වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ටවර් රඟහලේ සිට උතුර-දකුණ යා කරමු

ටවර් රඟහලේ සිට උතුර-දකුණ යා කරමු

හර්ෂ බී අබේකෝන් නම සමඟ වඩාත් බැඳී තිබුණේ මාධ්‍ය ලේකම් හෝ මාධ්‍ය උපදේශක ධුරයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු ලෙස රාජ්‍ය ජනමාධ්‍යවේදයට එක් වුණු ඔහු නාට්‍ය හා රංගකලාව, අලෙවිකරණය හා කළමනාකරණය, දේශපාලන විද්‍යාව, සිංහල, අන්තර්ජාතික සබඳතා ආදී විවිධ විෂයයන් සදහා ශාස්ත්‍රපති උපාධි පහක් නිම කර මේ වන විට දර්ශනපති උපාධිය වෙනුවෙන් කටයුතු කරමින් සිටියි. 1996දී මෙරට පළමු පාසල් සිනමා සමාජයක් පිහිටුවමින් සිනමාව, කලාව සහ ජනසන්නිවේදනය පිළිබඳ උනන්දුවක් දැක්වූ ඔහු මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද සේවය කරයි. වසර 20ක පමණ වෘත්තීය අත්දැකීම් සියල්ල සමඟ ටවර්හෝල් රඟහල පදනමේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්ධුරයට ඔහුගේ පත්වීම අපේ කතාවට නිමිත්ත විය.

අලුත් තනතුර ගැන මොකද හිතෙන්නේ?

ටවර් හෝල් පදනම මම ආදරේ කරන විෂයයකට නායකත්වය දෙන ආයතනයක්. ලංකාවේ නාට්‍ය හා රංග කලාවේ මහ ගෙදර ලෙස සලකන්න පුළුවන්. 1911 දෙසැම්බර් 16 මේ රටේ නාගරික ජනතාව අතර වින්දනීය පරපුරක් බිහි කරන්න මුල් වූයේ ටවර් හෝල් සම්ප්‍රදාය. ඒ වනවිට ලෝකයේත් එවැනි ප්‍රවණතා තිබුණා. සර්කස්, සන්දර්ශන හැටියට තාවකාලික මඩුවල. එය ලංකාවට පැමිණීමේ හා පරිනත වීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි ජෝන් ද සිල්වා, චාර්ල්ස් ඩයස් වැනි මේ රටේ නාට්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් බිහි කළ ආදි කර්තෘවරන් මෙයට නායකත්වය දෙන්නේ. මේ රටේ මිලියන 22ට ම රස වින්දනාත්මක මානසිකත්වයක් හදන සංස්කෘතික වශයෙන් ආකල්පමය වෙනසකට බලපෑමක් කළ හැකි ආයතනයක ප්‍රධාන තනතුර ලැබීම ගැන මම සතුටු වනවා. ඒ සඳහා මට අවස්ථාව දුන් ජනාධිපතිවරයාට, අපේ පාලක මණ්ඩලයේ සභාපති වන අගමැතිවරයාට සහ මේ විෂයය භාර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිවරයාට ස්තුතිවන්ත වනවා. එමෙන්ම මේ රටේ සමස්ත කලාකරුවන්, ටවර්හෝල් සම්ප්‍රදායට බැඳුණු කලාකරුවන් සියලු දෙනාගෙම විශ්වාසයේ යම් සන්ධිස්ථානයක් ලෙස මේ තනතුරට විශාල වගකීමක් තිබෙනවා. එමඟින් රටේ ජනතාව සහ කලාව අපේක්ෂා කරන ආකාරයට වගේම රජයේ අරමුණුවලට එකඟව උසස් මානසික සංවර්ධනයක් සහ රසවින්දනයක් බිහි කිරීමට යම් කිසි මඟ පෙන්වීමක් සඳහා මගේ ධුර කාලය තුළ නායකත්වය දීමේ වගකීම සපුරාලන්න කටයුතු කරන බවත් කියන්නම ඕනා.

ගෙවුණු සතියකට මඳක් වැඩි කාලය තුළ හඳුනාගෙන තිබෙන අවශ්‍යතා මොනවාද?

