වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




පරක්කු වුණ නිසා හැරෙනවද කියලා හිතුවත්...

පරක්කු වුණ නිසා හැරෙනවද කියලා හිතුවත්...

වේශ නිරූපණ ශිල්පී Vidura Abeydheera

මෙවර පැවැති සරසවිය සම්මාන උලෙළේදී 'සරිගම' චිත්‍රපටය 2016 වසර සඳහා වූ ප්‍රධාන සම්මාන හයක් හිමි කර ගනු ලැබුවේ හොඳම නිළිය, හොඳම වේශනිරූපණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ශබ්ද පරිපාලනය, හොඳම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීමෙනි. මේ අතරින් හොඳම වේශ නිරූපණයට හිමි සම්මානය දිනු ගනු ලැබුවේ වේශනිරූපණ ශිල්පී විදුර අබේධීර විසිනි. පළමු වරට තමා හිමි කරගත් සම්මානය ගැන මෙන්ම ඒ සුන්දර මොහොත ගැන අද විදුර සිය මතකය අවදි කරන්නේ මෙලෙසිනි.

2016 වසරේ හොඳම වේශනිරූපණ ශිල්පියා බවට පත් වුණේ ඔබයි?

ඔව්. චිත්‍රපටයක් වෙනුවෙන් මට ලැබුණු පළමු සම්මානය. එය සැබෑම සතුටක්, ඒ වගේම කලා දිවියට ආලෝකයක්. දහඩිය මහන්සියෙන් මගේ කැපවීමෙන්, නිර්මාණශීලිත්වයෙන් ලබපු මේ සම්මානය මට විශාල ජයග්‍රහණයක්.

ඔබේ පළමු සම්මානය පළමු චිත්‍රපටයටද?

මෙහෙමයි. මම චිත්‍රපට කිහිපයකටම දායක වෙලා තිබෙනවා. ඒ සහාය වේශනිරූපණ ශිල්පියෙක් විදිහට. නමුත් ප්‍රධාන වේශනිරූපණ ශිල්පියා ලෙස කටයුතු කරමින් මම දායක වූ ප්‍රථම සිනමා නිර්මාණය තමයි 'සරිගම' චිත්‍රපටය. එහි වේශනිරූපණය වෙනුවෙන් සම්මානයක් හිමිවීම ගැන අහිංසක සතුටක් හිතේ තිබෙනවා.

වේශනිරූපණය එසේත් නැතිනම් අංග රචනය ලේසි කර්තව්‍යයක් නෙමෙයි නේද?

චිත්‍රපටයක් නිර්මාණය කරත්දී එහි සියලුම අංශ ගත්තම ඒ එක කර්තව්‍යයක්වත් ලේසි පහසු නැහැ. ඒ අතුරින් අංග රචනය ප්‍රධාන වෙනවා. චිත්‍රපටයක හැම චරිතයක්ම අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. එයට අංග රචනය ප්‍රබල ලෙස බලපානවා. හැමදාමත් මගේ වෘත්තියේ හැටියට ඒ අභියෝගයට මම මුහුණ දෙනවා. එය සාර්ථකව ඉටු කිරීම මට පැවරෙන ප්‍රධාන වගකීමක් ලෙස සලකනවා.

'සරිගම' චිත්‍රපටයේ අංග රචනය ගැන කතා කළොත්?

