටි ගවුම දෙස බලා කීය. "හැබැයි කෙල්ලේ තව ටිකක් කොට වුනා නම් තමා හොද" කියා කීවේ සෙවල පෙරමින්ය.එවිට සුසී ගවුම පොඩ්ඩක් උස්සා "මෙච්චර" කියා ඇසීය. එවිට බස්තියන් මුදලාලි "තව ටිකක්" කීවේය. සුසී තව ටිකක් ගවුම උස්සා "මෙච්චර" කියා ඇසීය. බස්තියන් මුදලාලිගේ ඇස් තවත් ලොකුවී කට පළල් වී "තව ටිකක්" යයි කිවේය. සුසී උස්සන්න පුලුවන් උපරිමයෙන්ම ගවුම ඉස්සීය. බස්තියන් මුදලාලි නොඉවසිලිමත් විය. "දැන් තමයි එළිය වැටී ගෙන එන්නෙ" කියා කෙල හලමින් ඔහු කීවේ ඒ නිසාය. තවත් දිනෙක බස්තියන් මුදලාලිට සුසීව නගරයෙදී මුණ ගැසුනි. මුදලාලි සූසීව "සැනසුම" හෝටලයට රැගෙන ගියේ සුසීට කෑම බීමෙන් සංග්‍රහ කිරීමටය. "සැනසුම" හෝටලය ඇතුළට ගිය ගමන්ම සුසී, "අපෝ මේකද සැනසුම කියන්නේ" කියා ඔලොක්කුවට මෙන් ඇසීය. එවිට බස්තියන් මුදලාලි "කාපු ගමන්ම සැනසුම හම්බ වෙන්නෙ නැහැ බං" කියා බියර් බෝතලයක් ඇනවුම් කර බියර් ටිකක් වීදුරුවට දමා සුසීට බොන්නට දුන්නේ "ඔය ටික බීපන්, එතකොට සැනසුම හම්බවෙයි" කියමිනි. සුසී වැල්ලේ හැදුනු දගකාර, කටකාර සැහැල්ලුවෙන් ජීවත් වෙන පිරිමියෙක් මෙන් චන්ඩි පාට් දමන රූමත් කෙල්ලෙකි. වැල්ලේ තිබෙන ඔරුවක හාන්සිවී කකුල් දෙක උඩ දමාගෙන තම යෙහෙළියත් සමග නිතරම සිටියේ ගීත ගයමිනි. "මහ මුහුදේ රැල්ල නැගේවී හෝ ගා" මේ සුසී ගයන ඇගේම ගීතයකි. ලෝරි මහත්තයා සුසීට හමුවෙන්නෙ මේ වැල්ලේදිය. ලෝරි මහත්තයා වැල්ලට එන්නේ තමන්ගේ දුර බලන කන්නාඩියෙන් මුහුදෙ ඈත යන නැව් බැලීමටය. ඒ ලෝරි මහත්තයාගේ එකම ආශාව නැව් නැග ලොව වටා යෑම නිසාය. දිනක් ලෝරි මහත්තයා එසේ දුරබලන කන්නාඩියෙන් ඈත යන නැව් දෙස බලා සිටින විට, සුසී කෝටුවක කක්කුට්ටෙක් පටලවා ගෙන එම කන්නාඩිය ඉස්සරහට අල්ලයි. ඉන්පසු සුසී, ලෝරි මහත්තයාගේ දුරබලන කන්නාඩිය බලෙන් ඉල්ලා ගෙන බලන ගමන් එය ලෝරි මහත්තයාගේ මුහුණ දෙසට හරවයි. "මගෙ සන්තෝ, මහත්තයාගේ නහයෙ ලොකු,යෝධ කජු පුහුලමක් වගේනේ" කියයි. සිරිල් පී අබේරත්න "සුසී" නිර්මාණය කිරීම සදහා, එකල අතීශයින්ම ජනප්‍රිය වූ හින්දි චිත්‍රපටයක වස්තු බීජයක් සොරා ගති. ඒ "ඒක් පූල් දෝ මාලි", චිත්‍රපටයෙන්ය. තම යහළුවූ කෙල්ල සමග "සමයං" නටා ,ඇයගේ බඩට දරුවෙක් දී, නැව් නැග යාම "සුසී", තුළින් සිදුවූවද, "ඒක් පූල් දෝ මාලි" තුලින්ද එම"සමයම" සිදුවූවත් ඒ පෙම්වතා ගියේ හිම කදු තරණය කිරීමටය. එම තරුණියටත්, තරූණියගේ කුසේ සිටින දරුවාටත් පිහිට වනුයේ, මැදවියද පසු කෙරූ පොහොසත් තනිකඩ මිනිසෙකි. ඉන් පසු ළමයාද ලැබී , තරමක් ලොකුවූවාට පසු. අර අතුරුදහන් වුනු