තනතුරක් ලෙස මෙය බාරගත්තාට රටේ සමස්ත කලාව පිළිබඳ විශේෂයෙන් සිනමාවට, නාට්‍ය හා රංගකලාවට ගෝලීය ලිබරල් ප්‍රවණතා සමඟ යම් වෙනසක් තාක්ෂණික වශයෙන් සහ රසවින්දනාත්මක ක්‍රමවේදය වශයෙන් අභියෝගාත්මක වෙලා තිබෙනවා. අපේ රටේ 1956න් පසු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මූලිකත්වයෙන් ප්‍රබුද්ධ දේශීය නාට්‍ය කලාව, ආචාර්ය ලෙස්ටර් පීරිස්ගෙන් දේශීය සිනමා සම්ප්‍රදාය බිහි වන්නට පෙර සිට මහජනයාගේ වින්දනය සඳහා ටවර්හෝල් වැනි සම්ප්‍රදායන් තිබුණා. මේ සියල්ල 80 දශකයේ ඇති වු සමාජ වෙනස්කම් සමඟ වෙනස් වෙලා, ජන සහභාගීත්වයත් අඩු වුණා. ඒ වගේම රූපවාහිනිය, සමාජ මාධ්‍ය ආදී සියල්ල සමඟ විශාල අභියෝගයක් බවට නාට්‍ය කලාව ප්‍රවර්ධනය පත්වෙලා තිබෙනවා. හැබැයි පාසල තුළ නාට්‍ය හා රංගකලා විෂයය උගන්වනවා. ඉල්ලුමකුත් තිබෙනවා. ඒත් 80 දශකයට වඩා අද තිබෙන තරගකාරීත්වය සමඟ 2018 -2020 ගමන්මඟ තීරනාත්මකයි.

කොහොමද එයට මුහුණ දෙන්නේ?

ප්‍රාදේශීය ලේකම් හෝ පළාත් මට්ටමින් නාට්‍ය හා රංග කලාව ප්‍රවර්ධන වැඩපිළිවෙළකට යන්න සිදුවෙනවා. කොපමණ තාක්ෂණය දියුණු වුණත් මේ පැරැණි නූර්ති ගී ආදියට ඉල්ලුමක් තිබෙනවා. අප කළ යුත්තේ යළි ඒ සමීපතාව ගොඩ නැඟීමයි. ඒ සඳහා භෞතික සම්පත්, රංග ශාලා, නගරයට පමණක් සීමා වී ඇති සම්ප්‍රදායයන් යළි ගම් දනව් වෙත ගෙන යන වැඩපිළිවෙලක් ඇති කළ යුතුයි.

එය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

අභියෝගාත්මක පරිසරය හමුවේ ධනාත්මක පසුබිමක් නිර්මාණය වී තිබෙන නිසා ප්‍රාදේශීය වශයෙන් ඇති අපේ සංස්කෘතික ශාලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සංස්කෘතික නිලධාරීන්, පාසල්වල මේ විෂයය උගන්වන පසුබිම හා ගුරුවරුන් කියන සම්පත් යොදාගෙන, ඒවාට අදාළ කාල පරිච්ඡේදයන් යොදාගෙන ප්‍රේකෂකයන් සමඟ ගනුදෙනුව අලුත් කරගන්න ඕනා. වසරකට දෙවරක් හෝ රාමායනය පණ්ඩුකාභය වැනි පැරණි නාට්‍ය ප්‍රදර්ශනය කරන අතර තරුණ නාට්‍යකරුවන්ගේ නව නාට්‍ය ප්‍රවර්ධනයට රජයේ මැදිහත් වීමත් සමඟ කටයුතු කළ යුතුයි. ඇත්තෙන්ම මේ සඳහා අවුරුදු 5ක සැලැස්මක් තැනීමට ඇමතිවරයා උපදෙස් දී තිබෙනවා. දැනට තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ අවුරුද්දක වැඩසටහන් සැලසුම් කර තිබෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි නාට්‍ය තරුණ සේවා සභාවේ, නාට්‍ය, ළමා නාට්‍ය මේ සියල්ල සඳහා අප මැදිහත් වෙනවා. ඒත් ගමට හෝ ප්‍රේක්ෂකයාට එය සන්නිවේදනය වන ආකාරයේ කතිකාවක් ගොඩ නැඟුණේ නෑ. ප්‍රචාරය ලැබුණේ නෑ. ඒ නිසා පාලක මණ්ඩයේ අදහස තමයි ප්‍රජානුගත කලාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම. ඒ සඳහා දැන් අපි ළඟ වැඩපිළිවෙලක් තිබෙනවා.

අද නාට්‍යකරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු කීපයක් තිබෙනවා. ශාලා පහසුකම්, පුහුණුවීමේ ස්ථාන ආදී වශයෙන්?

