වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




හඬ කැවීම හිතනවාට වඩා බැරෑරුම්

හඬ කැවීම හිතනවාට වඩා බැරෑරුම්

- නිමාලි මෙන්දිස්

තිරියෙන් පිටුපස සිට සිය හඬ මාධූර්යෙන් රංගනයට අපූරු අරුතක් එක් කරන ඈ නිමාලි මෙන්දිස් නම් වූ කලාකාරිනියයි. හඬ කැවීම් ශිල්පිනියක ලෙස සත් වසරක් පුරාවට කලා ක්ෂේත්‍රයේ කටයුතු කළ ඈ තවමත් එහි නව මානයන් අධ්‍යයනය කරන්නීය.

නිමාලි කියන්නකෝ ඔබේ ගමනාරම්භය ගැන විස්තර ටිකක්?

මීට අවුරුදු හතකට විතර කලින් තමයි මම හඬ කැවීම් ශිල්පිනියක් ලෙස දායක වෙන්නේ. ඒ සිරස ආයතනයේ රාත්‍රී 12.00 ට විකාශය වුණු නාට්‍ය මාලාවකට. මේ සඳහා නිවෙසේම ඉඳගෙන තමයි මම හඬ දායකත්වය ලබා දුන්නේ.

ඉන් පස්සේ දායක වුණු නිර්මාණ ගැනත් අපි මතක් කරමු?

ඉන් පස්සේ විවිධ රූපවාහිනී නාළිකාවල වගේම ගුවන් විදුලි නාළිකාවලත් විකාශය වුණු ටෙලි නිර්මාණවලට දායක වුණා.

සිරසෙන් විකාශය වුණු ශේක්, සුපර් මාරියෝ, ටොම් ඇන්ඩ් ජෙරී, බැට් මෑන් කියන කාටුන් චරිතවල ප්‍රධාන චරිතවලට දායක වුණා. ඒ සියල්ලම අතුරින් ටෝයිස් කියලා ඇමරිකන් චිත්‍රපටයක ඇල්සේෂියා කියන චරිතය මට බොහොම සුවිශේෂයි. මීට අමතරව ගැජට් බෝයි, පින්ක් පැන්ඩා සහ ගිරිපුර ඇත්තෝ කියන කාටුන්වල චරිත සඳහාත් හඬ කැවීමෙන් දායක වුණා.

මේ සියල්ල කරගෙන යන අතරතුරේ ජාතික රූපවාහිනියේ විවිධ වැඩසටහන් සඳහා හඬ කැවීම් ශිල්පිනියක් ලෙස දායක වෙන්න මට ආරාධනා ලැබුණා. එතෙන්දි මම දායක වුණු පළමු නිර්මාණය ද ක්‍රවුන් ඔෆ් ද ජුවෙල් කියන චිත්‍රපටයයි. ඒ වගේම අභීත දියණි නාට්‍ය මාලාවේ චරිත කිහිපයක් සඳහාත් දායක වුණා. ජාතික රූපවාහිනියේ හඬ කැවීම් ශිල්පිනියක් ලෙස එක් වෙන්න ලැබීම මා ලැබූ භාග්‍යයක්.

මේ අතරේ හිරු ටී. වී. ආයතනය විසින් විකාශය කරන ජෝ දා අක්බර් සහ සුළඟ වගේ ඇවිදින් කියන නාට්‍ය දෙකේ චරිත කිහිපයකටත් හඬ මුසු කළා. ඒ වගේම දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ වීරා 2 හි සුරංගනාවියන් තුන් දෙනාගෙන් 'මීරා' කියන චරිතය හඬ කවන්නේ මම.

හඬ කැවීම් ශිල්පිනියක ලෙස කටයුතු කරන ඔබට රසවත් අත්දැකීම් එහෙමත් ඇති?

ඇත්තට මෙය බොහොම භාරදූර කර්තව්‍යයක්. තව කෙනෙක්ගේ රංගනයකට තමයි අපි හඬ මුසුව ලබා දෙන්නේ. එතෙන්දි තාත්ත්වික ලෙසම ඒ අවස්ථාව අවේ නැතිනම් එහි සාර්ථක බවක් නැහැ. ගොඩක් වෙලාවට මගේ දක්ෂතාවය තියෙන්නේ රියැක්ෂන්වලට හඬ නඟන්න. අඬන්න, හිනා වෙන්න, සැරවෙන්න වගේ දේවල්වලට මම හොඳින්ම කරනවා කියලා බොහෝ අධ්‍යක්ෂවරු කියනවා.

අනිවාර්යයෙන්ම අමතක නොවන අත්දැකීම් බොහොමයක් තියෙනවා. ටෝයිස් ෆිල්ම් එකේ ඇල්්සේෂියා කියන චරිතයට හඬ මුසු කරද්දී 'සීනු හඬ ඇසෙන ශබ්දය' කියලා කියන්න තිබුණා. මේ වචන ටික මම 150 වාරයක් කිව්වා. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය විදිහට කියවුණේ 150 වෙනි වාරයේදී. අවශ්‍ය දේ හරියට අවශ්‍ය තැන තිබුණේ නැත්නම් ඇත්තටම ඒ චරිතේ සාර්ථක වෙන්නේ නැහැ.

ඔබේ ගමනට සහාය දුන් අය බොහොමයක් ඇති?

විශේෂයෙන් මගේ දුව සහ පවුලේ සියලු දෙනාටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම මහේෂ් ගමගේ, භවන්ත ප්‍රසාද්, කසුන් ජයවර්ධන හිරු ටී වී ආයතනයේ සියලුම නිෂ්පාදකවරුන්ටත් ස්තූතිවන්ත වෙනවා.