මා සම්මානනීය වූ 'සරිගම' චිත්‍රපටය ආචාර්ය සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයක්. රේණුකා බාලසූරිය මහත්මියගේ නිෂ්පාදනයක්. මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක විශ්ව බාලසූරියට. ඔහු තමයි මේ චිත්‍රපටයට මාව යෝජනා කර තිබෙන්නේ. මේ චිත්‍රපටයේ දී මට වේශනිරූපණයේදී විශාල අභියෝගයක් මතු වුණා. මොකද ඉතාම අඩු කාල සීමාවක් තමයි මට පෙර සූදානම් වෙන්න තිබුණේ. ඉතා කෙටි කාලයකින් සූදානම් වුණත් එය සාර්ථකව මට ඉටු කරගන්නට අවකාශ ලැබුණා. ඒ සඳහා මගේ සහාය වේශනිරූපණ ශිල්පී ලහිරු මධුමාධව උපරිමව සහයෝගය මට ලබා දුන්නා. ඒ වගේම සමීර මධු කිඳෙල්පිටිය ලොකු සහායක් ලබා දුන්නා. ඔහු කොණ්ඩා සැකසුම් ශිල්පියා ලෙස කටයුතු කළා. ඒ සහයෝගය මත තමයි අදාළ චරිත නිවැරැදිව ගොඩ නඟා ගන්නට මට අවකාශ ලැබුණේ.

චිත්‍රපටය් නළු නිළියන්ගෙන් ඔබේ අංග රචනයට ලැබුණු සහයෝගය මොන වගේද?

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුනක් තිබුණා. ඒ වගේම කුඩා දරුවන් පිරිසක් හිටියා. කුඩා දරුවන් එක්ක වැඩ කරන්න නම් ලේසි වුණේ නැහැ. සමස්තයක් විදිහට හුඟ දෙනෙක් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.

ඔබ වේශනිරූපණ ශිල්පියෙක් ලෙස අත්පොත් තබන්නේ?

මම කලා ක්ෂේත්‍රයට එක්කාසු වෙන්නේ වේදිකා නාට්‍ය ඔස්සේයි. මගේ ගුරුවරයා වුණේ සමන් චන්න. ඔහු සමඟ 'යාත්‍රා' නාට්‍ය කණ්ඩායම ඔස්සේ තමයි මම කලා ක්ෂේත්‍රයට එක්කාසු වෙන්නේ. ඒ නාට්‍ය කණ්ඩායමේ හැම දෙනාම මට විශාල සහයෝගයක් දුන්නා. පසුව මට සිනමාවේ සහ රූපවාහිනියේ වේශනිරූපණ ශිල්පියෙක් ලෙස කටයුතු කරන්නට හැකි වුණා. එයට අවකාශ සැලසුණේ තුෂාර ජාගොඩගෙන්. ඒ අතරතුර නාරද තොටගමුව සමඟ එක්ව වේශනිරූපණ කලාවේ යෙදෙන්නත් පසු කලෙක ජයන්තා රණවක සර් යටතේ වේශනිරූපණ කලාව ප්‍රගුණ කරන්න මට හැකි වුණා. එතුමන්ගෙන් අංග රචනය ගැන විධිමත් අධ්‍යයනයක් මම ලැබුවා.

ඔබ 2016 වසරේ හොඳම වේශනිරූපණ ශිල්පියා ලෙස සම්මාන ලබන විට ඔබේ ගුරුවරයා වූ ජයන්තා රණවක 2017 වසරේ හොඳම වේශනිරූපණ ශිල්පියා ලෙස සම්මාන ලැබුවා?

එය මගේ කලා ජීවිතයේ අසිරිමත් මොහොතක්. මම සම්මානය රැගෙන වේදිකාවෙන් බහින විට සර් සම්මානයක් ලබන්න වේදිකාවට නඟිනවා. ඒ අවස්ථාව මට වගේම මගේ ගුරුතුමාටත් ලොකු සතුටක් බව මම දන්නවා. ජයන්තා සර් ඇමරිකාවේ ගිහින් වේශනිරූපණ විෂය ඉගෙන ගෙන ලංකාවට ආවේ නැත්නම් මම අද මේ මට්ටමේ නැහැ. ඔහු තමයි මේ දැනුම ලබා දෙන්නට මූලික වුණේ.

ඔබේ නවතම කලා කටයුතු මොන වගේද?