ඇත්තෙන්ම පළාත් මට්ටමින් හෝ ප්‍රධාන ශාලාවක් තිබිය යුතුයි කියන දේ අපි පිළිගන්නවා. එල්ෆින්ස්ටන් රඟහල අලුත්වැඩියාව තව මාස දෙකකින් පමණ නිමකර ඉහළම මට්ටමින් ආපසු ජනතාවට ලබා දෙයි. ඒ වගේම උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න, වසර තිහක් තිස්සේ යුද්ධයකට මැදිවුණු ජනතාවකගේ කලා කෞශල්‍යයන් වර්ධනය කරන්න, රසවින්දනාත්මක වැඩසටහන්, මානසික සුවය අතින් ඔවුන්ට අඩුවක් තිබුණා. එනිසා ටවර් හෝල් සම්ප්‍රදාය විසින්ම ඔවුන්ටත් නෘත්‍යාගාරයක් ඉදි කර ලබා දීම අපේ සැලැස්මේ එක් කොටසක්. ඒ වගේම දකුණ මධ්‍යම පළාත්වලටත් හොඳ මට්ටමේ ශාලා ඇති විය යුතුයි. එය රාජ්‍ය නායකයින්ගේ උපදෙස් මත ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පාසල්වලත් හොඳ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා හුදු විනෝදාස්වාදයට ඔබ්බෙන් ගිය ප්‍රබුද්ධ නාට්‍ය කලාවක් බිහි විය යුතුයි කියන මතයට. ඒ සඳහා අදාළ අනෙකුත් ආයතන සමඟ අත්වැල් බැඳගෙන ඉදිරි නාට්‍ය පරපුරක්, නාට්‍ය සංස්කෘතියක්, විදග්ධ නාට්‍ය කලාවක් යළි බිහි කරන්නට කටයුතු කළ හැකියි. එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට තිබුණු දර්ශනය වත්මන් රජය හොඳීන් අවබෝධ කරගෙන තිබෙනවා කියා සිතෙනවා.

ප්‍රාදේශීය වශයෙන් පහසුකම් සැලසීමේදී ලෝකයේ සහ අප රටේ ප්‍රොසීනියම් වේදිකාවට ඇති වූ වෙනස්කම් ආදියත් සලකා බලනවාද?

ප්‍රධාන ධාරාව හැරුණු විට විවිධ පුද්ගලයන් හා බද්ධ වුණු වීථිනාට්‍ය කලාව වැනි දේ නාට්‍ය කලාව ජනගත විමට බලපානවා. ඉදිරි වසර පහ තුළ පැරැණි අයගේ ආභාසයෙන් බිහි කරන්නට යන පරපුර තවත් අලුත් දේ සොයා යනු ඇති බවට අපට විශ්වාසයක් තිබෙනවා. ඒ අත්හාදා බැලීම්වලට උදව් කිරීමට රාජ්‍ය අංශයට පමණක් හැකියාව නෑ. ලෝකේ අනෙක් රටවලත් කලාව ඉදිරියට යන්නේ පෞද්ගලික අංශයේ වගේම මහජනයාගේ මැදිහත් වීම සමඟයි. එය කළ හැක්කේ සමහර විට හොඳ ප්‍රේක්ෂකයෙක් වීමෙන්, හොඳ අනුග්‍රාහකයෙක් වීමෙන්. ග්‍රීක නාට්‍ය සම්ප්‍රදාය පවා ඉදිරියට ගියේ එහෙම. ඉන්දියාවේ එය තාම තිබෙනවා. අපේ රට, අපේ සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න අපි හැමෝටම සමාජ වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටුවන විට මහා ශක්තියක් ලැබෙනවා. ඒ නිසා අප ඉල්ලා සිටිනවා ඒ සම්ප්‍රදාය ඇති කරන්න එක්වන්න කියලා. මොකද හොඳ නිර්මාණකරුවන් සඳහා සුදුසු පරිසරයක් තැනීමත් එක්තරා ආකාරයක පුණ්‍ය කටයුත්තක්.

කලාකරුවන් සඳහා වූ සහන වැඩපිළිවෙල?

ඒ වැඩපිළිවෙළ එහෙමම කරගෙන යනවා. ඒ අතරම නූර්ති නිර්මාණ සුරක්ෂිත කිරීමට රාමායනය දැවැන්ත නිෂ්පාදනයක් කළා. මේ සියල්ලේ තිබෙන්නේ අපේ රාජ්‍යත්වය හා සංස්කෘතිය හා බැඳුණු ඉතිහාසය සහ උරුමය. ඒ සමාජ චින්තනයේ පණිවිඩයත් අප මේ ගමන් අරගෙන යනවා. පැරැණි ශිල්පීන් ආරක්ෂා කරන අතර අලුත් පරපුරක් බිහි කර ගැනීම අපේ ඉලක්කයක් නිසා ඉදිරියේදී ඒ ගැන අවධානය යොමු කරලා සමස්ත කලාකරුවන් වෙනුවන් ජාතික අරමුලදක් ගොඩනඟන්න ප්‍රතිපත්තිමය අදහසක් තිබෙනවා. පෞද්ගලික අංශයටත් අප ආරාධනා කරනවා මෙයට දායක වන්න කියලා.

