වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




මේකප් දැමූ චණ්ඩියා කට්ටියගෙන් සල්ලි ඉල්ලලා

මේකප් දැමූ චණ්ඩියා කට්ටියගෙන් සල්ලි ඉල්ලලා

සම්මාන දිනූ බුවනෙක රණවක හෙළි කරයි

මෙවර ‘හැඩවැඩමැද’ විශේෂාංගය හරහා ඔබ හමුවන්නේ තරුණයෙකි. හේ බුවනෙක රණවක ය. පසුගියදා පැවැති රූපවාහිනි රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේ දී හොඳ ම අංගරචනා ශිල්පියා ලෙස සම්මානට පාත්‍රවන්නේ ‘උඩුසුළඟ’ ටෙලි නාට්‍යයට දැක්වූ දායකත්වය වෙනුවෙනි. අංගරචනා ශිල්පීය පවුලකින් පැවත එන බුවනෙක ප්‍රවීණ අංගරචනා ශිල්පී ජයන්ත රණවකගේ පුත්‍රයා ය. මේ ලිපිය සැකසෙන්නේ තරුණයකු ලෙස මේ ක්ෂේත්‍රයට පිවිසීමේ දී ලැබූ අත්දැකීම් හා සම්මානය පිළිබඳත් බුවනෙක සමඟ කළ සාකච්ඡාවකිනි.

මේ ලැබුණු සම්මානය ගැන ඔබට තිබෙන්නේ මොනවගේ හැඟීමක් ද?

මේ සම්මානය සඳහා මා අංගරචනා කටයුතු කළ ටෙලි නාට්‍ය දෙකක් තරග වැදුණා. ඒ ‘උඩු සුළඟ’ සමඟ ‘රණා’ ටෙලි නාට්‍යයයි. මේ නාට්‍ය දෙකත් සමඟ ‘බණ්ඩාර දෙයියෝ’ ටෙලි නාට්‍යයත් අවසන් තරගය සඳහා තරග තේරිලා තිබුණා. අන්තිම තරගයට මගේ ටෙලි නාට්‍ය දෙකක් තිබුණ නිසා පුංචි බලාපොරොත්තුවකුත් සිතේ නොතිබුණා ම නොවෙයි. ඒත් සමහර විට එහෙම නොවෙන්නත් ඉඩ තිබෙන වග මට හැඟුණා. මොකද මේ ක්ෂේත්‍රයට මම අලුත්.

ඒ වගේ ම වයසෙන් වුණත් අනෙක් අය මට වඩා ප්‍රවීණයන්. එහෙත් අවසානයේ මේ සම්මානය මට හිමිවුණා. ඒ ගැන ඇත්තටම දැනෙන්නේ සතුටක්. මේ සතුටත් සමඟ මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ මාවෝ ලක්ෂිත අයියා ඇතුළු රඟපෑ සියල්ලන්වමත්, අනෙක් සියලු ම ශිල්පීන්වත් මා සිහිපත් කළ යුතුයි. ඊට අමතරව මංජුල සිංහපෘථීවි, රන්ජන් ගුරුසිංහ, සමන් කියන අයියලාවත් සිහිපත් කළ යුතුයි. ඒ මේ සම්මානය පසුපස ඔවුන් සියලුදෙනා ම සිටින නිසයි.

‘උඩු සුළඟ’ ටෙලි නාට්‍යයට ඔබගේ සම්මානයත් සමඟ ම සම්මාන කිහිපයක් ම ලැබෙනවා නේද?

‘උඩුසුළඟ’ ටෙලි නාට්‍යය මාවෝ ලක්ෂිත අයියාගේ පළමු අධ්‍යක්ෂණයයි. මේ ටෙලි නාට්‍යය සම්මාන දහයකට නිර්දේශ වුණත් සම්මාන ලැබෙන්නේ අංශ තුනකට පමණයි. ඒ හොඳ ම අංගරචනය, හොඳම ඕඩියෝ, හොඳ ම සංස්කරණයටයි.

ඔබට ‘උඩු සුළඟ’ ටෙලි නාට්‍යයට සහභාගි වන්නට ලැබෙන්නේ කොහොම ද?

මුලින් ම මාව, මාවෝ අයියට හඳුන්වලා දෙන්නේ එස්.එල්.ටී.ටි. අයි එකේ කෝස්එක කරන තිලිණි කියන අක්කා. මේ කොස්එක කරන අතරතුරේදි ඒ අයගේ කටයුතුවලට අංගරචනා කරන්න ගිහින් ඇතිවන පැහැදීම නිසයි ඇය මාව මාවෝ අයියට හඳුන්වා දෙන්නේ. එහි ප්‍රතිඵලයක් අනුවයි මට ‘උඩු සුළඟ’ටෙලි නාට්‍යය හිමි වන්නේ. ‘උඩු සුළඟ’ කියන්නේ මගේ පළමු ප්‍රාසාංගික ටෙලි නාට්‍යයයි.

