වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




අපි  නොදන්න LIVE වේදිකාවට

අපි  නොදන්න LIVE වේදිකාවට

සුනෙත් - ගාමින්ද

පොඩි මල්ලියි චූටි මල්ලියි කවුද නොදන්නේ. සුනෙත් - ගාමින්ද කියන නම්වලට වඩා ඔවුන් දෙපළට කවුරුත් අමතන්නේ පොඩි මල්ලි - චූටි මල්ලි කියලා. මේ මල්ලිලා දෙන්නාව අපි හඳුන ගත්තේ අපි නොදන්න ලයිව් වැඩසටහන හරහා. කාලයක් එය පුංචි තිරයේ අතිශය ජනප්‍රියම වැඩසටහනක් වුණා. නමුත් ඒක නැවතිලා දැන් බොහෝ කාලයක් ගෙවිලා ගිිහිල්ලා. බොහෝ දෙනෙක් සුනෙත් - ගාමින්දගෙන් අහනවලු අයෙ අපි නොදන්න ලයිව් ගේන්නේ නැතිද කියලා. වැඩි දෙනෙකුගේ ඒ ඉල්ලීම මත සුනෙත් - ගාමින්ද අපි නොදන්න ලයිව් නැවත එකම එක සැරයක් ගෙනාවා. හැබැයි ටෙලිවිෂනයට නම් නෙවෙයි. වේදිකාවට තමයි අපි නොදන්න ලයිව් මේ දෙන්නා ගෙනාවේ. ඒකටත් ලැබුණේ ඉතාම ඉහළ ප්‍රතිචාරයක්. ඔන්න ආයෙත් සුනෙත් - ගාමින්ද අපි නොදන්න ලයිව් වේදිකාවට ගේනවලු. අහලා බලමු ඒ දෙන්නාගෙන් ඒ පිළිබඳ තොරතුරු ටිකක්. පළමුව අදහස් දැක්වීම ගාමින්දගෙන්.

ගාමින්ද, කවදාද කොහේදිද මේ වැඩේ සිදු වන්නේ?

මේ මස 27 සහ 28 වැනිදා තමයි ෂෝ එක පැවැත් වෙන්නේ. ඒකේ නම් අපි නොදන්න ලයිව් ඔන් ස්්ටේජ්. අපි පසුගිය වසරේ එකම එක වතාවක් මෙය පැවැත්තුවා. සෑහෙන්න පිරිසක් මේක බලන්න ආවා. ඒ වුණත් අපි නොදන්න ලයිව් ඔන් ස්්ටේජ් නරඹන්න නොහැකි වුණු බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීමක් කරලා තිබුණා නැවත ප්‍රසංගය පවත්වන්න කියලා. ඒ අයගේ සාපිපාසාව වෙනුවෙනුයි මෙය ආයේ පවත්වන්නේ. විසි හත් වැනිදා කොළඹ මියුසියස් විද්‍යාලයේ රංග ශාලාවේ සහ විසි අට නුවර පොල්ගොල්ල එන්. අයි. සී. ඩී. රඟහලේදී ප්‍රසංග පැවැත් වෙන්නේ.

ඔබලා මෙම ප්‍රසංගය පළමුව පැවැත්වූයේ විදෙස් රටවල?

ඔව්. විදෙස් රටවල අපේ රසික රසිකාවන් වෙනුවෙන් තමයි මෙය ආරම්භ කළේ. පසුකාලීනව අපට හිතුණා ප්‍රසංගය ලංකාවෙත් සංවිධානය කළොත් හොඳයි කියලා. එහෙම හිතලා බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ මෙය පැවැත්වූවා. හිතුවටත් වඩා සෙනඟ ආවා. හැරිලා ගිය අය බොහොමයි.

ඒ කියන්නේ පොඩි මල්ලිගෙයි චූටි මල්ලිගෙයි කොමඩිවලට හොඳ ඉල්ලීමක් තියෙනවා ප්‍රේක්ෂකාගාරයෙන්?

මොකද නැත්තේ.

ඔබ දෙපළ ඇයි කාලෙකින් රූපවාහිනිය වෙනුවෙන් යම් වැඩ සටහනක් කළේ නැත්තේ?

ඒකට ප්‍රධානම හේතුව අපට තිබුණු කාර්යබහුලකම. අපි ඇඩ්වර්ටයිසිං ඒජන්සියකුත් පවත්වාගෙන යනවානේ. ඊට අමතරව රේඩියෝ ප්‍රෝග්‍රෑම්. මේ වගේ වැඩ කටයුතු හින්දයි රූපවාහිනී වැඩසටහන් අත හැරිලයි තියෙන්නේ. ඉල්ලීම් නම් බොහොමයි. නමුත් වෙලාව නැහැ.

ඒත් ගුවන් විදුලියේ නම් නිතර ඔබ දෙපළගේ වැඩසටහන් යනවා?

ගුවන් විදුලි වැඩ සටහන්වලට යන කාල වේලාව අඩුයි. ඒ හින්දා ඊට සහභාගිවන්න හැකියි අපි දෙන්නට.

ඔබ දෙන්නාගේ කොමඩි පිළිබඳ ගොඩක් දෙනෙක් කතා කරනවා. ඒ වටිනාකම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ගෙන ආවා නම් හොඳ නැතිද? මං එහෙම ඇහැව්වේ වර්තමානයේ විකාශය වන පහත් කමඩි ටෙලි නාට්‍ය ගැන හිතලා.

