වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




සුරාජ් එක්ක ආව මුල්ම උලෙළෙදීම සම්මානයක් ලැබුණා

සුරාජ් එක්ක ආව මුල්ම උලෙළෙදීම සම්මානයක් ලැබුණා

ThisuriYuwanika

වයස අවුරුදු හතරේ සිට රඟපෑ තිසුරි යුවනිකාට රංගනය යනු කුමක්දැයි අමුතුවෙන් ඉගැන්විය යුතුව තිබුණේ නැත. ඒ ඇගේ මව ද ජනප්‍රිය රංගන ශිල්පිණියක වන බැවින්ය. එ තිසුරි, ධර්ම යුද්ධය සිනමාපටයේ රඟපෑ චරිතයට සරසවිය සම්මානයක් හිමි කර ගත්තීය. 2017 වසරේ නැඟී එන නිළිය ලෙස එලෙස සරසවියෙන් අභිසෙස් ලැබූ ඇය මේ වන විට විවාහ ජීවිතයේ ද උණසුම විඳිමින් සිටින්නේය.

තිසුරි කොහොමද මේ දිනවල ඔබේ රංගන කටයුතු එහෙම?

නාට්‍ය තුනක වැඩ. නේත්‍රා, මිණිගංදෑල සහ කනාමැදිරියෝ තමයි ඒවා. එකිනෙකට වෙනස් චරිත තුනක් තමයි මට හිමිවෙලා තියෙන්නේ.

මා දන්නා තිසුරි එක දිගට නාට්‍ය දෙක තුනක රඟපාන්නේ නැහැ?

ඔව්. ඒක හරි. මම හිතපු නැති විදිහට කලින් කරලා තිබුණු නාට්‍ය දෙකක් විකාශය වීම ඇරැඹුණා. ඒ හින්දා ඒ නාට්‍යවල ඉතිරි කොටස් ටික ෂූට් කරන්න පටන් ගත්තා. එතකොට මං එක නාට්‍යකයි රඟපාමින් හිටියේ.

ඒ කියන්නේ ඔබ නොසිතූ විරූ ලෙස කාර්යබහුල වෙලා?

එහෙම හිතලා වුණේ නැහැ. ඒත් එහෙම වුණා. සාමාන්‍යයෙන් මං නාට්‍යයක රඟපාලා මාස කිහිපයක් නිහඬව ඉන්නවා. එතකොට මටත් යම් විවේකයක් ලැබෙනවනෙ. මේ සැරේ එහෙම වෙන්න බැරි වුණා.

විවාහ ජීවිතයේ සුන්දරත්වය ගැන ඔබ මේ වෙලාවේ නොකිව්වොත් ඒක ලොකු අඩුවක්?

සුන්දරයි, සුන්දරයි තනි වචනෙන්ම මං එහෙම කියන්නම්.

දෙන්නා දැන් කොහෙද පදිංචිය?

කොට්ටාවේ.

අලුත් ගෙයක් හැදුවද?

නැහැ, මගේ හස්බන්ඩ් සුරාජ්ගේ ගෙදර තමයි කොට්ටාවේ තියෙන්නේ. අපි දෙන්නා එහෙත් ඉන්නවා. අපේ අම්මලාගේ ගෙදරත් ඉන්නවා.

කසාදෙන් පස්සේ හස්බන්ඩ්ගෙන් මොන වගේ වාරණ ටිකක් ද ඔබේ රංගනය සඳහා දැම්මේ?

රංගනය සඳහා මට කොහොමත් වාරණ තිබුණා. බැන්ද කියලා වෙනසක් නැහැ. ඒක සුරාජ් දන්නවා. රංගනයේදී මං එහෙම සීමා මායිම් තුළ සිටින නිසා ඔහු අමුතුවෙන් මට වාරණ යෙදුවේ නැහැ. සුපුුරුදු පරිදිම රංගන කටයුතු කරගෙන යනවා.

ප්‍රථම වතාවට සරසවිය සම්මානයක් ලැබුණා?

ඔව්. පළමු වතාවටයි සරසවියෙන් ඇගයුමක් ලැබුණේ. ඒ වගේම තවත් විශේෂත්වයක් තියෙනවා. අම්මලා නැතුව මං සහභාගි වුණ ප්‍රථම සම්මාන උලෙළ තමයි ඒක. මම එදා ආවේ මගේ සැමියා සුරාජ් එක්ක. එදාම මට සම්මානයක් ලැබුණා. මගේ රංගන ජීවිතයට ඉතා සුවිශේෂි අවස්ථාවක් ඒක.

ඔබගේ මවට සරසවිය සම්මානයක් ගන්න බැරි වුණා. ඒත් ඔබ ගත්තා?

මේ වෙලාවේ ධර්ම යුද්ධය චිත්‍රපටයේ සියලු දෙනාව මතක් කළ යුතුමයි. වැඩිය චිත්‍රපට මං කරලා නැහැ. ඉතාම සීමිත චිත්‍රපට ප්‍රමාණයකයි මං රඟපාලා තියෙන්නේ. ඒවත් හොඳ නිර්මාණ. ඉතින් ඒ සඳහා මට අම්මගෙ තාත්තගෙ සහාය නිතරම ලැබුණා. මේ සැරෙත් එහෙමයි. මට සම්මානයක් ලැබුණා කියලා දැනගත්තම එය අම්මට හිමි වුණු තරම් සතුටක් අම්මා ලැබුවා. සරසවිය සම්මාන උලෙළේ ඉන්විටේෂන් එක ලැබුණු වෙලාවේ ඉඳලා අම්මම තමයි මාව උනන්දු කළේ ඒකට යන්න. හරියට ඉවෙන් දැනුණා වගේ මට සම්මානයක් තියෙනවා කියලා.

සරසවිය සම්මානයක් ලැබීම කලාකරුවකුගේ අගය ඉහළ යෑමක්?

තවත් විදිහකින් කිව්වොත් වගකීමක්. ඒ වගකීමෙන් මං කොහොමත් වැඩ කළා. ඉදිරියටත් එහෙමයි. සරසවිය සම්මානය නිසා මට තවත් ගෞරවනීය බවක් ලැබුණා. මේක තමයි අපට තියෙන ඉහළම සම්මාන උලෙළ.

කෙසේ වෙතත් තිසුරිගේ ගමන ඉතාම හිමින් සිදු වෙන්නක්?

හිතාමතාමයි මං එහෙම හිමින් ගමනක යෙදෙන්නේ. හතු පිපිල වගේ මැලවිලා යනවට වැඩිය හොඳ නිර්මාණයකට ගිහින් කාලයක් මතකයේ රැඳී සිටීම තමයි වැදගත්. මං ඒ ප්‍රතිපත්තියෙයි සිටින්නේ.