|
මහ ගණ වනන්තරේ
1960 පෙබරවාරි 11වන දින, අංජලි දේවි, කේ.ඒ.තංගවේලු, ටී.ආර් රාමචන්ද්‍රන් රගපෑ වෙඩක්කම් රාගමයියා, අධ්‍යක්ෂනය කල, "අඩුත්තු වේට්ටු පෙන්" දමිල චිත්‍රපටය දකුණු ඉන්දියාව පුරා ප්‍රදර්ශනය කලේය. 1965 සැප්තැම්බර් 17 වන දින, ක්ලැරිස් ද සිල්වා, ජෝ අබේවික්‍රම, ඇන්තනි සී පෙරේරා රගපෑ එම් මස්තාන් අධ්‍යක්ෂනය කල "අල්ලපු ගෙදර" සිංහල චිත්‍රපටය ලංකාව පුරා ප්‍රදර්ශනය කළේය. 1968 නොවැම්බර් 29 වන දින, සයිරා භානු, සුනිල් දත්, කිශෝර් කුමාර් රගපෑ ජෝති ස්වරූප් අධ්‍යක්ෂණය කළ "පදෝසන්" හින්දි චිත්‍රපටය, උතුරු ඉන්දියාව පුරා ප්‍රදර්ශනය කළේය. මෙම චිත්‍රපට 3නේම තිබුණේ එකම කථා වස්තුවකි. නමුත් මෙම චිත්‍රපට 3නෙන්ම, සාර්ථකම මෙන්ම ජනප්‍රියම චිත්‍රපටය වූයේ එම් මස්තාන් අධ්‍යක්ෂනය කල "අල්ලපු ගෙදර"ය. සේපාලිකා, කපිල, චන්ද්‍රා, නිර්මලා, හා සංගීත මාස්ටර්,ගේ සංගීතමය ගැටුමකි මෙයට ඇතුළත් වුයේ. සේපාලිකාත්, නිර්මලාත් හොදම මිතුරියන් දෙදෙනෙකි. චිත්‍රපටය මුලින්ම පටන් ගන්නෙ ඔවුන් දෙදෙනා ස්කූටරයක නැගී ගීතයක් ගයමින් නගරයේ යන දර්ශනයකි. එකල "හෙල්මට්" නොතිබුණු නිසා, ගීතය නම් පැහැදිලිව අපට ඇසුනි. "සාගර රැජිණීට ආදරෙ කියා සීතල මද නල ගී ගයා ගියා අප තරුණ ජීවිතේ, මධුර මී විතේ රස උරාලා බොමු ලෝකයේ පුරා" ගීතය නිමවන විටම ඇතිවෙන්නේ නම් මාර ජංජාලයකි. ඒ කපිල මල්කිරන නම් තරුණයා, සේපාලිකා හා නිර්මලා ගිය ස්කූටරයේ හැප්පිමය. එයින් ස්කූටරය පෙරලි මේ තරුණියන් දෙදෙනාම "ජබොක්ය". කපිල ෂේප් නියායෙන් මාරුවන්නට ගියද, තරුණියන් දෙදෙනා පලු යන්නට බනින්නට විය. එම මුල් සිදුවීමෙන් පසු, හොදම යෙහෙලියන් දෙදෙනා නැවත මුණ ගැසෙන්නෙ චිත්‍රපටයේ අවසන් ජවනිකාවේදීය. ඒක නම් මාර යාලු කමකි. එහෙත්,මස්තාන්ට ඒවා වැඩක් නැත. මස්තාන්ට තිබූ ප්‍රශ්නය නම් "අඩත්තු වේට්ටු පෙන්" චිත්‍රපටයට වඩා හොද චිත්‍රපටයක් කිරීමය. කපිල මල්කිරනත්, සේපාලිකාත් එක ලග මුහුණට මුහුණ ලා උඩ තට්ටුවකින් සමන්විත නිවෙස් දෙකක වෙසෙන බව ඔවුන් දැනගන්නෙ, සේපාලිකා තමන්ගේ නිවසේ උඩ තට්ටුවේ සිට ගීතයක් ගයන විටය. "සුවබර සුන්දර දෙපසේ සුසිනිදු සුව දුන් ගැවසේ" හා
