වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

පළමු පන්තියේ මිතුරන් සමඟ පළමු පන්තියේ

පසුගිය පෙබරවාරි 16 වැනිදා උඩු ගුවනේ අපූරු උත්සවයක් පැවැත් වුණා. තමන්ගේ ජීවිතයේ හොඳම මිතුරු මිතුරියන් සමඟ මේ විදියට උඩු ගුවනෙන් ගොස් උත්සවයක් සමරන්න කටයුතු සැළසුම් කළේ වෙන කවුරුවත් නොවෙයි බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටි සහ ඇයගේ සැමියා රාජ් කුන්ද්‍රා.

මේ අවස්ථාවට සුනිල් ෂෙට්ටි, අනිල් කපූර්, සංජේ කපූර්, හුමා කුරේෂි, තාබු, ජැකි ෂරොෆ්, චන්කි පාණ්ඩේ ඇතුළු පිරිසක් සහභාගි වුණා. ඒ වගේම මේ ගමන සියලු දෙනාටම බොහොම ප්‍රීතිමත් අවස්ථාවක් වෙලා.

කපූර්ලා, ෂෙට්ටිලා සහ කුන්ද්‍රලා ඇතුළු පිරිස මුම්බායි දක්වා ගිය ගුවන් යානයේ පළමු පන්තියේ ආසන සියල්ලම වෙන් කරගෙන තිබුණේ. රාජ් කුන්ද්‍රා නම් පැවසුවේ ඒ අවස්ථාව තමන්ටම ජෙට් එකක් ලැබුණා වගේ දැනුණු බවයි.

සල්මන් දැන් සුල්තාන්

‘සුල්තාන්’ 2016 වසර උදාවත් සමඟම බොලිවුඩයේ කතාබහට ලක් වූ චිත්‍රපටයක්. සල්මන් ඛාන් එහි වෘත්තිය මල්ලවපොර සූරයේකුගේ චරිතයකට පණ පොවනවා. ඒ වගේම ඉන්දීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉතිහාසගත අවස්ථා කිහිපයක්ම ප්‍රතිනිර්මාණය කෙරෙන චිත්‍රපටයක් ලෙසත් ‘සුල්තාන්’ විශේෂ වෙනවා.

2010 චීනයේ පැවැති ආසියානු ක්‍රීඩා උලෙළ, 2010 වසරේ දිල්ලියේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ, 2012 වසරේදී ලන්ඩන්හි ඔලිම්පික් උලෙළ වගේම 2013 වසරේ හන්ගේරියාවේ පැවති ලෝක මල්ලවපොර සූරතාවලියත් එයට ඇතුළත්.

වෘත්තීමය මල්ලවපොර සූරයෙකුගේ චරිතයක් වටා ගෙතුණු ‘සුල්තාන්’ චිත්‍රපටයේදී ක්‍රීඩා දිවියට ඉහත කී තරගාවලන් කළ බලපෑම නිරූපණය කරනවා. එහිදී මල්ලවපොර ක්‍රීඩකයෙකුගේ වෘත්තිය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය තුළ ඇති වන ප්‍රශ්න පිළිබඳ කතාබහට ලක්කරනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ අලි අබ්බාස් සෆාර් විසින්.

‘සුල්තාන්’ නිර්මාණය කිරීමට පෙර ඉහත කී තරගාවලින්ට සහභාගි වීම වගේම එහිදී තරග කළ ක්‍රීඩකයන් හමුවීමටත් අමතක නොකළ බව සෆාර් පවසනවා. සල්මන් ඛාන් සමඟින් අනුෂ්කා ෂර්මා ‘සුල්තාන්’හි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

ඇඳුම්ද? චිත්‍රපටද?

සෝනම් කපූර් ගැන මේ දවස්වල වැඩි කතාබහක් තියෙන්නේ ‘නිර්ජා’ චිත්‍රපටය නිසා. ඒ වගේම සෝනම් බොලිවුඩයේ විලාසිතාවන්හි සංකේතයක් ලෙසත් ඇතැමුන් හඳුන්වනවා.

ඇයගේ ඇදුම් මෝස්තර නිතරම වෙනස් වෙනවා. ඒ වගේම විවිධ උත්සව අවස්ථාවලට විවිධාකාරයේ මෝස්තරවලින් යුතු ඇඳුම් ඇඳීම කෙරෙහි සෝනම්ට ලැබෙන්නේ ඉහළ ප්‍රසිද්ධියක්.

චිත්‍රපටයක වුණත් ඇයගේ වෙනසක් නැති බව බොහෝ දෙනාගේ අදහසයි. ඒ වුණත් ‘නිර්ජා’ චිත්‍රපටයේදී එහි වෙනසක් වී තිබෙනවා. එහිදී සෝනම්ට එකම ඇඳුමක් තමයි අඳින්න නියම වෙලා තියෙන්නේ.

