වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




කොට්ටය යට නිදන සිනමා තාරුණ්‍යය

කොට්ටය යට නිදන සිනමා තාරුණ්‍යය

දශක හතරකට පමණ පෙරාතුව මා ගණිතය විෂයය කෙරෙහි පොළඹවා ගැනීම සඳහා අපේ තාත්තා මට දුන්නේ අපූරු තෑග්ගකි. ඒ හරියට වැඩ කළොත් සිංහල චිත්‍රපටයක් නරඹන්නට රැගෙන යාමය. දශක හතරකට පසු අද මගේ දියණිය ගණිතය කෙරෙහි උනන්දු කිරීම සඳහා මා තෝරා ගත්තේ එයට සමාන ක්‍රමයකි. ඒ ගණිතය නොකළහොත් තිරගත වන ඉංග්‍රීසි හෝ හින්දි චිත්‍රපටයක් නොව සිංහල චිත්‍රපටයක් බලන්නට ගෙන යනවා යැයි තර්ජනය කිරීමය. මා මෙන්ම දේශීය සිනමාවට ප්‍රේම කරන ඔබ මේ කියමන සාහසික එකකැයි මට චෝදනා කළ හැකි නමුත් වර්තමාන පාසල් සිසුන් අතර දේශීය සිනමාව සඳහා ඇති උනන්දුව කෙතරම්දැයි විමසා බලන්න යැයි මම ඇරයුම් කරමි. සිනමා ශාලා අවට සැරිසරා බලන්න. සිනමා ශාලා කළමනාකාරවරු හමුවේ විමසා සිටින්න. කිසිවකු හෝ ඒ සම්බන්ධයෙන් උනන්දුදැයි විමසන්න. අවම වශයෙන් හෘද සාක්ෂියට එකඟව පසුගිය වසර දෙක ඇතුළත තිරගත වූ අලුත් සිංහල චිත්‍රපටයක් නැරඹීම සඳහා ස්වෙච්ඡාවෙන් ඇති වූ පෙළඹවීමකින් සිනමා ශාලාවකට ගොඩ වුණිදැයි ඔබ ඔබගේ හදවතින් විමසන්න.

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුව ද තිරගත කිරීමට තරම් වරම් නොලද චිත්‍රපට සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් - සරසවිය සිනමා සම්මානය පිරිනැමිම පිළිබඳ පුවත්පත් හෙළිදරව්ව සමඟ නූතන පරම්පරාවේ සිනමාව පිළිබඳ නවතම කතිකාවක් අප ඉදිරියේ දිග හැරෙමින් පවතී. මේ කතිකාව දිග හැරෙන්නට පෙර නූතන සිනමා පරම්පරාවේ ඛේදවාචකය පිළිබඳ කිහිප වරක්ම මෙම පිටුවේ මවිසින් කරුණු දක්වා ඇති වග සිහිපත් කරන්නට කැමැත්තෙමි. තිරගතවීමේ බලාපොරොත්තුව සිහිනයක් වුව අදටත් අලුතින් චිත්‍රපටයක් තනන්නට උත්සාහ දරන තරුණයන් සංඛ්‍යාව එමටය. පසුගිය වසරේ ප්‍රදර්ශනයට අනුමැතිය ලද දේශීය චිත්‍රපට අතරින් දොළහක්ම අලුත් සිනමාකරුවන්ගේය. සාමාන්‍යයෙන් අපේ රටේ වර්ෂයකට තිරගත වන අලුත් සිංහල චිත්‍රපට සංඛ්‍යාව විසි පහ ඉක්මවනුයේ කලාතුරකිනි. ඒ අනුව පසුගිය වසරේ පමණක් නිර්මාණය වූ චිත්‍රපටකරුවන් අතරින් කී දෙනෙකුට කවදාක හෝ සිය චිත්‍රපටය තිරගතවීමේ වරම් ලැබේවිද?

