වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




අඩ සියවසක සදාදර රෝයි හෙට එළිදකී

අඩ සියවසක සදාදර රෝයි හෙට එළිදකී

ලාංකේය සිනමා ඉතිහාසයේ පනස් පස් වසරක අඛණ්ඩ සිනමා චාරිකාවක නියැලුණ නැසීගිය සිනමාවේදී රෝයි ද සිල්වාගේ චරිතාපදාන ග්‍රන්ථය අඩ සියවසක සදාදර රෝයි නමින් හෙට සවස 3 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලා පරිශ්‍රයේදී එළි දැක්වෙයි. මෙම අවස්ථාව සඳහා කලා ක්ෂේත්‍රයේ කලා සහෘදයින් රැසක් පැමිණීමට නියමිතය. ග්‍රන්ථය එළිදැක්වීමෙන් අනතුරුව රෝයි රංගනයෙන් දායක වූ මිහිදුම් සිහින චිත්‍රපටය තිරගත වනු ඇත. එදින විශේෂ සහන මිලකට අඩ සියවසක සදාදර රෝයි ග්‍රන්ථය ලබා ගත හැකිය. මෙම අවස්ථාව සදාදර රෝයි අනුස්මරණ කමිටුවේ සංවිධානයකි.


අගෝස්තුව උත්සව මාසයක්

මේ ගෙවුණේ විචිත්‍රවත් උලෙළහි මාසයක්දෝ කියා සැකයකි. එතරම්ම උත්සවයන් මෙම මස තුළ තිබිිණ. ඒ බැව් සමාරම්භ කළේ සරසවිය සිනමා උලෙළෙනි. මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ ද ඉකුත් සතියේ දිග හැරුණේ විචිත්‍රවත් අන්දමිනි. සිග්නීස් උත්තමාචාරද මෙම මස දී පැවැත්විණ. අද සුමති සම්මාන උලෙළද පැවැත්වීමට නියමිතය. එහෙයින් මේ අගෝස්තුව උලෙළයන්හි මස ලෙස නම් කෙරුවාට වරදක් නැත්තේය.


රොඩ්නිගේ සුදු අප්පච්චිට ගී පටිගත වේ

මනෝජ් පීරිස්ගේ සංගීතය

රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කිරීමට නියමිත සුදු අප්පච්චි සිනමාපටයේ ගීත පටිගත කිරීම් පසුගියදා සිදු කෙරිණි. රොඩ්නි විසින් රචනා කළ මෙහි සංගීත අධ්‍යක්ෂණය විශාරද මනෝජ් පීරිස්ගෙනි. මෙහි ගැයුම් සදෙව් සත්කුල, තරුදිනී, මෙත්සයුරි, තේනුක අලගියවන්න, කිත්මිණි කුලතුංග යන ළමා ගායක ගායිකාවන් විසිනි.

රොඩ්නි විසින් අධ්‍යක්ෂණය කළ හිම තාරකා සිනමාපටය මේ දිනවලදී දික්වැල්ල එච්. ආර්. සිනමා ශාලාවේදී තිරගත වේ.


රත්නශීලාගේ සින්දු පැදුර පාණදුර දී

රත්නශීලා පෙරේරාගේ සින්දු පැදුර ප්‍රසංගය එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා පානදුර නගර ශාලවේදී පැවැත්වේ. රත්නශීලා සමඟ ඉෂාක් බෙග්, සුනෙත් වල්පොල, රොනී ලීච්, සුනීර සුවංග, මිතුන් එස්. කේ. දුමිඳු කටුවල මෙහිදී ගායනයෙන් දායක වේ. මෙම අවස්ථාව සංවිධානය කරනු ලබනුයේ පානදුර ශාන්ති අන්තෝනි බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සුබපතන්නන්ගේ එකමුතුව මඟිනි.


ක්ලැරන්ස්්ගේ 75 ට දානමය පින්කමක්

සංගීත ලෝකයේ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරමින් නවමු සංගීත සම්ප්‍රදායක් හඳුන්වා දුන් අසහාය සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ හැත්තෑ පස් වැනි ජන්ම දිනය වෙනුවෙන් දානමය පින්කමක් ඉකුත් දා බත්තරමුල්ල වැඩිහිටි නිවාසයේදී සිදු කෙරිණ. එයට අමතරව ක්ලැරන්ස්ගේ ගුණ සමරමින් සහ එතැන සිටි පිරිසගේ රසාස්වාදය උදෙසා මියුරු සංගීතමය ප්‍රසංගයක් ද පැවැත්විණ.

දැනට විදෙස්ගතව සිටින ක්ලැරන්ස්ගේ ආදරණීය බිරිය ශීලා විජේවර්ධන දියණි අමිලා මේ වෙනුවෙන් මෙරටට පැමිණ සිටීම ද විශේෂත්වයකි. ක්ලැරන්ස්ගේ ගී නිර්මාණයන්හි බුද්ධිමය අයිතිය ඇති ඔවුන්ගේ ඇටෝර්නි බලයැති සමීර ගාල්ලගේ මෙම පිංකම සංවිධානය කරනු ලැබූ අතර මේ අවස්ථාවට සරත් අල්විස්, අර්නස්ට් සොයිසා, වර්ණන් පෙරේරා, ලාංකිකා පෙරේරා, චානක පෙරේරා, ඉසුරු ජයරත්න,පොඩි ජෝති, ලක්ෂ්මන් වෙත්තිංගේ, සමන් රත්නවීර, නදුන් රත්නායක, මැණික් චන්ද්‍රිකා, ඇනෙස්ලි මාලේවන, තීක්ෂණ අනුරාධ, වෛද්‍ය තිලිණි රෝස් දිව්‍යාංජලී, අංජලී, කේ. සුජීවා, අජිත් මුතුකුමාරණ, රොහාන් රූපසිංහ සහ ප්‍රේමසිරි සහභාගි වූහ.


යෞවන නාට්‍ය උලෙළ 4 දා සිට

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරනු ලබන යොවුන් නාට්‍ය උලෙළ සැප්තැම්බර් 4 සිට 13 දක්වා ටවර්හෝල් රඟහලේ දී පැවැත් වේ. මෙවර නාට්‍ය 26 ක් තරඟ වදින අතර කෙටි නාට්‍ය 16 ක් දෙමළ නාට්‍ය 04, දිගු නාට්‍ය 06 ක් ඒ අතර වේ.