ඇත්තම කතාව මේකයි. මේ වන විට ටෙලි නාට්‍ය කලාව දරුණු ඛේදවාචකයකට මුහුණ දීලා තියෙන්නේ. අපි කැමැති නැහැ ටෙලිවලට හවුල් වෙලා ඒ ඛේදවාචකයේ කොටස්කරුවන් වෙන්න. ඒ හින්දා ටෙලි නාට්‍ය නොකරන ප්‍රතිපත්තියකයි අපි දෙන්නා ඉන්නේ.

ගාමින්දගෙන් පසුව එතැන් පටන් සුනෙත් මේ කතාබහ ඉදිරියට ගෙන ගියා.

සුනෙත්, ඔබලා දිනපතා ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරනවා. දැන් ප්‍රසංගයකුත් පවත්වනවා. මේවාට කොහොමද අලුත් අලුත් විහිළු විකට කතා සොයා ගන්නේ?

අපි අමුතුවෙන් කිසිම කතාවක් කියන්නේ නැහැ. දත්මිටි කාගෙන ඒවා හොයන්නෙත් නැහැ. එදිනෙදා වන සිදුවීම්වලින් අපි කතා ගොතනවා. අපිට මේ දැන් කිව්වොත් යම් වැඩසටහනක් කරන්න කියලා අපි කරලා පෙන්වන්නම්. පෙර සූදානමකින් තොරවයි අපි වැඩසටහන් කරන්නේ.

පළමුවරට පැවැත් වූ අපි නොදන්න ලයිව් ඔන් ස්්ටේජ් ප්‍රසංගයමද මේ ඉදිරිපත් කරන්නේ නැතිනම් මොන යම් හෝ වෙනස්කමක් කරන්නට බලාපොරොත්තු වෙනවාද?

අපි එහෙම ලොකු වෙනසක් කළේ නැහැ. නමුත් කාලානුරූපීව අදහස් ටිකක් එකතු කළා.

ප්‍රසංගයේ පිටපත කාගේද?

අපි දෙන්නගේ.

ඔබ දෙපළම කමඩියන්ලා ලෙස ප්‍රේක්ෂකයෝ හමු වෙනවා?

නැහැ. අපි කමඩියන්ලා නෙවෙයි. අපි කැමැතියි අපිව එන්ටර්ටේනස්ලා යනුවෙන් හඳුන්වනවාට. අපි විනෝදාස්වාදය සපයන්නෝ. මේ ප්‍රසංගය වුණත් එහෙමයි. විනෝදය සහ ආස්වාදය ලබාගෙන ගෙදර යන්න පුළුවන්. අනික කමඩියන්ලා වුණාම දැක්කත් හිනා යන්න එපායැ. නමුත් අපිව දැක්කම කාටවත් හිනා යන්නේ නැහනේ.

වර්තමානයේදී විකාශය වන කමඩි ටෙලි නාට්‍යවල සහ ප්‍රචාරය වන ගුවන් විදුලි වැඩසටහන්වලදී මිනිසුන් හිනාවෙන සද්දය දානවා. ඒක අවශ්‍යද?

ඔය ප්‍රශ්නයට මට මෙහෙම උත්තරයක් දෙන්න පුළුළුන්. උදාහරණයකුත් මං ගන්නම්කෝ. බිල් කොස්බිගේ කොස්බි ෂෝ එක සඳහා ඔය සද්දය ඇසුණා. එහෙම වුණේ එය ඇතුළු කමඩි වැඩ සටහන් රැසක් රූපගත කරලා තිබුණේ මිනිසුන් සිටිනා ශාලාවකදී වීම. ඒ ක්‍රමවේදය දිගටම ගෙන ගියා. එය අන්තිමේ රූපවාහිනී වැඩසටහන්වලටත් ආවා. අද වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? ඒ ගැන කියද්දී මට තව අතීත කතාවක් මතක් වුණා. ඒක කියලා ඔතනට එන්නම්. ඉස්සර මම දැකලා තිබුණා විකට චිත්‍ර කතා සඟරාවක්. එහි කතාවේ හාස්‍යෝත්පාදක තැන් ගෝල්ඩ් පාටින් තිබුණේ. ඒ එතන තමයි කතාවේ හාස්‍යෝත්පාදක තැන කියලා පෙන්වන්න. අද අපේ අය නාට්‍යවලට හිනා වෙන හඬ දාන්නේ නාට්‍යයේ එතන තමයි හාසේ‍යාත්පාදක තැන කියලා පෙන්වන්න.

පොඩි මල්ලිගෙයි චුටි මල්ලිගෙයි ඉදිරි වැඩ කටයුතු කොහොමද?

අපේ ඊළඟ වෑයම චිත්‍රපටයක් කිරීම. අපි දෙන්නම පිටපත ලියනවා. අධ්‍යක්ෂණය කරන්නේ ගාමින්ද.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

අපි නිතර කරන්නේ අලුත් වැඩනේ. ඒ හින්දා ප්‍රසංගයේ ටිකට බෙදා දෙන්නෙත් අමුතු විදිහකට. 0117222121 අංකයට කතා කළොත් ටිකට් එක ප්‍රේක්ෂකයා ගාවටම ගෙනත් දෙනවා. හොඳයි නේද වැඩේ.