ඔබ අංගරචනා ශිල්පියෙකු වන්නේ පරම්පරාව ඉදිරියට අරගෙන යන්න ද?

තාත්තා අංගරචනා කටයුතු කරන නිසා ම මමත් ඒ කටයුත්තට යොමුවුණේ නැහැ. මම ඒලෙවල් කරන්නේ බයෝවලින්. ඒත් විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදිවුණා. ඊට පස්සේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ පාඨමාලාවක් කරන්න සිතාගෙන සිටියත් ඒකටත් ලකුණු මදිවුණා. ඒ කටයුත්තෙන් පසුවයි මා අංගරචනා අංශයට යොමුවන්නේ. එතැනදි තාත්තා කිව්ව දෙයක් තිබුණා. ඒ මාත් එක්ක ඇසිස්ට් කරලා මේ ශිල්පය ඉගෙන ගන්න බැහැයි කියන කාරණයයි. මම තාත්තාගේ ඩිප්ලෝමාව හදාරන්නේ ඉන් පස්සේ.

ඉන් පස්සේ වත් තාත්තාත් එක්ක අංගරචනා කටයුතුවලට සහභාගි වුණා ද?

ඔහුත් සමඟ මම සහය අංගරචනා ශිල්පියා ලෙස පළමු වෙන්ම කටයුතු කළේ ‘රන්කෙවිට 2’ චිත්‍රපටයේ. ඊළඟට ‘නිකිණි වැස්ස’ චිත්‍රපටයෙත් මා සහය ශිල්පියා ලෙස ඔහුත් සමඟ කටයුතු කළා. එතැන් පටන් දිගටම මම තාත්තාගේ සහය ශිල්පියා ලෙස කටයුතු කළා. ‘උඩු සුළඟ’යි මා තනියම අංගරචනා කළ ටෙලි නාට්‍යය වන්නේ.

ඔබට උවමනා විදියට අංගරචනා කටයුතු කරන්න මේ ටෙලි නාට්‍යයේ දී ඉඩකඩ ලැබුණා ද?

ටෙලි නාට්‍යයට අවශ්‍ය විදියට කටයුතු කිරීමේ නිදහස මාවෝ අයියා මට දීලයි තිබුණේ. ඒ අනුව සෑම චරිතයක ම ඊට ගැළපෙන අයුරින් මොකක් හෝ වෙනසක් කරන්න මා උත්සාහ ගත්තා. අපි හැමදාම දකින නිළිය හෝ නළුවා නැතිව ඔවුන්ව රැවුලකින් හෝ කොණ්ඩයෙන් හෝ පොඩි දෙයකින් වෙනස් කරන්නයි මා උත්සාහ කළේ.

එහිදි එවැනි වෙනස් කිරීම්වලට ලක්කළ චරිත මොනවා ද?

සුජානිගේ චරිතය මෙහෙණින් වහන්සේ කෙනෙක් දක්වා දිවෙනවා. ඒ නිසා ඇගේ කොණ්ඩය නොකපා කැප් එකක් පාවිච්චි කරලා මුඩු හිස සකස් කළා. ඒ ටෙලි නාට්‍යයේ සිටිය පුංචි ළමයාගේ චරිතයත් ඒකට අපූරු උදාහරණයක්. ඒ ළමයාගේ චරිතය ගොළු අංග විකල තත්ත්වයේ සිටි දැරිවියකගේ චරිතයක්.

ඒ සඳහා අදාළ විදියට නහය ඇද කරලා වෙනස් විදියකින් යුතු මුහුණක් බවට පත්කළා. චරිතයට උචිත අයුරිනුයි ඒ කටයුත්ත මා කළේ. එතැනදි මේ ළමයා දෙස බලන නඹන්නන්ට අප්පිරියාවක් ඇති නොවන අයුරින් ඒ කටයුත්ත කරන්නටත් මා වග බලා ගත්තා. මෙහි සියලු අංගරචනා කටයුතු කරන්න මගේ සහය ශිල්පියා ලෙස සිටි සමීරගෙන් ලැබුණු සහයෝගයත් මා මෙහිදි සිහිපත් කළ යුතුමයි.

සුජානිගේ මුඩු හිස සකසන්න ඔබට ගොඩක් මහන්සි වෙන්න වුණා ද?

