වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




රජිනි නැවතත්

රජිනි නැවතත්

ගියවර සරසවිය හොඳම නිළිය කාල ප්‍රධාන චරිතයකට
Kaala අද සිට ලොවපුරා...

පසුගිය මාර්තු මස මුල සිට දින 48ක පමණ කාලයක් පුරා දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුණා. දකුණු ඉන්දිය සිනමාවේ චිත්‍රපට නිෂ්පාදකයන් විසින් මෙම වැඩ වර්ජනය දියත්කර සිටියේ ඩිජිටල් සේවා සපයන්නන් විසින් සිදු කෙරෙන අය කිරීම් ඉහළ බවට චෝදනා නඟමින්. මෙම වර්ජනය හේතුවෙන් පසුගිය මාසය පුරාම ඉන්දියාව විසින් දෙමිළ චිත්‍රපට මුදා හැරීමද සිදු නොකළ අතර ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපට කිහිපයකම තිරගත කිරීම ඒ අනුව ඇණහිටියා. ජයම් රවී රඟන Tik Tik Tik, කමල් හසන් රඟන Vishwaroopam 2 සහ රජිනිකාන්ත් රඟන Kaala වැනි චිත්‍රපට ඒ අතර ප්‍රධාන වුණා. මේ අතරින් අප්‍රේල් 27 වැනිදා තිරගත කිරීමට නියමිතව තිබූ රජිනිකාන්ත් රඟන Kaala චිත්‍රපටය ජූනි 07 වැනිදා (අද) තිරගත කෙරෙන බවට නිවේදනයක් නිකුත් වී තිබෙනවා.

දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි වීරයෙකු වන රජිනිකාන්ත් පසුගියදා සිනමා තිරයෙන් දේශපාලන කරළියටද පා තැබූ අතර එය ඔහුගේ ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් මහත් අමන්දානන්දයට පත් කළ සිදුවීමක් බවට පත් වුණා. වයස අවුරුදු 67ක් වුවද දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළුවා ලෙසින් කිරුළු දරන රජිනිකාන්ත් සිනමා උන්මාදයක් ඇති කරන්නට සමත් වූ නළුවකු බවට පත්වී සිටිනවා. දෙමළ සිනමා නිර්මාණ ප්‍රිය කරන රසික රසිකාවන් රජිනිගේ චිත්‍රපටයන් පැමිණෙන තෙක් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්. 2016 වසරේදී මැරවරයකු ලෙසින් ඔහුගේ රංගනය දැක ගත හැකි වූ Kabali චිත්‍රපටය උන්මාදයක් ඇති කළා. ඉන්දියාවේ ඇතැම් ආයතන එදින සේවකයන්ට Kabali නැරඹීම වෙනුවෙන් නිවාඩු දිනයක් ලෙස නම් කරන්නට කටයුතු යොදා තිබුණා. බැංගලෝර් සහ චෙන්නායි දක්වා වූ Kabali නමින් විශේෂ ගුවන් ගමන් සේවක් පැවති අතර ඒ අතරතුර රජිනිකාන්ත් ප්‍රිය කරන ආහාර වර්ග මගීන්ට පිරිනැමීමටත් ඇතැම් ගුවන්සේවා ආයතන කටයුතු යොදා තිබුණා. චෙන්නායි දක්වා ගමන් ගත් එයාර් ඒෂියා ගුවන් යානා පවා Kabali චිත්‍රපටයේ පෝස්ටර්වලින් හැඩ වී තිබූ අයුරු දැකගත හැකි වුණා. ඔහුගේ නවතම සිනමා නිර්මාණය Kaala ද මෙයට නොදෙවෙනි වනු ඇති බවට බොහෝ දෙනා මත පළ කර සිටිනවා.

