වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

දශකයක් ගියද අමතක නොවන මිහිඳුකුල

සුනිල් මිහිඳුකුල යනු සිනමාව පිළිඳ කෘතහස්ථ දැනුමක් ඇති සිනමා පුස්තකාලයක් බඳු රන්මිණි පහණකි. ඔබ වෙතින් බිහි වුණු සිනමා ග්‍රන්ථ ප්‍රකාශන දෙස බැලූ විට එය මනාව පසක් වේ. ඔබගේ දැනුම් සම්භාරයේ සීමා මායිම් නොමැත. එසේම ඔබ ඉතා නිහතමානී ගුණගරුක සරළ මිනිසෙකි. ඔබගේ ජනප්‍රියත්වයට මේ උතුම් ගුණාංග ද බොහෝ ඉවහල් විය. සුනිල් මහතාණෙනි, ඔබ අපෙන් වෙන් වී වසරක් නොව දශකයක් ගිය ද ඔබ පිළිබඳ මතකය අපගේ හදවත් තුළින් කිසිදා බැහැර නොවේ.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

රෙබෙකා නැති අඩුව අදටත් දැනේ

ගෙවී ගිය වසරවල ටෙලි නාට්‍යවලට නැතිවම බැරි නිළියක් වූයේ නම් ඒ රෙබෙකා නිර්මලීය. පෙම්වතියගේ මෙන්ම මවගේ භූමිකාව ද ඉතා තාත්විකවම රඟපෑ සෑම ටෙලියකම සාර්ථක ලෙසට ඉදිරිපත් කළේය. චතුර කථිකත්වයෙන් පිරි ඇයගේ දෙබස් උච්චාරණය ද රංගනයට නොදෙවෙනි විය. මනා රූසපුවක් ද හිමි ඇයගේ රංගනයන් අදටත් නැවුම්ව දක්නට ලැබේ. මේ දිනවල ‘පියවි’ ටෙලියේ ඇගේ රංගනයන් පුංචි තිරයේ දකින විට නෙතට කඳුළක් නැඟේ. මන්ද ටෙලි නාට්‍යයට, සිනමාවට ඇය අවශ්‍යම යුගයක අඩු වයසින් මාරක පිළිකා රෝගයට ගොදුරුව අප හැර ගිය නිසාවෙනි. ඔබට නිවන් සුව.

ජගත් චන්ද්‍රසිරි

පූජා ජගත්සිරි

පස්යාල

බොදු බැති ගී සීමා නොකරන්න

මොහිදින් බෙග් ගායනා කර ඇති බොදු බැති ගී වෙසක් පොසොන් තොරණ්වලට පමණක් සීමා නොකර වෙනත් බොදු වැඩ සටහන්වලදීත් ප්‍රචාරය කරන්නේ නම් අගේ කොට සලකමි.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

අයිරින් ගැයූ ගීය

අම්බපාලි චිත්‍රපටයට අයිරින් ද සිල්වා ගායනා කරන ලද වැසි දිය මුතු ඇට ගගනේ, යෞවන චන්දනිය’ යන ගීතයත් ඉතා චමත්කාරය. ශාස්ත්‍රීය ගායනය පිළිබඳ ඇය තුළ තිබූ හැකියාව එයින් මනාව පෙනේ. උච්ච ස්වරයෙන් ගායනා කිරීමේ හැකියාවද ඇය තුළ තිබුණි.

ඩග්ලස් දෙද්දුවගේ

ගොඩගම

ටෙලි නිළිය කෝ

ඉතා විශිෂ්ට ගනයේ ටෙලි නිර්මාණවලට දායකත්වය සැපයූ ඉන්ද්‍රාණි ජයවර්ධන නම් ටෙලි නිළිය නිශ්ශබ්දව සිටින්නේ නිර්මාණ නැතිකමින්ද? නැත්නම් ඔබගේ පෞද්ගලික හේතුන්දැයි අපි නොදනිමු. එහෙත් පේ‍්‍රක්ෂක අප ඔබගෙන් මතුවටත් ටෙලි නිර්මාණවල දායකත්වය බලාපොරොත්තුවෙන් සිටිනවා.