අලුත් සිනමාවේ බහුතරය සිනමා ඥාණය අතින් පොහොසත්ය. ගැඹුරු ජීවන අත්දැකීම්වලින් සන්නද්ධය. ඔවුන් පෝලිමේය. සිනමා ශාලාවලට වැද්ද නොගත යුතු තරම් දුබල චිත්‍රපට තිරයට එයි. දවසින් දෙකින් ගැලවෙයි. එබැවින් සිනමා ශාලා අලුත් දේශීය චිත්‍රපට වෙනුවට විදෙස් චිත්‍රපට තිරගත කරති. මෑතක නවීකරණය කරනු ලැබූ ප්‍රාදේශීය සිනමාහලක හිමිකරුවකු මා සමඟ පැවසුවේ තවමත් ගම්බදදී විදෙස් චිත්‍රපටවලට වඩා දේශීය චිත්‍රපටවලට ඉල්ලුමක් ඇති වගය. එහෙත් ඔහුම පෙන්වා දෙන්නේ තිරගත වන කිසිදු චිත්‍රපටයක් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් නොවන වගය. කොටින්ම ඒවා චිත්‍රපට නොවන වගය. ඉඳින් සිනමා ශාලා පවත්වා ගත යුතුය. හදන සෑම චිත්‍රපටයක්ම නොව හදන හැම හොඳ චිත්‍රපටයක්ම තිරගත කළ යුත්තේ සිනමා ශාලා මෙන්ම ආයෝජකයා ද රැකෙන පරිදිය.

මෙරට සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව දවසින් දවස පහලට ඇදගෙන වැටෙන වග අමුතුවෙන් කිවයුත්තක් නොවේ. වර්තමානයේ එය කරවටක් ගිලී ඇති වග බොහෝ දෙනාගේ මතයයි. නවීන සිනමා ශාලා ගොඩ නැඟෙන අතර ඒවායේ හැමවිටම පාහේ සෙනඟ පිරී ඉතිරී යන වග නොරහසකි. ඇත්ත නම් නූතන කුඩා සිනමා ශාලා පිරී ඉතිරී යනුයේ විදෙස් චිත්‍රපටවලටය. ඒවායේ තිරගත වන චිත්‍රපට සතියෙන් දෙකෙන් අලුත් වෙයි. සම්ප්‍රවර්තික ආදායම පිළිබඳ රණ්ඩු වන්නට කිසිවකු නැත. චිත්‍රපට ආනයනය කළාට ප්‍රේක්ෂකයන් ආනයනය කරන්නේ නැත. අහිමි වනුයේ දේශීය තිර කාලයයි. අද බොහෝ සිනමා ශාලාවල දේශීය චිත්‍රපට තිරගත කරවන්නේ අනුකම්පාවටය. දශකයකට ඉහත බොහෝ නිෂ්පාදකවරුන් මැසිවිලි නැඟූයේ පෝස්ටරයක්වත් සිනමාශාලා හිමියන් නොඅලවන බව පවසමිනි. අද මැසිවිලි නඟනුයේ අලුත් සිංහල චිත්‍රපට කටවුට් එක සඳහා ශාලාවේ ඉඩකඩ ලබා දෙනුයේ ඒ සඳහා ශාලා හිමියන් වෙනම මුදලක් අය කර ගැනීම ගැනය. නැතිනම් ඒ ඉඩ වෙනත් ව්‍යාපාරික දැන්වීමකට ශාලා හිමියන් අලෙවි කරති.

ලාංකික සිනමාවේ ප්‍රේක්ෂක අවරෝහණය ඇත්තටම සිදු වූයේ අද ඊයේ නොවේ. එය දශක දෙක තුනක සිට අනු ක්‍රමයෙන් සිදු වූවකි. වරින් වර චිත්‍රපට අරබයා ලබෙන බොක්ස් ඔෆීස් වාර්තා මත පමණක් සත්‍යය වසන් කොට කොලේ වසා ගැසූ සිනමාවේ ගණන් හිලව් එහි පැවැති යථාර්ථය ලොවට වසන් කරන ලද්දේය. එනමුදු එවකට පැවැති ප්‍රදර්ශන ජාලය හේතුවෙන් බොහෝ ලාංකික චිත්‍රපට තිරගත කරවීමට හැකියාව ලැබිණ. මේ තත්ත්වය වෙනස්ව ගියේ 2000 වසරේදී චිත්‍රපට සංස්ථාවේ ප්‍රදර්ශන ඒකාධිකාරය බිඳ වැටුණ පසුය. ඒ වන විට පැවති ප්‍රශ්නවලට විසඳුමක් ලෙස එදා එය ඇතැමුන් දුටුව ද එය තවත් ප්‍රශ්න වැලක ආරම්භයක් විය.