දෙමළ ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසින් වර්ගකර ඇති ම්චචතච චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Kabali චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ පා. රන්ජිත් විසින්. මෙහි රජිනි පණ පොවන්නේ කරිකාලන් හෙවත් කාලා නම් තමිල්නාඩුවේ තිරුනෙල්වේලි සිට මුම්බායි නගරයට පැමිණ බලවත් මැර නායකයකු බවට පත් වූවකුගේ චරිතයටයි. කාලා යන්නෙහි අරුත 'මරණයේ දෙවියන්' හෝ 'කළු සමක් ඇති තැනැත්තා' ලෙසින් ගත හැකි වුවද මෙම කාලා ජනතාවගේ දිවි බේරන්නෙකු බවද හෙළි වේ. Kaala චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ රජිනිගේ බෑණා වන ජනප්‍රිය දකුණු ඉන්දීය නළු ධනුෂ් විසින්. Kaala චිත්‍රපටය නිවේදනය කිරීමත් සමඟින් හජි මස්තාන් නම් මැර නායකයකුගේ හදාගත් පුත්‍රයා විසින් තම පියාට අපහාස වන අයුරින් ඔහුගේ චරිත කතාව මෙම සිනමා නිර්මාණයට යොදා ගෙන ඇති බවට චෝදනා නැඟුවා. ඉන්දීය සිනමා පුවත් ගෙන ආවේ, ඔහු විසින් අධ්‍යක්ෂවරයාට සහ නිෂ්පාදකවරයාට තර්ජන පවා එල්ල කළ බවයි. හජි මස්තාන් ද තමිල්නාඩුවේ සිට මුම්බායට පැමිණ තම බලය පතුරුවාගත් අයෙකු වෙනවා. නමුත් අධ්‍යක්ෂ පා. රන්ජිත් පවසා සිටියේ මෙය කිසිවෙකුගේ ජීවිත කතාවක් අලළා නිර්මාණය වන චිත්‍රපටයක් නොවන බවයි. Kaala චිත්‍රපටයේ තිරරචනය ද කර තිබෙන්නේ අධ්‍යක්ෂ රන්ජිත් විසිනි. කෙසේ වෙතත් කේ. රාජකේෂරන් නැමැත්තෙකු මෙයට විරුද්ධව නඩු මඟට පිවිසියා. මෙය තමන් විසින් Kaarikalan නමින් රචනා වූ තිරපිටපතක් බව පවසමින් පා. රන්ජිත්, රජිනිකාන්ත් සහ ධනුෂ්ට විරුද්ධව නඩුවක්ද පවරනු ලැබුවා. කෙසේ වෙතත් මෙය Kaala නමින් තමන් විසින් රචනා කළ එකක් බව අධ්‍යක්ෂ රන්ජිත් විසින් සිය සාක්ෂි ඉදිරිපත් කළා.

Kaala චිත්‍රපටය දෙමළ භාෂාවට අමතරව හින්දි, තෙළිඟු සහ බලයාලම් භාෂාවලින් ද තිරගත කිරීමට නියමිතයි. මෙහි ප්‍රධාන නිළි චරිතයට මුලින්ම ආරාධනා කර තිබෙන්නේ විද්‍යා බාලන් වෙතයි. ඇය එම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම නිසා එම චරිතය හියුමා කුරේෂිහට හිමි වූණා. 'ඔබ නැතුව ඔබ එක්ක' සිනමා නිර්මාණයෙන් සරසවිය හොඳම නිළිය වූ ලාංකික සිනමා ප්‍රේක්ෂකයන්ට සමීප වු අංජලී පාටිල් ද Kaala චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. බොලිවුඩ් සිනමාවේ සුවිශේෂි නළුවකු වන නානා පටේකර්ගේ රංගනයත් මෙහි විශේෂයි. ඔහු පණ පොවන්නේ දූෂිත දේශපාලඥයෙකුගේ චරිතයකටයි. මෙහි කරිකාලන්ගේ බිරියගේ චරිතයට පණ පොවන්නේ ඉන්දීය නිළි ඊශ්වරි රාඕ විසින්.

Kaala චිත්‍රපටයේ නළු නිළියන් ගැන පමණක් නොව එහි රජිනි සමඟින් රඟන සුනඛ සුරතලා ගැනත් විශේෂ සඳහනක් කළ යුතු වෙනවා. මනී නම් වන මෙම සුනඛ සුරතලාගේ වයස අවුරුදු දෙක හමාරක්. චෙන්නායිහි වීදියක සිට සයිමන් නම් සතුන් පුහුණු කරන්නා විසින් පුහුණු කළ මනීහට Kaala චිත්‍රපටයේ රංගනය අවස්ථාව හිමි වී ඇත්තේ සුපිරි තරුව රජිනි විසින් වෙනත් සුනඛ සුරතලුන් 30 දෙනෙකු ප්‍රතික්ෂේප කළ පසුවයි. රජිනි සහ මනී පෙනී සිටින Kaala චිත්‍රපටයේ පෝස්ටරයක් නිකුත් වීම සමඟින් මනී වෙත ඉහල ඉල්ලුමක් පවතින බවත් කොලිවුඩ් ආරංචි ගෙන එනවා. මේ වන විට මනී හට තවත් සිනමා නිර්මාණ කිහිපයකටම රංගන අවස්ථාව ලැබී ඇති අතර ඉන්දීය රුපියල් කෝටි දෙකක් වුවද ගෙවා ඔහු ලබා ගැනීමට පවා ඇතැමුන් ඉදිරිපත් වෙලා. කෙසේ නමුත් මනීගේ හිමිකරු සයිමන් පවසන්නේ තමා කිසිවිටෙක මනී විකිණීමට බලාපොරොත්තු නොවන බවයි.