"සැතපෙන කල හිද නිදි සුවේ දුටු සුබ සිහිනය යලි මැවේ සියොලග යහනක ඉම තියා මගෙ සිත ටික ටික දුර ගියා' කපිල එම ගීත ඇසුණු පසු, හොල්මන් විය. සේපාලිකාට කෙතරම් වශී වුනාද කිව හොත් එතැන් පටන් තමාගේ මුලු කාලයම යොදවන්නේ, සේපාලිකාව තමා නතු කරගැන්මට උප්පරවැට්ටි දැමීමය. මස්තාන්, එකී චරිත වල සම්බන්ධතාවයන් එකිනෙකට අපූරුවට ගළපායි. සේපාලිකා සංගීත මාස්ටර් කෙනෙක්ව ගෙදරට ගෙන්වා ගන්නේ ඇයට සංගීතය හා ගායනය ඉගෙන ගන්නටය. නමුත් මාස්ටර් සේපාලිකා ට සංගීතය උගන්වන නියායෙන්, ඇයට ආදරය කරන්නට පටන් ගනී. "පියා සලන ඉගිල්ලී රත්තරනේ ,ඔබයි මගේ පරෙවි කිරිල්ලි." මේ මාස්ටර් සේපාලිකාට දාන "ගුන්ඩුය" .එහෙත් සේපාලිකාව, මාස්ටර්ට බා ගන්න හම්බ වන්නේ නැත. සේපාලිකා, කට්ට කයිරාටික, වෙට්ට පිත්තල තරුණියෙකි. මුලින්ම කපිල සිතන්නෙ සේපාලිකා ව දිනාගැන්මට බැරි එකම බාධකය සංගීත මාස්ටර් කියාය. එහෙත් එයටත් වඩා ප්‍රබල හේතුවක් තිබෙන බවක් පසුව ඔහුට වැටහෙයි. ඒ ගී ගැයීමට ඇති හැකියාවය. මාස්ටර්ව නම් නොකවුට් කිරීම කපිලට මහදෙයක් නොව, එහෙත් ගීත ගැයීම නම්, ජීවිත කාලය පුරාම උත්සහා කලත් ,කිසි දිනෙක හැකි වන්නේ නැති බව ඔහු හොදාකාරව දැන ගති. මස්තාන් ප්‍රේක්ෂකයන්ව, කපිල ,සේපාලිකා ,මාස්ටර් අතරම රදව ගන්නේ නැත. ඔහු තවත් අතුරු කථා කීපයක්ම ඒ අතරින් පෙන්වයි. ඒ නිර්මලා හා චන්ද්‍රාගේ ආදරය හා, බේබි, හා ඩලෝගේ පියනෝ ලව් එකය. චන්ද්‍රාට නිර්මලාව හමුවෙන්නේ, සම්මුඛ පරික්ෂණයකට, ගිය විටය. එම ආයතනයේ "බොස්" නිර්මලාය. ගැහැනුන් පමනක් වැඩ කරන එම ආයාතනයට, චන්ද්‍රාව සම්මුඛ පරික්ෂණයට කැදවන්නෙ ඔහු ගැහැනු කෙනෙක් යයි සිතාය . ඒ චන්ද්‍ර කියන නමටය. එහෙත් සම්මුඛ පරික්ෂණයෙන් ඔහු සමත් වී ගැහැනුන් මැද වැඩ කරන එකම පිරිමියා ඔහු බවට පත් වේ. "සතෙක්ද පිරිමියෙක්ද ගැහැනියක්ද මේ, බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ" "අල්ලපු ගෙදර" තුළ හාස්‍යමය තේමාවක් වටා කථාව ගොනුවූවද,එය ගලා ගියේ ආදරය පෙර දැරි කරගෙනය. කපිල ,හා මාස්ටර් සේපාලිකාට ආදරය කරයි. එලෙසම නිර්මලා, චන්ද්‍රාට ආදරය කරයි. නිර්මලා, චන්ද්‍රාව තම කාර්යාලයට රැගෙන තිබුනේ, වැඩ කර ගැනීමට වඩා, ආදරය කිරීමටය. ඔහු කාන්සිය මකා