නව තාක්ෂණය සමඟ ඔබ ආයතනය කොතරම් සමීපද?

පසුගිය කාලේ තොරතුරු හුවමාරුව තරමක් ප්‍රමාද වී තිබෙන බව පෙනුණා. ඒ නිසා විද්යුත් නාළිකා මෙන්ම සමාජ මාධ්‍ය සමඟ යමින් නාට්‍ය දර්ශන ආදියේ තොරතුරු කඩිනමින් ලබා දෙන්න, රුක්මනී දේවී ශාලාවේ දෛනික වැඩසටහන් පිළිබඳ විස්තර ලබා දෙන්න කටයුතු යොදා තිබෙනවා. අපේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම වගේම අලුතෙන් towerhalltheatre මුහුණු පොතක් ඇරඹීම සහ පැරණි ඡායාරූප, නූර්ති ගී යූටියුබ් එකේ පළ කරන්න අපි පියවර ගත්තා. එයින් මහජන ප්‍රතිචාර ක්ෂණිකව ලබා ගන්නත් පුළුවන්. ටවර්හෝල් ප්‍රකාශන අලෙවි සලක් සහ ඒවා පරිහරණය කිරීමේ පහසුකම ලබා දී තිබෙනවා.

ලංකාවේ නිල රංග පාසලක් නෑ?

නාට්‍ය හා රංග කලාව පිළිබඳ වසර දෙකක පූර්ණ කාලීන උසස් ඩිප්ලෝමාවක් අපේ රංග පාසලෙන් ලබා දෙන්නත් ඉන්පසු තෙවැනි වසර විවෘත විශ්ව විද්‍යාලයේ උපාධියක් ලබා දී ඔවුන්ට ගුරු පත්වීමවලට බඳවා ගැනීම කියන ඉතාම බුද්ධිමත් තීරණය පසුගිය වසර තුනේදි ගෙන තිබෙනවා. පසුගිය කාලයේ එය අඩු පහසුකම් යටතේ කරගෙන ගියේ. අපේ ඉලක්කය එය ලංකාවේ දියුණුම රංග පාසල බවට පත් කිරීමයි. ඒ සඳහා ලෝකයේ අනෙකුත් රටවල රංග පාසල් සමඟ එක්ව පුළුල් වැඩපිළිවෙලකට යන්න අප බලාපොරොත්තු වනවා. අපේ ගම පරිශ්‍රයේ එය ආරම්භ කිරීමට අගමැතිතුමා උපදෙස් දී තිබෙනවා.

නාට්‍යකරුවන්ට සුදර්ශිය, ලයනල් වෙන්ඩ්ට් වැනි තැනක් අද නෑ?

නාට්‍යවේදින්ගේ නිවහනක්, කේනද්‍රස්ථානයක් ලෙස පනතෙන්ම කියා තිබෙන්නේ ටවර්හෝල් රඟහල පදනමයි. එය පසුබිම් කරගෙන අපි රජයට යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා පහසුකම් ඇති කරන්න. ඔවුන්ගේ පෙරහුරු, සම්මන්ත්‍රණ, දේශන, කලඑළි මංගල්‍යයන්, විවේකාගාර, දේශන, අඩුවියදමකින් කරගන්න පුළුවන් විදිහේ ස්ථානයක් කරන්න. අරමුදලක් පිහිටුවා හොඳ නිෂ්පාදනවලට ආධාර කරන්න කටයුතු කරන්න. ඒ සඳහා හොඳ කණ්ඩායමක් අපට ඉන්නවා. ඒ පිරිස සූදානම් ඔවුන්ට ලබා දෙන නායකත්වය සමඟ මේ රටේ රංගකලාව දියුණු කරන්න උපරිම දායකත්වයක් ලබා දෙන්න.

ඒ අතරම නාට්‍ය හා රංග කලාව වෙනුවෙන් දුෂ්කරතා ඇති අයට ශිෂ්‍යත්ව වැඩි කරන්නත් යෝජනාවක් තිබෙනවා. මොකද උතුර දකුණ අතර සංස්කෘතික පාලම ඇති කරන්න පුළුවන් කලාකරවාට පමණයි.