ආතර් ජයකොඩි

කොළඹ 02

සිනමාවට පිවිසීමට නම් වෙනස් කළ පුද්ගලයෝ:

උගෝ සිංඥෝ - හියුගෝ ප්‍රනාන්දු

ඇල්බට් පෙරේරා - ඩබ්ලිව්. ඩී. අමරදේව

හෙට්ටිආරච්චිගේ එම්මානුවෙල් ඇලෝෂියස් රොඩ්රිගෝ - ප්‍රේම් ජයන්ත්

අයිරාංගනී මීදෙණිය - අයිරාංගනී සේරසිංහ

රිටා ජෙනිවි ප්‍රනාන්දු - ලතා වල්පොල

ඩබ්ලිව්. කේ. රූපසේන - රවින්ද්‍ර රූපසේන

ඉවෝන් පෙරේරා - සන්ධ්‍යා කුමාරි

ටයිටස් ද සිල්වා - ටයිටස් තොටවත්ත

රණසිංහ හෙට්ටිආරච්චිගේ ඉග්නේෂස් ඇන්තනී සිල්වා - ටෝනි රණසිංහ

හනීෆා මොහොමඩ් - ශෂි විජේන්ද්‍ර

බොනිෆස් පෙරේරා - රවීන්ද්‍ර රන්දෙණිය

පාරා නිලෙප්නා රණසිංහ - පාරමී රණසිංහ
 

ලියනගේ සෝමරත්න ද සිල්වා

අහුන්ගල්ල

රුහුණු සේවයට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය අසන්නන් වෙත බොහෝ සේ සමීපව අද වන විට පෙරමුණේ සිටින නාළිකාවකි.

රුහුණු සේවය මඟින් සම්පාදනය වන ගීතමය, සංවාදමය, සිනමාත්මක, නාට්‍ය සොබා සොඳුරු බව රැඳුණු කාලීන විචිත්‍රාංග මේ සියල්ලම දවස පුරාම සවන් දිය හැකි අයුරින් රුහුණේ නිවේදක නිවේදිකාවියන් අප වෙත ගෙන එයි.

නවීන ශ්‍රව්‍ය උපකරණ භාවිතයෙන් රුහුණ, ඌව ආවරණය කිරීමට සූදානම්වන රුහුණු කුමාරියට මගේ සුබපැතුම්.

සමන් ගාල්ලගේ

කැටපල

චිත්‍රපට නාමාවලි පැහැදිලි නෑ

දිනපතාම රූපවාහිනියෙන් පෙන්වන චිත්‍රපටවල නම සඳහන් වන අයුරු ඉතාම අසීරුවෙන් කියවන්න ඕනෑ. පැහැදිලි නැහැ. කලින් විදියට චිත්‍රපටයේ නම පැහැදිලිව සඳහන් කරන්න.

ලීනා ද සිල්වා

මහනුවර

වෙම්බ්ලි සිනමාහල සදහටම වැසේද?

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ආරම්භයේ සිට පැවතුණ සීමාසහිත සිනමාස් සමාගමට අයත් වූ පැරැණිතම සිනමාහලක් වූ මහනුවර ‘වෙම්බ්ලි’ සිනමා ශාලාව බොහෝ කාලයක සිට වසා දමා තිබේ. මේ හේතුවෙන් මහනුවරට අවශ්‍යම වූ සිනමාහලක් වසාතැබීම සිනමා ක්ෂේත්‍රයට මෙන්ම අපට ද බලවත් පාඩුවකි. එදා මහනුවරට තිබූ ‘වේල්ස්’ සහ ‘ඕඩියන්’ යන සිනමා ශාලා නැත්තට නැතුව ගියාක් මෙන් ‘වෙම්බ්ලි’ සිනමාහල අහිමි වුවහොත් එය දැරිය නොහැකි පාඩුවකි.