කෙසේ වෙතත් ලාංකික චිත්‍රපට නිෂ්පාදනයේ බහින කලාව ආරම්භ වූයේ ඒ වටා සිටි ආයෝජකයන් එයින් අත්මිදුණු අසූව දශකයේදීය. 1972 දී චිත්‍රපට සංස්ථාව බිහි වීම සමඟ එයට දායක වූ ප්‍රධාන ආයෝජකයන් එයින් හෙමින් ඉවත්ව ගිය ද අසූව දශකය වන තුරු එය කර්මාන්තයට නොදැනිණ. ඒ එවකට පැවැති සංවෘත ආර්ථිකය යටතේ ආයෝජනය කිරීමට ඉඩ නොලත් බොහෝ ව්‍යාපාරිකයන් සිනමා කර්මාන්තයට එක් වීමත් සමඟය. යළි ඔවුනගේ ආයෝජන රටාවට ඉඩ ලද වහාම ඒ සියල්ල ආපසු ගියහ. ඒ අතරවාරයේ රටේ පැවැති අයහපත් වාතාවරණය සිනමා කර්මාන්තයේ බිඳ වැටීමට හේතු සාධක රාශියක් සපයා දුන්නේය. ආයෝජකයන් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත්වීමත් සමඟ එය ඉදිරියට ගෙන ගිය යුතුව තිබුණේ සිනමා කර්මාන්තයේ නියැලි පිරිසටය. එය ඔවුනගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් විය. එය මුලින් සාර්ථක වුව ද අනතුරුව සිදු වූයේ බොහෝ දෙනෙකු කෙසේ හෝ මුදල් ටිකක් සොයාගෙන චිත්‍රපට නාමයෙන් මොකක් හෝ අටවා ගැනීමය. ඒ අතරවාරයේ ඇතැම් මූල්‍ය ආයතන ද ඉවක් බවක් නැතිව ණය දුන්නේ වෙනත් පරිබාහිර කරුණු සිතේ තබාගෙනය. චිත්‍රපට සංස්ථාවේ ප්‍රදර්ශන ඒකාධිකාරය පැවති ඒ සමයේ පවා එලෙස තැනුණු නිෂ්පාදිත චිත්‍රපට රාශියක් තවමත් තිරගත නොවී පවතී. ඒ චිත්‍රපට නිෂ්පාදනයට විනා ඉන් එහා වියදම් කරන්නට නිෂ්පාදකයන්ට මුදල් නැති වූ හින්දාය.

එයින් පසු ද දිගින් දිගටම චිත්‍රපට කර්මාන්තය පිළිබඳ ආයෝජනය සැපයූ බොහෝ දෙනා මහා පරිමාණ ව්‍යාපාරිකයන් නොවීය. එබැවින් කර්මාන්තයට පදනමක් නොවීය. බොහෝ දෙනාට ඇවැසි වූයේ එදා වේල සපයා ගන්නටය. සිනමාව යනු තරුණයන්ගේ මාධ්‍යයකි. එහෙත් අපේ සිනමාව තරුණ වෙළඳපොල සොයා නොගියහ. අඩු වියදමකින් පවා හොඳ චිත්‍රපට කරන්නට බැරිකමන් නැත. එහෙත් ජාවාරම් කළ නොහැක. එහි රැවටීම සීමාසහිතය. එළියට එන්නේ බාල බඩුය. අප අපවම රවටා ගෙන ජාවාරම් එළි දැක්වූයෙමු. එහි ප්‍රතිඵල විඳින්නට සිදු වූයේ ඊළඟ පරම්පරාවටය. දේශීය කර්මාන්තයක් නිසා හෝ ජාති වාත්සල්‍යයෙන් හෝ අනුකම්පාවට හෝ චිත්‍රපට නරඹන්නට කිසිවකු නැත. චිත්‍රපට කර්මාන්තය ඇතුළත බිහි නොවූ අලුත් සිතුවිලි දැකගන්නට රසිකයන්ට වෙනත් ක්‍රමවේද පහසුවෙන් පහළ විණ. එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගීත චිත්‍රපට සඳහා භාවිතා කරන අන්දම ඔබගේ අවධානයට යොමු කරමි. ජෝතිපාලයන් වැනි සර්වකාලීන ගායකයකුගේ ගීත අලුත් චිත්‍රපටවලට යොදා ගැනෙනුයේ එතුමන්ට ඇති ආදර ගෞරවයට නොවේ. ඇත්ත නම් අලුත් ගායකයකුට, ගීත රචකයකුට, ශබ්දාගාරයකට යන වියදම අඩු කරන්නටය. අපේ ටෙලි නාට්‍ය කලාව ද කෙසේ හෝ නිමා කර පෙන්වීමේ න්‍යාය මෑත භාගයේ දක්නට ලැබේ. දස වසරකට පෙර අලුත් සිනමාකරුවන් සිය රූපමය අත් පොත තබන්නට තෝරා ගත්තේ ටෙලිවිෂනය වුවත් අද එබඳු සුපසන් පාසලක් නොවේ. එසේ නොවන්නට පාසල් දරු දැරියන්ගේ ටියුෂන් පන්ති දැන්වීමට කොරියානු මාලා නාටක වීරයන්ගේ රූපය එකතු නොවනු ඇත. ඉන්දියානුවන්වත් හරියට විස්තර නොදන්නා එරට මාලා නාටක නළු නිළියන් මෙරට රසිකයන්ගේ සිහින කුමර කුමරියන් නොවනු ඇත.