මේ දවස්වල සෝමරත්න දිසානායක මහත්මයාගේම 'සුනාමි' චිත්‍රපටයේ වේශනිරූපණයට දායක වෙනවා. ඒ චිත්‍රපටයෙත් ලොකු කාර්යභාරයක් අංග රචනා ශිල්පියා ලෙස මට පැවැරී තිබෙනවා.

සම්මානයක් ලැබෙයි කියා හිතුණද?

කොහොමටවත් එහෙම දෙයක් හිතුණේ නැහැ. නිර්දේශ වෙලා කියලවත් දන්නේ නැහැ. අනෙක එදා සම්මාන උලෙළට එන්න ඇවිත් පරක්කු වුණා. ආපහු හැරිල යනවද කියලත් හිතුණා. ඒත් දෛවය අනුව සම්මාන උලෙළට ඇවිත් මොහොතක් යන්නට පෙර මගේ නම නිර්දේශ වුණා. එතකොට යම් තිගැස්මක් හිතට ආවා. ඉතා පොඩි වෙලාවක් ඇතුළත සම්මානය මට හිමි වුණා.

සරසවිය සම්මානයක් ලැබූ පළමු වතාව?

සරසවිය සම්මානය කියන්නේ හුඟක් වටින සම්මානයක්. කලාකරුවෙක් සම්මානයකින් දිරිමත් කිරීම ඇරුණු කොට වෙනත් ධෛර්යයක් ඔහුට හෝ ඇයට ලැබෙන්න විදිහක් නැහැ. මෙවර සරසවිය සම්මාන උලෙළ මම දැක්කේ හරිම ගාම්භීර විදිහටයි.

අද කලා ක්ෂේත්‍රයේ හැම තැනම වේශනිරූපණ ශිල්පීන් බහුලව ඉන්නවා?

මම දකින විදිහට ඒ අතරින් හුඟ දෙනෙක් විධිමත්ව ඉගෙන ගෙන වේශනිරූපණ කලාවට ආව අය නෙමෙයි. නිර්මාණයක සහාය වේශනිරූපණ ශිල්පියා වූ පමණින් ඔහුට සාර්ථක වේශනිරූපණ ශිල්පියෙක් වෙන්න බැහැ. ඒ සඳහා වේශනිරූපණ කලාව පිළිබඳ විධිමත් අධ්‍යාපනය වගේම අත්දැකීම් බහුලව අවශ්‍යයි. මොකද අද ලෝකයේ අංග රචනා කලාව සෑහෙන දියුණු මට්ටමකට පත්ව තිබෙනවා. අංග රචනා ප්‍රභේද, ශිල්ප ක්‍රම බහුලව තිබෙනවා. අද ඉහළින්ම තිබෙන්නේ බද්ධ අංග රචනා කලාව. මේ ඔස්සේ රඟපාන නළුවා, නිළිය එහෙම් පිටින්ම වෙනස් කරන්න පුළුවන්. විදෙස් නිර්මාණවල මෙයින් උපරිම ප්‍රයෝජන ගන්නවා. නමුත් ලංකාවේ එය භාවිත වීම අඩුයි. ඒ අංග රචනය විස්මිත කලාවක්.

ඔබේ අනාගත බලාපොරොත්තු?

මම මේ ක්ෂේත්‍රයට එකතු වෙලා වසර පහළොවක් පමණ වෙනවා. ඒ කාලය තුළ මම ලැබූ අත්දැකීම්, ජයග්‍රහණ ගැන හුඟක් සතුටුයි. අපේ රටේ අංග රචනා කලාව ජාත්‍යන්තරයට ගෙන යන්න කටයුතු කිරීම තමයි මගේ බලාපොරොත්තුව.

ඔබේ නිවෙසින් ලැබෙන සහයෝගය?

ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මා, සහෝදරයා වගේම බිරිඳ නිර්මාණි කුලාංග, දියණියන් දෙදෙනා, බිරිඳගේ පියා සරත් කුලාංග, මව නිලන්ති මාලා මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරනවා. ඔවුන්ගේ සහයෝගය මගේ ගමනට සැබෑම ශක්තියක්.