උපනන්ද

මහනුවර

වෙළෙඳ සේවය වැජඹේවා

කොහේ සිටියත් ළඟ ඉන්නවා වගේ ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය අසන්නන්ගේ ඉල්ලීම් තීරය, පසන් නිවස, කාන්තා ඉල්ලිම් තීරය එදා සිට ප්‍රචාර කළා. මතකේ රැඳුණ ගී නැවත ආරම්භ කරනවා නම් වඩාත් හොඳයි. වෙළෙඳ සේවය සැමදා වැජඹේවා.

බී. ජී. සුමනරත්න

තෙල්දෙණිය

හික්කඩුවෙන් බිහි වූ අශෝක පොන්නම්පෙරුම

60, 70 දශකයේ රසික හදවත් තුළට කා වදින චරිත රඟපෑ ඔබ තවමත් මතකයේ රැඳේ. ‘ඉඳුනිල’ චිත්‍රපටයේ දැවැන්ත හස්තිරාජයා ඔබව පාගා මරණ දර්ශනය අපූරුවට රඟපෑහ. ‘සැමියා බිරිඳගේ දෙවියාය’, ‘ලන්ඩන් හාමු’, ‘ඉවසන දනා’, ‘පික් පොකට්’ අමතක නොවන සුළුය. හැඩි දැඩි සිරුරක්, තේජාන්විත පෙනුම රසිකයින්ට අමතක නොවන සුලුය. තවම සිනමාවට ඔබ කළ කැපවීමට කෙනෙක් ඉදිරිපත් වී නැති තරම්ය.

දයානන්ද ද සිල්වා

සීනිගම

රාසි අන්වර් නිහඬ ඇයි?

කුඩා කාලයේදීම රංගනයට පිවිසිලා, රඟපෑ සෑම චරිතයක්ම අභියෝගාත්මකව ඉදිරිපත් කළ එකල වයසින් වැඩිය මුහුකුරා නොගිය නළුවෙකි රාසි අන්වර්. ඔහු කුඩා අවදියේදීම රඟපෑ ‘ජනේලය’ චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙණිය හා කළ රංගනය ඔහු එකල කුඩා දරුවෙකු වුව ද රවීන්ද්‍ර හා එක්ව චිත්‍රපටය පුරාම ත්‍රාසය, භීතිය, කුතුහලය උපද්ද විය. එයින් පසු ‘පාලම යට’ චිත්‍රපටයේ ගීතා කුමාරසිංහගේ පුතා ලෙස කළ රංගනය සනත් ගුණතිලක එහි වලහා ලෙස කළ රංගනයට ද අභියෝගයක් විය. සාවිත්‍රිගේ රාත්‍රිය ඇතුළුව තවත් චිත්‍රපට කිහිපයක පමණක් රඟපෑ මේ දක්ෂ රංගධරයා ගැන කිසිදු තොරතුරක් කාලෙකින් දැනගන්නට නැත. මෙවන් දක්ෂතා සපිරි ශිල්පීන්ගේ නිහඬ බව අපට නම් දැඩි අඩුපාඩුවකි. රාසි අන්වර් නිහඬ බව බිඳ යළි අප අතරට එන්න.

ජගත් චන්ද්‍රසිරි

පූජා ජගත්සිරි

මීරිගම පාර, පස්යාල

වීඩියෝ මඟින් තරඟයක් තියමුද?