ගැන්මට ගීතයක් ගයන විට නිර්මලා ඇදී යන්නේ ඒ නිසාය. "මහ ගන වනන්තරේ- ලොවෙ ඈත කෙළවරේ, සැළලිහිණි ගිරා මලිති බටිති රෑනක් අතරෙ". මෙහී හොදටම ගායනා කිරීමේ හැකියාව තිබෙන්නෙ චන්ද්‍රාටය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කපිල වූවද, එය අබිබවා යන්නේ චන්ද්‍රාගෙ චරිතයයි. චන්ද්‍රාට සිංදු කීමට පුළුවන, ටයිප් ගැසීමට පුළුවන, පියානෝ ගැසීමට පුළුවන, කාර් එලවීමට පුළුවන. කෙල්ලන්ගෙ සිත් දිනා ගැන්මට පුලුවන. එහෙත් මේ කිසිවක් කපිලට බැරිය. කපිල තමාට ගීත ගායනා කිරීමට හැකි බව, සේපාලිකාට පෙන්වන්නේ චන්ද්‍රාගෙ හඩිනි. එහෙයින් මුලු චිත්‍රපටය පුරාම දැවැන්ත සෙවනැල්ලක් බවට පත්වෙන්නෙ, කපිල නොව, චන්ද්‍රාය. 1960 දශකයේ ලාංකේය සිනමාවේ හාස්‍ය උපද්දවන ක්‍රම වේද හරිම කෘතිමය. "අල්ලපු ගෙදර" පුරාවටම තිබුනේ, එම කෘතිම හාස්‍යයයි. එහෙත් ඒ දශකය හා සසදන කල, එම දශකය තුල, තිබූ ප්‍රේක්ෂක රුචිකත්වය මත, "අල්ලපු ගෙදර" හාස්‍යමය චිත්‍රපටයකි. නමුත් මට හැගෙන අන්දමට "අල්ලපු ගෙදර "හිට්" වුණේ එහි තිබූ ගීත වලටය. ඉහත සදහන් ගීත වලට අමතරව, "මේ පිපාසිත ලෝ තලේ", "සොබා අලංකාරෙ මූහුනේ" යන ගීත අදත් නැවුම් ලෙස ඇසිය හැක. ක්ලැරිස් ද සිල්වා සේපාලිකා ලෙසත්, සන්ධ්‍යා කුමාරි නිර්මලා ලෙසත් දකුණු ඉන්දියානු රංග විලාශයට අනුව කෘතිම රංගනයන් ඉදිරිපත් කළෝය. රගපෑම තුල එසේ වූවද, ආකාර්ශණය අතින් නම් ඔවුන් දෙදෙනා චිත්‍රපටයට ගෙන ආ ආලෝකය, සුලුපටු නොවේ. ජෝ අබේවික්‍රම කපිල ලෙසත්, ඇන්තනි සී පෙරේරා, චන්ද්‍රා ලෙසත් සම සමව තම රංගනය ඉදිරිපත් කලෝය, මෙහී මා දුටු හොදම රගපෑම, මාස්ටර් ලෙස රගපෑ හියුගෝ ප්‍රනාන්දුය. ඔහු නම් අතී විශිෂ්ටය. මස්තාන්ගේ "අල්ලපු ගෙදර" 60දශකය හා සසදන කළ, හොද විනෝදාත්මක චිත්‍රපටයකි. එහෙත් "අල්ලපු ගෙදර" චිත්‍රපටය තුලින් මස්තාන්ටත්, එහී රංගන ශිල්පීන්ටත් වඩා කැපී පෙනුනේ නම් එහී සංගීත අධ්‍යක්ෂ ආර්.මුත්තුසාමි සහ,ගායක මිල්ටන් පෙරේරාය. "ඇය සා දෙනෙකුව දිව යයි නම් බියවිලා ඉමි උදුපියලිය පලස විලස වැතිරිලා දිය පාරක් වී බැස යන කල වන පෙතේ මම කුඹුක් ගසක් වෙමි ඉවුරේ පිය කතේ" ශෝන් මැක්ස්මස් දිසානායක (ලබන සතියේ තවත් චිත්‍රපටයක්)
|