වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මඩ එපා ! මෙන්න මේකයි වෙච්ච දේ

මඩ එපා ! මෙන්න මේකයි වෙච්ච දේ

ප්‍රවීණ රංගන ශිල්පිනී Deepani Silva

මේ සංවාදයට පාදක වන්නේ ඉකුත් දිනවලදී සිදු වූ රිය අනතුරක් ගැන. රිය අනතුරු කොහොමද සරසවියට අදාළ වෙන්නේ කියා ඔබ අසාවි. ඒක මෙහෙමයි. මෙම රිය අනතුරේ එක් පාර්ශවයක් නියෝජනය කරන්නේ අපට සිටින ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ දීපානි සිල්වා. අනෙක් පාර්ශවය සාමාන්‍ය පවුලක්. දීපානි මෙහි කොනක ඉන්න නිසාම මේ ගැන බොහෝ දෙනෙකු අවධානය යොමු කළා. මෙම රිය අනතුර මහා ලොකු පුවතක් කරගෙන ඇතැම් මාධ්‍යයන් බොරු ප්‍රචාරත් මැව්වා.

විශේෂයෙන් සමාජ ජාල වෙබ් සයිඩ්. සමහරු වුණේ මොකක්ද කියලාවත් දැකපු නැති අය. ඒ අතරේ සමහරු සමාජ ජාලා හරහා දීපානිව මහ උලු ගෙදර යවලා ඉවරයි. කෙටියෙන්ම කිව්වොත් දීපානිවත් නොදන්නා දේවල් එම සමාජ ජාල ඔස්සේ පතුරවලා. මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් දීපානි බලා සිටිනවා. අද වන විට ඒ තත්ත්වය යම්තාක් දුරකට සමථයට පත් වුණත් අළු යට පොඩි පොඩි ගිනි පුපුරු මතු වෙනවා වගේ ඒ මඩ ප්‍රචාර සැරින් සැරේ එනවා යනවා. මේ කතාවේ මුල සිට අග දක්වා දැන ගැනීමට ඔබත් කැමැත්තෙන් ඇති. සවන් දෙමු දීපානිගේ හඬට.

මම මගේ අම්මට හරිම ආදරෙයි. මගේ සෙවණේ නොසිටියත් මං නිරන්තරයෙන් ඇය ගැන අවධානයෙන් සිටිනවා. අක්කා ගාව තමයි අම්මා ඉන්නේ. ඇයට දැන් වයස අවුරුදු අනූ හතක්. ඔහොම ඉන්නකොට රාත්‍රියක මට අක්කගෙන් දුරකතන ඇමතුමක් එනවා අම්මා අසනීප වෙලා කියලා. මං ඊට පහුවෙනිදා පාන්දරම අම්මව බලන්න ගියා. මං උදෙන්ම වාහනයට නගින්න හදද්දී මං නැවතිලා ඉන්න ගෙදර අය මට කිව්ව මේ පාන්දර යන්න එපා. දවල් වෙලා යමු ඒ අයත් එන්නම් කියලා.

මං ඒ වුණාට ඒ වෙලාවෙම ආවා. මගේ ඔලුවේ වැඩ කළේ ඉක්මනින් අම්මව රෝහල් ගත කරන එක ගැන. බණ්ඩාරගම කිඳෙල්පිටිය හන්දියේ තියෙනවා ලොකු වංගුවක්. එතැන ගොඩක් භයානකයි. ඔය හරියෙදි එහා අන්තයෙන් ආව ත්‍රීවිල් එකක් මගේ වාහනේ වැදුණා. ඒ වැරැද්ද එක පැත්තකට විතරක් මං පවරන්නේ නැහැ. අපි දෙපාර්ශවයම වැරැදියි. ත්‍රීවිල් එකේ හිටපු පොඩි ළමයව එළියට විසි වුණා. ඒ වෙලාවෙම ඒ ළමයව කළුබෝවිල රෝහලට ගෙනිච්චා. බෙහෙත් දාගෙන පැය 24 කට පසුව ටිකට් කැපුවා.