ඒක බොහොම අමාරු කාර්යයක්. ඇයට දිග කොණ්ඩයක් තිබුණා. අනෙක් කාරණය ඈ ඒ කාර්යයට සහභාගි වුණේ බොහොම කැමැත්තෙන් බවත් කියන්න ඕනෑ. ඒ කටයුතු සඳහා සුජානිව අංගරචනා කටයුතුවලට ගත්තේ පාන්දර තුනටයි. ඒ අංගරචනාව සඳහා මට පැය තුනක කාලයක් ගතවුණා. එදා දවසේ ම වගේ ඇය ඒ විදියට මුඩු හිසක් සහිතවයි සිටියේ.

මේක බොහොම අපහසුයි කියමින් ඔබට චෝදනා ගොනු කරන්නට සුජානි පෙලඹුණේ නැද්ද?

අනේ නැහැ. ඒ සියලු දේ විඳදරා ගනිමින් මහත් කැපවීමෙන් තමයි ඒ චරිතය සුජානි කළේ. ඒ අයගෙන් මගේ කටයුතුවලට උපරිම සහයෝගය ලැබුණා.

අංගරචනා කටයුතුවලට අමතරව කොණ්ඩා දමන්නත් ඔබට පුළුවන් ද?

ඔව්. ඒ චරිතයට අවශ්‍ය ආකාරයට ඒ කාර්යයේ නියැළෙන්නත් මට පුළුවන්.

ඔබට ප්‍රවීණ නළු - නිළියන් සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා ද?

‘උඩු සුළඟ’ ටෙලි නාට්‍යයේ දි පරම්පරා කිහිපයක ම ශිල්පීන් රඟපෑවා. එහිදි සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ශ්‍රියාණි අමරසේන ඇතුළු ප්‍රවීණ නළු -නිළියන්ගෙන් මට ලැබුණු සහයෝගය අපමණයි. ඒ වගේ ම සුජානි, ජගත් චමිල, අතුල පතිරණ යන ඊළඟ පරම්පරාවේ අයගෙන් වුණත් ලැබුණේ අපමණ සහයෝගයක්.

‘උඩු සුළඟ’ ටෙලි නාට්‍යයේ දි මතකයෙන් ගිලිහී නොයන සිදුවීම් කිහිපයක් මතකයට නැඟුවොත්?

මේ ටෙලි නාට්‍යයේ ලොකේෂන් එකේ දි නම් සියලු ම දෙනා කාලය ගත කළේ බොහොම විනෝදයෙන්. උමයංගනා අක්කාත් සමඟ කිහිපදෙනෙක් කතා කරගෙන අපූරු වැඩක් කළා. ඊට මා දායක වුණේ අංගරචනයෙන්. එහි සිටි රියැදුරෙක්ට කොණ්ඩයකුත්, රැවුලකුත් දාලා වෙනස් ම කෙනෙක් කරලා හවසට හවසට සෙට් එකට යවන්න පුරුද්දක් කරගෙන සිටියා.

ඔහු ගමේ චණ්ඩියෙක් විදියටයි එතැන ගිහින් රඟපෑවේ.මේ පුද්ගලයා චණ්ඩියා වුණත් එක් එක්කෙනාගෙන් සල්ලි ඉල්ලනවා. සෙට් එකේ සිටි අය මේ කෙනාට කොයිතරම් රැවටිලා හිටියද කිව්වොත් අන්තිමට සල්ලි දෙන්න තරම් පෙලඹුණා. කොහොම හරි මාවෝ අයියා පවා ඔහුට රැවටිලා තිබුණා. පස්සේ ඒක හැමෝම දැන ගත්තා.

ප්‍රවීණ හා අලුත් පරම්පරාවේ නළු - නිළියන් අතරින් කරදරකාරී අය මුණ ගැසිලා තිබෙනව ද?

අංගරචනා කටයුතුවලට සහයෝගය මිසක් ඔවුන්ගෙන් කරදරයක් මට හිමිවුණේ නැහැ. ඒක මගේ වාසනාවක් ද කියලා මා දන්නේ නැහැ. වයසින් අඩු මට්ටමක සිටියත් ඒ කාරණය අංගරචනයේ දී මට බලපෑම් නොකළ බවත් කියන්න ඕනෑ.

ඔබගේ ඉදිරි කටයුතු පෙළ ගැසිලා තිබෙන්නේ කොහොම ද?

මේ දවස්වල ස්වාධින රූපවාහිනියේ විකාශය වන ‘වර්ණ’ ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් කටයුතුත් කෙරෙනවා. ‘ඉක්කා’ චිත්‍රපටයේත්, ‘කාර්’ කියන ටෙලි නාට්‍යයෙත් අංගරචනා කටයුතුවලට මා සහභාගි වීමට නියමිතයි.