වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




පොඩි තැනේ සිට ඉදිරියට යන්න මම කැමැතියි

පොඩි තැනේ සිට ඉදිරියට යන්න මම කැමැතියි

චිත්‍රපට අධ්‍යක්ෂ ශානක එස්. ජයසේකර

ඩී. වී. ඩී. තාක්ෂණය භාවිතයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර කලාවට පැමිණි ඔහු නමින් ශානක එස්. ජයසේකර. 'යෝගී, සඳු, යාළු මාළු, බහිරව කන්දේ නිධානය, පුරං සිරං' වැනි ඩී. වී. ඩී. චිත්‍රපට මෙතෙක් ඔහු අතින් නිම වී තිබේ. ඩී. වී. ඩී. චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් සිනමාව පිළිබඳ අත්දැකීම් ලැබූ ශානක සිය පළමු සිනමා ශාලා ඉලක්ක කොට ගත් චිත්‍රපට අධ්‍යක්ෂණයට මේ දිනවල සැරසේ. මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ කතාබහකි.

පළමුව කියමු බලන්න අලුත්ම චිත්‍රපටයේ නම මොකක්ද කියලා?

සෙව්වන්දි.

ඩී. වී. ඩී. චිත්‍රපට තනලා එපා වෙලාද සිනමාශාලා ඉලක්ක කර ගන්න හිතුවේ?

එහෙම නැහැ. පොඩි තැනේ සිට ඉදිරියට යන්නයි මම කැමැති. ඩී. වී. ඩී. චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් මම අධ්‍යක්ෂණය ගැන ඉගෙන ගත්තා. දැන් වෙනසකටත් එක්ක සෙව්වන්දි චිත්‍රපටය සිනමාශාලා උදෙසාම නිර්මාණය කරන්න හිතුවා. ඉදිරියේදීත් සුපුරුදු ලෙස ඩී. වී. ඩී. චිත්‍රපට නිර්මාණය කරනවා.

සෙව්වන්දි චිත්‍රපටයට පාදක වන්නේ කුමක්ද?

'ආදරය'. ආදරය කරන හැම කෙනෙක්ටම නියම ආදරේ කියන්නේ මොකක්ද කියලා මේ චිත්‍රපටයෙන් දැනගන්න පුළුවන්. සිනහව අතරින් ගලා යන ආදරයේ වේදනාබර පැතිකඩක් මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් වෙනවා.

චිත්‍රපටයේ රූගත කිරීම් කොහෙද සිදු කරන්නේ?

නුවරඑළිය, කුරුණෑගල සහ මාරවිල ප්‍රදේශ තෝරගෙන තියෙන්නේ.

චිත්‍රපටයට නළු නිළියන් තෝරා ගැනීම සිදුවන්නේ කොහොමද?

ප්‍රධාන චරිතවලට නළු නිළියන් කිහිප දෙනෙක් තෝරාගෙන තියෙන්නේ. සම්මුඛ පරීක්ෂණයක් තියලා අලුත් මුහුණු ගොඩක් මීට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මෙහි බිංදු බෝතලේගම, චතුර පෙරේරා ප්‍රධාන චරිත රඟපානවා.

චිත්‍රපටයේ නිෂ්පාදනය හා කැමරාකරණය සිදු වෙන්නේ කවුරු අතින්ද?

නිෂ්පාදනය එඩ්වඩ් ස්ටැනින් මහතා අතින් සිදු වන්නේ. කැමරාකරණය තිලක් රන්ජන් විසින් සිදු කරනවා.

සෙව්වන්දි චිත්‍රපටය ප්‍රේක්ෂකයා හමුවට එන්නේ කවද්ද?

ලබන වසරේ පෙබරවාරි 14 වැනිදාට ප්‍රේක්ෂකන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ දිනවල ඔබේ ඩී. වී. ඩී. චිත්‍රපටවලට ඉල්ලුමක් තියෙනවාද?

ඔව්. ඩී. වී. ඩී. චිත්‍රපට බලන පිරිසක් ඉන්නවා. මම කරපු චිත්‍රපට හතක් පමණ තිබෙනවා. ඒවාට ප්‍රතිචාර හොඳයි. ළමයින් වෙනුවෙන් තැනූ යාළු මාළු චිත්‍රපටයටත්, ආදර කතාවක් තේමා කරගත් 'සඳු' චිත්‍රපටයටත් හොඳ ඉල්ලුමක් තියෙනවා.

සෙව්වන්දි චිත්‍රපටය ඔබේ ආධුනික සිනමා අධ්‍යක්ෂණ ජීවිතයට වෙනසක් ඇති කරයිද?

ඔව්. මම එහෙම හිතනවා.

ඉදිරි බලාපොරොත්තු?

මගේ බානු ෆිල්ම් ක්‍රියේෂන් ආයතනයේත්, ෂාරා නාට්‍ය ඇකඩමියේ හා මගේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කලා ක්ෂේත්‍රයේ ගෞරවණීය නමක් දිනාගෙන ඉදිරියට යන්න උත්සාහ කරනවා.

ඔබ නර්තන අධ්‍යක්ෂණයටත් දක්ෂයි නේද?

ඔව්. මට නර්තන ඇකඩමියක් තියෙනවා. ඒ ඔස්සේ ලංකාවේ පළමු වතාවට ළමයින් විශාල සංඛ්‍යාවක් යොදාගෙන (180) වේදිකාවේ කලඑළි මංගල්‍යයක් කරන්න හැකි වුණා. ඊට මට පුත්තම දිස්ත්‍රික්කයේ දයාශ්‍රිත තිසේරා පදනමින් සම්මාන පවා හිමි වුණා.

මෙතෙක් ආ ගමන් මඟේ අතහිත දුන් අය මතක් කළොත්?

සරසවිය පුවත්පත විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ඩොනල් ජයන්ත සහාය අධ්‍යක්ෂතුමාත්, ජයමිණ සත්කුමාර හා ඇන්ටන් ජයසිරි මහතා ඇතුලු අතහිත දුන් සියලු දෙනාව මතක් කරනවා. ඒ වගේම ආදරණීය බිරිඳ හා මගේ පුතාත් පවුලේ සැමත් සිහිපත් කරනවා.

ශානකගේ නවතම චිත්‍රපට යට සරසවිය අපගේ සුභපැතුම්!