පසුගිය වසර ගණනාව පුරා සිනමාව හා ටෙලිවිෂනය යන මාධ්‍ය ද්වයෙන් හටගත් ඇතැම් පිළිල සඳහා කර ගසන්නට වුණේ තරුණයන්ටය. විශේෂයෙන් ඔවුන්ගේ නිර්මාණ එළි දක්වන්නට මඟක් හදන්නට මෙරට බලධාරීන් උත්සුක වූයේ නැත. ජාතික චිත්‍රපට සංස්ථා ඉතිහාසයටම එබඳු ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ගෙනා ආවේ අභාවප්‍රාප්ත ආචාර්ය තිස්ස අබේසේකරයන් පමණක් බැව් ඔහුට ගෞරවයක් ලෙස සඳහන් කළ යුතුය. කෙසේ වෙතත් වර්තමානයේ චිත්‍රපට තනා කොට්ටය යට තබාගෙන සිටින තරුණ සිනමාකරුවන් රැසකි. එහෙත් කොට්ටය යටට තබා පාපිස්සටවත් නොගත යුතු බොහෝ දේ එළි දකී.

සම්ප්‍රදායෙන් මිදී සරසවිය සම්මාන උලෙළේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නමින් සම්මානයක් පිරි නමන්නට මෙවර තීරණය කරන ලද්දේ ද එළි නොදුටු නව පරම්පරාව අපට අවශ්‍ය බැවිනි. ඔවුන් මේ රටේ සිනමාවේ ජීවනාලිය යැයි අදහන බැවිනි. ඔවුන්ගේ චිත්‍රපට සමඟ නැවතත් ගණිත පාඩමට දෙන ත්‍යාගය සිංහල චිත්‍රපටයක් නැරඹීම වැනි අගනා ත්‍යාගයක් වන්නේ යැයි මම විශ්වාස කරමි. මෙයට දශක දෙක හමාරකට පෙර වර්තමාන හොලිවුඩ් සිනමාවේ විශිෂ්ට සිනමාකරුවකු ලෙස සැලකෙන ස්ටීවන් සෝඩාබර්ග් සිය මුල්ම චිත්‍රපටය වූ සෙක්ස් ලයිෆ් ඇන්ඩ් වීඩියෝ ටේප් තිර රචනයේ දක්වා තිබුණේ එරටදී තරුණ සිනමාකරුවා අත්විඳින දුක් ගැහැට පිළිබඳවය. එදා එම ගැටලුවලින් දහයෙන් පංගුවක්වත් මෙරට තරුණ සිනමාකරුවන් අත් නොවිඳි තරම්ය. එයට හේතු වූයේ ඔවුනගේ නිර්මාණ එළි දැක් විය හැකි පසුබිමක් ගොඩ නැඟී තිබීමය.

එහෙත් ඒ එදාය. අද ලෝකයේ විවිධ මාධ්‍ය හරහා ලොව පුරා තරුණ සිනමාකරුවනට සිය නිර්මාණ එළි දැක්විය හැකි මාවතක් එළි දැක ඇත. අවාසනාව නම් අපේ යෞවනයනට ඒ සියල්ල තිබියදී තම රටේ එම නිර්මාණ දැක ගැනීමට ඉඩ හසර නොමැතිවීමය. තරුණ සිනමාකරුවන් හා තරුණ ප්‍රේක්ෂකයන්ගෙන් තොර සිනමාවට හෙටක් තිබේද?