“මම ඇඳුම් බලාගෙන නිර්මාණවලට කැමැති වෙන්නේ නැහැ. මම චිත්‍රපට තෝරා ගන්නේ චරිතය අනුවයි. එහිදී ඇඳුම් මෝස්තර අදාළ වෙන්නේ නැහැ.

නමුත් චිත්‍රපටවලින් බැහැරව විවිධාකාර ඇඳුම් මෝස්තර කෙරෙහි මගේ අවධානය යොමු වෙනවා” මේ පිළිබඳ ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෝනම් කියා සිටියා.

සචින්ගෙන් නිර්ජාට සහතිකයක්

ජාතියට අභිමානයක් වෙමින් නිර්භිත ලෙස මිය ගිය ගුවන් සේවිකාවක වන නිර්ජා බෙනොත්ගේ ජීවිතය අලළා නිර්මාණය කළ ‘නිර්ජා’ චිත්‍රපටය මේ දවස්වල ලංකාවේත් සාර්ථකව තිරගත වෙනවා.

එය නැරඹු ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුවක් මේ දවස්වල ‘නිර්ජා’ චිත්‍රපටයේ අගය පවසමින් සිටිනවා.

ඔහු වෙන කවුරුවත් නොවෙයි සචින් තෙන්ඩුල්කාර්. සචින් කියන්නේ ‘නිර්ජා’ චිත්‍රපටය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් කියලයි.

ඉන්දියාවට අභිමානයක් ගෙන දුන් බොහෝ දෙනෙකුට අමතකව ගිය වීරවරියක වූ නිර්ජාගේ චරිතයට සෝනම් කපූර් ඉතාම දක්ෂ අයුරින් පණ දී තිබෙන බවත් මේ සුපිරි ක්‍රිකට් තරුවගේ අදහසයි.

 

ප්‍රිංයංකා Vs රොක්

ප්‍රියංකා චොප්රා අති සාර්ථක ලෙස හොලිවුඩය ආක්‍රමණය කරන බොලිවුඩ් නිළියක බවට පත් වෙලා. මේ වන විට ඇමරිකානු ටෙලි නාට්‍ය මාලාවක් වන ‘ක්වෙන්ටිකෝ’ නිසා ඇය හොලිවුඩයේත් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගෙන සිටින්නේ. ඒ වෙනුවෙන් ඇය ජනතා සම්මානයට පවා පාත්‍ර වුණා.

ඉදිරියේදී ‘බේ වොච්’ චිත්‍රපටයේ රංගනයටත් ඇය සූදානමින් සිටින්නේ. 1990 දශකයේ විකාශය වූ ජනප්‍රිය බේ වොච් කතාමාලාවට නව ප්‍රවේශයක් ලෙසින් ‘බේ වොච්’ චිත්‍රපටය නිර්මාණය කෙරෙනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ සෙත් ගෝඩ්න් විසින්.

හැබැයි එහි ප්‍රියංකාට වෙන්වෙලා තියෙන්නේ දුෂ්ට චරිතයක්. ජනප්‍රිය නළු ඩ්වේන් ජොන්සන් හෙවත් රොක් සහ ඔහුගේ ජීවිතාරක්ෂක කණ්ඩායමට එරෙහිව තමයි ප්‍රියංකාට කටයුතු කරන්න සිදු වෙලා තියෙන්නේ. “එතැන හයක්. මං තනියෙන්” ප්‍රියංකා තම චරිතය ගැන පවසන්නේ ආඩම්බරයෙන්.

ඇයට ‘බේ වොච්’ සඳහා ආරාධනාව ලැබිලා තියෙන්නේ නියෝජිතයෙක් මඟින්. එහි අධ්‍යක්ෂවරයා සමඟ ප්‍රියංකාගේ කතාබහ සිදු වුණේ ස්කයිප් හරහා. මුලින්ම මේ චරිතය වෙන්වෙලා තියෙන්නේ නළුවෙක් වෙනුවෙන්. ඒ වුණත් ප්‍රියංකා සමඟ කතාබහෙන් පසුව ඒ චරිතය ප්‍රියංකාට පවරන්න අධ්‍යක්ෂවරයා තීරණය කරලා.

ඩ්වේන් සමඟ රංගනයට අවස්ථාව ලැබීම ගැනත් ප්‍රියංකා ඉන්නේ ගොඩක් සතුටින්. මයාම්වලදී ඔවුන්ගේ පළමු හමුව සිදු වෙලා. ප්‍රියංකා නම් කියන්නේ රොක් ඉතාම මිත්‍රශිලි පුද්ගලයෙක් බවයි. ඒ වගේම නපුරු චරිතයක් ලැබීමත් ලොකු සතුටක් කියලා ප්‍රියංකා පවසවා.