පෙම්වතා පැමිණෙයි. මුලින්ම මේ ළමයා තම පියා බව නොදැන මෙම තරුණයාට පුදුම විදියට සෙනෙහස දක්වයි. අවසානයේ මහලු සැමියා, දරුවත්, අර තරුණියවත් පෙම්වතාට භාර දෙයි. හින්දි චිත්‍රපටයේ නම් ඒ මහලු මිනිසා මිය යන අතර "සුසී" චිත්‍රපටයේ නම් ඒ මහලු මිනිසා ජීවත් වී සිටින විටම ළමයාත් තරුණියත් පරන පෙම්වතාට නිත්‍යානු කූලව භාර දෙයි. හින්දි චිත්‍රපටයේ කෙසේ වෙතත්, සිංහල චිත්‍රපටයේ නම් "සුසී" ව ලෝරි මහත්තයාට භාර නොදුන්නා නම්, ලාංකේය ප්‍රේක්ෂකයන්ට මළ පනින බව සිරිල් පී අබේරත්න අත්දැකීමෙන්ම දැන සිටියේය. "සිතින් දරන්නට බැරි, සිතුම් පැතුම් පොදි පොදි පිනි බිංදු සේ, කිරි බිංදු සේ ඇද හැලෙනා අසිරි සිරි, ඕ මාගේ ..." සුසීට වැඩ වරදින්නේ ඔය සින්දුවෙන් පසුවය. එයට කරුණාරත්න අබේසේකරත්, එම්.කේ.රොක්සාමි පමනක් නොව, එච්.ආර් ජෝතිපාලත්, ඇන්ජලින් ගුණතිලකත් වග කිව යුතුය. ලෝරි මහත්තයා තමා නැව් නැග යන බව දැන දැනම සුසී එක්ක අඩව් ඇල්ලුවේ විවාහ වීමට යැයි කියා සිතන්නට බැරිය. වැඩේ, සුසීගේ මව වූ සෙලෝට මාට්ටු වූ පසු ගෙදර ඇද ඇතිරිවල තිබූ ඩී.එන්.ඒ.පරික්ෂණ වලට අවශ්‍ය බඩු භාන්ඩ උස්සා ගෙන ලෝරි මහත්තයාගේ නිවෙසට සෙලෝ යන්නේ ඔහුගේ පියා මුණ ගැසී මෙය දෙකින් එකක තීරණයක් ගැනීමටය. කෙසේ හෝ ඔහුගෙ පියා සාධාරණ තීරණයක් දෙන නිසා ලෝරිට, සූසීව විවාහ කර ගැන්මට අවසර ලැබුණි. ඉන් පසු ඔවුන් දෙදෙනා ඇති තරම් සමයං නැටුවෝය. "සීතල නල රැල්, නොනිදන දිය රැල් මාගේ ගත සිත ඈත දිව යයි සුහදේ, සොදුරේ ,සුහදේ සොදුරේ" එතරම් විවෘත අවසරයක් ලැබුණද ලෝරි මහත්තයා සුසීව විවාහ නොකර සුසීගේ බඩේ ඩෝලෙ විතරක් බැද, නැව් නැග්ගේ. කථාව ත්‍රිල් කිරීමටය. "එක් පූල් දෝ මාලි" චිත්‍රපටයේද සන්ජේ, සාධනා ගේ බඩේ ඩෝලෙ බැද හිම කඳු තරණය කිරීමට යන්නේ මේ අයුරෙන්මය. නැව් නැග්ග ලෝරි මහත්තයා, එක්වරම අතුරුදහන් වේ. ඔහුට වුනු දෙයක් කව්රුත් නොදනි. අඩුම තරමේ අධ්‍යක්ෂ සිරිල් පී.අබේරත්නවත් දැන ගෙන සිටියාදැයි සැක සහිතය. එහෙත් "ඒක් පූල් දෝ මාලි" හී හිම කඳු තරණය කෙරු සංජය එහිදි අනතුරක් වී මිය ගිය බව වත් ආරංචි විය. ඒ ආරංචිය නිසාය, සාධනාව දරුගැබත් සමග බාල්රාජ්සහනි භාර ගත්තේ. එහෙත් සුසීව දරු ගැඹත් සමග බස්තියන් මුදලාලි භාරගත්තේ ලෝරිට එහෙම දෙයක්වත් සිදුවුණු බවක් ආරංචියක් නොලදමය. කොහොමෙන් කොහොමෙන් හරි සුසීගේ හා බස්තියන් මුදලාලිගේ විවාහය නම් ජයටම කෙරුණි. "මල් සරා හෙමින් විදලා හී සැරය වැදීලා ආදරේ බදුන් පිරීලා සුභ සරණේ බැදීලා' ජේ.ඒ.