දැන් 60 ර්‍ථතභඵ කරළියට පැමිණ ඇත. තේරී පත් වූ වැඩිහිටියන් පිරිසක් එහි ගිී ගයති. වැඩිහිටි පිරිසගේ ගමන් පහසුව සහ ශාරීරික අපහසුතා තකා ගී තරඟයක් වීඩියෝ මඟින් පැවැත්වීමට හැකියාවක් ඇත්නම් එය වයස්ගත වූවන්ට කරනා මහඟු සේවයක් සේම තම තමන්ගේ හැකියාවන් මනා ලෙස ප්‍රදර්ශනය කිරීමට වැඩිහිටියනට අවස්ථාවක් ලැබෙන බව සඳහන් කරන අතර ජනතාවට වඩා හොඳ තීව්ර තරඟයක් නැරැඹීිමට ද අවස්ථාව සැලසෙන්නේය.

සිරිමල් පීරිස්

මොරටුව

ආදර්ශමත් ගීත බිහි කරමු

කාසිවලට ගන්නත් බැරි කාසිවල දෙන්නත් බැරි මනුස්සකම මිනිස්සුනේ යන මෙවන් අරුත් ඇති ගීත පිරිහී යමින් පවතින මෙවැනි මිනිස් සමාජයකට ආදර්ශමත් ගීතය. තව තවත් මෙවැනි ගීත බිහිවේවායි ප්‍රාර්ථනා කරමි.

ආරියදාස පිංදෙණිය

බටවල - පාදුක්ක

අමරසිරි කලංසුරියට

අහස් ගව්වෙන් සිනමා දිවියේ ගව් ගණනක් දුර පැමිණි අති විශිෂ්ට රංගන ශිල්පියාණනි! දිවි ගමනේ තවත් බොහෝ දුර යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!

එස්. ඒ. සමන් කුමාර

කඩවලගෙදර

මෙම හිරිහැරය නවත්වන්න

ටෙලි නාට්‍ය නරඹන්නා මේ වන විටත් කඩින් කඩ ලබන විරාමයන් සහ වෙළෙඳ දැන්විම් නිසා බොහොම හෙම්බත් වී කතා රසය ද අඩුවෙන් ලබා තිබියදීම තවත් විශාල හිරිහැරයක් ධ් ඊ ව් ස්වා. රූප. සේවය අරඹා ඇත. එනම් රාත්‍රී 7.00 යන ටෙලි නාට්‍ය අතරතුර 7.30 විකාශනය වන ටෙලි නාට්‍යයේ ජවනිකා 7.00 හි කොටසක් මෙන් ඉදිරිපත් කරයි. 7.30 විකාශනයේදී ඉදිරි 8.30 ටෙලි නාට්‍යයේ කොටස් ද පෙන්වන්නේ විරාමයක් නොලබාම 7.30 ජවනිකාවක් මෙනි. මෙය ප්‍රේක්ෂකයා මුලා කිරීමකි. එසේම රස වින්දනය මොට කිරීමකි. එසේ ඉදිරි නාට්‍යයේ කොටස් පෙන් විය යුත්තේ මඳක් විරාමයක් ගත් පසුවය. එසේම මෙය ප්‍රේක්ෂකයා, ටෙලි නාට්‍ය නරඹන්නා නොසලකා හැරිමකි. මෙය වහාම නතර කළ යුතුයි.

සුනිමාලි ගෝමස්

කටුබැද්ද, මොරටුව

ආදර ජීවන්ට

සිංහල සිනමාවට තනි තරුවෙන් ආ චණ්ඩියෙක්, සූරයෙක්, වීරයෙක්, පෙම්වතෙක්, රජ කෙනෙක් පසුව ඔබ කෙළෙිමඬල, සයනයේ සිහිනය, තුන්වෙනි ඇහැ සැඟවුණු දක්ෂතා පෙන්වා ඇත. එවැනි රඟපෑම් ඉදිරියේදී දැක ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

ප්‍රියන්ත හෙට්ටිආරච්චි - ගම්පහ

සිනමාහලයි ජාතික ගීයයි

දැනට වසර කිහිපකට ඉහත දී සිනමාහලක චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේදී ප්‍රථමයෙන් තිරය මත දිස් වූයේ ‘ශ්‍රී ලංකා ජාතික කොඩිය’ සමඟ ‘ජාතික ගීතය’ පසුබිමින් වාදනය වීමයි. ඉතින් දැන් එම ක්‍රියාව ක්‍රම ක්‍රමයෙන් නැත්තට නැති වී හමාරයි. ඒ නිසා නැවතත් එම ක්‍රියාව ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරන්නේ නම් එය අපගේ සිතට මහත් සතුටකි.

මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල

කෑගල්ලේ තටාකය පාරේ

පිනි පැසසිය යුතුයි

ධ් ඊ ව් නාළිකාවේ විකාශය නිමා වූ පිනි නමේ අර්ථයටම ගැළපුණි. ලෝක ධර්මතාවය අනුව සියල්ල සිදු වන බව මැනවින් පැහැදිලි වු අතර බොරුවෙන් කපටිකමින් වංචාවෙන් ලොව දිනන්න බැරි බව නාට්‍ය තුළින් ඔප්පු කළ අතර නාට්‍ය අවසානයේ සාර්ථකත්වය අගය කරමි.

කල්‍යාණ ජයනෙත්ති

මැටරඹ, උණවටුන

සටන් නළුවන් අද කෝ

සිනමා ක්ෂේත්‍රය තුළින් විස්මිත ලෙස සිනමා නිර්මාණ වර්ණවත් කර ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනාගත් සටන් නළුවන්ගේ අද වන විට විශාල ලෙස රංගන දායකත්වයන් අඩු වී ඇත. ඒ අතරින් වන ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, මාක් සැම්සන්, විල්සන් කරුණාරත්න, ටිරෝන් මයිකල්, ක්ලීටස් මෙන්ඩිස්, ටෙඩී විද්‍යාලංකාර, වසන්ත කුමරවිල යන සටන් නළුවන් වේ.

එදා මෙදාතුරු ජීවිත පරිත්‍යාගය කර සටන් තුළින් විශාල මෙහෙවරයක් කළ ඔවුන්ගේ දක්ෂ රංගන දායකත්වය යළිත් දැක බලා ගැනීමට සිනමා ක්ෂේත්‍රය තුළින් ප්‍රේක්ෂක අප සැම දෙනා සැදී පැහැදී බලා සිටිමි.

පාලක සමන් පෙරේරා

හැඳල

ගායිකා චාන්දනී හෙට්ටිආරච්චි

පසුගිය මාර්තු 31 වන දින ‘සිරස’ රූපවාහිනී නාළිකාවේ රාත්‍රියේ විකාශනය වූ ‘සිරස සාජ්ජය’ නමැති ගීතමය වැඩ සටහනේදී ගීත ගායනය සඳහා එක් වී සිටිමින් එහි අවසානය දක්වාම රැඳී සිටිමින් ඔබ ගැයූ හැම ගීතයක්ම හරිම ලස්සනයි. එමෙන්ම එදා ඔබ ‘සල් මල්’ ගීතය ගැයූ විලාශය ඉතාමත්ම ප්‍රියංකරයි. ඒ වගේම ඉතාම මනරම් කට හඬක් ඇති ඔයා මතු තිරයට එන්නට ඇති චිත්‍රපටවලට දායක වී චිත්‍රපට පසුබිම් ගායනයේද යෙදෙමින් කලා ලොව වර්ණවත් කරන්න සිතට ගන්න. නිරෝෂා විරාජිනී, සමිතා, උරේෂා, ශෂිකා නිසංසලා ආදී ගායිකාවන්ට කලින් ඔයා සංගීත ක්ෂේත්‍රයට පිවිසුණු ගායිකාවක් ලෙස ඔබ සතු හැකියාවන් ප්‍රදර්ශනය කරමින් දක්ෂතම ගායිකාවක් වෙන්න.

මිල්ටන් ප්‍රනාන්දු

මූදුකටුව