 නමුත් මේ පිළිබඳ පළ වූ ප්‍රවෘත්ති සියල්ලගේම සඳහන් වූයේ ඒ ළමයට බරපතළයි කියලනේ?

ඒ විතරක් නෙවෙයි, ඇතැම් අය කියලා තිබුණා මං බීමතින් හිටියා කියලත්. මා එතැනින් පලා ගියා කියලා කියපු අයත් හිටියා. මේ කිසිම කෙනෙක් සිද්ධිය වුණ පැත්ත පළාතකවත් හිටියේ නැහැ. මේක මේ රංග ශිල්පිණියක් කර ගත්තු පළමු අනතුරද? නෑ. ඒත් මේ සිද්ධිය මහා ලොකු දෙයක් කර ගත්තා. ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හැර අනිකුත් සියලුම නාළිකා උදේ බ්‍රේකිං නිවුස්වලින් පටන්ගෙන රෑ දහයේ

ප්‍රවෘත්ති විකාශය දක්වා මේ අනතුර ගැන ප්‍රවෘත්ති පළ කළා. ඒවායේ කියපු දේවල් සත්‍ය කරුණු නොවෙයි. මේ අනතුර ජාතික මට්ටමේ වටිනාකමක් ඇති එකක් බවට පත් කරගෙන රහ කර කර ඒ ගැන කිව්වා. මේ නිසාමයි මමත් දැනගත්තේ මං ඒ වගේ ජාතික සම්පතක් කියලා. ඔය සියලුම නාලිකාවල ඉන්න ප්‍රධානීන් මාව හොඳට දන්නවා. ඒ එක් කෙනෙක්වත් නිකමට මගෙන් කතා කරලා

අනතුර ගැන ඇහැව්වේ නැහැ. එහෙන් මෙහෙන් ඇහෙන ප්‍රවෘත්ති තමයි විකාශය කළේ. එහෙම බලන කොට ඔවුන් කියන අනෙක් ප්‍රවෘත්ති ගැනත් සැකයක් තියෙනවා. ඒවත් එහෙමද දන්නෙ නැහැ.

 සමාජ ජාලවලින් ඔබට මඩ ගැහැව්වා. ඒවාට පිළිතුරු දෙන්න ගියේ නැත්තේ ඇයි?

ඇයි මං ඒවාට පිළිතුරු දෙන්න යන්නේ. සමාජ ජාල කියන්නේ මිනිස්සුන්ගේ දුක, සතුට, වෛරය, ද්වේශය ආදී හැඟීම් බෙදා ගන්නා තැනක්. එතැන පළ කරන බොහෝ පුවත් සත්‍ය නෙවෙයි. ඒ නිසා මං කලබල වෙලා ඒවාට පිළිතුරු දෙන්න පටන් ගත්තොත් ඒ පිළිතුරුවලත් වැරැදි සොයමින් ඒ වැරැදි පළ කරාවි. ඊට වඩා හොඳයි මෙහෙම නිහඬව ඉන්න එක.

 නමුත් ඔබ සහෝදර කලාකරුවන් ඔබට මඩ ගැසූ පුවත්වලට කමෙන්ට් දක්වා තිබුණා?

ඔව්. මගේ සහෝදර කලාකරුවන් මට එවලේ ඉඳන්ම කතා කර කර දුක සැප ඇහැව්වා. වෙන්න ඕන දේවල් මොනවද ඇහැව්වා. ඒ අය දන්නවා මගේ නිවැරැදිභාවය. ඒ වෙනුවෙන් තමයි ඔය විදිහෙ කමෙන්ට දාන්න ඇත්තේ.

 මේ අනතුර දිගේ ඔබට දිගින් දිගටම මඩ ගහන්න ඇත්තේ කවුරු කියලද ඔබ හිතන්නේ?

ඔය ආව මඩ ගැසීම තනිකරම දේශපාලන පළිගැනීමක් කියලයි මට හිතෙන්නේ. පුද්ගලික තරහවල් පිරිමහා ගන්න පොටක් හොය හොය ඉන්න කොට මේ දෙයත් ඇති මඩගහන්න. ඒකයි මේ සිද්ධ වුණේ.