වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ලොකු අයට වඩා පුංචි ළමයි මාව හඳුනනවා

ලොකු අයට වඩා පුංචි ළමයි මාව හඳුනනවා

තිළිණි පෙරේරා

ළමා නිවේදිකාවක ලෙසින් කරළියට ආ තිළිණි පෙරේරා අද වන විට ස්වර්ණවාහිනිය ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිවේදිකාවක්. එහෙත් ඉකුත් දිනවලදී ඇගේ රුව ටෙලිවිෂනයෙන් අප දුටුවේ නැහැ. සිය වෘත්තීය ජීවිතයේ මඳ විරාමයක් ගෙන සිටින තිළිණි සරසවියට ගොඩ වූයේ ඇගේ වතගොත කතා කිරීමටයි.

 පළමුව මං අහන්නේ ඔබේ විරාමය ගැන?

විරාමය සැපයි. මං කොතරම් දේ කරගත්තාද මේ විවේකය නිසා. මගේ නීතිවේදී උපාධියේ කටයුතුවලට වෙහෙසුණා. ඒ වගේම මං බිස්නස් එකකුත් පටන් ගත්තා. පෙරළෙන පිට හොඳයි කියලා මං එන විදිහට මුහුණ දුන්නා.

 තිළිණි පෙරේරා නමැති ළමා පුවත් නිවේදිකාව ගැන මතකය ආවර්ජනය කළොත්?

ළමා නිවේදිකාවක වෙන්නේ රත්නා පුෂ්පකුමාරි මිස්ගේ පාඨමාලාවෙන් පසුවයි. ටීවී ලංකා සහ ටීඑන්එල් යන ආයතනවලට සම්බන්ධ වුණා. ජාතික රූපවාහිනියේ ළමා පුවත් කිව්වා අවුරුදු හතරක් . සුන්දරයි ඉතින් ඒ කාලේ.

 එතකොට ඔබ ස්වර්ණවාහිනියට එන්නේ?

2010 වසරේ අයැදුම්පතක් යොමු කරලයි මං එයට එකතු වුණේ. එතකොට මං බැංකුවක වැඩ කළා. ඒ රස්සාව දාලා පුරුදු නිවේදනයට එකතු වුණා.

 නිවේදිකාවක් පමණක් නොව ඔබ නිෂ්පාදිකාවක හැටියට ද සේවය කරනවා?

ඔව්. නිෂ්පාදිකාවක් කියලා කියන්නේ නිවේදනයට වඩා වගකීමක් ඇති තනතුරක්. ප්‍රවෘත්ති සෙවිම, සැකසීම ආදී කටයුතු ඊට ඇතුළත්. ඒවා තමයි නිවේදකයා හෝ නිවේදිකාව ඉදිරිපත් කරන්නේ. අපේ අතින් වැරැදුණොත් වැරැදුණාම තමයි.

 එහෙම වැරැදීම් එහෙමත් වෙලා ඇති?

ලොකුවට එහෙම වැරැිදීම් වෙලා නැහැ. හවස් වරුවේ සිදුවන අනතුරු පිළිබඳ ප්‍රවෘත්ති එනකොට අනතුරට පත්වෙච්ච පිරිසේ ප්‍රමාණය අඩු වැඩි වෙන වෙලාවල් එහෙම තියෙනවා. ඒ වෙලාවේ අපිත් හදිස්සියේ වැඩ කරන්නේ. ප්‍රවෘත්තිය ලබාදෙන වාර්තාකරුත් හදිස්සියේ වැඩ කරන්නේ.

 ඔබව වඩාත් සංවේදී කළ ප්‍රවෘත්තිය මොකක්ද?

සේයා දැරිය ඝාතනය වූ වෙලාවේ පටන් ඝාතකයා සොයා යෑම දක්වා කියන්නට වුණු සෑම ප්‍රවෘත්තියක්ම මා සංවේදීතාවයට පත් කළා. හරිම කම්පනයකින් එම ප්‍රවෘත්ති කිව්වේ.

 ලයිව්@ 8 ලයිව් @ 7 වුණ එක ගැන ඔබේ මතය මොකක්ද?

අන්න ඒකට නම් මං සතුටු නැහැ. තිබිච්ච වෙලාව හොඳයි. මිනිස්සු පුරුදු වෙලා හිටියේ ලයිව් @ 8 වලට මිසක් වෙන දෙයකට නෙවෙයි.

 ඔබේ වෘත්තීය ගැන ඔබ තෘප්තිමත්ද?

තෘප්තිමත් බව මධ්‍යස්ථයි.

 ඉන් ඔබ අදහස් කළේ මොකක්ද?

මගේ හැකියාව අනුව මට මීට වඩා දෙයක් කරන්නට පුළුවන් කියලා හැඟෙනවා. මගෙන් වැඩ අරගෙන නැහැ තවම. එහෙමයි මට දැනෙන්නේ.

 ඔබ ජනප්‍රියද?

මං හිතන්නේ නැහැ මට ලොකු ජනප්‍රියත්වයක් ඇති කියලා. හැබැයි ලොකු අයට වඩා පුංචි ළමයි මාව හඳුන ගන්නවා. ඒත් ඔවුන් මාව නමින් හඳුනන්නේ නැතුව ඇති. මේ ළඟදී නියම වැඩක් වුණා.

 ඒකත් කියමු?

මං ගියා ෂොප් එකකට ඇඳුම් ගන්න. එතැන හිටිය පුංචි ළමයෙක් අම්මව ඇද ඇද මාව පෙන්න පෙන්න කියනවා ‘අම්මෙ අම්මෙ අර ස්වර්ණාවාහිනියේ අක්කා’ කියලා. ළමයගෙ අම්මා හොඳට බැලුවා මා දිහා. ‘ආ මේ රන්සි රණසිංහනෙ’ කියලා මට කිව්වා. මටත් බකස් ගාලා හිනා ගියා. ඒ මම නෙවෙයි කියලා මං කිව්වා.

 තිළිණි මේ වන විට පෙම්වතියක්ද?

නැහැ. තවම තනිකඩයි.

 කොහෙද ඔබේ ගෙවල්?

හෝමාගම, ගොඩගම.

 ඉගෙන ගත් පාසල?

නුගේගොඩ සමුද්‍රදේවි.

 පවුලේ විස්තර මොනවද?

මමයි, අම්මයි, තාත්තයි, අයියයි.

 මේතාක් පැමිණි ගමනේදී කාටද තුති පුදන්න තියෙන්නේ?

ලාල් හේමන්ත මාවලගේ, මහින්ද ගුණතිලක සහ හරෙන්ද්‍ර ජයලාල් යන මහත්වරුන්ට.