මිල්ටන් පෙරේරාත් ඔය විවාහයට සම්මාදන් වුයේ, එම ගීය ගයමිනි. සිරිල් පී අබේරත්න "ඒක් පූල් දෝ මාලි" වස්තූබීජය තම කථාවක් ලෙස හුවා දක්වමින්, එයට අපුරුලෙස දෙබස් ලියමින්, තිරනාටකය සකස් කර, අධ්‍යක්ෂණය කලේ තිමති වීරරත්නට, කැමරා අධ්‍යක්ෂණය භාර දීය. සෙලෝගේ චරිතය තුලින් එවකට මුහුදු තීරයේ ජීවත්වන ගැහැනුන්ගේ ජීවන රටාව කදිමට පෙන්වන්නට සිරිල් පී අබේරත්න සමත් වී තිබුණි. ඕනෑම වෙලාවක පිරිමිත් සමග "අඩි පුඩි" ගසා සූර්වීමට හැකි චරිතයක්ය සිරිල් සෙලෝ හරහා මැව්වේ. බස්තියන් මුදලාලි, සෙලෝ ගේ දුව වූ සුසී ව විවාහ කර ගැන්මට කතිකා කර ගැන්මට එනවිට, ඔහු එන්නේ තමාව විවාහ කර ගැනිමටයි සිතා සෙලෝ ක්‍රියා කළ අන්දම සුසී බැලු ප්‍රේක්ෂකයන්ට නම් කිසිදිනෙක අමතක නොවේ. "මම හරි ආසයි ගෑනු මිනිගවුම් අදිනවට" බස්තියන් මුදලාලි කියන විට සෙලෝ කෝල ගතියක් පෙන්වමින් "මුදලාලි වේලාසනින් කිව්වා නම් මමත් මිනි ගවුමක් ඇඳගෙන ඉන්නවනෙ" කියා කියන්නේ මුදලාලිගේ ඇස් උඩයන්නටය. පර්ල් වාසුදේව යන අද්විතීය නිළිය සෙලෝගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නේ ඉමහත් වින්දනයකි. ඇය විශිෂ්ට ලෙස සෙලෝගේ චරිතයට අවතීර්ණ වී තිබූ අතර සිරිල් පී ඇයටම ගැලපෙන සේ දුන් ප්‍රානවත් දෙබස් ඇයගේ විශිෂ්ටත්වයට මහඟු පිටුවහලක් විය. "සුසී" හී සම්පුර්ණ ජීවය නම් මාලනී පොන්සේකාමය. චිත්‍රපටයේ මුල් භාගයේදි කොටට කොටේ ගවුමක් ඇඳගෙන ,පන් කොල තොප්පියක් දමාගෙන,දගකාරව,කටකාරව, සැහැල්ලුවෙන් කල ඒ රගපෑම් නම් මින් පෙර හෝ ඉන්පසුවත් ලාංකේය සිනමාවට පැමිණ තිබුනේ නැත. සුසී තුළ පොඩි "සෙක්සි" ගතියකුත් තිබුණි. මාලනී කොටට කොටේ ගවුම් ඇඳන් ඒ සුසී චරිතයට අවශ්‍ය "සෙක්සි" ගතිය නම් කදිමට ලබා දුනි. ලෝරි පොඩි මහත්තයා ලෙස රගපෑ විජය කුමාරණතුංග අතීශයින්ම ආකර්ෂණීය විය. ඔහුගෙ හැඩ තල, රූ සොබාව,කඩවසම් බව, ගමන බිමන, රිද්මයකට හසුරවන හඩ, කළු සුදු සිනමා පටය තුළ වර්ණවත් කලේ වර්ණ චිත්‍රපට දසදහසකටත් වැඩියෙන්ය. "කොමඩි" හා "සීරියස්" සම්මිශ්‍රන රංගන ශෛලයකින් හෙබී බස්තියන් මුදලාලිගේ චරිතයට එඩී ජයමාන්න, පිවිසුණේ කිසිදු ආයාසයකින් තොරවය. සුසීට හෙලන හා කියන මනමාල කථා එඩී ජයමාන්න තුළින්, ස්වභාවිකවම පිටවුනි. එඩී ජුනියර්,නෙලි ප්‍රනාන්දු, අනුෂා ගීතංජලි, දොන් සිරිසේන,බන්ධු මුණසිංහ, එම්.එස්.ප්‍රනාන්දු ,ලිලියන් එදිරිසිංහ ,බී.එස්.පෙරේරා සෙසු අතුරු චරිත රගපෑ, සිරිල් පී අබේරත්නගේ "සුසී" ලාංකේය සිනමාව තුළ කිසිදින නොමැකෙන විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස හැදින්විය හැකිය.
|